හැමදේම විකුණ විකුණා එදිනෙදා ජීවත්වීමයි කළේ


ජනතා විමුක්ති පෙරමුණේ නායක

පාර්ලිමේන්තු මන්ත්‍රී 

අනුර කුමාර දිසානායක

  • විකුණන එක සංවර්ධනයට  හේතුවක් නම්  කලින් විකුණපුව අද කොහොම  තියෙන්න ඕනෑද?

 

 රාජ්‍ය ආයතන විකිණීමේ ඉතිහාසය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගෙනි.   

?රාජ්‍ය සම්පත් විකිණීම හැම කාලෙකම අහන්න ලැබෙන ප්‍රසිද්ධ මාතෘකාවක්. මේකෙ ඉතිහාසය ගැන ටිකක් විමසිලිමත්ව කතාව පටන් ගමු.   


මේ ආණ්ඩුවලට භාණ්ඩාගාරයට අවශ්‍ය රුපියල් උපයන්නත් රටට අවශ්‍ය ඩොලර් උපයන්නත් කිසිම ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා මේ හැම ආණ්ඩුවක්ම කරපු දේ තමයි ඒ ඒ වසරවල ඇති වන රුපියල් සහ ඩොලර් හිඟය සම්පූර්ණ කර ගන්න ණය ගැනීම සහ විකිණීම. ඒ නිසා ඊළඟ වසර එනකොට රටේ ආදායම සහ වියදම අතර පරතරය තවත් වැඩිවෙනවා. එතකොට ආපහු විකිණීම හා ණය ගැනීම තමයි එකම උත්තරය. දිගු කාලීන ආර්ථික සැලැස්මක් නැතිවීමේ ප්‍රතිවිපාක විදියට තමයි මේ රාජ්‍ය ආයතන විකුණලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ අවුරුද්දෙ අයවැයේදීත් මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ පැහැදිලිව කියනවා තමන්ගේ විදෙස් සංචිත වැඩිකර ගැනීම සඳහා මේ ආයතන විකුණනවා කියලා. 

 
?අපි දැන් විමසලා බලමුකො ටිකක් මේ විකිණීම් ඉතිහාසය ගැන


අපේ මේ රාජ්‍ය ආයතන විකිණීම ආරම්භ වුණේ පේෂකර්මාන්ත ශාලාවලින්. තුල්හිරිය, පූගොඩ, ​වේයන්ගොඩ වගේ තැන්වල විශාල රෙදි ජනපද තිබුණා. ඒ යුගයට සරිලන තාක්ෂණය ඒවගේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම ඒ යුගයට සරිලන නිෂ්පාදනයකුත් ඒවායේ තිබුණා. ආණ්ඩු කරන්න තිබුණෙ ලෝකයේ සිද්ධවෙන තාක්ෂණික වෙනස්කම් සහ නිෂ්පාදනයේ ගුණාත්මකකම් ඒ කර්මාන්ත පද්ධතීන්ට ගේන එක. හැබැයි ඒ වෙනුවට සිද්ධ වුණු දේ තමයි මේ සියල්ල විකුණා දමන තත්ත්වයයක් නිර්මාණය වීම එහි අවසන් ප්‍රතිඵලය බවට පත්වෙලා තියෙන්නේ අද අපේ රටට අවශ්‍ය ඇඳුම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරන්න සිද්ධවීම. විකිණීම සාර්ථක උත්තරයක් නම් එම රෙදි ජනපද සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑනේ. හැබැයි එහෙම වුණේ නෑ.   
ඒ වගේම ගිංතොට තුනී ලෑලි සංස්ථාව, වැලිසර කිරිපිටි කම්හල, කන්තලේ සීනි සමාගම, ඇඹිලිපිටියේ කඩදාසි කම්හල ආදි වටිනා කර්මාන්ත ශාලා රාශියක් විකුණලා දැම්මා. ඒ හැම වෙලාවකම කිව්වේ විකිණීම හරහා මේවා තවත් සංවර්ධනය වෙනවා කියලා. හැබැයි ඒ හැම තැනකම අවසානයට සිද්ධ වුණේ තිබුණු මැෂින් පවා පරණ යකඩවලට විකුණලා දේපොළ බැංකුවලට උගස් තියලා මිලදී ගත්තු අය සල්ලි ටික අරගෙන ගිය එක. ඒවා වැහිලම ගියා.   


?ලංකාවේ රාජ්‍ය වතුවලටත් වුණේ ඕකම නේද?   


ඔව්. මොවුන් ඊළඟට අත තියපු තැනක් තමයි වතු ටික. අපේ රටේ වතු විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ සමාගම්වලට පවරල දුන්නා. විකුණන එක ඒවයි සංවර්ධනයට හේතුවක් නම් අද ඒ වතු කොහොම තියෙන්න ඕනෑද? ඒත් එහෙම වුණෙ නෑ. ක්‍රමානුකූලව මහා පරිමාණ වතු විනාශයට පත් වුණා. ආදායම් අඩුවෙලා ගිහින් තියෙනවා. අද අ​පේ රටේ ​තේ නිෂ්පාදනයෙන් 65% කට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ කුඩා තේ වතු හිමියන්ගෙන්. තේ වතු සංවර්ධනයටත්   ඒ   විකිණීම කිසිම බලපෑමක් කළේ නෑ. ඒව විකුණල එදා වේල හොයාගත්ත එක විතරයි ආණ්ඩු කෙරුවෙ.   
ආණ්ඩු ඊළඟට අත තිබ්බේ බලශක්ති ක්ෂේත්‍රයට. පොලොන්නරුව ගබඩා සංකීර්ණයත් මුතුරාජවෙල සංකීර්ණයත් අයිතියෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දීය අයිඕසී සමාගමට විකුණන්න, පෙට්‍රල් ෂෙඩ් 100කට වැඩි ප්‍රමාණයක් අයිඕසී සමාගමට විකුණන්න එහෙම කළා කියලා අපිට කාර්යක්ෂම තෙල් වෙෙළඳපොළක් හෝ පාරිභෝගිකයාට සාධාරණ මිලකට ඉන්ධන හෝ ලැබෙන්නේ නෑ. මේ හැම දේම විකුණ විකුණා එදිනෙදා ජීවත්වීම තමයි කළේ.   


?වරායේ ජැටි විකිණීම වඩා කතාබහට ලක්වුණු අවස්ථාවක්.


හරියට හරි. වරාය තමයි ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වුණේ. වරායේ ජැටි ගණනාවක් විකුණුවා. හැබැයි ඒ කිසිවකින් අපට නාවික ක්ෂේත්‍රයේ අත්පත් කර ගන්න පුළුවන් වුණු ජයග්‍රහණයක් නෑ. 

 
ඊළඟට හෝටල් පද්ධතිය විකුණන්න පටන් ගත්තා. විවිධ හෝටල් කාලෙන් කාලෙට විකුණගෙන විකුණගෙන ගියා. මේ විකිණීම ආර්ථිකයේ වැඩදායි ක්‍රියාමාර්ගයක් නම් දැන් අපේ රටේ ආර්ථිකය සමෘද්ධිමත් වෙලා තියෙන්න ඕන. හැබැයි ඒ වෙනුවට සිද්ධ වුණේ ආර්ථිකය අගාධයට යාම. දැන් ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු රටක් මේක. ඒක තමයි බන්දුල ගුණවර්ධන දැන් කියන්නේ ඩොලර් හොයන්න නම් දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඉතුරු රාජ්‍ය ආයතන ටිකත් විකුණලා දාන්න ඕනෑ කියලා.   


?මේ විකිණීම යට සිද්ධ වෙච්ච හොර ගනුදෙනු එහෙමත් නැතුව නෙවෙයි නේද?


අපෝ ඕනෑ තරම් තියෙනවා. මේවයි ප්‍රධාන සාධකයක් තමයි මේ යට ගනුදෙනු. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි කියලා කියනවා වගේ මේ දේශපාලන නායකයෝ කවුරුවත් රට ගැන හිතලම මේව කළා කියලා හිතන්න බෑ. මේ විකිණීම් හරහා විවිධ අයගෙ සාක්කුවලට වැටිච්ච මුදල් ගැන සාක්කි සහිත තොරතුරු තියෙනවා. අපි ඕනෑ තරම් මේ කූට ගනුදෙනු ගැන හෙළිදරව් කිරීම කරලා තියෙනවා. එක සීනි කර්මාන්ත ශාලාවක ගනුදෙනුවේ හිටියේ ප්‍රධාන පක්ෂයක භාණ්ඩාගාරික. මේව පිරිසිදුවට සිද්ධ වෙච්ච ගනුදෙනු නෙවෙයි. ඒ වගේම තවක්කාල් සිමෙන්ති කම්හල විකුණනකොට අල්ලස් ගත්තු බවට පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් පැවැත්වූවා. ඒ වගේම කවුරුත් දන්නවා ප්‍රසිද්ධ එයාර් ලංකා ගනුදෙනුව. ටෙලිකොම් ගනුදෙනුවත් එහෙමයි. ඒ නිසා මේ විකිණීම් පිටුපස වංචා, දූෂණ නිරන්තරයෙන්ම සිද්ධ වුණා කියන එක අනිවාර්ය කාරණයක්.   
හම්බන්තොට වරාය ඉදිකිරීමට ඩොලර් බිලියන 1.3ක් ණය ගත්තා. ඒක යූ. එන්. පී. ආණ්ඩුව පවරලා දෙන්නෙ අවුරුදු එකසිය අනූ අටකට මිලියන 1100කට . මේක විකුණුවේ ණය බරයි කියලා. හැබැයි ඒකෙන් ණය ගෙව්වේ නෑ. තාම ණය තියෙනවා. අද අපිට වරායත් අහිමිවෙලා ඒ භූමියත් අහිමි වෙලා. ණය ඉතුරුවෙලා. මේවා හදනකොටත් දූෂණ වංචා සිද්ධ වුණා. විකුණනකොටත් වංචා දූෂණ සිද්ධ වුණා.   


?මේ ආණ්ඩුවත් රාජ්‍ය ආයතන ගණනාවක් විකුණන්න පිඹුරුපත් සකසමින් ඉන්නවා?   


මේ ආණ්ඩුව මුලදීම ප්‍රකාශ කළේ පාඩු ලබන ආයතන විකුණනවා කියලා. ඒවා පාඩු ලබන තැනට පත්වෙලා තියෙන්නෙම දේශපාලන මැදිහත්වීම උඩ. එක එක දේශපාලකයෝ කාලෙන් කාලෙට ඒ ආයතනවලට පත්වෙලා. විනාස කරලම දාලා තියෙන්නේ. දැන් කියනවා ඒවා විකුණන්නෙ නැතුව වෙන කරන්න දෙයක් නැතිලු. හරි නම් කරන්න ඕන පාඩු ලබන ආයතන විකුණන එක නෙවෙයි. මේ ආයතන පාඩු ලබන තත්ත්වයට පත් කරපු පාලකයන් පලවා හැරීම. ඒ පාලකයන් ඉන්නතාක් මේ රටට කිසිම සුගතියක් නෑ.   
දැන් විකුණන ලැයිස්තුවේ රක්ෂණ සමාගම, ලිට්ට්‍රෝ ගෑස් එක, වෝටස්ඒජ් හෝටලය, ලංකා හොස්පිට්ල්, හිල්ටන් හෝටලය, ටෙලිකොම් එක වගේ ලාබ ලබන ආයතන ගණනාවක් තියෙනවා. මේවා මොකටද හදිසියේ විකුණන්නේ. මේවා විකුණගෙන කන එක තමයි මේ පාලකයන්ගේ එකම ප්‍රතිපත්තිය බවට පත්වෙලා තියෙන්නේ.   


මේ ආණ්ඩු තවත් භයානකම තැනකට දැන් අත තියන්න කැසකවනවා. ඒ තමයි බලශක්ති ක්ෂේත්‍රයේ ඉතිරි කොටස් ටිකත් විකිණීම. තෙල් ගේන තැනම විශාල චංචා දූෂණ සිද්ධ වෙයි. අපිට මතකයි ප්‍රසිද්ධ හෙජින් ගනුදෙනුව. මේවා පාඩුයි පාඩුයි කියලා ප්‍රවාද නිර්මාණය කරලා විකුණලා දාන තැනට ගේනවා. මේවයි යට තියෙන හොර ගනුදෙනු වංචා නිසා තමයි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ගෙජින් ගනුදෙනුවේ පාඩුව කෝටි අටදහක්. අදත් වගකිවයුත්තන් අත්අඩංගුවට අරගෙන නෑ. නඩුවත් නෑ. බාල තෙල් ගෙනවා. අදත් කාටවත් දඬුවමක් හම්බ වුණාද? තෙල් සංස්ථාව කියන්නෙම හොර ගුහාවක්. මේ තැන්වල පාඩු සිද්ධ වෙන්නෙ නිසි කාර්යක්ෂමතාවයක් නැති නිසා. දැන් මේවා විකුණන්න හදන්නේ ඒවා ගොඩදාන්න නෙවෙයි කීයක් හරි හොයාගන්න. ඒ වගේම විදුලි බල ක්ෂේත්‍රයත් බලාගාර මට්ටමෙන් විකුණන්න සැලසුම් හදලා තියෙන්නේ. ජල විදුලි බලාගාර විකුණනවා කියලා කියන්නේ ජලාශවල අයිතියත් බලාගාර ගන්න සමාගම්වලට පැවරෙනවා. රටට මොකක්ද මෙහෙම ගිහින් ඉතුරු වෙන්නේ. ආණ්ඩුව පාඩු ලබන ආයතනත් ලාභ ලබන ආයතනත් සියල්ලම විකුණලා දාන්න තමයි මේ සැරසෙන්නේ. මේ විදියට ගියොත් හෙට අපේ රට පාලනය කරන්නේ විදුලිය අයිති කොම්පැණි ටිකයි තෙල් අයිති කොම්පැණි ටිකයි. ඒක ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තත් විශාල අර්බුදයක්. මේ හරහා බරපතළ ගැටලු රැසක් නිර්මාණයවීමට නියමිතයි.   
අනිත් එක තමයි රාජ්‍ය බැංකු ටික. අපි දන්නවා ලෝකයේ හැමතැනම මූල්‍ය සමාගම් තමයි ආර්ථිකය හසුරුවන්නේ. ඒ මූල්‍ය ක්ෂේත්‍රයේ අනිවාර්ෙ‌යන්ම ආණ්ඩුවේ පංගුවක් තිබිය යුතුයි. අපේ රටේ නම් ඒ පංගුව තමයි ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා නියෝජනය වෙන්නේ. ආණ්ඩුව අතේ මූල්‍ය වෙෙළඳපොළේ පංගුවක් තිබිය යුතුමයි. ඒක අතඅරිනවා කියන්නේ විශාල අනතුරුදායක තත්ත්වයක්. ආණ්ඩු දැන් පේෂ කර්මාන්ත ශාලා විකුණලා, වතු විකුණලා, කර්මාන්ත ශාලා විකුණලා, සොබාවික සම්පත් විකුණලා ඒ ආර්ථික උපාය මාර්ග ගෙල ගාවටම හිර වුණාම දැන් බලශක්ති ක්ෂේත්‍රයේ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ආණ්ඩුවේ පංගුව අතහැරලා සිය දිවි නසා ගැනීමට තමයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා මේ උත්සාහය පරාජය කළ යුතුයි.

 

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි