සොබාදහමේ දායාද මිනිසුන් හරියට හසුරුවන්නේ නෑ


(අංජුල මහික වීරරත්ත)

මහජනයාගේ සහ දේශපාලන පක්‍ෂවල සහයෝගය තිබේනම් වසර පහක් ඇතුළත ගංවතුර ප්‍රශ්නයට විසදුම් දිය හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (4) පැවැසීය.

හන්දි ගානේ බෝඞ් අල්ලාගෙන පිකටින් කිරීමෙන් ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවද ඇමැතිවරයා පැවැසීය.
ගංගා ආශ්‍රිතව නිසි පරිදි වේලි ඉදිකරමින් ජලය කළමනාකරණය කිරීම ප්‍රශ්නයට එකම විසඳුම බවද ඔහු සඳහන් කළේය.

පිටකෝට්ටේ, සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා:

ගංවතුර ව්‍යසනයේ දී මාධ්‍යයන් අපට විශාල සහයෝගයක් දුන්නා. අප ඇතැම් රාජ්‍ය නිලධාරින් නිදි නොලබා ව්‍යසනයට මුහුණදීම සඳහා කටයුතු කළා. තීන්දුවක් ගන්න විනාඩි ගණනාවක්වත් අප පමා කළේ නැහැ.

ආපදා ඇතිවූ බොහෝ ප්‍රදේශවලට බෝට්ටුවක්වත් ගෙන යාමට හැකිවුණේ නැහැ. අවසානයේ හෙලිකෝප්ටර් මගින් ඩිංගි බෝට්ටු ගෙන යෑමට අප කටයුතු කළා. ජීවිත ආරක්‍ෂා කරගැනීම අපගේ මූලික කාර්යය වුණා.

ඉවත්වන්නැයි කොතෙක් කීවත් ඇතැම් ජනතාව ඊට ඇහුම්කන් දුන්නේ නැහැ. ඇතැම් අය වහලය දක්වා වතුර නගින තුරු ඉන්නවා. ජීවිතාරක්‍ෂක කබා ඒ ප්‍රදේශවලට ගුවනින් දැමීමට කටයුතු කළේ ඒ අනුවයි.

බොහෝ රාජ්‍ය ආයතනවල පවා සියලු දේ ගහගෙන ගිහින්. නිවාසවල වංගෙඩිය, මෝල්ගෙහ හැර සියල්ල ගහගෙන ගිහින්. මීට පෙර ගංවතුර සිද්ධිවලදීත් මේ දේම වුණා.

ආපදා සහන දීම අප වැඩිකර තිබෙනවා. නිවාස ඉදිකිරීම් විනාශ වූ ව්‍යාපාර සඳහා අතදීම ආදී කටයුතු අද අප හමුවේ තිබෙනවා.

2003 වසරේ පැමිණි මහ ගංවතුර ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොටසකටත් බලපෑම් ඇතිකළා. එමෙන්ම රත්නපුර සහ කළුතර සහ දිස්ත්‍රික්කවලටත් ඒ ගංවතුර බලපෑම් එල්ල කළා.

මීට හේතුව  කුමක්ද? ගිං, නිල්වලා සහ කළු ගඟේ ජලය හරිහැටි පාලනය නොකිරීමයි. ගංගා තුනක ජලය හරිහැටි පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මුළු ජල කඳම කිසිම ප්‍රයෝජනයකින් තොරව මුහුදට ගලාගෙන යනවා. අනෙක් අතට මේ ජල කඳ නිසා ජනතාව ජීවිත කාලයම වෙහෙසී උපයාගත් දේ විනාශ වුණා.

මේ වෙනුවෙන් මුළු ජාතියම කම්පාවට පත්විය යුතුයි. ඒ  කරුණු දෙකක් පදනම් කරගෙනයි. පළමුවැන්න ගංවතුරින් සිදුවන අපරාධයයි. දෙවැන්න මේ ප්‍රශ්න සඳහා පැහැදිලි විසඳුම් දී තිබියදී ඒ විසදුම් රටේ ජනතාව අතරට ගෙනයාමට නොහැකි වීමයි.

1960 දශකයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි වාරිමාර්ග පිළිබඳ කටයුතු කරන ආයතනයක් මෙරට කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා විදුලිබල අමාත්‍යාංශය වෙනුවෙන් ගංවතුර සහ නායයෑම් වැළැක්වීම සඳහා අධ්‍යයන වාර්තාවක් සකස් කර තිබෙනවා.

 ගිං, නිල්වලා සහ කළු යන ගංගා තුනේ ජලය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් නායයෑම්, ජල ගැලීම් ඇතිවිය හැකිය බව 1960 වසරේදී එම වාර්තාව කරුණු දක්වා තිබෙනවා.

උදාහරණයක් ලෙස ගිං ගඟ ගතහොත් එය ලංකාගමින් ආරම්භ වෙනවා. ගාල්ල ගිං තොටින් එය මුහුදට වැටෙනවා. මේ ජල කඳ හරිහැටි පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා විශාල විනාශයකට මුහුණදීමට සිදුවුණා.

2001 වසරේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයද සහභාගි කරගෙන ගිං ගඟේ ජලයෙන් ප්‍රයෝජන ගත යුතු ආකාරයද පිළිබඳව සැලැස්මක් සකස් කළා. ඒ ව්‍යාපෘතිය සඳහා මා ලංකාගම සිට වාරුකන්දෙනිය ප්‍රදේශයට චීන කණ්ඩායමක් සමග සංචාරය කළා. එහිදී ඉඩම් අත්පත් කර ගන්නා බව කියමින් ඇතැම් දේශපාලකයන් ඇතුළු ප්‍රදේශවාසීන් විරෝධය පළකළා.

එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් මේ මහා විපත වන්නේ නැහැ. අනාගතයේදී අප නිසියාකාරව ගංගා ජලය හසුරුවා ගත්තේ නැතිනම් ජනතාවට ප්‍රදේශ අතහැර යන්න වේවි. සොබා දහමෙන් දී තිබෙන දායාදය මිනිසුන් හැටියට හරියට හසුරුවා ගන්නට නොහැකි වීම වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට මුලයි.

මේ මහා ගංවතුර අපට නවත්වාගන්නට හැකියාව තිබෙනවා. 1968 වසරේ ප්‍රකාශයට පත් කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊ.සී.එල්. ආයතනයේ වර්තාවෙන් පැහැදිලි විසඳුම් ලබාදී තිබෙනවා.

නිල්වලා ගඟ, කළු ගඟ සහ ගිං ගඟේ ද්‍රෝණිවල ගංවතුර ආරක්‍ෂණ ක්‍රමය ඉදිකිරීම මෙන්ම විදුලිය නිපදවීම පිළිබඳවත් එම වාර්තාවේ කරුණු දක්වා තිබෙනවා.

මේ ව්‍යාපෘති ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර කළ  හැකිනම් අනාගතයේදී මෙවැනි ගංවතුරකට මුහුණ නොදී ඉන්නට අපට හැකියාව ලැබෙනවා.

ගිං ගඟේ අස්මිත් වේල්ල ඉදිකළ යුතු බව ඉහත   ශක්‍යතා අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
 කළු ගඟේ වගුර වේල්ල, කුකුලේවේල්ල සහ රත්නපුර වේල්ල යනුවෙන් වේලි තුනක් යෝජනා කර තිබෙනවා.
නිල්වලා ගඟේ බිංගමාර වේල්ල සහ හුලන්දාව වේල්ල ඉදිකළ යුතු බවට කරුණු දක්වා තිබෙනවා. වසර 60ක් ගත වුණත් ජාතියක් ලෙස ඒ යෝජනා ක්‍රියාත්මක කරන්නට නොහැකි වී තිබෙනවා.

මෙම ව්‍යාපෘති කළානම් දකුණට අවශ්‍ය විදුලිය දකුණේම නිපදවා ගන්නට හැකියාව තිබෙනවා. නමුත් ජාතියක් ලෙස අපේ අවාසනාවට කෑ ගහගත්තා පමණයි. වැඩක් පටන් ගන්න යනකොට බෝඞ් ලෑලි අල්ලාගෙන කෑ ගහනවා මිස කිසිවෙකුත් සහයෝගය දෙන්නේ නැහැ.

බෝඞ් ලෑලි එසවිය යුත්තේ කඩිනමින් මේ ව්‍යාපෘති අවසන් කරන ලෙසයි.

කොත්මලේ වේල්ල ඉදිකරන්නට පෙර පේරාදෙණිය, ගැටඹේ ප්‍රදේශ යට වුණා. ජලාශය ඉදිකළ පසුව ඒ තත්ත්වය නැති වුණා.

දකුණේ මෙන්ම සබරගමුවේ ජනතාව මේ ප්‍රශ්නයෙන් බේරාන්න නම් ඒ සඳහා අනිවාර්ය විකල්පයක් තිබෙනවා. මේ ගංවතුර උවදුර නතර කර ගැනීමට ජනතා සහයෝගය අවශ්‍යයි.

සුනාමි උවදුර ඇතිවූ විට මුහුදු වෙරළේ සිට ටේප් එක අල්ලා මීටර් 100ක් රට ඇතුළට එන්න කිව්වා. නමුත් ජපානය කළේ කුමක්ද මීටර් 100ක් මුහුද දෙසට ටේප් එක අල්ල අලුත් නගර ඇති කළා. මුහුද ගොඩ කළා. මිනිසුන් පදිංචි කළා. අද ලෝකේ ගංගා මැද්දේ හෝටල ඉදිකර තිබෙනවා. මුහුද මැද හෝටල් ගහලා තියනවා. නමුත් ලංකාවේ එය කළ හැකිදැයි වෙනම අධ්‍යයනය කළ යුතු කාරණයක්.

 මේ ගැටලුව අප ජාතියක් ලෙස හරියට තේරුම් ගත යුතුයි. දක්‍ෂිණ අධිවේගී මාර්ගය නිසා ගංවතුර ඇතිවුණා යැයි සමහර අය කියනවා. ඒ ප්‍රකාශ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධිවේගී මාර්ගය ඉදිකළේ එක්සත් ජාතික පක්‍ෂය බව පවසා තිබුණා. මෙහෙම වෙලාවක හරි බයවෙලා හරි ඒ කතාව කීම ලොකු දෙයක්. අධිවේගි මාර්ගය සඳහා මුල්ගල තැබුවේ අපයි. අප එහි වගකීම් බාරගන්න සූදානම්.

 ගංගා තුන පදනම් කර ගනිමින් ජලාශ ඉදිකළ පසුව මේ ගංවතුර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙනවා.
 ජලය හරියාකාරව කළමනාකරණය කිරීම රජය විසින් කළ යුතු කාර්යයක්. එය හරියට නොකළහොත් එයින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වෙනවා. මේ  මහා ජලකඳ අප සම්පතක් කරගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා: ගංවතුර සහ නායයෑම්  වි්‍යසනයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් කැඳවා අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. නමුත් වෛද්‍ය උපදෙස් අනුව එතුමාට වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට සිදුවුණා. නැවත සැලසුම් කළ දිනයටත් පෙර එතුමා ලංකාවට පැමිණීමට නියමිතයි.

 මේ විපතේදී අපට විශාල වශයෙන් විදේශ ආධාර ලැබුණා. ඒ ආධාර නිසි පරිදි අවතැන්වූවන් සඳහා ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. නමුත් අතීතයේ එලෙස ලැබුණු විදේශ ආධාර පෞද්ගලික ගිණුම්වලට  බැරකරගත් නායකයන් ගැන අපට අමතක නැහැ. සුනාමියත් තම වාසියට හරවාගත් අය හිටියා. නමුත් වත්මන් රජයේ එවැනි අය නැහැ.

 ගංවතුර උවදුරේදී අපි කවුරුත් එක්ව වැඩ කළා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂය මේ විපතේදී කළේ කුමක්ද?
මහින්ද රාජපක්‍ෂ මහතා ජපානයට ගියා. ඔහු ගියේ පට්ටපල් බොරුවක් ගොතමින්. ජපන් අධිරාජ්‍යයාගේ ආරාධනයකට ඔහු ජපනායට යන බව පවසා තිබුණා. තානාපති ආරංචිමාර්ග අනුව ඒ කතාව පට්ටපල් බොරුවක් බව තහවුරු වී තිබෙනවා. ඔහු ගියේ ජපන් අධිරාජ්‍යයාගේ ආරාධනයකට නොව ආගමික සංවිධානයක ආරාධනායකට බව තහවුරු වී තිබෙනවා. ඔහු බලයේ සිටියදීත්, බලය නැති වූ විටත් පවුල් පිටින් රට ගියේ ජනතාව වෙනුවෙන් නොවේ.

මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඊට ලැබුණු පිළිතුරු මෙසේය.


ප්‍රශ්නය: දකුණ යටවුණේ අධිවේගි මාර්ගය නිසා බව පාඨලී චම්පික රණවක මහතා පැවසුවා.
පිළිතුර: එතුමා කී දේ ගැන මා දැනගෙන හිටියේ නැහැ.


ප්‍රශ්නය: එක කැබිනට් මණ්ඩලයේ අය විවිධ මත පල කරන්නේ, එක ප්‍රතිපත්තියක් නැද්ද?
පිළිතුර: විවිධ මත තිබෙනවා. අවසානයේ එක දෙයක් ක්‍රියාත්මක කරනවා. මේවාට කලබල විය යුතු නැහැ. අප ලෝකය සමග ඉදිරියට යා යුතුයි.