සිංහල-බෞද්ධ උරුමය රැකීමට කැපවී කටයුතු කරන්නේ යහපාලන රජයයි


(අංජුල මහික වීරරත්න, ගල්නෑව සේනක බණ්ඩාර සහ අතුල බංඩාර නෙළුම්පත්ගම ගල්නෑවේ සිට)

 ”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.

”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්‍රීක කිරීම සඳහාත් මෙරට බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර සියල්ල සුරක්ෂිත කරලීමත් මේ වනවිට අරඹා තිබෙන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ගල්නෑව කලංකුට්ටිය ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

ඉහළ කලංකුට්ටිය - කැනෝලා කන්ට‍්‍රක්ෂන් ඇන්ඞ් ඉංජිනියරින් අධිපති තිලක් පද්මසිරි බණ්ඩාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් චෛත්‍යය ඉදිකෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

මේ විහාරස්ථානයේ කොත නිරාවරණය කිරීමේ පින්කමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විහාරාධිපති හිමියන් මට ආරාධනාව බාර දුන්නා. විහාරාධිපති දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමියන් විහාරාධිපතිත්වය දරන මේ පන්සලට පැමිණීමට මට යුතුකමක් තිබෙන බව කල්පනා කළා.

චෛත්‍යය ඉදිකිරීම, වෙහෙර විහාරස්ථාන ඉදිකිරීම ආදිය විශාල පින්කම් බව කිව යුතුයි. පිරිසකට වන්දනාමාන කරගැනීමට ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.

මීට කලකට ඉහත මේ ප‍්‍රදේශයට එනවිට අද තිබෙන දියුණුව දකින්න ලැබුණේ නැහැ. තිලක් පද්මසිරි මහතාට චෛත්‍යය ඉදිකිරීම පිළිබඳව ස්තූතිවන්ත විය යුතුයි. එතුමා හොඳම ව්‍යාපාරික සම්මාන ගත් දක්ෂ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටිනවා. ඉදිකිරීම් ව්‍යාපාර කරනවා.

විහාරාධිකාරි හිමියන් ප‍්‍රදේශයේ ජනතාවට අධ්‍යාපන පහසුකම් දෙමින් අගනා සේවයක් කරනවා. ගල්නෑව වැනි ප‍්‍රදේශවල අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය උපකාර කිරීම අපේ අරමුණයි.

මේ ප‍්‍රදේශ වර්තමානයේදී විශාල නියඟයකට ලක්වී තිබෙනවා. මේ පළාතට පමණක් නොව මුළු රටටම නියඟය බලපා තිබෙනවා. අපේ වී නිෂ්පාදනයෙන් 50%ක් අඩු වෙනවා යනු ප‍්‍රදේශයේ ජනතාවගේ ආදායමෙන් 50%ක් අඩුවීමයි. වී මෝල් ගණනාවක් වැඩ නැතිව වසා දමන්න වෙනවා.

එහි හානිය ගල්නෑවට පමණක් සීමා වන්නේ නැහැ. අනුරාධපුරයට සීමාවන්නේ නැහැ. එය සමස්ත රටේම ආර්ථිකයට බලපානවා. කෙසේ හෝ ආර්ථික සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යනවා.

ගමේ ආර්ථිකය නැංවීමට ආධාර උපකාර කරන්නේ කෙසේදැයි මා සාකච්ඡුා කළා. දුමින්ද දිසානායක ඇමැතිතුමන් සමගත් ඒ ගැන කතා කළා. ජනාධිපති සහ මුදල් ඇමැති සමගත් මා ඒ ගැන සාකච්ඡ කළා. නොයෙක් ක‍්‍රමවලින් අවශ්‍ය මුදල් මා දෙන්නම්.

අපේ ගැමි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. තේ සහ රබර් වගා කරන ප‍්‍රදේශවල කුඩා වතු හිමියන්ටත් නොයෙක් යෝජනා ක‍්‍රම මගින් ආධාර උපකාර කරන්නත් මා සැලසුම් කර තිබෙනවා. ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් ඇමැතිතුමා සමගත් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා.

කාන්තාවන් ග‍්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. ස්වශක්ති ක‍්‍රමවේදය හරහා වැඩිපුරම ණය ගෙන තිබෙන්නේ කාන්තාවන් බව කිව යුතුයි. ඒ නිසා කාන්තාවන්ට උදව් උපකාර කිරීමට වනිතා කටයුතු ඇමැතිනිය මගින් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.

මේ ප‍්‍රදේශය තවත් දියුණු කළ යුතු බව නායක හිමියන් පැවසුවා. අප ඒ දේ කරනවා. දැන් මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරනවා. මල්වතු ඔය යනු අප රටේ ඉතිහාසයේ ආරම්භයයි. සිංහල ජාතියේ නිජබිම මල්වතු ඔයයි. ඊට පෙර විවිධ වර්ගයේ කණ්ඩායම් ලංකාවේ ජීවත් වුණා. ආදී වාසීන් විවිධ ගෝත‍්‍ර විජය කුමරු මෙහි එනවිට සිටියා.

සිංහල ජාතිය බිහි වුණේ වී වගාව අරඹමිනුයි. මල්වතු ඔය නිම්නයේ සාර්ථක ලෙස වී වගාව කෙරුණා. අනුරාධගම යනුවෙන් ගම්මානය මුලින්ම ඇති කළා.

අනුරාධගම පසුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර ලෙස මෙරට අගනුවර බවට පත් කළා. ඊට පසුව වසභ රජතුමාගේ සමයේ සිට වැව් ඉදි කරමින් විශාල දියුණුවක් මේ ප‍්‍රදේශයට පැමිණියා.

මල්වතු ඔය වනාන්තරය ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. අධිරාජ්‍ය යුගයේ කලා වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වුණා. මහවැලි වනාන්තර මගින් රටටම විශාල දියුණුවක් ඇති වුණා. නමුත් මල්වතු ඔය ව්‍යාපාරය කරගන්න බැරි වුණා.

දැන් මල්වතු ඔයට අවශ්‍ය මුදල් සියල්ල තිබෙනවා. වසර තුනක් ඇතුළත එහි කටයුතු අවසන් කිරීම අපේ අරමුණයි.

මා මන්නාරමට ගිය විට එහි ජනතාවත් මල්වතු ඔය ව්‍යාපාරය ගැන කතා කළා. මේ ප‍්‍රදේශයටත්, මන්නාරමටත් මෙතුළින් විශාල සෙතක් ලැබෙනවා. සිංහල ජාතිය බිහිවුණේ මෙතැනයි.

සිංහල ජාතිය බිහිවීමෙන් පසුව බෞද්ධයන් ලෙස අභිෂේක ලැබුවේ මහා විහාරයේදීයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමත් සමග උන්වහන්සේ වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා මහා විහාරය ආරම්භ කළා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුණේ මහා විහාරයෙන් බව කිව යුතුයි.

මහා විහාරයේ පුරාවිද්‍යා කටයුතු සාර්ථක අයුරින් කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. දැන් අප මහා විහාරයේ කැණීම් කටයුතු කරනවා. වර්තමානයේ එහි තිබෙන ගොඩනැගිලි වෙනත් ස්ථානයක ස්ථාපිත කර කැණීම් කටයුතු කරනවා. කැණීම් කටයුතු කළ පසුව බෞද්ධයන්ගේ මූලාරම්භ ස්ථානය වී මහා විහාරය පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කිරීමට හැකියි. අනෙක් අංශයෙන් සිංහල ජනතාවගේ නිජබිම වන මල්වතු ඔය සංවර්ධන කටයුතු කරනවා.

සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශී‍්‍රක කිරීම සඳහාත්, බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර ආරක්ෂා කිරීමටත් මා ක‍්‍රියා කරනවා.

මේ වැඩකටයුතු ගැන ඇතැමුන් කතා කරනවා. නමුත් සත්‍ය වශයෙන්ම මේ වැඩ කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් බව සඳහන් කළ යුතුයි. අප රට වටේ ගිහින් මේ ගැන අණ බෙර ගහන්නේ නැහැ. නමුත් වැඩ කරගෙන යනවා. අප ලංකාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමෙන් පමණක් නතර වන්නේ නැහැ.

ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා.

ශ්‍රී ලංකාවෙනුත් ඔවුන් සහාය ඉල්ලා තිබෙනවා. ඒ නිසා ජනපති සහ මා සාකච්ඡුා කර කැණීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දීමට තීරණය කළා.

කැණීම් කටයුතු සඳහා පළමු අදියර වශයෙන් 2018-2019 වසර වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ශ්‍රී ලංකාව දෙනවා. ලූම්බිණියේ සහ කපිලවස්තුපුර වැඩ කටයුතු විය යුත්තේ කෙසේදැයි ඒ අය තීරණය කරාවි. කපිලවස්තු පුරයට යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීම ගැනීමට දැන් ක‍්‍රියා කරගෙන යනවා.

මෙවැනි වැඩ කටයුත්තක් කළේ පළමු වතාවටයි. මීට පෙර මේ අයුරින් ඩොලර් මිලියනයක මුදලක් දීමට ශක්තිය තිබුණාද? මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ශක්තිය ලැබුණේ රටට වූ විශාල අලාභ නතර කරගත් නිසයි.

හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් බිලියන 46ක මුදලක් වියදම් කළා. අප ඒ වියදම නතර කළා. අපට දැන් වරාය වෙනුවෙන් ඩොලර් මිලියන 1100ක මුදලක් ලැබෙනවා. දැන් අප බුදුන් වහන්සේගේ නිජබිම වෙනුවෙන් වියදම් කරන්නේ ඒ ඩොලර් මිලියන 1100ක මුදලින් ඩොලර් මිලියනයක් පමණයි.

ඒ මුදල වෙන් කිරීමට හැකි වූයේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත් නිසයි. දැන් මේ ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව නිකරුණේ බදු ගෙවිය යුතු නැහැ. එලෙස ලැබුණු මුදලින් කොටසක් ලූම්බිනිය සහ කපිලවස්තු පුරයට පූජා කළා. මින් ඉදිරියට රටේ සංවර්ධනය ඇති වූ විට අපට තවත් මුදල් වෙන් කිරීමට හැකි වේවි.

අද ඒ සිද්ධස්ථානවලට ඔබ වන්දනාවේ යනවා. එහි සංරක්ෂණ කටයුතු සඳහා අපත් දායක වුණා යැයි ආඩම්බර වීමට ඔබටද හැකියාව තිබෙනවා.

සංවර්ධනය තවත් ඉදිරියට ගෙන යා යුතුයි. අලූත් කෘෂි භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. අනාගතයේ ත‍්‍රිකුණාමලය වරාය ආශ‍්‍රිතව දියුණු වූ පසු එහි වාසියද මේ ප‍්‍රදේශවලට ලැබෙනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාම ග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමියෝ  වර්තමානයේදී හරිහම්බ කරගත් ධනය ආගමික කටයුතු සඳහා යොදවන පින්වතුන් විශාල වශයෙන් සිටිනවා. ඒ ගැන අප පින් අනුමෝදන් කරනවා. මේ විහාරස්ථානය ලබා ඇති දියුණුව ගැන අප ඉතාමත් සතුටට පත් වෙනවා.

විහාරාධිපති කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණ ප‍්‍රධාන සංඝනායක දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියෝ මෙසේ පැවැසූහ.

විහාරස්ථානය සඳහා අවශ්‍ය මූලික අංග තුනක් තිබෙනවා. ඒ සියලූ අංගවලින් දැන් මේ විහාරස්ථානයත් සම්පූර්ණ වෙමින් තිබෙනවා. අගමැතිතුමාගේ පැමිණීම අපේ කටයුතු සඳහා ධෛර්යයක් සැපයූ බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා: අපේ ගම් පළාතේ චෛත්‍යයක් විවෘත වනු දැකීම අපට අභිමානයක් වෙනවා. අද මේ ගමේ සැමට එක සිතින් සතුටු විය හැකියි. කිසිදු බේදයකින් තොරව ජනතාව විහාරස්ථානය වටා ඒකරාශී වී සිටිනවා. විය යුත්තේ එයයි.

අගමැතිතුමා මෙහි පැමිණ පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් එක සිතින් අත්වැල් බැඳ සිටින බව කිව යුතුයි.

විහාරාධිකාරි මහියංගණයේ පඤ්ඤානන්ද හිමියෝ පිළිගැනීමේ කතාව කළහ.

පුණ්‍යෙත්සවය සඳහා මහා සංඝරත්නය ද ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන්, කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.