සාකච්ඡා මාර්ගයෙන් එක් මතයකට පැමිණ ශ්‍රී ලංකාව දැන් ඒකීය මාවතකට පිවිස තිබෙනවා


(අංජුල මහික වීරරත්න)

“සාකච්ඡා මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයින් වශයෙන් එක් මතයකට පැමිණ ඒකීය බව ළඟාකර ගන්නා මාවතට ශ්‍රී ලංකාව දැන් අවතීර්ණ වී ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 

“මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව වූ නීතිය හා සාමය කඩවීමේ සිද්ධි නැවත සිදුවීමට ජාතික රජය ඉඩ තබන්නේ නැතැයි” ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 

“වසර 30ක් තිස්සේ වාර්ගික සහ ත්‍රස්තවාදී යුද්ධයට මැදිව සිටි ශ්‍රී ලංකාව යළි වාර්ගික ගැටුමට මුල පුරන්න කිසි ලෙසකින් ඉඩදීමට නොහැකි” යැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 44 වැනි සම්මේලන උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

කොළඹ - මිලෝදා ගොඩනැගිල්ලේදී සම්මේලනය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“රට තුළ යුක්තිය පවත්වා ගෙනයාම තහවුරු කිරීම සඳහා මෙන්ම අධිකරණ පරිපාලනය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වශයෙන් ඔබ දැවැන්ත කාර්ය භාරය ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන් පසුගිය වසර මුළුල්ලේ නීතිඥ සංගම් සභාපති ලෙස කටයුතු කළ යූ.ආර්. ද සිල්වා මහතාගේ සේවය අගය කළ යුතුයි.

ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමේදී ශ්‍රී ලංකාවට අදාළ නීති සම්පාදනය පිළිබඳව එතුමා සමඟ සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ නීතිඥ සංගමය එකඟතාව පළකළ විට යුරෝපා සංගමයේ එකඟතාව ගැනීම ගැටලුවක්ව තිබුණා. මට ඇති ගැටලුව වන්නේ සියලු දෙනාගේ එකඟතාව ගැනීම වඩා දුෂ්කර ද යන්නයි.

නීතිපතිවරයාත්, නීතිඥ සංගමයත් එකඟ වී ඇති විටෙක ඔවුන් තවත් අපේක්ෂා කරන්නේ මොනවාදැයි මා වරක් යුරෝපා සංගමයෙන් විමසා සිටියා. ඒ වගේ විශේෂ ප්‍රශ්නකාරි තත්ත්ව ද තිබුණා. ඒ වගේම තවත් නීතිකරණයක් පිළිබඳව එතුමා සමඟ සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා.

අධිකරණයේ පරිපාලනය සම්බන්ධයෙන් මෙහිදී කතා කළා. අපගේ රජය අධිකරණ පද්ධතිය සඳහා තොරතුරු තාක්ෂණය හෙවත් පරිගණක තාක්ෂණය හඳුන්වාදීමට කටයුතු කරන බව මා නීතිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කිරීම කැමැතියි. 

අභියාචනාධිකරණයේ සභාපති, අග්‍රවිනිශ්චයකාරතුමාගේ අනුදැනුම ඇතිව මේ සම්බන්ධයෙන් ලියවිල්ල ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයට හැකියි. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කරන හැටියටත්, අධිකරණ පද්ධතිය ක්‍රමක්‍රමයෙන් පරිගණකගත කිරීමට මධ්‍යම පිළිවෙත අනුගමනය කරන ලෙසත් අධිකරණ අමාත්‍යංශයට සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශයට මා උපදෙස් දෙනවා.

පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයත්, දෙවනුව අභියාචනාධිකරණයත් මේ ක්‍රමය යටතට ගෙනැවිත් ක්‍රමයෙන් අනෙකුත් අධිකරණ වෙත හඳුන්වාදීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා මුලපිරීම වශයෙන් ඊට අදාළ ලියවිල්ල ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

ඔබ සැම අධිකරණයේ පරිපාලනය ගැන කතා කළ නිසා එහි අනෙක් පැත්ත වන නීතිය හා සාමය පිළිබඳව කතා කළ යුතු යැයි මා සිතනවා. මොකද නීතිය හා සාමය පවත්වාගෙන යාම, ස්වාධීන අධිකරණ පද්ධතිය සහ එහි මනා පරිපාලනය නොවන්න කිසිම සමාජගත පැවැත්මක් පිළිබඳව කතා කළ නොහැකියි.

මේ මාසයේ මුල භාගයේ ඇති වූ කළබලකාරී තත්ත්ව නැවත රටේ ඇති නොවීමට රජය වගබලා ගන්නා බව මා කිව යුතුයි. වසර 30 ක ජාතිවාදී අරගලයකින් මෙන්ම කුරිරු ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතිය වශයෙන් ජාති, ආගම් පදනම් කරගත් හිංසන හෝ ගැටුම්වලට හෝ නැවත හිස නොනැමිය යුතුයි. අප දීර්ඝ ඉතිහාසයක් ඇති ජාතියක් වුවත් රටේ නවීකරණයක් ආරම්භ වූයේ මීට වසර 180 කට පමණ පෙර කෝල්බෘක් ප්‍රතිසංස්කරණ හරහායි. 

එමඟින්  බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති පද්ධති ත්‍රිත්වය වෙනස් කර අපගේ අධිකරණ පද්ධතිය, පරිපාලන
ක්‍රමය නව්‍යකරණයට ලක් කිරීමටත්, රට එක් ආණ්ඩු ක්‍රමය යටතේ පළාත් පහකින් යුක්තව පාලනය කිරීමටත් තීරණය කළා.

අප නිදහස ලබා මේ වනවිට වසර 70 සම්පූර්ණයි. අපගේ අනන්‍යතාව කුමක්දැයි අද කල්පනා කළ යුතුයි. අපගේ අසල්වැසි ඉන්දියාවටත් මේ ගැටලුව තිබුණා. ඉන්දීය අධිරාජ්‍යය, පකිස්ථානය හා ඉන්දියාව ලෙස ඒකක
දෙකකට බෙදී තිබුණා. ස්වාධීන ප්‍රාන්ත ද බොහොමයක් පැවතියත් ඉන්දියාව තම ස්වාධීන අනන්‍යතාව ගොඩනගා ගැනීමේ කාර්යයේදී සාර්ථක වුණා.

 නමුත් බංගලාදේශය ලෙස වෙනම රාජ්‍යයක් ඇතිවීම නිසා පකිස්ථානයට ස්වාධීන අනන්‍යතාවක් ගොඩනගා ගැනීමේ අවස්ථාව ගිලිහී ගියා. අප ශ්‍රී ලාංකිකයන් ලෙසින් එක් අනන්‍යතාවක් තිබුණත් යටත් විජිත අනන්‍යතාවයෙන් මිදී ස්වදේශික භාෂා සහ ස්වදේශික සංස්කෘතින් පදනම් කරගත් ස්වාධීන අනන්‍යතාවක් හිමිකර ගැනීමේ ගැටලුව තවමත් තිබෙනවා. භාෂාව පමණක් පදනම් කරගෙන පැවැති දරුණු වාද-විවාද සහ දේශපාලනික මතවාද අවසානයේ ජාතිවාදී හිංසනය හා ත්‍රස්තවාදය දක්වා දිග් ගැස්සුණා. මා ඒවා නැවත ප්‍රකාශ කිරීමට යන්නේ නැහැ.

නමුත් ශ්‍රී ලාංකික අනන්‍යතාව නැවත ගොඩනගා ගෙන සංවර්ධනය කරා ළඟාවීමට අවශ්‍යවන්නා වූ ජාතික එකමුතුවේ පදනම කුමක්ද යන්න මතකය ආවර්ජනය කිරීම හරහා ගැටුම් සියල්ල හමාර කිරීමෙන් අනතුරුව අද අප සිතා බැලිය යුතුයි.

වසර 30 ක් තිස්සේ පැවැති ජාතිවාදී ගැටුම්වලින් අනතුරුව ජාතික එකමුතුභාවය ඇති කිරීම සඳහා තිබෙන්නේ එක් මතවාදය පමණක් යයි විශ්වාස කළ යුතු නැහැ. එක් අතකින් අප බහු සංස්කෘතික අගයන් පිළිගන්නා ජාතියයි. ඒ ඒ ආගම්, භාෂා මෙන්ම සංස්කෘතීන් එක් එක් ජාතිකයන්ට නිදහසේ ඇදහීමට භාවිත කිරීමට අවස්ථාව තිබිය යුතු බව අප පිළිගන්නවා. අනෙක් අතින් ගත් කල අපගේ ස්වදේශිත ආගම්, භාෂා සංස්කෘතී සුරක්ෂිත විය යුතු බව තව පිරිසක් විශ්වාස කරනවා.

මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව, සෑම සමාජයකම පවතින තර්කයයි. නමුත් එය ක්‍රියාත්මක විය යුත්තේ වෛරය ඇවිළෙන ආකාරයට නොවෙයි. ත්‍රස්තවාදය දක්වා උඩුදුවන ආකාරයට නොවෙයි. අවසානයේ සාකච්ඡා මඟින් අපට ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක මතයට පැමිධෑමට හැකි විය යුතුයි. 

ඒකීය බව ළඟාකර ගන්නේ කෙසේද? අප දැන් ඒ මඟට අවතීර්ණ වී ඇති බව මා හිතනවා. පසුගිය කාලයේ වෛරය පතුරුවා හරින තත්ත්ව අප දුටුවා. එයට එක් පැත්තකින් පාර කැපුවේ සමාජ මාධ්‍ය ජාලා වන අතර එයින්
ජනතාවට පීඩාවට පත්වීමට වුණා. ප්‍රථමයෙන්ම ගිංතොට ප්‍රදේශයේ සුළු ආරවුල ඇති වුණා. ඉන්පසුව අම්පාර ප්‍රදේශයේත්, අවසානයේ මහනුවර සිදුවීම් දක්වාත් එය දිග්ගැස්සුණා. 

එය ඉතා අභාග්‍ය සම්පන්න සිදුවීම් මාලාව බව කිව යුතුයි. එමඟින් අපේ ජාතික සමගියට බාධා ඇති වුණා.
මෙය සීමා වුණේ දිගන, තලවකැලේ, කටුගස්තොට සහ මහනුවර නගරය වැනි සුළු ප්‍රදේශ කිහිපයකට පමණක් නමුත් එය සමථයකට පත් කිරීමට බොහෝ කාලය ගත වුණා. ඇත්ත වශයෙන්ම සිදුවුණේ කුමක්ද? එසේ වුණේ ඇයි? සිද්ධීන්ගෙන් පීඩාවට පත් වූයේ එක් ජන කොටසක් පමණක් නොවෙයි. මෙවැනි සිදුවීම් නැවත
රටේ ඇති නොවිය යුතුයි.
 
මෙවැනි සිද්ධීන්ට මඟපාදන අය සහ ඔවුන්ගේ ක්‍රියා මොනවාද යන්න අප සොයා බලමින් සිටිනවා.සිද්ධියේදී මහනුවර සිටි පොලිස් කණ්ඩායම්වලට අමතරව වෙනත් ප්‍රදේශවලින් ද පොලිස් කණ්ඩායම් ඒ ප්‍රදේශ වෙතයොමු
කෙරුණා. අපරාධකාරයින් නීතිය ඉදිරියට පැමිණවීම තහවුරු කළ යුතුයි. අපට කිසි කෙනකු ආරක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. සිද්ධීන්ට සම්බන්ධ සෑම පුද්ගලයකුම නීතියේ රැහැනට හසුකර ගෙන තරාතිරම නොබලා ඔවුන්ට දඬුවම් දෙනවා. ඒ වගේම විපතට පත්වූවන්ට වන්දි දීමටත් කටයුතු කරනවා.

මේ වනවිට අලාභ හානි තක්සේරු කරමින් සිටින අතර කඩිනමින් ඒ කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා. ප්‍රදේශවල තිබූ ව්‍යාපාර ස්ථාන ගණනාව සම්පූර්ණයෙන් විනාශ වෙලා. එක් මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් ලී මෝලක් සම්පූර්ණයෙන් විනාශ කරලා.

එහි සේවකයින් සියලු දෙනා සිංහල ජාතිකයින් වන අතර ඒ විනාශයෙන් සිංහල-මුස්ලිම් සියලු දෙනාම අසරණභාවයට පත්වූවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථානවල දායක-දායිකාවන් තම ප්‍රදේශයේ මුස්ලිම් අසල්වාසීන් සමග ගැටුම් ඇතිවීම පාලනය කිරීමට පියවර ගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි.

අතළොස්සකගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් සාමකාමී බහුතරය අපකීර්තියට පත් නොවිය යුතු වුවත් එය එසේ වුණා. එය වුණේ වෛරය පතුරුවා හැරීම නිසයි. එකිනෙකා අතර විශ්වාසය පළුදුවීම ද මෙයට හේතු වුණා. එය වූයේ කෙසේද? මේ සිදුවීම්වල වගකීම සමාජ මාධ්‍ය ජාල විසින් ද භාරගත යුතු වෙනවා.

මේ ක්‍ෂේත්‍රය නීති වෘත්තියට පිවිසෙන නවක උපාධිධාරීන්ට අලුත් විෂය පථය ලෙසින් හඳුන්වා දෙන්න කැමැතියි. මේ සම්බන්ධයෙන්කටයුතු කරන්නැයි මා ඔබට ආරාධනා කරනවා යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නීතිපති ජයන්ත ජයසූරිය,අභියාචනාධිකරණ විනිසුරු පත්මන් සූරසේන, නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, නියෝජ්‍ය සභාපති අලී සාබ් රී, නීතිඥ සංගමයේ ලේකම් කෞශල්‍ය නවරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.