හිටපු ජනපතිවරුන්ගේ ඉරණම විසඳුණ හැටි


ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කරන ලද්දේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව තුළිනි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව අහෝසි කරමින් ගෙනා 1978 පෙබරවාරි හතරවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නීතිගත කෙරුණු විධිවිධාන අනුව එවකට අගමැතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එම බලසම්පන්න තනතුරට පත් විය. 
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය අනුගමනය කළ පාලන රටාවකට හුරු පුරුදුව සිටි ශ්‍රී ලංකාවේ ජනතාවගේ දෛනික ජීවිතය උඩු යටි කළ මෙම පාලන ක්‍රමය නිසා ස්ථාවර රාජ්‍යයක් බිහිවන බව එහි නිර්මාතෘවරු විනිශ්චය කළහ. ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේද ආණ්ඩුකම ව්‍යවස්ථාවන්හි සම්මිශ්‍රණයක් ලෙස දැක්වූ පාලන ක්‍රමයක් ලෙස හඳුන්වා දෙන ලද අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය එක්තරා අතකින් ඒකාධිපති ස්වරූපයක් පෙන්නුම් කරන බව එකල බොහෝ විද්වත්හු ප්‍රකාශ කළහ. 
 
රාජ්‍යයේ පාලකයාත් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයාත් ආණ්ඩුවේ නායකයාත් යන ත්‍රිවිධ ධුරයන්හි බලතල විග්‍රහ කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාම සඳහන් කළේ තම රජයට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියක් කිරීමත් පමණක් බවයි. අසීමිත බලය මිනිසා උමතු කරවයි. යනුවෙන් රස්කින් නමැති දේශපාලන විචාරකයා පැවසූ අදහස් අපේ අවධානයට යොමු වන්නේ මේ පසුබිම තුළදීය. 
 
අසීමිත බලය නිසා ජේ. ආර්. නොයෙක් විට හිතුවක්කාර තීරණ ගත් බවද නොරහසකි. 1980 වැඩ වර්ජනයේදී අසූදහසක් දෙනා රැකියාවලින් නෙරපා හැරීම එයින් එක් නිදසුනක් පමණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාදාමයද එවැන්නකි. 
 
තමාගේ බලය රඳවාගැනීම පිණිස නිතරම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ගෙන ගිය ක්‍රියා පටිපාටියද බොහෝ සෙයින් විවේචනයට ලක් විය. ඒ නිසාම මොහුගේ ඉරණම ගැන විවේචකයෝ නොයෙක් මත පළ කළහ. 1980 එක්තරා දිනයකදී කොළඹ හයිඩ් පිටියේ පැවැති රැස්වීමකට මම සවන්දී සිටියෙමි. ප්‍රකට දේශපාලන විචාරකයකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ඒකාධිපති පාලකයන්ට ස්වභාවික මරණය උරුම වන්නේ නැත. ජර්මනියේ හිට්ලර්ට සිදුවූයේ වස බී දිවි නසා ගන්නටය. ඉතාලියේ මුසොලිනි මියගියේ මිලාන් නගරයේ පුරවැසියන් විසින් ලයිට් කණුවක දෙපාවලින් එල්ලා පොලුවලින් පහර දීමෙනි. ජේ.ආර්.ටත් ඒ ටිකම සිදු නොවේයයි මට කියන්නට බැරිය.’ යනුවෙනි. එහෙත් 1996 නොවැම්බර් මස 1 වැනි දින අභාවප්‍රාප්ත වන විට අනූ වසරක දීර්ඝ දිවි ගමන නිමා කළේ සිය දූ දරුවන් මධ්‍යයේය. එකොළොස් වසරක් ජනාධිපතිධුරයේ කටයුතු කළ මෙම කෘතහස්ත නායකයාගේ අවසන් කැමති පත්‍රයට අනුව අවසන් කටයුතු ද සිදුවූ බව මම දනිමි. එතුමාගේ අවසන් කැමැත්තේ සඳහන්ව තිබුණේ කැලණි ගඟ අද්දර බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ මොහොතේ දිය ස්නානය කළ තැන ආසන්නයේ දවා අළු කරන ලෙසය. හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් සෑම් විජේසිංහ, ගම්පහ හිටපු මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක යන දෙදෙනා එයට සාක්ෂි දැරිය යුතු යැයි ඔහු කියා තිබුණි. ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගොස් නිවි හැනහිල්ලේ දිවියේ සැඳෑ සමය ගත කළ මේ ප්‍රතාපවත් නායකයා තම කැමැත්ත පරිදි සියලු කටයුතු නිමා කළේය. ඒ ඔහුගේ ඉරණම ලියවී තිබුණු ආකාරයයි.
 
ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූවේ රණසිංහ ප්‍රේමදාස මහතාය. ඔහු සෑම කුඩා දෙයක් ගැන වුවද මනා සැලකිල්ලක් දැක්වූ නායකයෙකි. සෑම දෙයක්ම තිතටම සිදුවිය යුතු යැයි ඔහු සැලකුවේය. 1989 දී ඔහු ජනපති පදවියට පත්වූයේ දෙකොන දැල්වෙන විලක්කුවක් සමග යැයි එතුමාම පැවසීය. උතුරේ කොටි ත්‍රස්තවාදයත් දකුණේ ජේ.වී.පී. භීෂණයත් මර්දනය කිරීමේ දැඩි ප්‍රයත්නයක ඔහු නියැළී සිටියේය. කොටි නායක ප්‍රභාකරන් මෙන්ම ජේ.වී.පී. නායක රෝහණ විජේවීර ද තමාට අවනත කරගත හැකි වේ යැයි ඔහු විශ්වාස කළේය. ඒ සඳහා නොයෙකුත් උපක්‍රමද යෙදුවේය.
 
මේ අතර 1993 මැයි 1 වැනිදා උදාවිය. මැයි දිනය සියලු දේශපාලන නායකයන්ට කාර්ය බහුල දිනයකි. ඒ තම තමන්ගේ පක්ෂවල ශක්තිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙනි. රටේ ජනාධිපතිවරයා වශයෙන් රැස්වීම ආරම්භ වූ විට එයට කතා පැවැත්වීමට ඔහුට හැකියාව තිබුණි. පෙළපාළිය සහ රැස්වීම සංවිධානය කිරීම ජනාධිපතිවරයා වශයෙන් ඔහුට නියමිත කාරියක් නොවේ. එයට පක්ෂයේ හෝ ජනාධිපති කාර්ය මණ්ඩලයේ අය කොතෙකුත් සිටිති. එහෙත් ප්‍රේමදාස මහතා එවැන්නෙක් නොවේ. වැදගත් වැඩ අනුන්ට පවරා පැත්තකින් සිටීම ඔහුගේ පුරුද්ද නොවේ. සියල්ල තමාම සොයා බලා සෑහීමට පත් නොවුනොත් ජනාධිපතිවරයාගේ හිතට හරි නැත. ග්‍රෑන්ඩ්පාස්හි සුගතදාස ක්‍රීඩාංගණයේ සිට ගාලුමුවදොර පිටිය දක්වා එ.ජා.ප. මැයි දින පෙළපාළිය පිටත් වීමට සියල්ල සූදානම්ය. ජනාධිපතිවරයා ආමර් වීදියට ආවේ එහි සිට පිටත්වන අතුරු පෙළපාළිය පරීක්ෂා කිරීමටය. ඔහුගේ සමීප හිතවතා වූ මොහිදීන් ආසන්නයේම සිටියේය. මඳක් ඈතින් පැමිණි බයිසිකලයක් ආරක්ෂක අංශ විසින් නතර කළේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. එම බයිසිකලයට ඉදිරියට ඒමට ඉඩ දෙන ලෙස මොහිදීන් ආරක්ෂක නිලධාරීන්ට අතින් සංඥා කළේය. පොලිසිය ඉවතට ගියේය. බයිසිකලය මඳක් ඉදිරියට ආවේය. එය මිනිස් බෝම්බයකි. ඒ පැමිණ තිබුණේ බාබු නමැති වෙස් වළාගත් කොටි ඔත්තුකරුවෙකි. බෝම්බය පුපුරවා ගන්නා ලදුව ජනාධිපති ආර්. ප්‍රේමදාස, ඔහුගේ මාධ්‍ය ලේකම් එවන්ස් කුරේ, පොලිස් සුපිරින්ටැන්ඩන්ට් රොනී ගුණසිංහ ඇතුළු 13 දෙනෙක් මිය ගියහ. 26 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. අවට එකම මිනී මස් ගොඩකි. ජනාධිපතිවරයාගේ සිරුර කුඩු පට්ටම් වී තිබුණි. ඔහු හඳුනාගනු ලැබුවේ අතෙහි බැඳ තිබුණු ඔරලෝසුවෙනි.
 
ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි බාබු නොහොත් කුලවීර්සිංහම් වීරකුමාර් නමැති ත්‍රස්තවාදියාගේ සිරුරෙන් වෙන් වූ හිස අසල බිම වැටී තිබෙනු දක්නට තිබුණි. ඔහු කවුද? යන ගැටලුව නිසැකවම පැන නගී. බොහෝ දිකු කලකට පෙර ඔහු උතුරේ සිට කොළඹට එවා තිබුණි. කෙසෙල්වත්තේ සුචරිතය අසළ ගැවසෙමින් සිටි ඔහු ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ මොහිදීන් සමග මිතුරු වූවේය. හිතූ හැටියට මුදල් වියදම් කළ බාබු මත්පැන් සහ ස්ත්‍රීන් ලබා දෙමින් ජනාධිපති කාර්ය මණ්ඩලය සතුටට පත් කළේය. මේවාට වහවැටුණු නිලධාරීහු බාබු සුචරිතයටද කැඳවා ගත්හ. එවකට සභානායකවරයා වශයෙන් කටයුතු කළ තරුණ ඇමැතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක විය. එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ අගමැති ඩී. බී. විජේතුංග මහතා සොයාගෙන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සැලැස්වූවේය. රනිල් අගමැති විය.
 
ලංකාවේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඉරණම පිළිබඳ දුඃඛිත කතාවයි ඒ. රජකම් කළත් කළකම් පල දෙන බව ඒ දිනවල මිනිස්සු නිතරම කීහ. මේ කියන වකාවනුවේ මේ ලේඛකයා සිටියේ මැද පෙරදිග රටක රැකියාවක නිතර වෙමිනි. එම රටවල මත්පැන් සාද පැවැත්වීම  නීතියෙන්ම තහනම්ය. එහෙත් ශ්‍රී ලාංකිකයන් අති බහුතරයක් ජනාධිපති ප්‍රේමදාසගේ මරණය ගැන අතිශයින් සතුටු වූ බව දනිමි. ලංකාවේද සමහරු එසේ ප්‍රතිචාර දැක්වූ බව ලිපි මගින් දැන ගතිමි. ශිෂ්ට සම්පන්න සමාජයක කෙනෙකුගේ මරණයක් ගැන සතුටු වීම සදාචාර සම්පන්න නොවෙතත් මහජනයාගේ හදිසි ආවේග පාලනය කිරීමට හැකියාවක්ද නැත.
 
ආර්. ප්‍රේමදාසයන්ගේ ඉරණමේ කතාව එසේ නිමාවට පත් කරන අතර ඉන්පසු කිව යුතු වන්නේ අනුප්‍රාප්තික ජනාධිපති ඩී.බී.  විජේතුංගයන්ගේ ඉරණම් කතාව ගැනය. ඉතා සරල ගැමියෙකු වූ ඔහුට ඉබේ ලැබුණු ජනාධිපති ඔටුන්න සැලකුවේ මහ බරක් ලෙසිනි. නිසි ලෙස ජනතා වරමින් පත්ව එනතුරු වගකීම් දැරූ එතුමා ස්වාධීන සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නායකත්වය දුන්නේය. නැවත බලයට පැමිණීමේ හෝ තිබෙන බලය රැකගැනීමේ හෝ අභිප්‍රායක් ඔහුට නොවීය. ඒ නිසා එවකට බස්නාහිර පළාතේ මහ ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් දේශපාලන අම්බරයේ දිලෙන තාරුකාව බවට පත්ව සිටි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියට ජනාධිපති ධුරයට පත්වීමට කිසිදු බාධාවක් ඇති නොකළේය. ඒ නිසා ලාංකීය ඉතිහාසයේ අලුත්ම අත්දැකීමක් ක්‍රියාත්මක වෙමින් විධායක ජනාධිපතිවරයා එ.ජා. පක්ෂයෙනුත් ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුව සහ ඇමැති මණ්ඩලය ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණටත් හිමිව තිබූ වාතාවරණයකදී එම තත්ත්වය උපේක්ෂාවෙන් දරා ගනිමින් සාධාරණ අන්දමින් ජනතාව මෙහෙය වූවේය. මධ්‍යස්ථ සහ අන්තවාදීන්ගේ නොයෙකුත් අපහාස උපහාස විඳ දරා ගනිමින් යුක්ති සහගත අන්දමින් රටට සේවය කළ මෙම කෘතහස්ත නායකයා 1994 නොවැම්බර් 9 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා මහත්මිය ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවාය. ඇයට ඉඩදී 1994 දී ඉවත්ව ගිය ඩී.බී. විජේතුංග මහතා සැනසිල්ලේ දියණියගේ රැකවරණය මැද සතුටින් ජීවිතය ගතකර 2008 සැප්තැම්බර් 21 වැනි දින වයස 92 ක් ගතකර මහනුවර රෝහලේදී අභාවප්‍රාප්ත වූයේ පුරුදු ගැමි ගතියම ප්‍රකට කරමිනි.

ඔහුට පසුව ජනාධිපති පදවිය දැරුවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියයි. ඇය සිය ප්‍රථම ධුර කාලය නිම වීමට පෙර නැවත මැතිවරණයක් පැවැත්වීම සඳහා සිය අභිමතය ප්‍රකාශ කිරීම නිසා 2000 දෙසැම්බර් 21 වැනිදාට ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවිය. එහි ප්‍රචාරක රැස්වීමේ අවසාන රැලිය පැවැත්වුණේ කොළඹ නගර සභා පිටියේදීය. එහිදී සිය කතාව නිම කර තම මෝටර් රිය ආසන්නයට එද්දී මරාගෙන මැරෙන කොටි කාන්තාවක විසින් පුපුරුවා ගන්නා ලද මාරක බෝම්බයක් නිසා ඇයගේ ඉරණම වෙනස් වීමට ඉඩ තිබුණි. නූලකින් ඇය බේරුණි. ඇසකට පමණක් සුළු තුවාල සිදුවී තිබුණි. සිය සේවා කාලය නිමා කළ චන්ද්‍රිකා 2005 දී සිය දරු මුනුපුරන් සමග විශ්‍රාම සුවයෙන් ගත කරයි.

ඇයගේ රජයේ අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 17 වැනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ඔහුගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ තිස් අවුරුද්දක් තිස්සේ රට විනාශය කරා ගෙන යන කුරිරු යුද්ධය නැවැත්වීමට පියවර ගැනීමටයි. 2006 ජූලි 21 දා මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා යුද්ධයට සුදුසු මොහොත පැමිණියේය. එයින් ඇරඹුණු යුද්ධය සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්ෂයන් ලබා දුන් සෘජු නායකත්වය නිසා 2009 මැයි 18 වැනිදා ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය විනාශ කර යුද්ධය නිමා කර මව්බිම එක්සේසත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාද එයට නොමඳ සහාය දුන්නේය. මෙම යුද ජයග්‍රහණය නිසා ලද ජන ප්‍රසාදය හේතුකොට ගෙන 2011 වසරේ ජනවාරි 26 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේදී අතිවිශාල දිනුමක් ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වූවේය.  මෙසේ කාලය ගෙවෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ යම් පියවරයන් නිසා සතුරු බලවේග ඒකරාශී වෙන බවක් පෙනෙන්නට තිබුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තුන්වැනි වරටත් ජනාධිපති පදවියට තරග කළ හැකි බවට නීති සම්පාදනය කර ගැනීම නිසා බලලෝභී තැනැත්තෙකැයි විවේචන එල්ල වන්නට විය. සිවිල් සංවිධාන වලින්ද දැඩි විවේචන එල්ල වූවේය. මෙසේ ඒකාධිපති පාලනයක් පිළිබඳව විවේචන එල්ල වූවේය. මෙසේ ඒකාධිපති පාලනයක් පිළිබඳව බිය ජනතාව අතර මුල්බැස ගත්තේය. පොදු අපේක්ෂකයා ලෙස හදිසියේ මතු වූ ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා එම තරගයෙන් ජය ගත්තේය. ඔහුගේ පාලනයද ජනප්‍රිය බවට පත්වූවේ නැත. පෞද්ගලිකව රාජපක්ෂ විරෝධී නීතිරීති ගෙන ඒම සහ පළිගැනීමේ කටයුතු නිසා නැවත රාජපක්ෂවරුනට ජනතාවගේ ආකර්ෂණය යොමු වූවේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවෙන් බැස ගියේය. තනතුරින් ඉවත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතා වීරකැටියේ මැදමුලනේ නිහඬව ජීවත් වීමට උත්සාහ කරමින් සිටියදී ජනතාව දහස් ගණනින් එහි ගොස් නැවත දේශපාලන කටයුතු සඳහා පැමිණෙන්නැයි කරන ලද ඇරයුම පිළිගත් ඔහු නැවත පැමිණ සටන මෙහෙයවා හැටනම ලක්ෂයක අතිමහත් ජනවරමකින් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට (ජනාධිපති ධුරයට) පත්කර ගත්තේය.
එම රජයේ යම් යම් අඩුපාඩුද මත ඇතිවූ අරගලය නිසා ඔහුට තනතුරින් ඉවත්ව යාමට සිදුවූ ආකාරය අමතක වීමට තරම් කාලයක් තවමත් ගතවී නැත. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරය හිමිවූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටය. එම නිල කාලය නිම වී තවත් ජනාධිපතිවරණයක් අත ළඟටම පැමිණ ඇත. අපි කලකිරීමෙන් යුතුව ඒ දෙස බලා සිටිමු.
 

සෝමසිරි වික්‍රමසිංහ