සමුපකාර සේවා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න
‘‘සීනිවලට මොකද වුණේ.’’ මේ ඒ ගැනත් උණුසුම් දේශපාලන තත්ත්වය පිළිබඳවත් සමුපකාර සේවා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - සීනි ගබඩා වැටලුවා. සීනිවලට පාලන මිලක් දැම්මා කිව්වා. දැන් සීනි ප්‍රශ්නය ඉවරද?
පිළිතුර - නව පියවර කීපයක් තියෙනවා. සීනි කිලෝව රුපියල් 230 ට 240 ට ගිය එක අද රතු සීනි 125 ටත් සුදු සීනි 122 ටත් සියයට 80 ක් පමණ වෙළඳපොළ තුළ තියෙනවා. තව දින කිහිපයකින් මේක සීයට සීයක්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සීනි ආනයනය කරනවද නැද්ද අපි කොහොමද බලපත්‍ර දෙන්නේ, ඒක ලිහිල් කරනවා කියලා එතැනදී තීරණය කරනවා. අනාගතයේදී නැවත මෙවැනි දෙයක් ඇති නොවීම පිණිස අවශ්‍ය පියවර ගන්නවා.
ප්‍රශ්නය -සීනි හංගාගෙන හිටපු මාෆියාකරුවන්ගෙන් 116 ගානේ ආණ්ඩුව සීනි මිලදී ගත්තා. ඒ වැඩෙන් ඔවුන්ට එක සීනි කිලෝවකින් රුපියල් 31 ක අමතර ලාභයක් ලැබෙනවා.
පිළිතුර - ඔය ගාන හදපු හැටි පළමුවෙන්ම කිව යුතුයි. අපේ රටේ මිල හදන ක්‍රම තියෙනවා. මිල ගණන් සියල්ල තීරණය කරන්නේ කමිටුවක් මගින්. ඒ කමිටුව යම් යම් නිර්ණායක අනුගමනය කරනවා. මේ දක්වා සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් ගෙන්වලා තියෙනවා. අද තියෙන්නේ සීනි මෙට්‍රික්ටොන් එක් ලක්ෂ හතළිස් පන්දාහක් විතර ප්‍රමාණයක්. එතකොට අද තියෙන මේ සීනි තොගය දිහා බලන්නේ අගෝස්තු මාසයේ ජූලි මාසයේ, ජූනි මාසයේ, මැයි මාසයේ හා අප්‍රේල් මාසයෙ මිල ගණන්වලට අනුවයි. එහෙම නැතිව ඔක්තෝබර් මාසයෙ ගෙන්වපු සීනි දැන් තියෙනවා කියලා උපකල්පනයක් න්‍යායාත්මකව කරන්නේ නෑ. ඒවගේම ජනවාරි මාසයෙන් පස්සේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. මාස හයකින් තමයි සල්ලි ගෙවන්නේ කියලා. එතකොට ණයවර ලිපි නිකුත් කරලා මෙරටට බඩු ගෙනල්ලා මෙයාලා විකුණලා ඩොලර් ගෙවන්නේ මාස හයකින්. උදාහරණයක් හැටියට පෙබරවාරිවල ලංකාවට ගෙන්වපු සීනිවලට තමයි මේ අය දැන් ඩොලර් ගෙවන්නෙ. එතකොට ආනයනකරුවෝ ඩොලර් ගෙවනකොට අපි ගණන් බැලුවෙ ඩොලරයක් රුපියල් 196 යි. අද ඒ අය ගෙව්වා 230 ක්. දැන් ඔය ප්‍රශ්නය වුණෙත් ඕකයි.
ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් නිවැරැදි ක්‍රමවේදයක් නැද්ද?
පිළිතුර - ආනයනකරුවන් සමග අපි දිගින් දිගටම කතා කළා. එතකොට කිව්වේ ඩොලර් එක 250 ට විතර යයි. ඒ නිසා අපට මේකට එකඟ වෙන්න බෑ කියලා ආණ්ඩුව ඒකට යෝජනාවක් දුන්නා. ඔයාලා ගෙනාව සීනි ටික අපට දෙන්න. 203 ගානේ අනිවාර්යයෙන්ම අපි ගන්නවා. එහෙම අරගෙන වැඩිවෙන ඩොලර් ගාන ආණ්ඩුව දරන්නම් කියලා.
ප්‍රශ්නය -ඒකට එකඟවුණෙත් නැහැනේ?
පිළිතුර - ඔව්. ඒකට එකඟ වුණෙත් නෑ. එතකොට විශේෂයෙන්ම සීනි වර්ග දෙකක් තියෙනවා. ................. 150 යි 145 යි වශයෙන්. එතකොට මේ දෙකේ ගාන අතරත් ඩොලර් 5 - 10 ක වෙනසක් තියෙනවා. දැන් පනහ පනහ තමයි මේ වර්ග දෙකේ තියෙන්නේ. මේ ඩොලර් පහේ දහයෙ වෙනසක් එකතු කරල සියයට ගණනින් බලලා ඉදිරියේදී ඩොලරයෙ අගය පිළිබඳව ගණනය කරලා තමයි මේ ගැන තීරණය කරලා තියෙන්නේ.
ප්‍රශ්නය -ඒ කියන්නේ රුපියල් 116 මිල.
පිළිතුර - ඔව්. ඒ වගේම ලංකාවේ සීනි හදන්න අද රුපියල් 142 ක් වියදම් වෙනවා. එතකොට අපේ ඉලක්කය මේ සීනි නිෂ්පාදනය වැඩි කිරීමයි. මේකට අපි රුපියල් 110 ක වගේ ගානක් දැම්මොත් අපිට මේ සීනි නිෂ්පාදනය කරන්න බැරිවෙනවා. මේ 116 මිල දැම්මොත් තොග සහ වෙළඳපොළේ මිල වශයෙන් එතකොට මේ ගත්ත සීනිවලට ගෙවන ගාන තාම තීරණය කරලා නෑ.
ප්‍රශ්නය - ඔබ වගකීමෙන්ද කියන්නේ?
පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. මේ තොග ගබඩාවලින් සීනි ටික අරගෙන ඒ අයට සල්ලි දීමක් තාමත් වෙලා නෑ. තොග ගබඩාවලින් සීනි ටික අරගෙන මිනිසුන්ට දීලා ඒ මුදල් වෙනම ගිණුමකට දානවා. අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ගෙන් අභියාචනා කරන්න ඕනෑ අපට මෙන්න මෙච්චරක් දෙන්න කියලා. එතකොට අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශය හා වෙළඳ අමාත්‍යාංශයත් එකට එකතුවෙලා කමිටුවක් දාලා මිල තීරණය කරනවා.
ප්‍රශ්නය -සීනි මිල හිතුමතේ වැඩිකළා. පවතින නීති ප්‍රමාණවත් නැද්ද මේවා පාලනය කරන්න?
පිළිතුර - නීති තියෙනවා. නමුත් ප්‍රමාණවත් නෑ. මේ වගේ දේවල් පාලනය කරන්න බෑ.
ප්‍රශ්නය - හදිසි නීතිය ගෙනාවේ ඕකටද?
පිළිතුර - ඒකත් වැරැදියි කියලා එක මතයක් තියෙනවා. හදිසි නීතිය මගින් මේවා රාජසන්තක කරනවා කියන එක. හදිසි නීතියටත් එහා ගිය බලය පාවිච්චිකිරීමක් කියලා කියනවා. දැන් මේ විවේචනය කරන අයගෙන් අපි අහනවා බලය උපරිමයෙන් පාවිච්චි කළාට කමක් නැද්ද කියලා. මේ ගැසට් එකෙන් බලය පවරලා තියෙන්නේ වෙළෙඳපොළ තුළ හිඟයක්, අසාධාරණ මිලක් හරහා පාරිභෝගිකයා පීඩාවට පත් වෙනවා නම් ඒ ඕනෑම අදාළ තොගයක් මිලදී ගෙන සාධාරණ මිලට විකුණන්න අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරන්නයි. මිල තීරණය කිරීමේදී පාලන මිල හෝ රේගුවෙන් ඉදිරිපත් කරන මිල සැලකිල්ලට ගෙන එය කළ යුතු බව ගැසට් එකේ තියෙනවා. ඒ නිසා එක සීනි කිලෝවකින් සීනි ආනයනකරුවන්ට රුපියල් 31 ක අයුතු ලාභයක් ලැබෙනවා කියලා කිව්වට ඒක වෙන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම නොදැනුවත්කම මත කරන චෝදනාවක්.
ප්‍රශ්නය - රුපියල් 80ට හෝ 80 ට අඩු මිලක් ආනයනකරුවන්ට නියම කළ හැකියි කියලත් කියනවා?
පිළිතුර - ඒ ගාන හදන හැටි පෙන්වන්න කියන්නකෝ. අපි අතින් වැරැද්දක් වෙලා තියෙනවා නම් අපි
පිළිගන්නම්. ඒක එහෙම නම් අපි නිවැරැදි කරන්නම්. ඔය කියන විදියට අසූවේ ගාන හදන්නේ කොහොමද? ලෝක වෙළඳපොළේ ගාන තියෙනවා. ඩොලරයේ ගාන තියෙනවා. ඒකෙන් කිලෝවකට එන ගාන හදන්න පුළුවන්. සී.අයි.එෆ්. වැලිව් එක ඔය කියන්නේ. ආනයනකරුවන් පිටකොටුවට ගන්නවා. පිටකොටුවෙන් ගෙනියනවා නිට්ටඹුවට. නිට්ටඹුවෙන් ගෙනියනවා රුක්ගහවිලට. එතකොට පාරිභෝගිකයාට අන්තිමට යනකොට ගාන කීයද ගණනය කිරීමේදී ඔය ඔක්කොම බලන්න වෙනවා. කඩවල අයටත් යම් අතුරු ගානක් තිබිය යුතුයි. ඉතින් ඒ නිසා මොනම ආකාරයකටවත් හිතුමතේ ගාන තීරණය කරන්න බෑ. ගාන තීරණය කළේ මම අර කියපු දේශීය තත්ත්වය, ඩොලරයෙ අගය සියල්ල සැලකිල්ලට අරගෙනයි. අද ලංකාවට සීනි ගෙනාවොත් අපිට විකුණන්න වෙන්නේ මේ ගානට. එතකොට අපි පාලන මිලක් දානවා අසූවයි කියලා. අපි අනාගතය ගැන පොඩ්ඩක් බලන්න ඕන. අතීතය ගැන බලන්න ඕන. ලෝක ප්‍රවණතාවයන් දිහා බලන්න ඕන. දේශීය නිෂ්පාදනය ගැන බලන්න ඕනෑ. මේ හැමදෙයක්ම බලලා තමා මේ තීන්දුව අරගෙන තියෙන්නේ. රටේ නීතියට අනුව ගත්ත තීන්දුවක්. ඒ නිසා මේකේ අවසාන ප්‍රතිඵලය අපි බලන්න ඕනෑ. 230 ට 240 ට ගිය සීනි අද 122 ට ගන්න පුළුවන්. ඒක තමයි ලබාගත්ත ලොකුම ජයග්‍රහණය.
ප්‍රශ්නය -තර්කය තියෙන්නේ මීටත් වඩා අඩුවට සීනි දෙන්න පුළුවන් කියන එකයි?
පිළිතුර - අපිත් බලනවා ඒ ගැන. හැබැයි අපිට නිකම් කියලා හරියන්නේ නෑ. ඕනෑම කෙනෙකුට එන්න මේ අමාත්‍යාංශය විවෘතයි. එන්න මම මගේ නිලධාරීන්ටත් එන්න කියන්නම්. අපි වාඩිවෙලා කතා කරමු. මගේ අමාත්‍යාංශයේ හා මගේ අධිකාරියේ නිලධාරීන් ඒ දැනුම ඇතිව ප්‍රායෝගිකව මේ මිල ගණන් තීරණය කළා කියන විශ්වාසය මට තියෙන නිසා තමයි මම මේ මිල තීරණය කළේ. එහෙම නැතිව කාටවත් වාසියක් අත්කරලා දෙන්න නොවෙයි.
ප්‍රශ්නය -මාලදිවයිනේ දූපතක් හදන්න නැගෙනහිර පළාතේ වැලි එරටට රැගෙන යන ජාවාරමක් තිබෙන බවත් ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවත් මන්ත්‍රී රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී කිව්වා.
පිළිතුර - මම දන්න තරමින් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දෙන්නයි. රාජ්‍ය ඇමතිවරු තුන්දෙනයි ඉන්නේ. අපි පස්දෙනා පිළිබඳවම ඉතා වගකීමෙන් කියනවා. නූල් පොටක තරමින්වත් සම්බන්ධයක් නෑ. මහින්ද අමරවීර ඇමැතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා. යම් හෝ සම්බන්ධයක් අපි කාගෙ හරි තියෙනවා නම් ඇමැති ධුරයෙන් විතරක් නොවෙයි මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වෙනවා කියලා. ඒ මන්ත්‍රීවරයා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක්, පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් හා නැගෙනහිර ආණ්ඩුකාරතුමිය මේ වැඩේට සම්බන්ධයි කියලයි. හැබැයි ඒ දෙන්නම හැලිලා ඉතිරිවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් කියන කෑල්ල විතරයි.
ප්‍රශ්නය -ඒකත් කුමන්ත්‍රණයක්?
පිළිතුර - ඔව්. සමහරවිට ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් අපි වගකීමක් ඇතිව රට ජනතාව බලාපොරොත්තු වන ආකාරයට ආදර්ශයක් ඇතිව පාර්ලිමේන්තුව තුළත් අමාත්‍යාංශ තුළත් කටයුතු කරනවා. ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්. ඔය කියන ජාවාරමට අපේ කිසිම සම්බන්ධයක් ඇත්තෙත් නෑ.
ප්‍රශ්නය -ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වෙලා වෙනම සන්ධානයක් හදන්න යටින් ගේමක් ගහනවා කියලත් වාර්තා වෙනවා.
පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා හා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගතව සම්බන්ධවෙලා ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් අපි වැඩ කළා. ඒ ගිවිසුමේ කොහේවත් කියලා නෑ අපේ පක්ෂයේ සංවිධානයවීම් නවත්වන්න හෝ නවත්වනවා කියලා. අපි ස්වාධීනව අපේ පක්ෂය සංවිධානය කිරීම් කොහොමත් කරගෙන යනවා. අපි මහ මැතිවරණයට ගියෙත් ස්වාධීනව. අපිව ඒ වේදිකාවට ගත්තේ නැහැනේ. එකම සන්ධානයක් හැටියට ඡන්දෙ ඉල්ලුවට ඒ වේදිකාවෙදී අපට හූ කිව්වනේ. ඒ නිසා අපි වෙනම තමයි මැතිවරණ ව්‍යාපාරය කළේ. දැනුත් අපි අපේ පක්ෂය සංවිධානය කිරීම් වෙනමම කරන්නේ. ජනාධිපතිතුමාට අගමැතිතුමාට ආණ්ඩුවට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි හැකි සෑම ආකාරයකින්ම රජය ශක්තිමත් කරනවා.
ප්‍රශ්නය -නමුත් ආණ්ඩුවෙන් එහෙමම පිළිගැනීමක් නෑ
පිළිතුර - ඒක පේන විදිය හරි බලන විදිය හරි වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් සන්ධානගතව කටයුතු කරපු පක්ෂයක්. අපේ සන්ධාන දෙකක් තියෙනවා. ජනාධිපතිවරු අගමැතිවරු ආණ්ඩු බිහිකරපු සන්ධාන දෙකක් තියෙනවා. පුටුව හා බුලත් කොළය. බුලත් කොළයේ ලේකම් මහින්ද අමරවීර මැතිතුමා. පුටුවේ ලේකම්වරයා මම. මේ දෙකේම සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා. අපි මේ සන්ධාන දෙකේම සාමාජිකයෝ වෙලා ඉන්න සෑම දේශපාලන පක්ෂයක් සමගම සම්බන්ධතාවය අඛණ්ඩව තිබුණා. අපි දැනටමත් ඒ පක්ෂ සමග හොඳින් සම්බන්ධතා පවත්වනවා. තවත් දේශපාලන පක්ෂවලටත් අපි ආරාධනා කරනවා. අපේ සන්ධානයට එන්න.
ප්‍රශ්නය - එහෙම එන්න කියන්නේ වෙනම ආණ්ඩුවක් හදන්න?
පිළිතුර - මෙහෙමයි. රටේ තියෙන තත්ත්වය බලන්න. අද මුළු ලෝකයම දැවැන්ත වසංගතයකට ගොදුරු වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් පවතින රජයට පමණක් වගකීම පවරන්න කිසිම පුරවැසියකුට බෑ. අද රටේ විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථික වශයෙන් රට අමාරු තත්ත්වයට මුහුණපාලා තියෙනවා. ඒ නිසා සියලුමදෙනා එකතුවෙලා රට ඉදිරිපිට තියෙන අභියෝග ජයගැනීම සඳහා කටයුතු කිරීමයි අපේ සමාජ වගකීම හැටියට අපි දකින්නේ. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා මිසක් ඔබ කියපු විදියට අපි යටින් ගේම් ගහන්නේ නෑ.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්