දැන් දැන් රටේ අංක එකේ මාතෘකාව බවට ළඟ එන ජනාධිපතිවරණය පත් වෙමින් තිබේ. මේ වසරේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අය මේ වෙනවිටත් තමන් මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කර ඇත. ව්‍යවසායක දිලිත් ජයවීර, හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය ගත්තේ මීට ටික කලකට ඉහතදීය. ඒ අනුව, තමන් ද මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව ඔහු පවසා තිබේ.
තවත් ව්‍යවසායකයෙකු වෙන ධම්මික පෙරේරා තමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් පසුවේ. ඒ අනුව, දැනට පෙනෙන ජනාධිපතිවරණ අපේක්ෂකයෝ පස් දෙනෙක් සිටිති. ඉදිරියේදී මේ ලැයිස්තුවට තවත් අය එකතු වෙනු ඇත.
ජනාධිපතිවරණයක් කිට්ටු වෙනවිට අලුත් දේශපාලන සන්ධාන බිහිවීම සාමාන්‍ය දෙයකි. මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මුලින්ම පිහිටුවූයේ සර්ව ජන බලය සන්ධානයයි. එය දිලිත් ප්‍රමෝට් කරන සන්ධානයක් බව පෙනෙන්නට තිබෙන කතාවයි. එහෙත් ඇත්ත කතාව ප්‍රධාන අපේක්ෂකයෙකුගේ ඡන්ද කැඩීම වෙන්නට පිළිවන. දිලිත්ගේ අපේක්ෂාවත් මේ සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස කල එළි බැසීම විය හැකිය. එහෙත් පුදුමය නම්, දිලිත් හා ඔහුගේ මව්බිම ජනතා පක්ෂය සමග ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදය සමග අනන්‍ය වූ ජාතිකවාදී දේශපාලන ධාරාව ගෙඩි පිටින්ම හේත්තු වීමය.
2005 සිට 2019 ජනාධිපතිවරණය දක්වා මහින්දට ගෝඨාභයට සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද එකතු කළේ මේ ජාතිකවාදී දේශපාලන ධාරාවයි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය එහිදී කැපීපෙනෙන වැඩකොටසක් ඉටු කළේය. මේ ජාතිකවාදී ධාරාවෙන් තීරණාත්මක ලෙස වෙන් වූයේ පාඨලී චම්පිකගේ හෙළ උරුමය පමණි. ගුණදාස අමරසේකර වැනි වියතුන්ගේ දේශපාලන විඤ්ඤානය තවම තිබෙන්නේත් මේ ජාතිකවාදී චින්තනයේය.
කැරිස්මා නායකයෙකු නැති ජාතිකවාදී දේශපාලන චින්තනය
මේ ජාතිකවාදී කතාව කියාගෙන ආවේ තවත් වැදගත් කතාවකට මූලාරම්භය ගන්නටය. එනම්, මෙවර ජනාධිපතිවරණයේ සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද ලැබෙන්නේ කාටද යන්න ගැන අදහසක් ගැනීමටය. ඉස්සර නම් ඒ ඡන්ද මස් රාත්තල පිටින්ම දිනාගත හැකි කැරිස්මා නායකයෙක් හිටියේය. (කැරිස්මා නායකයෙකු යනු මනා සන්නිවේදන හැකියා සහිත තමන්ගේ පෞරුෂත්වය මත අන්‍යයන්ට බලපෑම් කළ හැකි කෙනෙකි) ඒ මහින්ද රාජපක්ෂයි. 2019 දී ගෝඨාභයට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මෙහි වැඩි වශයෙන් තිබුණේ ද සිංහල බෞද්ධ ජාතිකවාදයෙන් අවදි කළ ඡන්දයි. එහෙත් 2022 මහජන අරගලයත් සමග රාජපක්ෂ කඳවුරේ දේශපාලනය තීරණාත්මක ලෙස අවසන් වූයේය. නාමල් පෙරට තියන්නට හිතාගෙන සිටි අඩිය දැන් අඩි පහ හයක් ආපස්සට ගෙන තිබෙන්නේ ද ඒ නිසාය.
පසුගිය ජනාධිපතිවරණ කිහිපයක ප්‍රතිඵල විමසමින් ජාතිකවාදී කඳවුරේ සහය ලැබූ අපේක්ෂකයන් ලබා ඇති ජයග්‍රහණ විමසා බලමු. (වගුව 1)
මේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වෙන්නේ 2005 සහ 2015 ජනාධිපතිවරණවලදී හැරුණු විට ජාතිකවාදී බලවේගවල සහාය ලැබූ අපේක්ෂකයන් වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කර ඇති බවය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට ජාතිකවාදී බලවේගවල සහාය හිමි වුවද ඔහුට එම මැතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ වැඩි ඡන්ද 180,786 කිනි. එවක උතුරේ ඡන්ද වැටුණේ නම් රනිල් ජනාධිපති වීමට ඉඩ තිබුණි. 1999 න් පසු පැවති ජනාධිපතිවරණවලදී ජාතිකවාදී බලවේගවල සහාය ලත් අපේක්ෂකයා පරාජය වූයේ 2015 දී පමණි. එම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂට වඩා වැඩි ඡන්ද 449,072 ක් ලබා ගනිමිනි. රාජපක්ෂ පාලනය කෙරෙහි ජනතාව අතර ගොඩනැගී තිබූ කලකිරීම විසින් මෛත්‍රීව ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබීය.
එහෙත් 2010 හා 2019 ජනාධිපතිවරණවලදී ජාතිකවාදී බලවේගවල සහාය ලැබූ අපේක්ෂකයෝ වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් එම මැතිවරණ ජයග්‍රහණය කළහ. (ජාතිකවාදී බලවේග එකම තීරණාත්මක සාධකය නොවූව ද ඒවායෙහි සහාය හිමි වූ අපේක්ෂකයන්ට මැතිවරණවලදී වැඩි වාසිසහගත තත්ත්වයක් උදාවී තිබුණි) ඒ අනුව, 2010 ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද දහ අට ලක්ෂ හතළිස් දෙදහස් හත් සිය හතළිස් නවයක් (1,842,749) ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේය. යුද ජයග්‍රහණය, ඒ සා විශාල ජනවරමකින් මහින්ද රාජපක්ෂව ජනාධිපති කරවීමට බලපෑ ප්‍රධාන සාධකය විය. 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද ලක්ෂ 13 කට වැඩි ප්‍රමාණයක් (1,360,016) ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේය. ආරක්ෂාව සම්බන්ධව උද්ගතව තිබූ අනතුර එම ජයග්‍රහණයට හේතු වූවා යැයි සිතිය හැකිය.
2015 හැර පැවති සෑම ජනාධිපතිවරණයකදීම ජාතිකවාදී කඳවුරේ සහාය ලබපු අපේක්ෂකයන් ජයග්‍රහණය කළ ද මෙවර ජනාධිපතිවරණයේදී ජාතිකවාදී ඡන්ද කාට ලැබේද යන්න අවිනිශ්චිතය. අනෙක් අතට සිංහල බෞද්ධ ජාතිකත්වය සමග අනන්‍ය වූ ඡන්ද එකතු කළ හැකි මහින්ද වැනි කැරිස්මා නායකයෙකු පෙනෙන්නට ද නැත. වැදගත්ම කාරණය නම්, ඡන්දදායකයන් තවදුරටත් ජාතිකවාදී අනන්‍යතා මත පදනම්ව ඡන්දය භාවිත කිරීමට පෙලඹේද යන්නය.
රාජපක්ෂ කඳවුරේ බිඳවැටීමත් සමග සිදු වූ දෙයක් නම්, ජාතිකවාදී දේශපාලන ධාරාවත් එහි ඡන්ද පදනමත් විසිරී යෑමය. දසක එකහමාරකට වැඩි කාලයක් රාජපක්ෂ කඳවුර සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඓන්ද්‍රීයව සම්බන්ධව සිටි ජාතිකවාදී ධාරාවේ දේශපාලන පක්ෂ දැන් සිටින්නේ සර්ව ජන බලය සමගය. රාජපක්ෂලා සමග සිටි පැරණි වම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත්, වාසුදේවගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණත් මේ සන්ධානයේ හවුල්කරුවන් වී තිබේ. විසිරී තිබෙන මේ ඡන්ද සර්ව ජන බලයට එකතු කළ හැකි ද? ඒ ඡන්දවලින් දිලිත්ට හෝ ඒ සන්ධානයෙන් එන වෙනත් අපේක්ෂකයෙකුට ගොඩ යා හැකි ද?
ජාතිකවාදී දේශපාලනය ආර්ථික අර්බුදය විසින් ප්‍රශ්න කිරීම
දැන් හැම දේටම වඩා ආර්ථිකය වැදගත්ය. රටටත් ජනතාවටත් එසේමය. මීට පෙර පැවැති ජනාධිපතිවරණවලදී මෙවන් ආර්ථික අර්බුදයක් නොතිබුණි. එබැවින් ජාතික ආගමික අනන්‍යතා, යුද ජයග්‍රහණ, මේ ආදී දේවල් ඉස්සරහට දමා ඡන්ද ගරන්නට හැකි විය. එහෙත් දැන් දේශපාලනය හා මිනිසුන්ගේ දේශපාලන විඤ්ඤානය සෑහෙන දුරට වෙනස් වී තිබේ.
රටට ජාතියට ඇති අනතුරු පෙන්වා තවදුරටත් මිනිසුන් මුළා කළ නොහැකිය. ඇත්ත අනතුර ආර්ථික අහේනිය බව මිනිස්සු දැන් දනිති. එයින් රට ගොඩගන්නට හැකියාව ඇති අපේක්ෂකයෙකු ඡන්දදායකයෝ සොයති. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියන සෑම පක්ෂ නායකයෙකුම තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළ ගැන රැස්වීම්වල වැඩියෙන් කතා කරන්නේත් මේ නිසා විය හැකිය.
මේ අල්ලපනල්ලේ ජාතිකවාදීන් දේශපාලනය කරන්නේත්, ඊටත් වඩා පශ්චාත් අරගල සමයේ වර්ධනය වී ඇති මේ අලුත් දේශපාලන සන්දර්භයට මුහුණ දෙන්නේත් කෙසේද යන්න විමසා බැලීම වැදගත්ය. මන්ද, ඔවුන්ගේ දේශපාලන කතිකාවේ ආර්ථිකය ඉතා අඩුවෙන් අවධාරණය වෙන නිසාය. සෑම කාලයකම එහි කේන්ද්‍රීය තේමාව වූයේ රට, ජාතිය, ආරක්ෂාව වැනි අවධාරණයන්ය.
සර්ව ජන බලය හා විසිරුණු සිංහල බෞද්ධ ඡන්ද පදනම
සර්ව ජන බලය සන්ධානයට ගොඩවී සිටින විමල්ලා, උදයලා, ගෙවිඳුලා ආර්ථිකය ගැන කියන්නේ මොනවාද යන්න ඔවුන්ගේ සාම්ප්‍රදායික ජාතිකවාදී අඬහැරයෙන් එහාට ගොස් සවන් දිය යුතු වැදගත් තේමාවකි. ව්‍යවසායකයෙකු හැටියට දිලිත්ට ඒ සන්ධානය ඇතුළේ ආර්ථිකය ගැන කතා කළ හැකිය. එහෙත් දිලිත්ට ජනප්‍රියත්වය නැත. සාපේක්ෂ ජනප්‍රියත්වයක් තිබෙන්නේ විමල්, උදය ඇතුළු නඩයටය. එසේ වුවත් ඔවුන්ගේ ජාතිකවාදී දේශපාලනයේ වලංගුභාවය ආර්ථික සාධකය විසින් ප්‍රශ්න කරනු ලබමින් සිටියි.
සර්ව ජන බලයේ ප්‍රථම රැලිය ඉකුත් 18 වැනිදා සවස නුගේගොඩ දී පැවැත්විණි. ඒ වෙනුවෙන් කොළඹ පුරා අලවා තිබූ පෝස්ටර්වල දැක්වුණේ 69 ලක්ෂයේ ජනවරමට ඔවුන් ආමන්ත්‍රණය කරන බවය. සර්ව ජන බලය අමතන්නේ ඒ පැරණි 69 ලක්ෂයේ ජනවරමට නම්, ප්‍රශ්නය යළිත් පැමිණේ. එනම්, 69 ලක්ෂයේ ජනවරම සකස් වූයේ ජාතිය, ආරක්ෂාව ගැන අනතුරු මතු කරමින් ජාතිකවාදීන් හා ඊට අලුතින් එකතු වූ වියත් මග වැනි බුද්ධි කවවලින් ගෙනගිය දේශපාලන ව්‍යාපාරයෙනි. එහෙත් වැඩි කල් නොගොස් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල කොටස් මෙන්ම වියත් මගද කැඩී වෙන්විය. ගෝඨාභයටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් බලය ලබා දුන් ජනතාවට ඒ දෙකම එපා විය. දැන් විමල්ලා, උදයලාට ඒ 69 ලක්ෂයේ ජනවරමට ඇමතීමට සිදුව ඇත්තේ මහින්ද වැනි කැරිස්මා නායකයෙකු නොමැතිවය.
තත්ත්වය එසේ නම්, සර්ව ජන බලයේ දේශපාලන වැඩවලින් වාසි වෙන්නේ කාටද? විසිරුණු සිංහල බෞද්ධ ජාතිකවාදය සමග අනන්‍ය වූ ඡන්ද සජිත්ටද රනිල්ටද අනුරටද? මේ තිදෙනාම ජාතිකවාදී කඳවුර සමග පෑහී දේශපාලනය කළේ නැත. ඒ, ජාතිකවාදී කඳවුර ගෙඩි පිටින්ම අල්ලන් හිටියේ රාජපක්ෂ කඳවුර නිසාය. ඒත් රාජපක්ෂලා නැති මෙවර ජනාධිපතිවරණයේ මේ ඡන්ද ගොඩ සර්ව ජන බලයට වැටෙනු ඇතැයි අනුමාන කිරීමට තරම් සාධාරණ හේතුවක් දේශපාලන පොළොවේ දැකගන්නට නැත.