හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබද නිතිය හා යුක්තිය


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපති-වරයෙකුට වරප්‍රසාද යන වර්ගීකරණයට අයත් කිසිවක් සෘජුව ලබාදී නොමැත. 

හිටපු ජනාධිපතිවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන නිල නිවාස, විශ්‍රාම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාජයෙහි කතිකාවක් මතුවී තිබේ. මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා නීතිය මගින් ලබාදී තිබෙන බලතල හා හිමිකම්වලින් වෙන්කර හඳුනාගත යුතු බව මුලින්ම සිහිපත් කළ යුතුය.


 මන්ත්‍රී වරප්‍රසාදවල අවශ්‍යතාව 


යම් තනතුරකට අදාළව නීතිය මගින්ම වරප්‍රසාද, අයිතිවාසිකම් හා බලතල ලබාදීමේ අරමුණ එම තනතුරේ කාර්යයන් පූර්ණ ඵලදායීතාවකින්, අභිමානයකින්, ස්වාධීනත්වයකින් හා කාර්යක්ෂමතාවකින් යුතුව ඉටු කිරීමය. මෙය අප එදිනෙදා අපගේම රැකියා හා වෘත්තීන් ආශ්‍රයෙන් අත්දකින දෙයකි. 
රටක උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මහජන අපේක්ෂාවන්ට හා තත්කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නීතිය සෑදීමේ බලය හා යුතුකම ව්‍යවස්ථාවෙන් භාර වී තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටය. එනම් පාර්ලිමේන්තුවටය. (පළාත් සභාවලට ද සීමිත ව්‍යවස්ථාදායක බලයක් තිබේ). ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නීතිය සෑදීමේ කටයුත්තට අමතරව රාජ්‍ය මූල්‍ය පාලනයේ බලය ද හිමිව තිබේ. මෙවැනි ආයතනයක කටයුතු කිරීමේ දී යම් නිදහසක්, අභිමානයක්, බලයක් හා ස්වාධීනත්වයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබිය යුතුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මූලාම්භය ඇති එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට රජු හෝ රැජින විසින්/වෙනුවෙන් වරප්‍රසාද පිරිනැමීම කථානායකවරයාගේ ඉල්ලීම මත සම්ප්‍රදානුකූලව සිදුවේ. ඊට වෙනත් වරප්‍රසාද අතර කතා කිරීමේ, අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමේ, රජු බැහැදැකීමේ වරප්‍රසාද ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මූලික කරගත් වරප්‍රසාද අද ලෝකයේ සෑම රටකම පාහේ මන්ත්‍රීවරුන් විසින් බුක්ති විඳිනු ලැ​ෙබයි. 


 මන්ත්‍රී වරප්‍රසාදවලට අදාළ ශ්‍රී ලංකාවේ නීතිය 


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වැනි වගන්තිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද මූලිකව පිළිගෙන ඇති අතර සංශෝධන බොහොමයකට ලක්ව තිබෙන 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතින් එම වරප්‍රසාද නීතිගත කර තිබේ. ඒවාට මූලිකවම (අ) නීතිමය බාධකයකින් තොරව පාර්ලිමේන්තු සැසිවාරවල දී නිදහසේ කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, (ආ) පාර්ලිමේන්තු කටයුතුවල දී සිදු කරනු ලබන ක්‍රියා මත අත්අඩංගුවට ගැනීම, වන්දි ගෙවීමට යටත් කිරීම යනාදියෙන් මුක්ත කිරීම යනාදිය ඇතුළත් වේ. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට හා පාර්ලිමේන්තුවට විභාග කළ හැකි ය. මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සැසියකට සහභාගි වීම වැළැක්වීම ද එවැනි වරදකි. වරප්‍රසාද කොතෙක් වැදගත් ද කියතොත් පාර්ලිමේන්තු කටයුත්තක් අතරතුර දී වරප්‍රසාද මත නැගෙන ප්‍රශ්නයකට මූලිකත්වය ලබාදිය යුතුය (ස්ථාවර නියෝග 29). මන්ත්‍රීවරුන්ගේ විනය පාලනය පාර්ලිමේන්තුවට හිමි කාර්යයකි. පෙර කී පනතට අනුව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ කර ගත හැකි ය. 
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතින් පාලනය වේ. එහෙත් වාහන දීමනා, නිල නිවාස ලබාදීම, ආරක්ෂාව හා නිලධාරි මණ්ඩලයක් සැපයීම යන්න විධායකය විසින් විටින් විට තීරණය කළ යුතු වන අතර ඒ සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ යුතු වේ. ඒ අනුව ධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වරප්‍රසාද හා හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පනත්, ස්ථාවර නියෝග, කැබිනට් තීරණ, මුල්‍ය රෙගුලාසි සහ චක්‍රලේඛ යනාදි කිහිපයක් මගින් තීරණය වන්නකි.


 ජනාධිපති බලතල 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයෙකුට වරප්‍රසාද යන වර්ගීකරණයට අයත් කිසිවක් සෘජුව ලබාදී නොමැත. එහෙත් රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා හා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ලෙස බලතල ද, (ව්‍යවස්ථාවේ 30 වගන්තිය)’ ඒ ඒ බලතල ක්‍රියාත්මක කිරීමේ දී ඒවාට අදාළ වරප්‍රසාද ද ජනාධිපතිවරයාට හිමිවේ (ව්‍යවස්ථාවේ 33,’ 34 වගන්ති). නිදසුනක් ලෙස පාර්ලිමේන්තු සැසියකට සහභාගි වීමේ දී මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ජනාධිපතිවරයාට බුක්ති විඳිය හැකි වේ. ධුර දරන ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැක. (ව්‍යවස්ථාවේ 35 වගන්තිය, එහෙත් ඔහුගේ ක්‍රියාවක් මූලික අයිතිවාසිකම් නඩුවක දී අභියෝගයට ලක් කළ හැකිය). ලේකම්වරුන්, උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම් ඇතුළු සුවිශේෂ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීම, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම යනාදී සුවිශේෂ කාර්ය සඳහා බලතල ජනාධිපතිවරයාට තිබේ.


ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත


එහෙත් හිටපු ජනාධිපතිවරුන්ට යම් හිමිකම් හා අයිතිවාසිකම් තිබේ ද යන්න පිළිබ‍ඳව ද සමාජ කතිකාවක් ඇති වී තිබේ.
මීට පසුබිම් වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂහට ලබා දී තිබූ නිවස සම්බන්ධයෙනි. දින දෙකකට පෙර එම නිවසේ කොටසකට ලබාදී තිබූ ජල සම්බන්ධතාව ද විසන්ධි කර තිබේ. ජනාධිපති කාර්යාලයෙන් ඊට අදාළ බිල්පත නොගෙවීම ඊට හේතුවයි. 
මෙම නිවස ලබා දී තිබුණේ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ රජය විසින්ම ගෙන තිබෙන නීත්‍යනුකූල තීරණයක් මතය. එම තීරණය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කරමින් පවතින්නකි. 
එම පනතේ 2 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ.
2. සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇගේ ජීවිත කාලයෙහි වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු ය.
එසේ වුව ද යම්කිසි හේතුවක් නිසා ඒ හිටපු ජනාධිපතිවරයාගේ හෝ ඒ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවගේ හෝ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි ඒ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ඒ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතුය.


 උචිත නිවාසයක් 


මෙහි සඳහන් උචිත නිවාසයක්  යනු කුමක්ද? එය තීරණය කළ යුතු නිර්ණායක පනතේ දක්වා නොමැත. එහෙත් උචිත යන වචනය යොදා ඇත්තේ සියලු‍ හිටපු ජනාධිපතිවරුන්ට එක හා සමාන නිවාස ලබාදීම පනතේ අරමුණ නොවන හෙයින් බව පැහැදිලිය. ඒ අනුව උචිත නිවාසයක් යන්න තීරණය කළ යුතු වන්නේ ඒ ඒ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැන නගින අවස්ථානුගත කරුණු මත පිහිටා බව පෙනේ. මෙම පදය එකී උචිත නිවාසය සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නා මත අභිමතයක් ලබා දී තිබේ. එවන් අවස්ථාවක දී එම තීරණය අත්තනෝමතික නොවිය යුතු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්  ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ දී හා රිට් ආඥා නිකුත් කිරීමේ දී ගරු ශ්‍රෙෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය විසින් අදාළ කරගෙන තිබෙන මූලික සිද්ධාන්තවලට අනුකූල වන පරිදි තීරණය කළ යුතු වේ. 


 සාධාරණ හා යුක්ති සහගත තීරණයක් 


එහි දී එම තීරණය සාධාරණ හා යුක්ති සහගත විය යුතු වන අතර අදාළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන සුවිශේෂ හා පුද්ගලානුබද්ධ කාරණා සැලකිල්ලට ගනිමින් තීරණය කළ යුතු වේ. එනම් එම පනතින් අපේක්ෂා කරන අරමුණ ඉෂ්ට කරගත හැකි වන පරිදි උචිත නිවාසයේ තත්ත්වය, මට්ටම හා ආරක්ෂාව යනාදිය තීරණය කළ යුතුය. නිදසුනක් වශයෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ව මුලිනුපුටා දැමූ ජනාධිපතිවරයාට, එම ත්‍රස්තවාදීන්ට අභියෝගයක් නොවූ ජනාධිපතිවරයෙකුට වඩා ආරක්ෂාවක් තිබිය යුතු බව සාධාරණ ලෙස තීරණය කළ හැක්කකි. හිටපු විධායකයේ ප්‍රධානීන් වෙත නිවාස සැපයීමේ දී වෙනත් රටවල් මගින් අදාළ කරගෙන තිබෙන නිර්ණායක මෙහි දී අදාළ කර ගැනීම නීත්‍යනුකූලය. ඒ අනුව ඒ ඒ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ දී සිදු කරන ලද සුවිශේෂ සේවා, ජාත්‍යන්තර හා දේශීය වශයෙන් පවතින තර්ජන හා ඒ මත සිදුකරන ලද ආරක්ෂක තක්සේරු කිරීම්, සෞඛ්‍ය තත්ත්වය හා වයස, ඓතිහාසික සාධක, ධුර දැරූ කාලය, තෝරාගත් නිවස පිහිටි ස්ථානය හා වෙනත් සමාජමය, ඓතිහාසික හා ආර්ථික/මූල්‍යමය සාධක ද සැලකිල්ලට ගෙන උචිත නිවාසය කවරේ ද යන්න තීරණය කිරීම පනතේ අරමුණ බව පෙනී යයි.


 නිවසක් නොසැපයීමට හේතු 


මෙම වගන්තියේ දෙවැනි කොටසේ ඇති යම්කිසි හේතුවක් නිසා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක දී යන්න ද පනතේ අරමුණට සාපේක්ෂව තේරුම්ගත යුතුය. එහි දී උචිත නිවාසයක් නොසැපයීමට නම් ඒ සඳහා යම් කිසි හේතුවක් තිබිය යුතුය. මෙවැනි පදයක් නීතියට අනුව විග්‍රහ කිරීමේ දී එවැනි හේතුවක් පවතී නම් එය සාධාරණ හා ප්‍රබල හේතුවක් විය යුතු වන අතර එය පිළිගත හැකි සාධාරණ හේතුවක් ද යන්න තීරණය කළ යුතු වන්නේ අදාළ තීරණයෙන් බලපෑමට ලක්වන තැනැත්තා (හිටපු ජනාධිපතිවරයා) විමසීමෙන් පසුව හා විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව ය. 


හිමිකමක් අහිමි කිරීම (සාධාරණ අපේක්ෂාවේ මූලධර්මය)


එහෙත් දැනටමත් ලබා දී තිබෙන හිමිකමක් අහිමි කිරීමට බලය ලබාදෙන නීතියක් නොමැත. එවැන්නක් සිදු කිරීමට නම් මෙතෙක් නොපැවැති නමුත් අලු‍තින් හටගත් සුවිශේෂ හේතූන් තිබිය යුතුය. එසේ නොමැති නම් එසේ හිමිකමක් අහිමි කිරීමට ගත් තීරණය නීති විරෝධීය. විධායකය විසින් යම් නීත්‍යනුකූල තීරණයක් ගෙන එය යම් කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරගෙන පැමිණියේ නම් එම තීරණය ඒ ආකාරයටම ඉදිරියටත් කරගෙන යන බවට වූ සාධාරණ අපේක්ෂාවක් ඇතිව ජනතාව කටයුතු කරන බවට වූ මූලධර්මයක් නීතියේ ඇත. එම මූලධර්මය ඕනෑම පුරවැසියෙකුට රජය මගින් දැනටමත් ලබා දී තිබෙන හිමිකමක් අහිමිකිරීමේ දී එම අහිමි කිරීමට එරෙහිව ක්‍රියාත්මක වේ.


 වෙනත් රටවල තත්ත්වය 


ලෝකයේ වෙනත් රටවල් ගත් කල ඒ ඒ රටවල පවතින ජාතික ආරක්ෂාවේ මට්ටම, සමාජීය-ආර්ථික සාධක, ආකල්ප යනාදී සාධක බොහොමයක් මත ඒ ඒ රටවල්වලට උචිත වන පරිදි හිටපු ජනාධිපතිවරුන්ට, අගමැතිරුන්ට නොහොත් රාජ්‍ය නායකයන්ට ලබා දෙන හිමිකම් තීරණය කරන ජාතික ප්‍රතිපත්ති සහ නීති සකස් කර තිබේ. නිදසුනක් ලෙස        ඇෙමරිකා එක්සත් ජනපදයේ පනවා තිබෙන 1958 පූර්ව ජනාධිපති පනත යටතේ හිටපු ජනාධිපතිවරයකුම විශ්‍රාම වැටුපක් (2024 දී වසරකට ඇ.ඩො.235,600), කාර්යාලයක් හා නිලධාරි මණ්ඩලයක් පවත්වාගෙන යාමට දීමනාවක්, නිල ගමන් වියදම්, ජනාධිපතිවරයාගේ ජීවිත කාලය පුරාම හා ඔවුන්ගේ දරුවන් වයස 16 සම්පූර්ණ කරන තෙක් රහස් ආරක්ෂක සේවා මගින් සැපයෙන ආරක්ෂාව, වෛද්‍ය පහසුකම්, පුස්තකාල හා තමන්ගේ පදනමක් සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යාමට දීමනාවක් යනාදිය සඳහා හිමිකම් කියයි. ඇ​ෙමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, මැක්සිකෝව වැනි රටවල හිටපු විධායක ප්‍රධානීන්ට (ජනාධිපතිවරුන්ට) නිල නිවාස සපයන්නේ නැත.
එසේ වුවද ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, රුසියාව, දකුණු කොරියාව, ආජන්ටිනාව යනාදී රටවල් ගණනාවක විධායකයේ ප්‍රධානියා වශයෙන් හිටපු ජනාධිපතිවරුන්ට හෝ අගමැතිවරුන්ට තම ධුර කාලයෙන් පසුව නිල නිවාස රජය විසින් ලබාදීම නීතියෙන් තහවුරු කර තිබේ. එහිදී ආරක්ෂාව වැදගත් සාධකයක් වන අතර ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන මන්මෝහන් සිං හට රජයේ නිවාසයක් ලබා දී ආරක්ෂාව ප්‍රධානතම සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ. 


 සංස්කෘතිය හා ජනවිඥානය මත බැඳි යුතුකමක් 


හිටපු රාජ්‍ය නායකයන් ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ තීරණය කළ යුතු වන්නේ බටහිර ආකල්ප මත නොව ආසියාතික ජන විඥානය හා සමාජමය ආකල්ප මත පිහිටා ය. බටහිර දෘෂ්ටි කෝණයෙන් එය අයිතියක් ලෙස විග්‍රහ වුව ද ශ්‍රී ලාංකිකයන්ට අනුව එය කළගුණ සැලකීම යනාදී උත්තුංග සංස්කෘතික ගතිපැවතුම් මත පදනම් වූ යුතුකමකි.