ඇතැම් මැතිවරණ වලදී මැර කණ්ඩායම් ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදී තොග පිටින් හොර ඡන්ද දැමූ අවස්ථා ද නැතුවාම නොවේ.
ඒ සමහර දේශපාලනඥයන්ගේ රැකවරණය ඇතිවය. ඇතැම් දේශපාලනඥයන්ගේ රැකවරණය නැතිවනම් එම දේශපාලනඥයන්ගේ හෙංචයියන් මෙසේ බයක් සැකක් නැතිව හොර ඡන්ද දැමීමට ඡන්ද පොළවල්වලට කඩා වදින්නේ නැත.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය.
ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුව මහතා පසුව පැවති ජනමත විචාරණ ඡන්ද විමසීම සඳහා සිය ඡන්දය පාවිච්චි කිරීමට කොල්ලුපිටියේ පිහිටි තේ මණ්ඩල ගොඩනැගිල්ලේ තිබූ ඡන්ද පොළට යන විට ඔහුගේ ඡන්දය ද කවුරුන් හෝ හොරට
දමා තිබිණි.
එක් වරක්, පළාත් සභා මැතිවරණයක් පැවැති අවස්ථාවක, දේශපාලනඥයෙකුගේ හයිය අරගෙන කඩු පොලු සහ තියුණු ආයුධවලින් සන්නද්ධව සැලකිය යුතු පිරිසක් ඡන්ද පොළකට කඩා වැදී තොග පිටින් හොර ඡන්ද දැමීමට උත්සාහ කළ අවස්ථාවක ඡන්ද පෙට්ටි මත වාඩි වී ‘‘හොර ඡන්ද දාන්න ආවොත් වෙඩි තියනවා’’ යැයි කියමින් ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි එල්ල කර හොර ඡන්ද දැමීමට පැමිණි එම පිරිස පලවා හරිනු ලැබුවේ ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකි. මෙතැන් සිට දිග හැරෙන්නේ
ඒ කතාවයි.
1999 වසරේ පළාත් සභා මැතිවරණය පැවති අවස්ථාවේ රත්මලාන බෞද්ධ මන්දිරයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවනු ලැබුවේ එවකට ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රාජකාරී කළ පොලිස් සැරයන් ජයන්ත අධිකාරම් මහතා සහ ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු වූ රමිෂා ජයසිංහ (5241) සහ නාමලී(3948) යන තිදෙනාය. මේ කොස්තාපල්වරියන් දෙදෙනා බාරව සිටියේ පොලිස් සැරයන් ජයන්ත අධිකාරම් මහතාය.
ඡන්දය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී බස් රථ තුනකින් පැමිණි එකසිය පනහක පමණ පිරිසක් ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ඡන්ද පොළ ආරක්ෂාව භාරව සිටි සැරයන් අධිකාරම් මහතා ඔවුනට ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වීමට ඉඩ නොතබා පලවා හැර ඇත්තේ බලවත් පරිශ්‍රමයක් යොදවාය.
බලහත්කාරයෙන් ඡන්ද මධ්‍යස්ථානය තුළට කඩා වැදුණොත් වෙඩි තැබීමට සිදුවෙන බව එම මැරකණ්ඩායමට පොලිස් සැරයන්වරයා දැනුම් දුන් පසු ඔවුන් එතනින් පිටව ගොස් ඇත්තේ ‘‘හොඳයි, අපි බලා බලාගන්නම්’’
යැයි කියාය.
එම මැර කණ්ඩායම පිටව ගොස් සුළු මොහොතකින් එවකට පැවැති රජයේ ප්‍රබල දේශපාලනඥයකු එහි පැමිණියේ ඔහුගේ ගෝල බාලයින් දහ දොළොස් දෙනෙකුද කැටිවය.
පාංශු දේහධාරී මෙකී ප්‍රබල දේශපාලනඥයා ඔහුට ඇති වරප්‍රසාද අනුව අදාළ මධ්‍යස්ථානයට පැමිණියේ ගෝරනාඩු කරමිණි.
‘‘කවුද මෙතන ඉන්චාජ් ඉන්න පොලිස් ඔෆිසර්’’? යැයි කියා විමසමින්ය. මෙකී දේශපාලනඥයා ඔහුගේ ගෝල බාලයන්ට හොර ඡන්ද දැමීමට ඉඩ නොදී පලවා හැරීම නිසා සිටියේ කෝපයෙන් වෙව්ලමිනි.
‘‘සර් මමයි මෙතන ඉන්චාජ් ඉන්නේ’’ යැයි කියා පොලිස් සැරයන්වරයා ප්‍රබල දේශපාලනඥයාට පවසා ඇත.
‘‘ආ තමුන් ද මගේ මිනිසුන්ට ඡන්ද පොළට එන්න නොදී එළෙව්වේ. තමුන් යාපනයට යන්න කැමති ද?. එහෙම කැමතිනම් මේවා කළාට කමක් නැහැ. තමුන් යාපනයට යන්න සූදානම් වෙලා ඉන්නවා’’ යැයි පොලිස් සැරයන්වරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් පැවසූ එකී දේශපාලනඥයා ඔහුගේ ගෝලබාලයින් සමඟ පිටව ගියේ තමා කවුදැයි කියා පෙන්වන බවය.
මේ වෙන විටත් ඡන්ද මධ්‍යස්ථානය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබිණි.
දේශපාලනඥයාගේ තර්ජන ගර්ජන හමුවේ පොලිස් සැරයන් හෝ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා කිසිසේත් සැලුණේ නැත.
ඕනෑම තුත්තුකුඩියක රාජකාරී කිරීමට යෑමට පොලිස් නිලධාරියා හා නිලධාරියන් දෙදෙනා ඒ වෙන විටත් හිත හදාගෙනය.
පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරියන් දෙදෙනා ඔවුනට පවරා ඇති ඩියුටිය අකුරටම ඉටු කිරීමට සෑදී පැහැදී සිටියහ.
ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයා ඔහුගේ ගෝල බාලයින් සමග ඡන්ද පොළෙන් පිටව ගොස් වැඩි වේලාවක් ගත වූයේ නැත.
මෙකී දේශපාලනඥයාගේ ගෝල බාලයින් සැලකිය යුතු පිරිසක් යළිත් බස් රථ තුනකින් පැමිණ ඡන්ද මධ්‍යස්ථානය අසල ඒ බස් රථ නතර කර ඡන්ද පොළ තුළට කඩා වැදුණු අතර ඔවුන්ගෙන් සමහරෙක් සන්නද්ධව සිටියේ කඩු පොලු සහ මන්නා පිහි වලින්ය.
ඡන්ද මධ්‍යස්ථානයට කඩා වැදුණු බොහෝ දෙනෙකුගේ සුළඟිල්ලේ නිල් පාට තීන්ත තවරා තිබෙන අයුරු ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන් දෙදෙනාට පමණක් නොව ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි උසස් නිලධාරියා ඇතුළු සෙසු නිලධාරීන්ට ද පැහැදිලිවම දක්නට ලැබී ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව අවසන් වෙමින් තිබිණි. පොලිස් සැරයන් ජයන්ත අධිකාරම් දෙවරක් නොසිතා ඔහු යටතේ සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාට අණ කළේ ගිනි අවි සූදානම් කර තබා ගන්නා ලෙසය.
පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා පොලිස් සේවයට ආධුනිකයන් වුවත් ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට තරම් එඩිතර කමක් හිතේ හයියක් ඇතිව සැරයන්වරයා ලබා දුන් උපදෙස් අනුව ගිනි අවි සූදානම් කරගෙන ඇත.
ඡන්ද මධ්‍යස්ථානය තුළ ඇතිවී තිබූ මෙම භීෂණකාරී තත්ත්වය මත රාජකාරී සඳහා පැමිණ සිටි සමහර සිවිල් නිලධාරීන් බියෙන් ත්‍රස්තව ඡන්ද මධ්‍යස්ථානයෙන් ඈත්ව සිටියේ වෙලාවේ හැටියට වෙන කරන්න කිසිම දෙයක් ඔවුනට නොතිබූ නිසා විය යුතුය.
සැරයන්වරයාගේ ඊළඟ විධානය අනුව ක්‍රියාත්මක වූ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා, මධ්‍යස්ථානයේ මේසයක් මත තබා තිබූ ඡන්ද පෙට්ටි දෙක මත ගොඩ වී ගිනි අවි අමෝරාගෙන කෑ ගසා කියා ඇත්තේ ‘‘හොර ඡන්ද දාන්න ආවොත් වෙඩි කන්න වෙනවා’’ම යැයි කියමිනි.
ගිනි අවි දෙක පැත්තකට දමා ඡන්ද පෙට්ටි දෙක මතින් බිමට බසින ලෙස හොර ඡන්ද දැමීමට පැමිණි පිරිස අතර සිටි හැඩි දැඩි කිහිප දෙනෙකු අණ කළත් පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා කිසිසේත් සැලුණේ නැත.
මැරයන්ගේ එකම අරමුණ වී තිබුණේ කෙසේ හෝ හොර ඡන්දවලින් ඡන්ද පෙට්ටි
පුරවා යාමටය.
ප්‍රබල දේශපාලනඥයා, ඔහුගේ ගෝල බාලයන්ට උපදෙස් ලබා දී තිබී ඇතැයි කියන්නේ හොඳින් හෝ නරකින් ඡන්ද පෙට්ටි ටික හොර ඡන්ද වලින් පුරවා එන ලෙසය.
දේශපාලනඥයා කී දේ ඉටු කිරීමට නොහැකි වූයේ පොලිස් සැරයන්වරයා නිසා සහ ඡන්ද පෙට්ටි මත වාඩිවී සිටි පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා නිසාය.
හොර ඡන්ද දැමීමට ඡන්ද මධ්‍යස්ථානයට කඩා වැදී සිටි එක් අයෙක් පොලිස් සැරයන් අධිකාරම් මහතාට පිහියකින් ඇනීමට උත්සාහ කළත් ඒ තැත සාර්ථකව වළක්වා ගැනීමට සැරයන්වරයාට හැකි වී තිබිණි.
පොලිස් සැරයන්වරයාට පිහියකින් ඇනීමට තැත් කළ පුද්ගලයා පසුව පොලිස් අත්අඩංගුවට ගැනිණි එම සැකකරු යුද හමුදාවෙන් පලා ආ සෙබළෙක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවිය. පොලිස් කැරලි මර්දන කණ්ඩායමක් ද පොලිස් පරීක්ෂක නන්දපාල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද එහි පැමිණියේ ඡන්ද මධ්‍යස්ථානය තුළ උද්ගතව තිබූ තත්ත්වය පොලිස් සැරයන්වරයා කළ දැනුම්දීමක් අනුවය.
දේශපාලනඥයාගේ මැර කණ්ඩායම කොයිතරම් වලි කෑවත් එක හොර ඡන්දයක් හෝ දැමීමට පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා ඉඩ
තැබුවේ නැත.
පොලිස් සැරයෙන්වරයා ගත් ඍජු තීන්දු තීරණ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනාට ඉමහත් අස්වැසිල්ලක් වී තිබිණි.
දේශපාලනඥයාගේ හැඩි දැඩි මැර කණ්ඩායම අවසානයේ පසුබැස ගියේ ලාබාල පොලිස් යුවතියන් දෙදෙනෙකුගේ ගිනි අවි පත්තු වී ඔළු කටු කුඩු කරගන්න වේ යැයි බියට පත්වූ නිසාය.
පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරියන් දෙදෙනා ඡන්ද පොළේ සිදු වූ දේවල් අකුරක් නෑර පොලිස් පොත්වල සටහන් කර ඒ බව ඉහළ පොලිස් නිලධාරීන් ද දැනුවත් කළහ.
දේශපාලනඥයෙකුගේ මැර කල්ලියක් හමුවේ නොබියව නොසැලී රාජකාරිය අකුරටම ඉටු කළ පොලිස් සැරයන් අධිකාරම් මහතාට සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ නාමලී සහ රමිෂාට එහි සිටි කොයි කාගේත් ප්‍රශංසාව හිමි වී ඇත.
හොර ඡන්ද දැමීමට ආ අය පලවා පොලිසියේ නම්බුව හා නිල ඇඳුමේ ගෞරවය රැකගත් එදා පොලිස් සැරයන් නිලයේ සිටි ජයන්ත අධිකාරම් මහතා මේ වෙන විට පොලිස් පරීක්ෂක නිලයට උසස් වීම් ලබා සිටින අතර නාමලී සහ රමිෂා සැරයන් නිලයට උසස් වීම් ලබා සිටිති,
මේ තිදෙනාම තවමත් පොලිස් රාජකාරියේ නිරතව සිටිති.ඡන්ද පොළ රැකගැනීම වෙනුවෙන් නොබියව කටයුතු කළ පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ ද ප්‍රශංසාවට ලක්වී ඇත.
දේශපාලනඥයා ඡන්ද පොළට පැමිණ පොලිස් නිලධාරියාව සහ නිලධාරිනියන් දෙදෙනා යාපනයට මාරු කරන බවට පාරම්බාගියත් ඔවුනට යාපනයට ස්ථාන මාරුවක් නම්
ලැබී නැත.
(මෙම ලිපිය සකස් කරනු ලැබුවේ මේ හා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ මේ වෙනවිට විශ්‍රාම ලබා සිටින උසස් පොලිස් නිලධාරියකු ලබා දුන් තොරතුරු අනුවය.)
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය