රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන ඇමැති අධිනීතිඥ
ලක්ෂ්මන් කිරිඇල්ල
රවි කියන එජාපයේ කුහකයන් අතර ඔබත් ඉන්නවාද?
රටේ මොකද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය- ඒකාබද්ධ විපක්ෂයේ භාරකාර ආණ්ඩුවට ඔබත් බයෙන් ඉන්න ඇත්තේ?
පිළිතුර- නෑ. ඇත්ත වශයෙන්ම එහෙම රාවයක් තිබුණා. නමුත් මට නම් කොයිම අවස්ථාවකදිවත් තිගැස්සීමක් තිබුණේ නෑ. හේතුව තමයි කවුරු ආණ්ඩුව හැදුවත් බහුතරය පෙන්වන්න ඕනෑනේ. භාරකාර හරි මොනා හරි ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්න ඕනෑ. ඉතින් මට සීයට සීයක් විශ්වාසයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන යහපාලන ආණ්ඩුවට තමයි බහුතරය පෙන්වන්න පුළුවන් කියලා.
ප්‍රශ්නය- ඔය කියපු භාරකාර ආණ්ඩුවට ජනාධිපතිවරයගෙත් මනාපයක් තිබුණ බව පෙනුණා?
පිළිතුර- එහෙම මනාපයක් තිබුණා හෝ තියෙනවා කියලා ඍජුව කියන්න බැහැ. එතුමා කිසිම අවස්ථාවක දී භාරකාර ආණ්ඩුවක් ගැන කිව්වේ නෑ. කැබිනට් එකේදිවත් මන්ත්‍රී කණ්ඩායමේදිවත් එහෙම දෙයක් කතා කළේ නෑ. මාධ්‍යවල විතරයි ඒවා ගියේ.
ප්‍රශ්නය- නමුත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ.
පිළිතුර- මං ඔයාට උදාහරණයක් කියන්නම්. ඊයෙ පෙරේදා ජනාධිපතිතුමයි හිටපු ජනාධිපතිතුමයි උත්සවයකට සහභාගි වුණා. ජනාධිපති තුමා හතරාමාරට විතර කලින් ගියා මොකද හෙලිකොප්ටරය නග්ගන්න බැහැ පහ පහුවුණා නම් වැහි වළාකුළු තියෙන නිසා. හැබැයි මම පසුවැනිදා වෙබ් එකක දැක්කා උත්සවය අවසානයේදී ජනාධිපතිතුමා නැගිටලා ගිහින් කාමරයකට ගියා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂත් නැගිටලා ඒ කාමරයටම ගියා. එහෙම ගිහින් සෑහෙන වෙලාවක් කතා කළා කියලා. ඔය විදියට තමයි කතා හදන්නේ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. මොකද මම ඒ උත්සවයේ මුල ඉඳලා අවසානය දක්වාම හිටියා. වර්තමාන ජනාධිපතිතුමා කලින් නැගිටලා ගියා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අවසානය දක්වා ඉඳලා අපිත් එක්ක තේත් බීලයි ගියේ.
ප්‍රශ්නය- කොහොම වුණත් ජනාධිපති මෛත්‍රී හා එක්සත් ජාතික පක්ෂය අතර ඒ තරම් ඇයි හොඳයියක් නෑ නේද?
පිළිතුර- විශේෂයෙන්ම මේක ඉතින් නොකියම බැරි දෙයක්. පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී සිද්ධ වෙච්ච යම් යම් ප්‍රකාශ නිසා එක්සත් ජාතික පක්ෂයෙ අයගේ හිත් රිදිලා තියෙනවා.
ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් ඉන්නෙත් නයාට ගහන්න පොල්ල අතට අරගෙන වගේ.
පිළිතුර- එක්තරා විදියකට සුහදතාවය සම්බන්ධතාවය බිඳ වැටිලා කියලා මම පිළිගන්නවා. ඒක පිළිගන්න වෙනවා. ඒක ඇත්ත.
රවි කියන අය ගැන මගෙන් අහල වැඩක් නෑ. ඒක එයාගෙන් අහන්න
ප්‍රශ්නය- ඔය අතරේ ජනාධිපති මෛත්‍රී හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ කතාවකුත් එළියට ආවා.
පිළිතුර- ඔව්, ඒ ගැන දැන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. පොලිසිය ඒ ගැන විධිමත් විදියට පරීක්ෂණ කරනවා.
ප්‍රශ්නය- මෛත්‍රීයි ගෝඨයි ඝාතනය කිරීමක් මෙන්ම අගමැති රනිල්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම ගැනත් සඳහන් හඬපට එළියට ආවා.
පිළිතුර- මෙහෙමයි. තාම ඒවා හරියටම හෙළිදරව් වෙලා නෑ. මම ඒකයි කිව්වේ ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා කියලා. අපිට ඕවා ගැන ඉක්මණින් ප්‍රකාශ නිකුත් කරන්න බැහැ. එහෙම ප්‍රකාශ නිකුත් කිරීමත් පරීක්ෂණවලට බාධාවක් වෙන්න පුළුවන්. පොලිසියේ රාජකාරියට අපි අත දාන්න අවශ්‍ය නෑ.
ප්‍රශ්නය- සිද්ධියේ සැකකරුවකු වන නියෝජ්‍ය පොලිස්පති නාලකගේ වැඩ තහනම් කළේත් පසුගිය බ්‍රහස්පතින්දා. මේ තරම් බරපතළ චෝදනාවක් තිබියදීත් ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ.
පිළිතුර- මම ඒකයි කිව්වේ පරීක්ෂණ කරගෙන යනවා කියලා. චෝදනාවක් ගොනු කරන්නවත් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවද දන්නේ නැහැ. හැබැයි මම දැක්කා ඉන්දියන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් කියලා.
ප්‍රශ්නය- ඉන්දීය තානාපති කාර්යාලයත් ඒ තරම්ම කලබලවීම ගැනත් දේශපාලන අංශ සැක පහළ කරලා තිබුණා.
පිළිතුර- ඒක රාජ්‍යයක වගකීමක්නේ. ඉන්දියානු පුරවැසියකු සම්බන්ධයෙන් යම් වගකීමක් ඔවුන්ටත් තියෙනවනේ. ඒකට තානාපති කාර්යාලය මැදිහත් වෙන්න ඕනැ. ඒක තමයි ස්වභාවය.
ප්‍රශ්නය- ඒ ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවෙක් කියලා මන්ත්‍රී විමල් වීරවංශ කිව්වා.
පිළිතුර- ඒක ඉතින් විමල් වීරවංශ මන්ත්‍රී තුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ.
ප්‍රශ්නය- රෝ ඔත්තුකරුවන් ගැන ජනාධිපති මෛත්‍රී කැබිනට් එකේදිත් කිව්වා.
පිළිතුර- මමත් දැක්කා පත්තරවල එහෙම දෙයක් තියෙනවා. ඒත් ඔය කියන කැබිනට් රැස්වීමේ මමත් හිටියා. ඒත් එහෙම දෙයක් කිව්වේ නැහැ.
ප්‍රශ්නය- ඔබත් හිටියා කියන ඔය කැබිනට් රැස්වීම ගැන පරස්පර අදහස් තියෙන නිවේදන දෙකක් ජනාධිපති මාධ්‍ය අංශයෙන් හා කැබිනට් ලේකම්වරයා මාධ්‍යයට නිකුත් කළා.
පිළිතුර- මේ ආණ්ඩුවට ඉතින් කොහොමත් සන්නිවේදන ගැටලුවක් තියෙනවනේ. ඕවා ඉතින් මහලොකු දේවල් නොවෙයි.
ප්‍රශ්නය- මේවායින් පේන්නේ ඇතුළේ ගින්දර තියෙනවා කියලයි.
පිළිතුර- මේක පක්ෂ දෙකක්නේ. යහපාලන ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලාම ඔය ප්‍රශ්නය තිබුණනේ. නමුත් දැන් අවුරුදු තුනක්ම ඔය ආවේ.
ප්‍රශ්නය- ලබන මාසේ අයවැය. මොකද වෙන්නේ?
පිළිතුර- මංගල ඇමැතිතුමා නම් පොරොන්දු වෙලා තියෙනවා. විශාල වශයෙන් සහන ලබාදෙනවා කියලා. තවම අයවැය යෝජනා කැබිනට් එකේ සාකච්ඡා කරලා නැහැ. කොහොම වුණත් ජනතාවට සහන ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
ප්‍රශ්නය- මාසෙන් මාසෙට ඉන්ධන මිල ඉහළ යන රටක සහන කියන්නේ සිහින.
පිළිතුර- සිහින නොවෙයි. සහන දෙන්න පුළුවන්. මිල සූත්‍රය කිව්වම මිනිස්සු වරදවා තේරුම් අරගෙන. මිල සූත්‍රය කියන්නේ මේ අමුතු දෙයක් නොවෙයි. සරල වශයෙන් කියනවා නම් ලෝක වෙළෙඳ ෙපාළේ මිල වැඩිවෙනකොට මේක වැඩි වෙනවා. අඩු වෙනකොට මිල අඩු වෙනවා. දැන් ඉන්දියාව ගත්තත් එහෙමයි.
ප්‍රශ්නය- අගමැති රනිල් කිව්වා දවසින් දවස ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රයක් ගේනවා කියලා?
පිළිතුර- මම ඒකයි කිව්වේ. ඉන්දියාවේ තියෙන්නේ එහෙම ක්‍රමයක්. පෙට්‍රල් ෂෙඩ් කම්පියුටරයිස් කරලා තියෙන්නේ. ඒවා ලින්ක් කරලා තියෙන්නෙ එක තැනකින්. මුළු ඉන්දියාවෙම ෂෙඩ්වලට මැසේජ් එක යවන්න පුළුවන්. අගමැතිතුමා කියපු ක්‍රමය තමයි හොඳම ක්‍රමය. නමුත් තවම අපිට ඒක කරන්න තාක්ෂණය නෑ.
ප්‍රශ්නය- ඉන්ධන මිල ඔහොම සංශෝධනය කළාම අනික් සියල්ලමත් අවුල් වෙනවා?
පිළිතුර- මේක ඉතින් ලංකාවේ විතරක් නොවෙයි හැම තැනම මේ අර්බුදය තියෙනවා. ආණ්ඩුවක සාර්ථක අසාර්ථක බව මනින්නේ ඔය ඉන්ධන මිලෙන් නොවෙයි. ඒ ඉන්ධන මිල වැඩිවීමෙන් පස්සේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සහනවල සාර්ථකත්වය මත තමයි ඒක මනින්න පුළුවන් වෙන්නේ. ලෝකයේ හැම තැනම ඉන්ධන මිල වැඩි වෙනවා. සමහර රටවල තෙල් මිල වැඩි වෙන විදියට ජනතාවට එල්ලවන පීඩනය අඩු කරන්න සහන දෙනවා. සමහර රටවලට බැරි වෙලා තියෙනවා.
ප්‍රශ්නය- එහෙම බැරි වෙච්ච එක රටක් අපේ රට?
පිළිතුර- නෑ. නෑ. අගමැතිතුමා නිතර කියන දෙයක් තමයි ඉන්ධන මිල වැඩු වුණා. අපි ඒකට සාපේක්ෂව ජනතාවට සහන දිය යුතුයි කියලා.
ප්‍රශ්නය- එහෙම මතයක හිටියට ලැබෙන සහනයක් නෑනේ?
පිළිතුර- ඒවා තාම සාකච්ඡා කරගෙන යනවා. බොහෝදුරට අයවැයේ දී ඒ සහන ලැබෙයි.
ප්‍රශ්නය- ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ පහළ යන විදියට ලංකාවේ තෙල් මිල ඉහළ පහළ දාන්න ආණ්ඩුවක් අවශ්‍ය නෑ,
පිළිතුර- නෑ. ඉතින් සාමාන්‍යයෙන් වෙළඳාම ගැන සරල දැනීමක් තියෙන කෙනෙක් වුණත් දන්නවා ගන්න මිලට වඩා අඩුවට දෙන්න බැහැ කියලා. ගන්න මිලට වඩා ශතයකින් හරි වැඩි කරලා දෙන්න ඕනැ. මේක වෙලාවට ගෙන්නන්න ඕනෑ. වෙලාවට බෙදා හරින්න ඕනෑ. ඒ සියලු කටයුතු සාර්ථකව කරන්න ඕනෑ.
ප්‍රශ්නය- පැට්‍රල් ලීටරයකට රුපියල් 80කට ආසන්න බද්දක් ගහලා. මේ බදු අඩු කරන්න බැරිද?
පිළිතුර- රටක් ඉස්සරහට යන්න බදු අවශ්‍යයි. බදු නැති රටක් නෑනේ. ඔය ඔබ කියපු බද්ද ගත්තොත් පසුගිය රජයට වඩා අඩුයි.
ප්‍රශ්නය- හැම ප්‍රශ්නයකටම උත්තරයක් වශයෙන් මේ ආණ්ඩුව කියන්නේ පසුගිය ආණ්ඩුවට වඩා අඩුයි කියලයි.
පිළිතුර- ඔව්, එහෙම තමයි. එහෙමනේ මේක සන්සන්දනය කරන්නේ. පසුගිය රජය සීමාවක් නැතිව යම් යම් පියවර ගත්තු නිසා තමයි මේ රජයේ ඉන්ධන මිල පවා වැඩි කරන්න වෙලා තියෙන්නේ. අද ඒ අයම තමයි ඉන්ධන මිල වැඩියි කියලා කියන්නේ. මේක අවස්ථාවාදී දේශපාලනයක්. හොඳම උදාහරණය සයිටම් ප්‍රශ්නය. සයිටම් ප්‍රශ්නය ආවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට. අපි ඒකට සාර්ථක උත්තරයක් දෙන්න හදනකොට වැඩියෙන්ම විරෝධතා ආවේ ඒකාබද්ධ විපක්ෂයෙන්. ඒත් අපි සැලුණේ නැහැ. අපි අපේ ස්ථාවරයේ හිටියා. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ඔප්පු වුණේ අපි නිවැරැදි කියලයි. ඉතින් මේ අවස්ථාවාදී දේශපාලනඥයන් තේරුම් ගන්න ඕනෑ රට ගැන හිතලා දේශපාලනය කරන්න.
ප්‍රශ්නය- මන්ත්‍රී රවි කරුණානායකට ඇමැතිකමක් ලැබෙන්න යනවා කියලා ආරංචියක් යනවා.
පිළිතුර- ඒවත් පත්තරවල ගිය කතානේ. මට නම් ඒ ගැන මුකුත් කියන්න බැහැ.
ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රී කැමැතියි අැමැතිකම දෙන්න. ඒත් එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබල ඇමැතිවරයෙක් ඒකට විරුද්ධයි කියලයි වාර්තා වෙන්නේ?
පිළිතුර- නෑ, නෑ, එහෙම දෙයක් නෑ. ඇමැතිකම් සම්බන්ධයෙන් අවසාන වශයෙන් තීරණයක් ගන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා රවී කරුණානායක මන්ත්‍රීතුමාට චෝදනා ගොනු කරන්නේ නැත්නම් ඇමැතිකම ගැන සලකා බලන්න ඕනෑ.
ප්‍රශ්නය- බැඳුම්කර චෝදනාව මන්ත්‍රී රවි ප්‍රතික්ෂේප කරනවා?
පිළිතුර- නමුත් ඒක අවසාන වශයෙන් තීරණය කරන්නේ නීතිපතිතුමානේ. අපි නොවෙයිනේ.
ප්‍රශ්නය- මහ බැංකුවවත් රාජ්‍ය බැංකු ටිකවත් මගේ යටතේ නොවෙයි තිබුණේ කියලා. මන්ත්‍රී රවී බොහොම පැහැදිළිවම කියනවා?
පිළිතුර- නමුත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්න ඕනෑ නීතිපතිතුමා. අපට ඒ ගැන තීරණයක් ගන්න බැහැනේ.
ප්‍රශ්නය- මන්ත්‍රී රවීට යම් අසාධාරණයක් වුණා කියලා ඔබ හිතනවද?
පිළිතුර- ඒක තමයි මම කිව්වේ. එතුමාට විරුද්ධව චෝදනා ගොනු කරන්නේ නැත්නම් එතුමාගේ ඇමැතිකම ගැන සලකා බලන්න ඕනෑ.
ප්‍රශ්නය- අය වැයේ දී යූඑන්පියේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග අය වැයට එරෙහිව ඡන්දය දෙන්න මන්ත්‍රී රවී සූදානමින් ඉන්නවා කියලත් කසුකුසුවක් තියෙනවා?
පිළිතුර- නෑ, එහෙම දෙයක් කරයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. මොකද එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ කවුරු හරි එක්සත් ජාතික පෙරමුණට විරුද්ධව තීරණයක් ගන්නවා නම් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී එයා පරාජය වෙනවා. ඒක තමයි ඇත්ත. එහෙම කළොත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොයි පැත්තෙන්වත් ගොඩ ඒමක් නෑ. ඒ නිසා මම හිතන්නේ නෑ රවි කරුණානායක හිටපු ඇමැතිතුමා තමන්ගේ දේශපාලන අනාගතය විනාශ කර ගනී කියලා.
ප්‍රශ්නය- අයවැය පරාජය කරන්න ඒකාබද්ධ විපක්ෂයත් යම් උත්සාහයක් ගනීවි.
පිළිතුර- උත්සාහ කරයි. ඒත් මට නම් විශ්වාසයි යහපාලන ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණට බහුතරය පෙන්වන්න පුළුවන් කියලා මම තදින් විශ්වාස කරනවා.
ප්‍රශ්නය- මන්ත්‍රී රවි වැනි කලකිරිලා ඉන්න අයගෙන් සහාය ගන්න ඒකාබද්ධය වැඩ පිළිවෙළක් හදයි?
පිළිතුර- නෑ, මම නම් හිතන්නේ නෑ රවි කරුණානායකවත් එතුමා එක්ක ඉන්න කණ්ඩායමවත් විරුද්ධවෙයි කියලා. ඒක මම තදින්ම විශ්වාස කරනවා. එතුමා පක්ෂයට හැමදාම හිතවත්. ඉතින් මම නම් හිතන්නේ නෑ එතුමාවත් එතුමා එක්ක ඉන්න කණ්ඩායමක්වත් විරුද්ධව ඡන්දය දෙයි කියලා.
ප්‍රශ්නය- මන්ත්‍රි රවීටත් වෙනම කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබ දන්නවා?
පිළිතුර- එහෙම නෑ. මම මේ ඔබතුමා කියපු නිසායි එහෙම කිව්වේ.
පළාත් පාලන ඡන්ද සමයේ යම් යම් කතා නිසා එජාපයේ අයගේ සිත් බිඳිලා තියෙන්නේ
ප්‍රශ්නය- එක්සත් ජාතික පක්ෂය විනාශ කරන කුහක ඇමැතිවරු දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා මන්ත්‍රී රවි ‘ඉරිදා ලංකාදීප’යට පැහැදිලිවම කිව්වා?
පිළිතුර- ඔව් මමත් පත්තරෙන් දැක්කා.
ප්‍රශ්නය- ඔබට මොකද හිතෙන්නේ?
පිළිතුර- ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැනේ. ඒක එතුමාගෙන් අහන්න ඕනෑ.
ප්‍රශ්නය- ඒ කා ගැන ද කියන්නේ කියලා ඔබට යම් හැඟීමක් තියෙනවද?
පිළිතුර- අනේ නෑ. ඒ ගැන මට කිසිම හැඟීමක් නෑ. ඕක හරි නම් එතුමා නම් ගම් කියන්න ඕනෑනේ.
ප්‍රශ්නය- ඒ කුහක දෙතුන් දෙනා අතරේ ඔබත් ඉන්නවද දන්නේ නෑ.
පිළිතුර- අපොයි නෑ. මං ගැන එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් දන්නවා. රවී කරුණානායක මැතිතුමාත් ඒක හොඳින්ම දන්නවා.
ප්‍රශ්නය- ඔබට හැඟෙන නම් ගම් නැද්ද? මොකද මේ කියන්නේ එජාපයේ ඉන්න ප්‍රබලයන් දෙතුන් දෙනකු ගැන?
පිළිතුර- නැහැනේ. ඒක ඔයා මගෙන් අහලම වැඩක් නෑ. ඒක කියපු කෙනාගෙන් එපැයි අහන්න.
ප්‍රශ්නය- ඔබේ අමාත්‍යංශයටත් සම්බන්ධ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩපිළිෙවලත් නිකම් පුස්සක් බවයි පේන්නේ?
පිළිතුර- නෑ. මුදල් අමාත්‍යංශයයි මගේ අමාත්‍යංශයයි සම්බන්ධවෙලා කරන ව්‍යාපෘතියක් තමයි ඒක. ඇත්ත වශයෙන්ම ඒක පටන් අරගෙන මාස කිහිපයයි. අවුරුද්දක් විතර යනකොට මීට වඩා ප්‍රතිඵල පෙනේවි. දැනටම මම දන්නවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ‘ලෝන්’ දැනටම බැංකු හරහා පහළොස් දාහක් දීලා තියෙනවා. ඉතින් ඒක ඊට වඩා වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ. අපේ අරමුණ තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලෝන් ලක්ෂයක් දීලා ව්‍යවසායකයන් ලක්ෂයක් රට තුළ ඇති කිරීම.
ප්‍රශ්නය- නමුත් ඔය ලෝන් එක එහෙම පහසුවෙන් ගන්න බැහැ කියලත් චෝදනාවක් තියෙනවා?
පිළිතුර- මෙහෙමයි ඉතින් බැංකු ක්ෂේත්‍රයේ හැම කෙනාම එහෙම නෑ. සියයට 1ක් විතර ඉන්නවා කඩාකප්පල්කාරින්. මට පෞද්ගලිකවත් පැමිණිලි ලැබිලා තියෙනවා. මම ඒ අයට දුරකථනයෙන් කතා කරලා එහෙම කරන්න එපා කියලා අවවාද කළා. හැබැයි බොහෝ බැංකුවලින් ඒ අවශ්‍ය සහයෝගය ලැබෙනවා.
ප්‍රශ්නය- මේ වැඩපිළිවෙළ අසාර්ථකයි කියලා කියන්නෙ එක්සත් ජාතික පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරුන්
පිළිතුර- මෙහෙමයි. අසාර්ථකයි කියලා කියන්නේ මම රජයේ ප්‍රධාන බැංකු භාර ඇමැතිවරයා හැටියට අපේ සියලුම ආසන සංවිධායකවරුන්ට ලියුම් ලිව්වා මේක තමන්ගේ අතට ගන්න කියලා. එහෙම අතට අරගෙන බැංකු කළමනාකරුවන් හමුවෙලා. ඔවුන් සමඟ සංවාදයක් ආරම්භ කරලා ණය ඉල්ලන අය ගැන අවධානයෙන් ඉඳලා සම්බන්ධීකරණයක් ඇතිව වැඩේ කරගෙන යන්න කියලා. ඉතින් සමහර අය හොඳට කරනවා. එක සංවිධායකවරයෙක් මට කිව්වා එයාගේ ආසනයේ 74 දෙනෙක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ගත්තා කියලා. එයා හරියට වැඩේ කරලා තියෙනවා.
ප්‍රශ්නය- ඒ කියන්නේ දේශපාලන හිතවත්කම් මත ද මේක දෙන්නෙත්?
පිළිතුර- නෑ නෑ. එහෙම නෑ. කිසිම දේශපාලන සම්බන්ධයක් නෑ. මම මහනුවර දෙනකොට මම දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ හුඟ දෙනෙක් ණය ගත්තා. පොහොට්ටුවේ අය තමයි වැඩියෙන්ම ණය ගත්තේ. ඒක ව්‍යාපෘතියක් මත රඳා පවතින දෙයක් මිස කිසිම දේශපාලන සම්බන්ධයක් නෑ.
ප්‍රශ්නය- කවුරුත් බලාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපතිවරණය දිහා මොකක් වෙයිද?
පිළිතුර- දැනට නම් පක්ෂය තීරණය කරලා තියෙන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තමයි අපේ පක්ෂයෙ නායකය කියලා. ඒක තමයි පක්ෂයේ මතය. ළං වෙනකොට වෙනස් වෙයිද දන්නේ නෑ.
ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රී කිව්වා 19 වැනි සංශෝධනය හරහා බලවත් වෙන්නේ ජනාධිපති නොවෙයි අගමැතිවරයා කියලා.
පිළිතුර- ඔව්, ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ පත්වෙන ජනාධිපතිවරයාට වඩා අගමැතිවරයට බලතල වැඩියි.
ප්‍රශ්නය- ජනාධිපතිවරයා පඹයෙක් වෙනවා.
පිළිතුර- පඹයෙක් බවට පත්වෙන්නෙත් නෑ. නමුත් අගමැතිවරයට බලතල වැඩියි.
ප්‍රශ්නය- ඇයි එහෙම නම් එහෙම බලතල අඩු තැනකට අගමැති රනිල්ව දාන්න හදන්නේ?
පිළිතුර- පක්ෂයේ හුඟ දෙනකුට තවම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හරි අවබෝධයක් නෑ. පක්ෂයේ පමණක් නොවෙයි රටේ හුඟ දෙනකුට ඒ අවබෝධය නැහැ. 19න් ජනාධිපති බලතල බරපතළ විදියට කප්පාදු කරලා තියෙනවා. මේ ගැන අපට ජනාධිපතිවරණය ළං වෙනකොට තදින් අධ්‍යයනය කරන්න වෙයි. තාම ඒ ගැන තීරණයක් ගන්න හදිසි වැඩියි.
ප්‍රශ්නය- දේශප්‍රේමී අගමැතිවරයෙක් ගැන හිතන්න ඕනෑ කියලා ජනාධිපති මෛත්‍රී කිව්වා.
පිළිතුර- ඒකේ අදහස එතුමාගෙන්ම අහන්න ඕන. මට නම් ඒක ගැන විශේෂ අදහසක් නෑ.
ප්‍රශ්නය- සියම් මහා නිකායෙන් ඔබට නම්බු නාමයකුත් ප්‍රදානය කළා.
පිළිතුර- ඔව් ඇත්ත වශයෙන්ම මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවෙයි. මහ මාර්ග ඇමැතිවරයා වශයෙන් ඉන්නකොට මට පුළුවන් වුණා විශේෂයෙන්ම උඩරට පළාත්වල දුප්පත් පන්සල්වලට යන පාරවල් ටික හදලා දෙන්න. දුප්පත් දායක සභා තියෙන්නේ. ඉතින් මම ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා ඒ කටයුතු ටික කළා. මගේ ඒ ව්‍යායාමය අගය කරන්න තමයි මට අස්ගිරි පාර්ශ්වයෙන් මේ ගෞරව නාමය ප්‍රදානය කළේ.
ප්‍රශ්නය- මහින්ද රාජපක්ෂත් ආවේ ඔය පාරෙන්මයි. ඔබ යන්න හදන්නෙත් ඒ පාෙරන්මයි?
පිළිතුර- නෑ. එහෙම බලාපොරොත්තුවක් මගේ නෑ. මම හැමදාම කියන දෙයක් තමයි මම ජීවත් වෙන්නේ වර්තමානයෙ කියලා. මගේ යුතුකම හා වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම ගැන පමණයි මම හිතන්නේ. මම ජීවත් වෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරන විදියටම වර්තමානයේ මිසක් අතීතයේ හෝ අනාගතයේ නොවෙයි.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්