රට දිනවන්නට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් අතුරින් දැනට සද්දයක් නැතිව පැත්තකට වී සිටින සංඛ්‍යාව 23 ක් බව පසුගිය සතියේ අනාවරණය විය. මෙවර ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකු සඳහා වැයවන රාජ්‍ය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දෙක ඉක්මවන බවට අස්තමේන්තු කොට තිබේ. පෞද්ගලික අභිලාෂ පෙරදැරිව ජනාධිපතිවරණයට නාමයෝජනා දී තම මතය හෝ රටට කියා සිටින්නට ඉදිරිපත් නොවන මේ පිරිස වෙනුවෙන් රුපියල් කෝටි 50 කට අධික මහජන මුදලක් වැයවීම ගැන සමාජයේ විවිධ තලවලින් නැගෙන්නේ
බලවත් අප්‍රසාදයකි.
ජනාධිපතිවරණයේ අවසාන සති තුන ආරම්භ වී ඇත. මේ වෙනවිට ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ පවා එළිදක්වා අවසන්ය. මැතිවරණ උණුසුම එසේ වුවද ඇතැම් ජනාධිපති අපේක්ෂකයින් මේ කිසිවක් පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවක් පෙනෙන්නට තිබේ. ඔවුන් ජනාධිපති ධුර අපේක්ෂකත්වය හෑල්ලුවට ලක්කරමින් සිටින බව පැවසීම මුසාවක් නොවේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා ලබාදී ඇති අතර, එයින් එක් අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව අපේක්ෂකයින් ප්‍රමාණය 38 ක් බවට පත්ව ඇත. ජයග්‍රහණය අපේක්ෂාවෙන් නාමයෝජනා ලබාදුන්නේ නම් මෙම අපේක්ෂයින් 38 ම මේ වෙනවිට ජනතාවට තම මතය ප්‍රකාශ කරමින් ප්‍රවර්ධන කටයුතුවල නිරතව සිටින කාර්යබහුල 38 දෙනෙකු බවට පත්ව සිටිය යුතුය. නමුත් සිදුව ඇත්තේ එවැන්නක් නොවේ. ඔවුහු ජනාධිපති අපේක්ෂක නමැති ධුරයද හැල්ලුවට ලක්කරමින් සිටිති. ජනාධිපති අපේක්ෂකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව නිරීක්ෂණයෙන් අනතුරුව මෙම ලිපිය සකස්වන්නේ මේ පිළිබඳ ජනතා අවධානය යොමුකිරීම සඳහාය.
අතුරුදන් වී ඇති ජනාධිපති අපේක්ෂකයෝ
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන නිකුත් කළ අතර, සියලු අපේක්ෂකයින්ට සම බිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමන් එම උපමාන නිකුත් කළ බවත්, මාධ්‍ය ආයතන ඒවා අනුගමනය කරනු ඇති බවත් කොමිෂන් සභාව අපේක්ෂා කරයි. එම මාධ්‍ය උපමානවලට ගරු කරමින් සියලු ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා ඉරිදා ලංකාදීපය මෙම අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු සෙවූ අතර ඇතැම් අපේක්ෂකයින් පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව ඔවුන් අතුරුදහන් වී තිබේ. මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවෙන් පවා අප විමසීම් කළ අතර ඔවුන්හට මේ සම්බන්ධයෙන් ලබා දිය හැකි
පිළිතුරක් නොතිබුණි.
ඇතැම් අපේක්ෂකයෝ දුරකතනයට පිළිතුරු දීම පවා සිදුනොකරති. ඇතැම් අපේක්ෂකයින්ගේ සමාජ මාධ්‍ය ගිණුමක් හෝ නොමැති තරම්ය. ඔවුන් පිළිබඳ සඳහන් කිරීමට ඡායාරූපයක් පවා සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත. ඇතැම් අපේක්ෂකයෝ අතුරුදන්ව සිටිති. ජනාධිපති යනු රටේ ප්‍රධාන පුරවැසියාය. මෙම තනතුර දැරීමට ඉදිරිපත් වන්නන් ආරම්භයේදීම මෙවැනි වගකීම් රහිත ස්වභාවයකින් හැසිරෙන්නේ නම් සැබැවින්ම අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමේ ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න ප්‍රශ්න කළ යුතුව තිබේ.
ක්‍රියාකාරී 15 දෙනයි
ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා ලබාදී තිබුණද මේ වෙනවිට ක්‍රියාකාරීව තරගයේ නිතරව සිටින්නේ අතළොස්සකි. අනිකුත් අපේක්ෂකයින්ට තමන් අපේක්ෂකයින් ද යන්නත් අමතක වී ඇත. ප්‍රජාතන්ත්‍ර ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය ආයතනය මේ සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන්ගේ අනාවරණය ජනතාව මවිතයට පත්කරයි.
මෙම අපේක්ෂකයින් අතරින් පුද්ගලයින් දහදෙනෙකු හෝ රැස්කර හමුවක් පවත්වා ඇත්තේ මෙම අපේක්ෂකයින් 38 දෙනාගෙන් 15 දෙනෙකු පමණි. එම ප්‍රමාණය සියයට 39 කි. එනම් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින් 23දෙනා අතරින් තිදෙනෙක් පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට ඔවුනටද නොහැකි වී තිබේ. ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට පවා ප්‍රතිචාර
දක්වා නොමැත.
මේ අතරින් තිදෙනෙක් ඇප තැන්පත් කිරීම සහ නාමයෝජනා භාරදීම පමණක් සිදුකර ඇති අතර, තමන් ජනාධිපති අපේක්ෂයින් බව හඳුන්වාදීමක් හෝ සිදුකර නොමැත. මෙම අපේක්ෂකයින් 38 න් මුල් 15 හැර අනිත් පිරිස සිය අපේක්ෂකත්වය පිළිබඳ සන්නිවේදනය හෝ සිදුකර නොමැති තත්ත්වයක් මතුව තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය ආයතනය සඳහන් කළේ, “මැතිවරණයට එක අපේක්ෂකයෙකු වැඩිවීම තුළ ලක්ෂ 100 ට වැඩි වියදමක් රජයට දැරීමට සිදුව ඇති බවත්, මොවුන් සඳහා වරප්‍රසාදයක් ලෙස ලබාදී ඇති රාජ්‍ය මාධ්‍ය අදහස් දැක්වීමේ අවස්ථාව ලබා දෙන්නේ කෙසේද කියා අප නිරීක්ෂණය කරමින් ඉන්නවා.” යනුවෙනි.
වරප්‍රසාද සහ අධික වියදම
ජනාධිපති අපේක්ෂකයෙක් වැඩිවීම තුළ ලක්ෂ 200 වැඩි වියදමක් අලුතින් එකතු වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද ප්‍රකාශ කර තිබුණි. ජනාධිපති අපේක්ෂකයෙකු වීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමට නියමිත අදාළ කාලය තුළ ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබාදේ, නිදහස් තැපෑල භාවිත කිරීමට අවස්ථාව හිමි වේ. රාජ්‍ය මාධ්‍ය තුළ පෙනීසිටිමින් නොමිලයේ සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ. මේ ආකාරයෙන් වරප්‍රසාද රැසක්
ඔවුන්ට හිමි වේ.
මේ සියල්ල ඔවුන්ට ඉබේ පහළ නොවන අතර මේ වැය කරන්නේ ජනතා මුදල්ය. ඔවුන් එම සියලු වරප්‍රසාද ලබාගෙන අඩුම වශයෙන් තම මතය ජනතාවට ප්‍රකාශ කිරීමට හෝ වෙහෙසෙන්නේ නැතිනම් සැබැවින්ම කරන්නේ ජනතා මුදල් කාදැමීමක් නොවේද? තමන්ට ස්ථාවර මතයක් පවා නොමැතිව නාමයෝජනා භාරදුන් දවසේ සිට නිවසට වී සිටින මෙම ඇතැම් අපේක්ෂකයන් එසේ කරන්නේ සැබැවින්ම රට ගැන සිතාද? පුරවැසියන් ලෙස මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ තිබේ.
අපේක්ෂකයින් වැඩිවීමේ රැල්ල
පළමු ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් වූයේ හයදෙනෙකු පමණි. ඔවුන් සියලු දෙනා යම් මතයක් සහිතව ඉදිරිපත් වූවන් විය. 1999 ජනාධිපතිවරණයෙන් පසුව මෙම අපේක්ෂකයින් ප්‍රමාණය ක්‍රමිකව වැඩිවූ අතර 2010න් පසුව මෙය විහිළුවක් බවට පත්ව තිබේ. අපේක්ෂකයින් වැඩි වුවද ඔවුන් දේශපාලන ප්‍රතිපත්තියක් හෝ මතයක් නොමැතිව ඉදිරිපත් වීම හේතුවෙන් සිදුවන සැබෑ හානිය ගණනය කිරීමට හැකියාවක් නැත.
ජනාධිපති අපේක්ෂකයෙකු වීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ඇත්තේ දේශපාලන පක්ෂයකට නම් රුපියල් පනස් දහසක් සහ ස්වාධීන අපේක්ෂකයෙකුට නම් හැත්තෑ පන්දහස වැනි අඩු මුදලකි. මෙය වැඩි කළ යුතු බවට බොහෝ පාර්ශ්ව පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණද කැබිනට් මණ්ඩලයට යොමුකර ඇත. එසේ වුවද එය සම්මත කර, නීතියක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය සහ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) යුහුසුලුව කටයුතු කර නොමැත. එසේ නම් මේ චෝදනාවෙන් ගැලවීමට පාර්ලිමේන්තුවටද නොහැකිය. මෙය යම් පාලනයකට බඳුන් නොකළහොත් ඉදිරි අවස්ථාවලදී පිරිස දෙගුණයක් වැඩි වුවහොත් එය පුදුමවීමට කරුණක් නොවනු ඇත.
ජනතාව දේශපාලනයෙන් ඈත්වීම
දේශපාලනය සඳහා ජනතාව සක්‍රීයව දායක විය යුතු බවත්, දේශපාලනය සම්බන්ධයෙන් ජනතාවගේ උනන්දුව වැඩි විය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ගේද අදහස වී තිබේ. එසේ වුවද දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉදිරිපත් වෙන නියෝජිතයන්ම මෙලෙස එය හෑල්ලුවට ලක්කිරීම තුළ අවසානයේ සිදුවන්නේ ජනතාවට දේශපාලනය තවදුරටත් එපාවීමයි. මේ නිසා තවදුරටත් ජනතාව දේශපාලනයෙන් ඈත්වීම සිදුවේ. සැබැවින්ම එය අපරාධයක් වන අතර මේ සියලු දෙනා එම අපරාධයට වරදකරුවන් වී හමාරය.
කළ යුතු දෙයක්
ඇත්තේම නැද්ද
පුරුද්දට ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීම තවදුරටත් කළ යුතුද නැද්ද මෙවර ජනාධිපතිවරණයෙන් පසුව හෝ තීරණය කළ යුතුව ඇත. එමෙන්ම සියලු පක්ෂ සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙනවා ද නැතිනම් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව අපේක්ෂකත්වය ලබාදීමට හැකියාව ඇත්ද යන්න සොයා බැලිය යුතුයි. එමෙන්ම ඉදිරිපත්වීමේ වාරගණන අනුව ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව හෝ වෙනත් ක්‍රමවේදයක් තුළින් හෝ මේ පිළිබඳ නියාමනයන් සිදුවිය යුතු බව මේ වනවිට සියලු දෙනා අනුමත කරන කාරණයකි. එමෙන්ම ජනාධිපතිවරණයේ ඉදිරි සති තුන තුළද මෙම අපේක්ෂයින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මැනවින් නිරීක්ෂණය කිරීමට මැතිවරණ නීරීක්ෂකයන්, මාධ්‍ය මෙන්ම ජනතාවද කටයුතු කළ යුතු බව අපගේ අදහසයි. මැතිවරණය අවසානයේ මෙම අපේක්ෂයන් යළිත් රැස් කර මෙලෙස කටයුතු කිරීම පිළිබඳව ඔවුන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් මෙන්ම ඔවුන්ව ප්‍රශ්න කිරීමටද අවස්ථාවක් ලබාගැනීමට හැකි වුවහොත් එය යහපත් ආරම්භයක් වෙනු ඇත. ඒ පිළිබඳ ජනතාව උනන්දුවෙන් සිටීම තවදුරටත්
වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණ අතර ජනාධිපතිවරණයට ඉහළ තත්ත්වයක් ලබාදී තිබේ. මන්ද යත් ජනාධිපතිවරණයෙන් තෝරාගන්නේ රටේ මුල් පුරවැසියා නිසාය. මොවුන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයින්ය. නමුත් මෙම අපේක්ෂකයින් ක්‍රම ක්‍රමයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් එම තනතුර සඳහා ඇති නුසුදුසු භාවයයි. එබැවින් ඔවුන් මෙම ධුරය හෑල්ලුවට ලක්කිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතුය.