ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
- මේ 225 දෙනාම එපා කියන මතවාදයකුත් තියෙනවා
රටේ නිර්මාණය වී ඇති අලුත් දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු රාජ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය - කොරෝනා වසංගතයට ප්‍රත්‍යක්ෂ ඖෂධය සමාජ දුරස්ථකරණයයි. එසේ තිබියදී ඔබලා කොළඹදී රණවිරු සැමරුම ඉහළින්ම කළා. ඒ සඳහා සහභාගිවූ නාවික හමුදා සෙබළුන් දෙදෙනකුටත් කොරෝනා කියලා වාර්තා වුණා.
පිළිතුර - විශේෂයෙන්ම සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් හමුදාවන් මීට වඩා අවබෝධයෙන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි මේ ප්‍රායෝගිකව දකින දේනේ, මමත් දන්නව නාවික සෙබළුන් දෙදෙනකුට කොරෝනා වැළඳිලා කියලා. ඒ නිසා මීට වඩා අවබෝධයෙන් කටයුතු කරන්න තිබුණා. සෞඛ්‍ය අංශ වගේම ආරක්ෂක අංශ නැතිව මේක කරන්න බෑ.
ප්‍රශ්නය - ඔබ කියනවා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා. එහෙමනම් කවුද අනවබෝධයෙන් කටයුතු කරලා තියෙන්නේ.
පිළිතුර - මම පෞද්ගලිකව හිතන්නේ මේ වෙලාවේ කාටවත් ඇඟිල්ල දිගු කර කර චෝදනා කිරීම නොවෙයි අප කළ යුත්තේ. ඒක අපි අතරේ විය යුතු සංවාදයක්. අභ්‍යන්තර විවේචනයකට ගියාට කමක් නෑ. එහෙම නැතිව රට ඉදිරියෙ කතා කළ යුතු නෑ කියලයි මම හිතන්නේ. මේ කොරෝනා වසංගතය කාටත් නුපුරුදු දෙයක්. අලුත් අත්දැකීම් ලබන දෙයක්. ලෝකයෙ මහා බලගතු රටවල් ගත්තත් අත්දැකීම් අරගෙන අරගෙන තමයි යන්නේ.
ප්‍රශ්නය - මේ කොරෝනා වසංගතය හමුවේ පස්දෙනෙකුට වඩා රැස්වෙන්න බෑ කියලා නීතියේ තිබියදීත් තමයි මේ සැමරුම් උළෙල පැවැත්වූවේ. මෙයට වඩා වෙනස් මාදිලියක් හොයාගන්න බැරිවුණේ ඇයි?
පිළිතුර - ඒක හරි. මම ඔබතුමත් එක්ක එකඟයි. මම ඔබතුමත් එක්ක ඒ ගැන වාද කරන්නේ නෑ. එවැනි තත්ත්වයක් තිබියදී මෙයට වඩා අවධානයක් යොමු කළ යුතුව තිබුණා කියලයි මමත් හිතන්නේ.
ප්‍රශ්නය - රණවිරු සැමරුම් උළෙල කළා නම් ඡන්දෙ තියන්න බැරි ඇයි කියන පණිවිඩය දෙන්නද ඕනෑ කළේ.
පිළිතුර - අනේ නැහැ. එහෙම එකක් ඇත්තෙම නැහැ. එහෙම එකක් තිබුණෙම නෑ. ඊට වඩා සාධක ගොඩාක් තියෙනවා, ඡන්දෙ ගැන කතා කරනවා නම්. ඒක මේ රණවිරු සැමරුම් උළෙල තියලා පෙන්වන්න ඕනෑ දෙයක් නොවෙයි. ඊට වඩා සාධක ගණනාවක් තියෙනවා. මේ රටේ ව්‍යවස්ථාදායකයක් තිබිය යුතුයි. ඒක කොයි විදියටද හැඩ ගැස්සවිය යුත්තේ කියන කතාන්දරයට එනවා නම් ඒ ගැන විශාල කතිකාවක් තිබිය යුතුයි.
ප්‍රශ්නය - මැතිවරණය ජුනි 20 ත් නෑ. දැන් රට ඉස්සරහට යමින් තිබෙන්නේ පාර්ලිමේන්තුව නැතිව.
පිළිතුර - 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරලා තියෙන ප්‍රශ්න ගණනාවක් තමයි අපි මේ දකිමින් ඉන්නේ. 19 වැනි සංශෝධනය නිසා මෙයට වඩා පුළුල් සාකච්ඡාවකට ඉඩක් නෑ. මැතිවරණ කොමිෂන් සභාවේ තුන්දෙනෙක් අතර තමයි සියල්ලම තීරණය වෙන්නේ. 19 වැනි සංශෝධනය එක කතන්දරයක්. ඒත් ඒවගේම ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්පාදනය කරනකොට ඔවුන් ඒ හරහා බලාපොරොත්තු වුණේ මොකක්ද කියලත් කල්පනා කළ යුතුයි.
ප්‍රශ්නය -19 වැනි සංශෝධනය සම්මත කරන්න ඔබත් අත ඉස්සුවා.
පිළිතුර - ඔව් ඔබතුමාලා දන්නවා ඒ සංශෝධනය ගෙනාව ආකාරය. ඉතාමත්ම කඩිමුඩියෙ. අලුත් ජනාධිපති එක්ක සියලුදෙනා කටයුතු කරන්න තීරණය කරලා තිබුණ වෙලාවක. ඒවගේම ඔවුන් පැහැදිලිවම කිව්වා 19 ත් එක්ක 20 ත් ගේනවා කියලා. ඒ සහතිකයත් ඔවුන් දුන්නා. ඒ කාලපරිච්ඡේදය තුළ අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණා ගැන අවධානය යොමු කරලා නැහැ කියන එක අපි පිළිගන්න ඕනෑ. මැතිවරණ කොමිෂන් සභාවේ තුන්දෙනා තමයි සියල්ලම තීරණය කරන්නේ. ගණපූර්ණයත් තුනයි, ලෝකයේ කොහේවත් එහෙම වෙන්නේ නෑ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ඉන්න හූල් කියන සාමාජිකයා ඉතා පැහැදිලිව ඔහුගේ ස්ථාවරයන්, ඔහුගේ මතවාද කොයි ආකාරයෙන්ද ගන්නේ කියන එක රටට රහසක් නොවෙයි. එවැනි අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙන්න මේ 19 වැනි සංශෝධනය බෙහෙවින්ම ඉවහල් වෙලා තියෙනවා.
ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ පාර්ලිමේන්තුව නැතිව කොහොමද රටක් ඉස්සරහට යන්නේ කියන එකයි.
පිළිතුර - රටක ව්‍යවස්ථාව සකස් කරලා තියෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූල ධර්ම තුන මතයි. මෙතැනදී ජනාධිපතිතුමාට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ මේ රාමුව තුළයි. එතුමා ඒක කොතැනකදීවත් වරද්දලා නෑ. පාර්ලිමේන්තුවට අවුරුදු හතරහමාර අවසන් වෙනකොට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසිරෙව්වා. මැතිවරණයට දිනය නියම කරනවා වගේම පාර්ලිමේන්තුව නැවත පැවැත්විය යුතු දිනය නියම කළා. එතැනින් පස්සේ සම්පූර්ණ ක්‍රියාවලියම මැතිවරණ කොමිෂන් සභාවේ අතට යනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ අතට ඒ බලය යනකොට ව්‍යවස්ථාවට අනුව මැතිවරණයට නියම කළ දිනය වෙනස් කරනවා නම් ඊළඟ දිනය නම් කරලා තමයි ඒ වෙනස් කිරීම කරන්න ඕනෑ. පළමුවැනි සැරේ ඒක වුණේ නෑ. දෙවැනි පාර ඒක වුණා. මේ සියල්ල සිද්ධවෙන අතරතුරේ ව්‍යවස්ථානුකූලව මේ ප්‍රශ්නය බේරාගන්න තියන හොඳම දේ තමයි සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් හැකි ඉක්මණින් මේ රටේ ජනතාවට වරමක් ලබා දිය යුතුයි ඉක්මනින් පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒකට බාධා තියෙයි.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් හැකි ඉක්මණින් මේ රටේ ජනතාවට වරමක් ලබා දිය යුතුයි ඉක්මනින් පාර්ලිමේන්තුවක් පත් කරගන්න.
ප්‍රශ්නය - බාධා තියෙන නිසාම විකල්පයක් වශයෙන් සඳහන් වෙන්නේ පැරැණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි.
පිළිතුර - ඒ විකල්පය ඊටත් වඩා භයානකයි. ඒක උත්තරයක් නොවෙයි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ජනාධිපතිතුමාට හිතෙනවා නම් මේ කොරෝනා වසංගතය පාලනය කරගන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා. එසේ කිරීමේ හැකියාවක් ඇත. ඒ හැකියාව තියෙනවා. ඒක ජනාධිපතිතුමාට හිතෙන්න ඕනෑ. මට මේ වෙලාවේ පාර්ලිමේන්තුව අවශ්‍යයි කියලා එතුමාට හිතෙන්න ඕනෑ.
ප්‍රශ්නය -ජනාධිපතිතුමාට එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි?
පිළිතුර - එතුමා විශ්වාස කරනවා ඇති මේ මොහොතේ මට දැනට මේක පාලනය කරගෙන යන්න පුළුවන් කියලා. ඒවගේම ඊටත් වඩා භයානක තත්ත්වයක් මෙතැන තියෙනවා. ජනාධිපතිවරණයේදී එතුමා කියනවා මේ ජනාධිපතිවරණය මම ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ මට ලැබෙන පළමුවැනි නිමේෂයේදීම මට අවශ්‍ය පාර්ලිමේන්තුවක් මම පත්කර ගන්නවා කියලා. එතකොට මේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ පොරොන්දුවටත් එක්ක. ඒ පොරොන්දුව හරියටම එතුමා ඉෂ්ඨ කළා.
ප්‍රශ්නය - ජනාධිපතිවරයාට පළමු නිමේෂය ලැබෙනකොට කොරෝනාවත් රටට ඇවිත් තිබුණා. ප්‍රශ්න මතුවෙන්නේ ඒ ගැන අවධානය යොමු නොකිරීමයි.
පිළිතුර - පාර්ලිමේන්තුව විසුරුවා හරින මොහොත වෙනවිට එහෙම භයානක තත්ත්වයක් තිබුණේ නෑ. මේක අනාවැකි කියන්න බැරි අලුත් වසංගතයක්, එහෙම නැත්නම් ඇමෙරිකාවේ ලක්ෂ ගණනක් මිනිස්සු මැරෙයිද? යුරෝපය මේ විදියට හැසිරෙයිද? කවුරුත් එහෙම හිතුවේ නෑ. කොරියාවේ මැතිවරණය තිබ්බා. මැතිවරණය තියන්න ජර්මනිය සැලසුම් කරගෙන යනවා. අනික් කාරණය තමයි මේ කොරෝනා වයිරසයට සාර්ථක එන්නතක් හොයාගන්න අවුරුද්දක් විතර කාලයක් ගතවේවි. දැන් සමහරු කියනවානේ කොරෝනා අවසන් රෝගියාත් හමුවෙලා තවත් කාලයක් බලලා මැතිවරණය තියන්න කියලා. ඒක ප්‍රායෝගිකද? ඒ නිසා යම්කිසි යාන්ත්‍රණයක් සාදාගන්න ඕනෑ ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය රැකෙන ආකාරයේ වැඩපිළිවෙළකට යන්න.
ප්‍රශ්නය - ඔබ කියන්නේ කොරෝනා වසංගතය තිබියදීත් මහ මැතිවරණයට යායුතුයි කියලයි?
පිළිතුර - කොරෝනාවලට එන්නතක් හොයාගන්න බැරිනම් තව අවුරුද්දක් යනකම් මොකද්ද තත්ත්වය. ඒ නිසා ඇතිවන තත්ත්වයන්ට ගැලපෙන පරිදි අපි සකස් විය යුතුයි. අපිට ලිඛිත නීතියක් තියෙනවනේ. ව්‍යවස්ථාව හදපු අයත් මේ වගේ අවස්ථාවකදී කටයුතු කළ යුත්තේ කොහොමද කියලා හිතුවේ නැත්නම් එහෙමනම් කළයුත්තේ කුමක්ද? දැන් අලුත් ජනවරමක් රටේ තියෙන්නේ. පළාත් පාලන මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ සිතුම් පැතුම් කොයි ආකාරද කියලා ප්‍රදර්ශනය වුණා. අපට එයින් යම් තක්සේරුවකට යන්න පුළුවන්. ඒක අධිතක්සේරුවක් නොවිය යුතුයි. ඒ අනුව මේ රටේ 225 ම එපා කියන මතවාදයකුත් තියෙනවා. ඒ වගේම පසුගිය යහපාලන රජය ගත්ත තීන්දු තීරණ දෙස ජනතාව බොහොම පිළිකුලෙන් බලන්නේ. ජනතාව දෙවරක්ම ඔවුන් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මේ රටේ ප්‍රධානම විපක්ෂය කෑලිවලට කැඩිලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයකුත් රටේ තියෙනවා. එහෙම තියෙනකොට මේ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවලා තීන්දු තීරණ ගන්න එක ජනතාවගේ පැත්තෙන් සාධාරණද කියන එක අපේ හෘදය සාක්ෂියෙන් විමසිය යුතුයි.
ප්‍රශ්නය - 2018 ඔක්තෝබර් 26 බල පෙරළියෙදිත් ඔබලාට බහුතර බලය නැති නිසා ලොකු ප්‍රශ්නයක් වුණා. දැනුත් එහෙමයි. එක්කෝ පවතින යථාර්ථය ආණ්ඩුව පිළිගත යුතුයි.
පිළිතුර - හරියටම හරි. පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ තියෙන අනතුර ඔබේ ප්‍රශ්නය තුළම තියෙනවා. හැට නව ලක්ෂයක් ඡන්දය දුන්නේ මේ පාර්ලිමේන්තුව එපා කියලයි. යහපාලනයෙන් රට හතරගාතෙන් වැටිලා කියන එක රටේ බහුතර ජනතාව පිළිගන්නවා. දැන් මම බොහොම වගකීමෙන් කියනව ඔබතුමාට මතක ඇති අපේ දවස් 52 විප්ලවයෙදි මේ අය කොහොමද හැසිරුනේ කියලා. සුමන්තිරන් යෝජනා කරනවා ස්ථාවර නියෝග අත්හිටුවන්න කියලා. කතානායකවරයා ඒක පිළිගන්නවා. ඊට පස්සෙ ජවිපෙ විජිත හේරත් විශ්වාසභංගයක් කියලා තුණ්ඩු කෑල්ලක් අරගෙන යනවා. කතානායක ඒක පිළිගන්නවා. විශ්වාසභංග යෝජනාවක් එහෙම පිළිගන්න බෑ. ඒ සම්ප්‍රදායන් මොනවත් නෑනේ මේ කතානායකට. හඬින් ඡන්දෙ විමසපු කතානායකවරයෙක් නැවත ඒ පුටුවේ තියලා, බහුතරය ඒ පැත්තේ තියලා මේ වර්තමාන ජනාධිපතිතුමාට රට වෙනුවෙන් ගන්න පුළුවන් තීන්දු තීරණ මොනවාද?
අපට ඉතාමත්ම සාධාරණ සැකයක් තියෙනවා නැවත යන්නේ එතැනටද කියලා. මේ තරම් පක්ෂග්‍රාහී කතානායකවරයෙක් මෙච්චර කාලෙකට මේ පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ. මේ අයම කියනවනේ සමාජ දුරස්ථභාවය රකින්න ඕනෑ කියලා. එතකොට පාර්ලිමේන්තුව ඇතුළේ කොහොමද ඒක රකින්නේ? දෙන්නෙක් අතර පරතරය අඩියක් නෑනේ... දුරස්ථභාවය. ඔබතුමා පටන් ගත්තෙම ඒකෙන්. ඒක රකින්න බෑ පාර්ලිමේන්තුව රැස් කරලා.
ප්‍රශ්නය - යූඑන්පිය කියනවා ආණ්ඩුව පෙරළන්නේ නෑ. ඒක ලිඛිතව පොරොන්දු වෙනවා කියලා.
පිළිතුර - ඔය ලිඛිත පොරොන්දු පාර්ලිමේන්තුව ඇතුළේ වලංගුද? රටේ මිනිසුන්ට එහෙම කියනවා. නමුත් ඒ පොරොන්දු කිසිවක් පාර්ලිමේන්තුව ඇතුළේ වලංගු නෑ. විපක්ෂයට බහුතර බලය තියෙන පාර්ලිමේන්තුවක් නැවත කැඳවන්න කියන අය මේ ගැන කල්පනා කළ යුතුයි.
ප්‍රශ්නය - කොරෝනා මර්දන මෙහෙයුමට විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙනවා. ඒ මුදල්වලට මොකද වෙන්නේ? කොච්චරක් ලැබුණද? මේ තොරතුරු දැනගන්න පාර්ලිමේන්තුව අවශ්‍යයි කියලයි කියන්නේ?
පිළිතුර - මුදල් බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක සත්‍යයක්. ඒ මුදල්වලට මොනවද වෙන්නේ කියලා හොයලා බලන්න අයිතියක් තියෙනවා. අපි ඒකත් පිළිගන්නවා. පාර්ලිමේන්තුවේ වගන්ති කිහිපයක් තියෙනවා. ඒ අනුව සමහරු කියනවා පාර්ලිමේන්තුව නැතුව පුළුවන් කියලා. තවත් සමහරු කියනවා බැහැ කියලා. අපි කියන්නෙ නම් පුළුවන් කියලා.
ප්‍රශ්නය - එහෙම කියන්නේ කොහොමද?
පිළිතුර - පාර්ලිමේන්තුව විසුරුවලා මාස තුනක් යනකම් මූල්‍ය පාලනය කිරීමේ බලය තියෙනවා. ඒ රාජ්‍ය සේවය සඳහා. ඔබ දන්නවා අයවැයක් ගත්තොත් මුදල් වාර්තාවක් ගත්තොත්... මහ බැංකුවේ වියදම් වාර්තාවක් ගත්තොත් ජාති දෙකකට බෙදලා තියෙනවා. ඒ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් කියලා. සමහර වියදම් පුනරාවර්තනයට පමණයි. ප්‍රාග්ධන වියදම්වලට බෑ. ඒ විදියට අපි ගේන තර්කය තමයි පඩි ගෙවීමට පමණයි නම් ඇයි රජයේ සේවාවන් පමණයි කියලා විතරක් දාන්නේ. ඒ අනුව අපේ තර්කය තමයි මෙතැන ඉඩකඩක් කියලා තියෙනවා රජයේ සියලු සේවාවන් සඳහා මුදල් වියදම් කරන්න පුළුවන් කියලා.
ප්‍රශ්නය - එතකොට මාස තුන පැන්නට පස්සේ
පිළිතුර - බොහොම පැහැදිලිව. ඔව් එතැන යම් අර්බුදයක් තියෙනවා, අනික් පැත්තට ගියොත් සැප්තැම්බර් වෙනකොට පාර්ලිමේන්තුව ඉබේ විසිරෙනවා. ජනාධිපතිතුමා විසුරුවන්න අවශ්‍ය නෑ. එහෙම විසිරෙන පාර්ලිමේන්තුවක් එතකොට යළිත් කැඳවන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ අය පුන පුනා කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ එක්කම අපට විශාල සැකයක් ඇතිවෙනවා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නෙම විශාල දේශපාලන කුහකකමකින් කියලා. අපට පෙර අත්දැකීම් තියෙනවා. කරු ජයසූරිය හැසිරිච්ච විදිය. විජිත හේරත් තුණ්ඩු කෑලි අරන් දුවපු හැටි. සුමන්තිරන්ලා ස්ථාවර නියෝග අත්හිටුවන්න යෝජනා කරපු හැටි.
ප්‍රශ්නය -ජනාධිපති ලේකම් රජයේ සේවකයන්ගේ වැටුපෙන් කොටසක් ඉල්ලුවා. ඒක ඉල්ලීමක් කියලයි කිව්වේ. නමුත් දැන් රජයේ සේවකයන්ගේ වැටුප කපනවා. එහෙම අයිතියක් තියෙනවද?
පිළිතුර - නෑ එහෙම අයිතියක් නෑ.
ප්‍රශ්නය - එහෙමනම් කපන්නේ.
පිළිතුර - එහෙම වෙලා තියෙනවා නම් ඒක නිවැරැදි වෙන්න ඕනෑ. කැමැත්තෙන් දුන්නොත් මිසක් බලෙන් ගන්න බෑ.
ප්‍රශ්නය -ආණ්ඩුව කරන වැඩ විරුද්ධ පක්ෂයට, ජනතාවට විතරක් නොවෙයි ආණ්ඩු පක්ෂයෙ මන්ත්‍රීවරුන්ටවත් දැනගන්න විදියක් නැද්ද?
පිළිතුර - තාවකාලිකව බාරකාර ආණ්ඩුවක් තියෙනවා. කැබිනට් එකක් තියෙනවා. එතැන සාකච්ඡා කරලා තමයි මේ දේවල් කරන්නේ. මහජන නියෝජනයක් එතැන තියෙනවා.
ප්‍රශ්නය -නමුත් අයි.ඕ.සී. එක තෙල්මිල ඉහළ දාලා. නමුත් විෂය බාර ඇමතිවරයා ඒක දන්නෙත් නෑ.
පිළිතුර - එ්කේ වගකීම සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය බාරගන්න ඕනෑ. මොකද අයි.ඕ.සී. එක අපි දැඩි ලෙස විරුද්ධ වෙද්දි තමයි දුන්නේ, එහෙම දුන්නට පස්සේ ඒ නීතිවලට අපි සම්පූර්ණයෙන්ම යටත් වෙන්න ඕනෑ. ඒ වගකීම යූඑන්පිය බාරගත යුතුයි. කෝටි ගණනක ලාභයක් ඉන්දියාවට යනවා. කොහොම වුණත් ජනාධිපතිතුමා ඒකට මැදිහත් වෙලා තත්ත්වය පාලනය කළා.
ප්‍රශ්නය -දැන් රට විවෘත කරලා ඡන්දෙට ඉක්මනට යනවද?
පිළිතුර - ඒක තීරණය කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන්. දැන් ඔවුන් කියලා තියෙනවා මැතිවරණයකට යන්න පුළුවන් කියලා. ඒ නිසා වංගු ගහන්නේ නැතිව ඡන්දෙට දින නියම කරන්න මැතිවරණ කොමිසන් සභාවට දැන් පුළුවන්.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්