අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්
රටේ දේශපාලන තත්ත්වය, අලුත් ව්‍යවස්ථාව හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග විමසමින් අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- ගොඩක් ඇමැතිවරු දිවුරුම් දීලා ආඩපාලී කියනවා. ඔබට එහෙම කියන්න දෙයක් තියෙනව ද?
පිළිතුර:- නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ. මම විවිධ අමාත්‍ය ධුර දරලා තියෙනවා. මේක එක අතකින් මට අලුත් දෙයක්. ඒ නිසාම මගේ උනන්දුව වැඩියි. අනික් පැත්තෙන් ගත්තොත් මට මේක අලුත් දෙයක් නොවෙයි. මගේ ජීවිතයේ අවුරුදු 26 ක් මම ගුරුවරයෙක්. මම මහාචාර්යවරයෙක්. පීඨාධිපතිවරයෙක්. උප කුලපතිවරයෙක්. ඉතින් මම උගන්වලා තියෙනවා පරම්පරා ගණනාවකට. නීති අධ්‍යාපනය ලබා දීලා තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ. ඒ නිසා මට අධ්‍යාපනය නුහුරු දෙයක් නොවෙයි. මේක මට අභියෝගයක්. අවස්ථාවක්.
ප්‍රශ්නය:-ආණ්ඩුව බලය ඉල්ලුවෙම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. නීතිය පිළිබඳ ප්‍රාමාණාත්මක උගතෙක් වෙන ඔබට ඒ විෂය නොදී අධ්‍යාපන ඇමැතිකම දීම ගැන?
පිළිතුර:- නෑ නෑ ඒක එහෙම නොවෙයිනේ. ඒකේ යම්කිසි නැවුම් ගතියක් තියෙන එකත් ශක්තියක් වෙන්න පුළුවන්. සමහර රටවල සාර්ථක සෞඛ්‍ය ඇමැතිවරු වෛද්‍යවරුන් නොවේ. රොනී ද මෙල් මැතිතුමා අවුරුදු 10 ක් විතර මුදල් ඇමැතිවෙලා හිටියනේ. නමුත් එතුමා ආර්ථික විද්‍යාව කරලා නෑ. එතුමා හදාරලා තියෙන්නේ ඉතිහාසය. එහෙම උදාහරණ ඕනෑතරම් තියෙනවා. අධිකරණ ඇමැති විදිහට මම කටයුතු කරලා තියෙනවා. මම නීති ගොඩක් හදලා තියෙනවා. ඇපිල් පිළිබඳ නීති මම හැදුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ඇමැති විදියට මම කටයුතු කරලා තියෙනවා. දැන් අධ්‍යාපන ඇමැති විදිහට මට නීතිය සම්බන්ධ වෙන ගොඩාක් තැන් තියෙනවා. විශ්වවිද්‍යාල පනත් සියල්ලම නවීකරණය කළ යුතුයි. මේ ක්ෂේත්‍රයේ නීතියට සම්බන්ධ වෙන ගොඩාක් තැන් තියෙනවා. මෙතැන සම්පූර්ණ තෘප්තියෙන් මම වැඩ බාර ගත්තේ. බාරගත්ත දේ උපරිම ශක්තිය දාලා සාර්ථක ප්‍රතිඵල ලබන්න මම උත්සාහ කරනවා. ඒ වගේම මේ අමාත්‍යාංශයේ සිටින නිලධාරීන්ගේ හයිය ශක්තිය මට ගොඩාක් ප්‍රයෝජනවත්.
ළමයා ලබන අධ්‍යාපනය හා ජීවනෝපාය මාර්ගය අතර සම්බන්ධයක් නැහැ. ළමයා බලාපොරොත්තු වෙනවා උපාධියට සරිලන රස්සාවක්. නමුත් ඒක වෙන්නේ නැහැ.
ප්‍රශ්නය:-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ලොකු උණුසුමක් රටේ තියෙනවා. 19 මුළුමනින්ම අහෝසි කරලා 20 ගේනව ද? නැත්නම් 19 සංශෝධනය කරනව ද?
පිළිතුර:- ඒ ගැන දැනට තියෙන අදහස තමයි 19 ඉවත් කිරීමේදී සමහර කාරණා තියෙනවා ඒකට ජනමත විචාරණයකට යන්න වෙනවා. එහෙම ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැති ඒවා ඉවත් කරලා ඊට පස්සේ එතැනින් නතර වෙන්නේ නෑ. අපි මේක ජනතාවට වෙච්ච පොරොන්දුවක්නේ.
ප්‍රශ්නය:-ජනතාවට පොරොන්දු වුණේ අලුත්ම ව්‍යවස්ථාවක් ගේනවා කියලයි?
පිළිතුර:- ඔව්. නමුත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න බැහැනේ මාස දෙකකින්. 19 වැනි සංශෝධනයේ අපි අවංකවම දකිනවා මේ රට පාලනය කිරීමට, සංවර්ධනය කිරීමට විශාල බාධකයක් හැටියට. ඒක හොඳටම පේන්න තියෙන දෙයක්.
ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව 19 ගෙනාවෙත් ඔහොම කියලා තමයි?
පිළිතුර:- මෙහෙමයි 19 හරහා රටට ඉදිරියට යන්න බෑ. උදාහරණයක් ගන්න රටකට ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍යයිනේ. ඒ සඳහා වඩාත් වැදගත් වෙන්නේ ආයෝජන. 19 සංශෝධනය යටතේ බල කේන්ද්‍ර දෙකක් හැදුවා. ආර්ථික කටයුතුවලට මොකද වුණේ? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සී.සී.ඊ. කියලා කමිටුවක් හැදුවා. ආර්ථිකයට සම්බන්ධ සියලු තීන්දු ගත්තේ එතැනින්. එතැනින් තීන්දු අරගෙන මුද්‍රාවක් හැටියට කැබිනට් එකට දැම්මා. මේක දිහා ටික කාලයක් බලාගෙන ඉඳලා සිරිසේන ජනාධිපතිතුමා මේක නැවැත්තුවා. එහෙම නවත්වලා ඒ කමිටුව අහෝසි කළා. ඊට පස්සේ සිරිසේන ජනාධිපතිතුමා දැම්මා නැෂනල් ඉකොකොමික් කවුන්සිල් කියලා ආයතනයක්. මාස කිහිපයකට පස්සේ එතුමාම කිව්වා මම මේකට පත්කරපු මනුස්සයාට ලක්ෂ පහක පඩියක් දෙනවා එයා රටෙත් නෑ කියලා එයාව අස් කළා. අරක නැවැත්තුවා. මේකත් නැවැත්තුවා. ආයෝජකයො එන්නේ විශ්වාසයක් තියෙනවානන්නේ. මේ වගේ අවුල් තියෙන රටකට කොයි ආයෝජකය ද එන්නේ? කවුරුවත් ආවේ නෑ. කවුරුවත් එයි කියලා හිතන්නවත් බෑ. ඉතින් මේ සියල්ල වුණේ බල කේන්ද්‍ර දෙකක් නිසා. මේක එකිනෙක ගැටෙනවා. දැවැන්ත අභ්‍යන්තර සංග්‍රාමයක්. කඹ ඇදිල්ලක් තිබුණා. රටක් එහෙම පාලනය කරන්න පුළුවන් ද? ආරක්ෂාව ගැන බලන්න. විධායක බලයේ සංකේතය ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා පත් කරන්නේ මුළු රටම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන හතර වගන්ති කියවලා බලන්න. විධායක බලයේ අන්තර්ගත කොටසක් තමයි රාජ්‍ය ආරක්ෂාව. හැබැයි ජනාධිපතිතුමාට ආරක්ෂක ඇමැති ධුරය දැරිය නොහැක කියලා 19 සංශෝධනයෙ තියෙනවා.
ප්‍රශ්නය:- 19 තිබියදී එහෙම නම් කොහොමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමැති ධුරය දරන්නේ?
පිළිතුර:- අපි ඒක පිළිගත්තේ නැහැනේ. අපි තර්ක කරනවා තුන හතර වගන්ති යටතේ එතුමාට ඒක කරන්න පුළුවන් කියලා. 19 සංශෝධනයේ සඳහන් වෙනවා ජනාධිපතිවරයාට කිසිම අමාත්‍ය ධුරයක් දරන්න බැහැ කියලා. සංක්‍රාන්තික වගන්තියක් හරහා සිරිසේන මහත්තයාට පමණක් සීමා වෙන පරිදි ඒ කාලය තුළ මහවැලි, පරිසර ඇමැති ධුර දරන්න පුළුවන්. වෙන ජනාධිපති කෙනෙකුට ඒකත් බැහැ. එතකොට ඒක හරිද? පාස්කු ප්‍රහාරය බලන්න. හරිම භයානක දේවල්නේ දැන් අනාවරණය වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තුළ 19 ට පෙර රජයට තිබුණ බලයක් හදිසි පනතක් දවස් හතක් ඇතුළත ගේන්න. ඒකත් අහෝසි වුණා. දැන් දවස් 14 ක් ඉන්න ඕනෑ. දවස් 14 ක් යනතුරු මිනිස්සු මැරෙනවා බලාගෙන ඉන්න වෙනවා. මේ විදිහට රටකට යන්න බෑ.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ 19 න් ගන්නම ගන්න දෙයක් නෑ කියලද?
පිළිතුර:- වචන තියෙනවා. දැන් බලන්න දේශපාලනයෙන් තොරව සුදුසු පුද්ගලයන් සුදුසු තැන්වලට පත් කරනවා කියලා කිව්වනේ. පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට සුදුසු ද? පොලිස්පති කෙනෙක්ව පත් කරන්නේ පෙරහරේ නටන්න හෝ භාවනා කරවන්න නොවෙයිනේ. එතුමා පත් කළේ සුදුසු නිසා නොවෙයි. එතුමා නොවෙයි සුදුසු පුද්ගලයා. රාජපක්ෂ පවුල හිරේ දැමීම සඳහා විතරයි පූජිතව පත් කළේ. ඒ නිසා ස්වාධීනයි කියන කොමිසම් එකක්වත් ස්වාධීන නෑ. ඒවා අතිශයින්ම දේශපාලනීකරණය වෙච්ච තැන්. ඒවා ජනතා අපේක්ෂා ඉටු කිරීමට විශාල බාධාවක්. ඉස්සෙල්ලාම කරන්න ඕනැ ඒ බාධාවන් ඉවත් කිරීමයි. එතැනින් නතර වෙන්න බෑ. ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව හැදුවෙ මීට වසර 48 කට ඉස්සර. ඊට පස්සෙ රට සමාජය වෙනස් වෙලා. ඒකට ගැලපෙන අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැන් තියෙනවා. ඒක කරන්න බෑනේ මාස දෙකකින්. ජනතාවගේ අදහස් ලබා ගන්න ඕනැ. ඒ ගැන පුළුල් සංවාදයක් තියෙන්න ඕනැ. ඒ නිසා මේක කරන්නේ අදියර දෙකකින්.
ප්‍රශ්නය:- 19 ගෙනාවේ එක පවුලක් ඉලක්ක කරගෙන බවයි ඔබේ කඳවුරේ චෝදනාව?
පිළිතුර:- ඔව් ඒක එහෙම තමයි
ප්‍රශ්නය:- 19 සංශෝධනය කරන්න යන්නෙත් පවුලක් ඉලක්ක කරගෙන?
පිළිතුර:- ඔබ කොහොමද එහෙම කියන්නේ?
19 වැනි සංශෝධනය අපි අවංකවම දකිනවා මේ රට පාලනය කිරීමට, සංවර්ධනය කිරීමට විශාල බාධකයක් හැටියට.
ප්‍රශ්නය:-ද්විත්ව පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න බැරි වගන්තිය අයින් කරනවා. ඊට පස්සේ ජාතික ලැයිස්තුවෙන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් ඇමැති පුටුවේ වාඩි වෙනවා?
පිළිතුර:- ඔය කියන ද්විත්ව පුරවැසි නීතිය දැම්මේ ඇයි? එහෙම දැම්මේම ගෝඨාභය රාජපක්ෂට ඉල්ලන්න බැරි වෙන්න. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඉල්ලන්න බැරිවෙන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලන්න බැරිවෙන්න වාර ගණන සීමා කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස 32 ට තිබුණ සීමාව 35 කළා. ලෝකයේ කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එහෙම හදලා නෑ. ඒ නිසා තමයි ඒක අසාර්ථක වුණේ. ද්වේෂය, වෛරය පදනම් කරගෙන කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පනත් ගෙනාවා පාර්ලිමේන්තුවට සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. එතුමියව පරද්දවන්න බෑ. ඒ නිසා තරගයෙන් ඉවත් කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ඒකමනේ කළේ. මොනවද නොකළේ. ගෝඨාභය එක්ක තරග කරලා දිනන්න බෑ කියලා දන්නවා. ඒ නිසා ගෝඨාභයට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න උපක්‍රම තේරුවා. සියල්ල අසාර්ථක වුණා.
ප්‍රශ්නය:- ඔබ යටතේ රාජ්‍ය ඇමැතිවරු හතර දෙනෙක් ඉන්නවා. කැඳ හැළියක් නොවෙයි ද?
පිළිතුර:- මේ අමාත්‍යාංශය මෙහෙම නිර්මාණය වෙන්න බලපාපු සාධකයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත වෙලා තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි මේ රටේ මානව සම්පත් සංවර්ධනයේ වැදගත්කම. ඒකට පැහැදිලි ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. මීට පෙර මේ විෂයට අදාළව අමාත්‍යාංශ පහක් තිබුණා. ඒ හැම එකම එකතු කරලා එක් අමාත්‍යාංශයක් යටතේ දැන් ස්ථාපිත කරලා තියෙනවා. ඒකට බලපෑ ප්‍රධාන හේතුවක් තමයි විධිමත් සම්බන්ධීකරණයක් ඇති කිරීම හා තීරණ ක්‍රියාත්මක කිරීම. ඒ කාර්යභාරය අතිවිශාලයි. ඒ නිසා රාජ්‍ය ඇමැතිවරු හතර දෙනෙක් පත් කළා. සුදුසුම රාජ්‍ය ඇමැතිවරුන් පත් කරලා තියෙන්නේ. ඒක මට විශාල ශක්තියක්.
ප්‍රශ්නය:- ඔබේ ප්‍රමුඛ අවධානය යොමුවෙලා තියෙන්නේ?
පිළිතුර:- අපේ මානව සම්පත තරුණ පරපුරට අභිමානයෙන් ජීවත් වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම තමයි ප්‍රධානම වගකීම. ඒ සඳහා කරන්න ගොඩක් වැඩ තියෙනවා. එතැනදී ඔබ කිව්වා වගේම අපි ප්‍රමුඛතා හඳුනා ගන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මූලික අදහසක් තමයි මාස තුනෙන් තුනට ප්‍රගතිය විමර්ශනය කිරීම. ඒ අනුව මම වැඩ බාරගෙන වැඩ සටහනක් හැදුවා. කාල වකවානු නිශ්චය කරගත්තා. මම සතුටු වෙනවා ලේකම්තුමා ගැනත්. ඉතාම දක්ෂ ලේකම්තුමෙක්. අපේ රටේ පාසල් දරුවන් ඉන්නවා ලක්ෂ 42 ක්. රජයේ පාසල් දහදාහක් තියෙනවා. ක්ෂණිකව විසඳිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට වරම් ලබා ගන්නවා එක්ලක්ෂ අසූහතර දාහක්. නමුත් විශ්වවිද්‍යාල පද්ධතියට ගන්න පුළුවන්කම තියෙන්නේ තිස්එක් දාහක් පමණයි. ඒක ඒ ළමයාගේ දුර්වලතාවක් නොවෙයි. අපි උත්සාහ කරනවා ඒක පහළොස් දාහකින් මේ අවුරුද්දෙ වැඩි කරන්න. දැන් තියෙන ප්‍රශ්නය තමයි එක්ලක්ෂ පනස් තුන්දාහක් එළියෙ ඉන්නවා.
ප්‍රශ්නය:- එහෙම ඉන්න ළමයින්ට තිබුණ එක් අවස්ථාවක් තමයි බාහිර උපාධියක් කිරීම. නමුත් ඒකත් දැන් සීමා කරලා?
පිළිතුර:- එහෙම සීමා කරන්න බෑ. ඒ ළමයින්ට විශ්වවිද්‍යාලයට යන්න බැරිවෙලා තියෙන්නේ ඒ දරුවන්ගේ වරදින් නොවෙයි. විශ්වවිද්‍යාල පද්ධතියෙ ප්‍රමාණවත් පහසුකම් නැති නිසයි. ඒ නිසා බාහිර උපාධිය කප්පාදු කරන්නෙත් නෑ. සීමා කරන්නෙත් නෑ. තවත් පහසුකම් සැපයීම තමයි අපි කරන්නේ. පාඨමාලා තවදුරටත් ගුණාත්මක අතින් පෝෂණය කරනවා. ඒ වගේම මම කිව්වා මේ අවුරුද්දෙ විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා සංඛ්‍යාව පහළොස් දාහකින් වැඩි කරනවා කියලා.
19 ඉවත් කිරීමේදී සමහර කාරණා තියෙනවා ඒකට ජනමත විචාරණයකට යන්න වෙනවා. එහෙම ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැති ඒවා ඉවත් කරලා ඊට පස්සේ එතැනින් නතර වෙන්නේ නෑ.
ප්‍රශ්නය:- එහෙම කරන්නේ කොහොමද? ඔබම කිව්වා පහසුකම් නෑ කියලා?
පිළිතුර:- ඔව් පහසුකම් වැඩිකර ගත යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දැන් වැඩපිළිවෙළක් හදාගෙන යනවා අලුත් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කරන්න. කැබිනට් මණ්ඩලය තෝරාගෙන තියෙනවා ඒ කුමන කුමන දිස්ත්‍රික්කවල ද කියලා. ඒ වගේම විශ්වවිද්‍යාලයක් වගේම නමුත් දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් සඳහා මේ වසර අවසන් වීමට පෙර ශිෂ්‍යයන් දාහක් විතර බඳවා ගන්නවා. ඒ අතර විවෘත විශ්වවිද්‍යාලය තියෙනවා. ඒකේ දැනට ඉන්නවා දළ වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හතළිස් පන්දාහක්. ඒකත් තව පහළොස් දාහකින් විතර වැඩි කිරීමේ ප්‍රයන්තයක් තියෙනවා. ඒකට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි පරිගණක හා අවශ්‍ය උපකරණවල හිඟකම. ඒකට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක් විතර ලබා ගන්න දැන් සාකච්ඡා කරගෙන යනවා.
ප්‍රශ්නය:- විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමෙන් පමණක් රටේ ප්‍රශ්නවලට උත්තර ලැබෙනව ද?
පිළිතුර:- ඒක හරි. ජීවිතය සාර්ථකව කරගෙන යෑමට වෙනත් විකල්ප මාර්ග සෙවීමේ උත්සාහයක් තියෙනවා. එතැනදී වෘත්තිමය පුහුණුව ඉතාම වැදගත්. ඒකට ආයතන රාශියක් තියෙනවා. එතැන වෘත්තිය අධ්‍යාපනය ලබන්න කැමැති ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙලක්ෂ හතළිස් දාහක් ඉන්නවා. හැබැයි අපිට ඒ ආයතනවල පහසුකම් ලබාදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ එක්ලක්ෂ හැත්තෑපන් දහසකට පමණයි. එතැනත් හතළිස් පන්දාහක් විතර හැලෙනවා. මේක විශාල සමාජයීය ප්‍රශ්නයක්. වෘත්තිය පුහුණුව වෙනුවෙන් තියෙන ප්‍රධානම ආයතනය තමයි ‘යුනිවර්සිටි ඔෆ් නැෂනල් ට්‍රේනින්’ එක. ඒක විශ්වවිද්‍යාලයක්. ඒක යටතේ කැම්පස් 10 ක් තියෙනවා. එක් එක් පළාත්වල කාර්මික වෘත්තිය පුහුණුව ලබා දීම සඳහා තාක්ෂණ විද්‍යාල. ඒ යටතේ තාක්ෂණික විද්‍යාල 40 ක් තියෙනවා. ඒ හතළිහේ වෘත්තියන් දෙසියක් සඳහා පුහුණුව ලබා දෙනවා. ඒක අපි දියුණු කරගෙන යනවා. තාක්ෂණ විද්‍යාලවල ගොඩනැගිලි තියෙනවා. උපකරණවල අඩුපාඩුව වගේම පුහුණුවෙච්ච ගුරුවරුන් හිඟයි.
ප්‍රශ්නය:-ඒ සඳහා ඉන්දියාවේ සහාය ගන්නා බවට පුවත් පළ වුණා?
පිළිතුර:- ඔව්. පුහුණු ගුරවරුන් පන්සියකගේ පුරප්පාඩු තියෙනවා. දවස් තුනකට විතර පෙර මාව හමුවුණා ඉන්දීය මහ කොමසාරිස්තුමා. ඉන්දියාවේ සෑහෙන ප්‍රගතියක් තියෙනවා මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. එතුමා මට කිව්වා එතුමාගේ අත්දැකීම් අවශ්‍ය සහයෝගය අපට ලබා දෙන්න එතුමා කැමැති වුණා. අපේ රටේ ආකල්පමය වෙනසක් වෙලා තියෙනවා. අපේ තිබුණ සාම්ප්‍රදායික ක්‍රමය තමයි ඕ ලෙවල් කරනවා. ඒ ලෙවල් කරනවා. විශ්වවිද්‍යාලයට යනවා. හැබැයි දැන් දෙමාපියන් අතරත් යම්කිසි හැඟීමක් තියෙනවා එකම ක්‍රමය නොවෙයි වෙනත් ක්‍රම තියෙනවා කියලා. වෘත්තිමය අධ්‍යාපනය දුන්නොත් දරුවාගේ අනාගතය සුරක්ෂිතයි කියලා දෙමාපියන් දන්නවා. ඒකට තිබෙන පහසුකම් සැලසීම අපේ අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක්.
ප්‍රශ්නය:- මේ වැඩ කරන්න සල්ලි තියෙනව ද?
පිළිතුර:- පහුගිය බ්‍රහස්ප්‍රතින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුමෙන් විශාල මුදලක් වෙන් කළා. රුපියල් බිලියන හැත්තෑවක් වෙන් කරලා තියෙනවා.
ප්‍රශ්නය:- ඒ මුදල් වියදම් කිරීමේ ප්‍රමුඛතාව කුමක් ද?
පිළිතුර:- රටේ තියෙන විශාලම ප්‍රශ්නය තමයි පාඨමාලා නවීකරණය නොවීම. බාහිර උපාධියටත් ඒ ප්‍රශ්නය තියෙනවා. ළමයා ලබන අධ්‍යාපනය හා ජීවනෝපාය මාර්ගය අතර සම්බන්ධයක් නැහැ. ළමයා බලාපොරොත්තු වෙනවා උපාධියට සරිලන රස්සාවක්. නමුත් ඒක වෙන්නේ නැහැ. ලබන අධ්‍යාපනය හරය හා අන්තර්ගතය හා රැකියා අපේක්ෂා ඉටුකර ගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ඒකට යමක් කළ යුතුයි. රජයේ සේවයට පමණක් නොවෙයි පෞද්ගලික අංශයටත් ගැලපෙන උපාධිධාරීන් බිහි කළ යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් හදනවා. අද තියෙන පාඨමාලාවල තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි උසස් පෙළ විභාගයට නියමිත විෂයන් විශාල ප්‍රමාණයකට පෙළපොත් නෑ. ගුරුවරයා සටහනක් දෙනවා. ළමයා සටහන කටපාඩම් කරලා තමයි විභාගය සමත් වෙන්නේ. එතැනින් පිරිපුන් දරුවකු බිහිවෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට කාලය ඇවිත්. ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ලබන බදාදා මම ඉදිරිපත් කරනවා.
ප්‍රශ්නය:-ඔබ හිතනවද මේ සියලු වෙනස්කම් කරන්න පුළුවන් වෙයි කියලා?
පිළිතුර:- ඉසුරුපායේදී හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රමයක්. ඒ වෙනුවට මුළු ව්‍යුහයම සම්බන්ධ කරගන්නවා. සියලුම පාර්ශ්වකරුවන්, ශිෂ්‍යයන්, දෙමාපියන්, ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගම්, සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහස් ලබාගෙන තමයි අපි අවසාන ප්‍රතිපත්ති මාලාවන් සකස් කරන්නේ. අපි අදහස් ඉදිරිපත් කරලා දිස්ත්‍රික්ක විසිපහේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අයටත් අපි ආරාධනා කරනවා. ඒ විදියට දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් සංවාදයක් ඇති කරනවා. ඒකට අපි නායකත්වය දෙනවා. අපේ අදහස් පමණක් ක්‍රියාත්මක කිරීමේ අදහසක් අපට නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ අධ්‍යාපනයට තියෙන්න ඕනෑ ප්‍රායෝගික ස්වරූපයක් කියලයි. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරලා විද්‍යාව, හා තාක්ෂණය වගේම ඉංග්‍රීසි භාෂාවට අපි විශේෂ අවස්ථාවක් සලසනවා.
ප්‍රශ්නය:- පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම අතිශයින්ම දුර්වල බවට තමයි චෝදනාව තියෙන්නේ?
පිළිතුර:- ඉංග්‍රීසි භාෂාවෙන් දැනුම් සම්භාරයකට ප්‍රවේශයක් වෙනවා. ගිය අවුරුද්දෙ කරපු සමීක්ෂණයකින් පෙනුණා ළමයින්ගෙන් සියයට 38 කට ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නෑ කියලා. ඒ විතරක් නොවෙයි එතැන විශාල විෂමතාවක් තියෙනවා නාගරික පාසල් හා ග්‍රාමීය පාසල් අතර. ග්‍රාමීය පාසල්වල ගුරුවරුන්ගෙන් සියයට 55 කගේ දැනුම ප්‍රමාණවත් නැහැ. නාගරික පාසල්වල ප්‍රමාණවත් නැත්තේ සියයට 29 ක් පමණයි. ඉංග්‍රීසි භාෂාවෙන් 2019 දී අසමත් වෙනවා සියයට 38 ක්. විද්‍යාව සියයට 35 යි. ගණිතය සියයට 29 යි. අසාර්ථක විෂය මොකක්ද කියලා එතැනින් පැහැදිලියි. ඒ නිසා ගුරුවරුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි.
ප්‍රශ්නය:-ඒකට තියෙන උත්තරය මොකක්ද?
පිළිතුර:- ඒකට මම කැබිනට් පත්‍රිකාවක් ලබන බදාදා ඉදිරිපත් කරනවා. පාසල්වල තියෙන විෂමතා ඉවත් කරන්න වැඩපිළිවෙළක් යොදවනවා. ඒකට ඉක්මනින් විසඳුම් දෙන්න ලබන බදාදා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්