​මේ ආණ්ඩුව හොල්ලන දැවැන්ත ජන රැළියක් අගෝස්තුවේ අපි කොළඹදී තියනවා


 

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  
නාමල් රාජපක්ෂ

රාජපක්ෂ පවුලේ අර්බුදයක්ද? ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේදී ඒ අර්බුදය පුපුරා යයිද? ඒ අර්බුද උඩ රටේ අර්බුද යට ගොස් තිබේද? ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.  

 

  
ප්‍රශ්නය:- ලංකාවේ දේශපාලනය ඇලෝසියස්ගේ සල්ලි හා චීන සල්ලි බවට පත්වෙලා. මොකද මේ වෙලා තියෙන්නේ?  


පිළිතුර:- මේ ආණ්ඩුව මහ බැංකුව සම්පූර්ණයෙන්ම කොල්ල කාලා ඒක වහගන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට තාම මඩ ගහන එක තමයි කරන්නේ. දැන් ඇලෝසියස් මුදලාලි හිරේ. සල්ලි ගත්තු අය එළියේ. ඒ අය දැන් බණිනවා ඇලෝසියස් මුදලාලිට. ඇලෝසියස් මුදලාලි හිරේ ඉන්නවා නම් සල්ලි ගත්තු අයත් හිරේ ඉන්න එපැයි. මොකද ඒකාබද්ධ විපක්ෂයේ අපිට එක නීතියකුයි ආණ්ඩුවට තව නීතියකුයි ක්‍රියාත්මක වෙන්න විදියක් නෑනේ. අගමැතිතුමා ආණ්ඩුව පටන් ගත්තෙම චීන ණය බර කියලා. හැබැයි ගිය සතියේ පාර්ලිමේන්තුවේදී කිව්වා ‘එහෙම එකක් නෑ.’ කියලා. අගමැතිතුමාම පිළිගන්නවා එහෙම ණය උගුලක රට හිරවෙලා නෑ කියලා.  


ප්‍රශ්නය:- චීන සල්ලි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබීම ගැන ඔබ මුකුත් කිව්වේ නෑ?  


පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ බව අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විතරක් නොවෙයි. අපි ඒ ගැන මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. අවුරුදු තුනක් තිස්සේ පරීක්ෂණ කරලා කිසිම දෙයක් හොයාගන්න බැරි වෙන කොට ඒ පරීක්ෂණ කටයුතු පාවිච්චි කරනවා මඩ ගහන්න. සල්ලි දීලා තියෙනවා නම් මේ අවුරුදු තුනට හොයා ගන්න බැරිවෙන්නේ නැහැනේ. දැන් ඇලෝසියස්ගේ සල්ලි ගත්ත ඒවා හොයා ගත්තේ. චෙක් මාරු කළේ ගෙදර මුරකාරයා නම්, ඒවා පවා හොයා ගත්තේ. දැන් මේ ගැන අවුරුදු තුනක් තිස්සේ හොයලා මුකුත් හොයාගන්න බැරි වෙනකොට දැන් ඒවා පාවිච්චි කරනවා දේශපාලන වශයෙන් මඩ ගහන්න.  


ප්‍රශ්නය:- නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂට කිව්වා ‘මාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න. අපි උත්තර දෙන්නම්’ කියලා.  


පිළිතුර:- නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පත්තරයට මේ ගැන පැහැදිලි කර ගැනීමක් කරගන්න අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න තිබුණා. වටේ යන්න ඕනෑ නැහැනේ.  


ප්‍රශ්නය:- ඒ මාධ්‍යවේදිනිය කියලා තිබුණා ‘එහෙම උත්සාහයක් ගත්තා. ඒත් අසාර්ථක වුණා’ කියලා.  


පිළිතුර:- ඔබ කියන්නේ එහෙම කිව්වම වගකීම ඉෂ්ට කළා කියලද? එයාලා වටේ ගිහිල්ලා ආණ්ඩුවට සම්බන්ධ අයගෙන් සහයෝගය අරගෙන ආණ්ඩුවේ මතය ප්‍රකාශ කරලා ලිපිය දැම්මා. මොකද අපි දැක්කා සමහර රටවල තානාපතිවරු මේ පිළිබඳව ලොකු ප්‍රචාරයක් දුන්නා ට්විටර්වලින් ෆේස්බුක්වලින්. මංගල සමරවීර මාධ්‍ය ඇමැතිවරයා මේකට ලෑස්ති වෙලා හිටපු විදිය අපි දැක්කා.  


ප්‍රශ්නය:- කොහොම නමුත් නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පුවත්පතත් සමග සම්බන්ධ මාධ්‍යවේදීන්ගේ නම් කියමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා. ඒක මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමක්.  


පිළිතුර:- නෑ. අපි ඔවුන්ගේ මූලාශ්‍රවලින්ම තමයි එහෙම කිව්වේ. එයාලා කියලා තිබුණා මෙරට ඉන්න ඒ ඉහළ පෙළේ මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන් ‘ලොජිස්ටික්’ වැඩ කළේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ වාහන එළවන එක. කෑම උයන එක වගේ වැඩ. එහෙම කියන්නේ අපි නොවෙයි නිව්යෝර්ක් ටයිම්ස් පත්තරෙන්මයි එහෙම කියන්නේ. ඒ අය ඩ්‍රයිවර් රස්සාව, කුස්සියේ වැඩ කරලා තියෙන්නේ. එ් වගේම නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පත්තරයට ඉතිහාසයක් තියෙනවා. ඉරාක යුද්ධය ඇති කළේ කවුද? ඉරාකය විනාශ වුණාට පස්සේ කිව්වා අපේ ප්‍රවෘත්තිය පදනම් විරහිතයි කියලා. කර්තෘවරුන්ට ඉල්ලා අස්වෙන්න වුණා. ට්‍රම්ප් ජනාධිපතිතුමත් කියලා තිබුණා නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පුවත්පතේ සම්පූර්ණයෙන්ම බොරු වාර්තා යන්නේ කියලා. ඒ නිසා නිව්​ෙ‌යා්ක් ටයිම්ස් පුවත්පත මෙහෙම කළේ පළමු වතාවට නොවෙයි. බටහිර හා නැගෙනහිර ලෝකය අතර තියෙන ප්‍රශ්නයට අපිව මැදිහත් කරගන්න එපා කියලයි අපි කියන්නේ.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ මෙතැන තියෙන්නෙ ලෝක දේශපාලන බල තුලනය සම්බන්ධ ප්‍රශ්නයක් මිසක් සල්ලි ප්‍රශ්නයක් නොවෙයි කියලද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. ඒක මේ රටේ ඉන්න සමහර අයටත් හොඳට ගැළපෙනවා.  


ප්‍රශ්නය:- පුවත්පතක නිවැරදි ප්‍රවෘත්තියක් පළ වුණාම ඒක නිවැරදි කිරීමේ විධිමත් ක්‍රමයක් තියෙනවා. ඇයි ඒ ක්‍රියාමාර්ගය අනුගමනය නොකළේ?  


පිළිතුර:- ඒ ක්‍රමවේදය අපි අනුගමනය කළා. නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස් කර්තෘවරයාට ඊමේල් මාර්ගයෙන් අපි ලිපියක් යවලා තියෙනවා. හැබැයි අද වෙනකම් ඒක පළ කළේ නෑ.  


ප්‍රශ්නය:- මොකක්ද ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ?  


පිළිතුර:- අපට මේ සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ ඊළඟ ක්‍රියාමාර්ගය?  


පිළිතුර:- අතිවිශාල විරෝධතා ව්‍යාපාරයක් අපි ආරම්භ කරනවා. අපි මේ රටේ ජනතාවට කියනවා අගෝස්තු මාසය මේ රටට තීරණාත්මක මාසයක්. ආගෝස්තු මාසය මේ ආණ්ඩුව හොල්ලන දැවැන්ත ජන රැලියක් අපි කොළඹ සංවිධානය කරනවා. ඔව් අපි ආණ්ඩුව පෙරළන්න සූද‌ානම්.  


ප්‍රශ්නය:-ආණ්ඩුව හෙල්ලිල්ල කෙසේ වෙතත් ජම්පර් අඳින්න සූදානමින් ඉන්න කියලයි ආණ්ඩුව කියන්නේ?  


පිළිතුර:- ඔව් ඉක්මනින් නඩු අහලා ඉවර කරනවලුනේ. ඒක හොඳයි. අපිත් බලාගෙන ඉන්නේ එහෙම නඩු අහලා ඉවර වෙනකම් තමයි. ජම්පර් අඳින්න වෙන්නේ අපිට ද එහෙම නැත්නම් මහ දවාලේ මහ බැංකුව කොල්ලකාපු අයට ද කියලා එතකොට බලාගන්න පුළුවන්.  


ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් එළියට ආපු 16 දෙනාම ඒකාබද්ධ විපක්ෂයට ආවද? එස්.බී. හා දයාසිරි ජයසේකර ‘ෂුවර්’ නෑ නේද?  


පිළිතුර:- අපි හැමදාම කියන්නේ අපේ සැළුන් දොර විවෘතයි. අපේ දේශපාලන මතය නියෝජනය කරනවා නම් අපිත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි අපේ දේශපාලන මතය නියෝජනය කරන්නේ නැත්නම් කකුල් දෙක දෙපැත්තෙ නම් අපිත් එක්ක ඉන්න බෑ. එහෙම අයට ආව වගේම යන්න පුළුවන්. 

 
ප්‍රශ්නය:-ආණ්ඩුවෙන් කැඩිලා මන්ත්‍රීවරු විපක්ෂයට එනකොට තොරණ ගහලා පිළිගන්නෙ​් නැතිව ආඩපාලි කියන ලෝකයේ එකම විපක්ෂය ඒකාබද්ධ විපක්ෂයයි.

  
පිළිතුර:- නෑ. අපි කිසිම දවසක ආණ්ඩුවෙන් කැඩිලා එන්න එපා කියලා නෑ. අපි කියන්නේ ආණ්ඩුව අතහැරලා එන්න කියලයි. ආණ්ඩුවේ එක කකුලක් තියාගෙන ආණ්ඩුව බද‌ාගෙන එක කකුලක් අපේ පැත්තේ තියාගෙන ඉඳලා වැඩක් නෑ. ආණ්ඩුව බද‌ාගෙන කකුල් දෙක අපට දෙන්න හදන්න එපා. ආණ්ඩුව බද‌ාගත්ත එක අතහරින්න. ඊට පස්සේ අපි ගාවට එන්න.  


ප්‍රශ්නය:-පළාත් සභා ඡන්දය තමයි ළඟම ඡන්දය? කොහොමද සූදානම?  


පිළිතුර:- මගේ පෞද්ගලික මතය නම් මේ ආණ්ඩුව මැතිවරණයකට අරගෙන යෑම හරියට පිස්සු බල්ලෝ නාවන්න අරගෙන යනවා වගේ තමයි. මේ ආණ්ඩුව ඔය පළාත් සභා මැතිවරණය තියයි කියලා හිතන්න බැහැ. මොකද ආණ්ඩුව මැතිවරණවලට බයයි. ජනතාව ඉදිරියට ගිහින් ඡන්දයක් ඉල්ලන්න මේ අයට හයියක් නෑ. ආණ්ඩුව හොරකම් කළා, බොරු කිව්වා මිසක් මේ අවුරුදු තුනට වැඩක් කළේ නෑ. ඒ නිසා ආණ්ඩුව මැතිවරණ කල් දැමීමේ උපක්‍රම තමයි අනුගමනය කරන්නේ.  


ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය ඉතාම බරපතළ විදියට මේ ආණ්ඩුවට එල්ල කරපු චෝදනාවක් තමයි මේ ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදියට කටයුතු කරනවා කියලා. ඒත් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කිව්වේ මේ ආණ්ඩුව උතුරට මොකක්වත් කළේ නෑ’ කියලයි?  


පිළිතුර:- ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඩයස්පෝරාවට අවශ්‍ය දේ තමයි කරන්නේ. හැබැයි අපි හැමදාම කියපු දේ තමයි දෙමළ ජනතාවට අවශ්‍ය දේ නොවෙයි ඩයස්පෝරාවට අවශ්‍ය කියලා. විජයකලා මන්ත්‍රීතුමියගේ ප්‍රකාශයේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැඩි සේ එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා එල්ටීටීඊ ත්‍රස්තවාදය නැවත හිස එසවිය යුතුයි කියන කාරණය. අනික් අතට ඒ ප්‍රකාශය තුළ ඉතාම බරපතළ ලෙස හැඟවුන සමාජයීය කාරණාවක් තියෙනවා. ඒ තමයි දෙමළ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා කියන එක.  


ප්‍රශ්නය:- මොකක්ද ඒ ආරක්ෂක ප්‍රශ්නය?  


පිළිතුර:- උතුරේ පොලිසියකට ගිහින් දෙමළෙන් පැමිණිල්ලක් ද‌ාගන්න විදියක් නෑ. අපේ කාලයේ දෙමළ පොලිස් නිලධාරින් හිටියා. මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ අය ‘ට්‍රාන්සර්’ කළා මහින්ද රාජපක්ෂගේ අය කියලා. දැන් භාෂා පරිවර්තකයන් හරහා තමයි පැමිණිල්ලක් ද‌ාන්න වෙලා තියෙන්නේ. මම නිතරම උතුරේ දේශපාලන කටයුතුත් එක්ක සම්බන්ධ වෙන නිසා මම දන්නවා සල්ලි දීලා තමයි පැමිණිල්ල ‘ට්‍රාන්ස්ලේට්’ කරගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම ට්‍රාන්ස්ලේට් කරන අයට අවශ්‍ය විදියට තමයි පැමිණිල්ල ලියාගන්නේ. එතැන ඉන්න පොලිස් නිලධාරියට දෙමළ තේරෙන්නේ නෑ. දැනට උතුරේ හැම තැනම කඩු කිනිසි තියාගත්ත කණ්ඩායම් ඉන්නවා. මේ අය ගෙවල්වලට පනිනවා. කොල්ලකනවා. දූෂණය කරනවා. ඒවට පැමිණිලි ලියවෙන්නේ නෑ. ඒ නිසා උතුරේ සමාජය තුළ දකුණේ වගේම ඉතාම දැවැන්ත ලෙස නීතිය හා සාමය බිඳවැටිලා තියෙනවා. මේ ඊයෙ පෙරේදා කොළඹ දී විතරක් දවස් දෙකට හය දෙනෙකු වෙඩි තියලා මැරුවා. තුන් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ඒ ප්‍රශ්නය ඇහුවම පොලිස් මාධ්‍ය ප්‍රකාශක මරණකරුගෙ ඉතිහාසය කියන්නේ. පොලිසිය ඝාතකයන්ගේ තොරතුරුත් හොයන්න ඕනෑ. මැරිච්ච එක්කෙනාගේ ඉතිහාසය කියලා පොලිසියට ඇඟ බේරාගන්න බැහැනේ. එහෙම නම් වැලිකඩ බන්ධනාගාරයෙන් මැරිච්ච අයගේ විස්තර කියන්න ඕනෑ. ඒ අයගේ පාතාලයේ ඉතිහාසය ගැන.  


ප්‍රශ්නය:-වැලිකඩදී වුණේ බන්ධනාගාරයේ හිටපු රැඳවියන් පිරිසක් මරා දැමීමනේ?  


පිළිතුර:- එතැන වුණේ මොකක්ද කියලා ඔය කියන පරීක්ෂණවලින් ඔප්පු වෙයිනේ. මම කියන්නේ මැරිච්ච කෙනාගේ ඉතිහාසය ගැන අද කියනවා වගේ ඒ අයගේ ඉතිහාසයත් කිව යුතුයි කියලා. වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී පොලිසියට හා බන්ධනාගාර නිලධාරින්ට විතරක් වරද පටවලා කට පියාගෙන ඉන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ සිදුවීම්වලදී විතරක් මරණකරුගේ ඉතිහාසය කියන්නේ. අර අනුරාධපුරයෙ තිදරු පියාගේ ඝාතන සිද්ධිය හොඳම උද‌ාහරණයක් තමන්ගේ දුවව නිරුවත් කළ පුද්ගලයාට පහරක් ගැහුවා කියලා ඒ සිද්ධිය. පොලිසියට පැමිණිලි කරලත් තියෙනවා. පොලිසිය ඒ වෙලාවේ නීතිය ක්‍රියාත්මක කළේ නෑ. ඒ තාත්තව මැරුවට පස්සේ පොලිසිය ඒ දුව බේරාගන්න ගිය තාත්තගේ ඉතිහාසය කියනවා. ඒකත් අමූලික බොරු. එහෙම බැලුවොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිවත් නඩු තියෙනවා. එහෙම නම් එයාගේ පැටිකිරිය එයා කියවාගන්න ඕනෑ. එෆ්.සී.අයි.ඩී. එකේ ලොක්කාට විරුද්ධ පැමිණිලි තියෙනවා. ඒකට පොලිස්පතිවරයා පරීක්ෂණ කරනවා. පොලිස්පතිවරයට එරෙහිවත් පැමිණිලි තියෙනවා. එහෙම නම් පොලිස්පතිවරයාගේ පැමිණිලි ගැනත් කියන්න ඕනෑ. මේකේ මේ මොකක්ද මේ කරන්නේ. හැමදේම තමන්ගෙන් අතපසුවන දේ. ඒ වගේම සිතා මතාම දේශපාලනීකරණය වෙලා. ඉහළ පොලිස් නිලධාරින් කරන වැඩ තමයි මේ. පහළ පොලිස් නිලධාරින්ට කරන්න දෙයක් නෑ. ඒ අය ඉහළින් එන නියෝග තමයි ක්‍රියාත්මක කරන්නේ. පොලිසිය දේශපාලනීකරණය වුණාම නීතිය වල් වදිනවා.  


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ යුගයේදී වගේ සුදුවෑන් හරහා මේ තත්ත්වය පාලනය කළ හැකියි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. 

 
 පිළිතුර:- සුදු වෑන් කතාව එහෙම්පිටින්ම මවාපෑමක්. සුදු වෑන් ගැන කතා කළාට ගිය කෙනෙකුත් නෑ. දැක්ක කෙනෙකුත් නෑ. සුදු වෑන්වලින් ගිහින් අතුරුදන් වෙච්චි කෙනෙකුත් නෑ. ඔය අතුරුදන් වුණා කියලා කියන අයගේ බිරින්දෑවරු කියනවනේ තමන්ගේ මහත්වරු තාම ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ කියන්නේ මහත්වරු අතුරුදන් වෙලා නැහැනේ.’ ඒක ඔය දේශපාලනික වශයෙන් මඩ ගහන්න කියපු කතාවක් විතරයි. හැබැයි අපේ ආණ්ඩුව කාලේ දැඩි ලෙස පාතාලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා. විහිළුවට එහෙම නොවෙයි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළා.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ඒ කාලයෙ දැඩි මිලිටරි ආධිපත්‍යයක් තිබුණා කියලා?  


පිළිතුර:- මිලිටරි ආධිපත්‍යයක් මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තිබුණේ නෑ. හැබැයි අපි නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කළා. දේශපාලන පසුබිම් ගැන බලන්නේ නැතිව අපේම දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පටන් ගත්තෙම ‘රාජා භවතු ධම්මිකෝ’ කියලා. නමුත් රජු අධර්මිෂ්ඨ නම් සමාජය අධර්මිෂ්ඨ වෙනවා.  


ඒත් දැන් එතුමා දෙපාරක් නොවෙයි සිය දහස් වාරයක් හිතන්න ඕන කාලය. එතුමා ජනාධිපති වෙච්ච දවසේ ඉඳන් රටට සිද්ධ වෙමින් තිබෙන දේ පිළිබඳ එතුමා දැන් කල්පනා කරන්න ඕනෑ.  


ප්‍රශ්නය:- ඊළඟ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන විවිධ මත පළ වෙනවා. කවුද ඔබේ අපේක්ෂකයා?  


පිළිතුර:- පොහොට්ටුවේ අපේක්ෂකයා වෙලාවට අපි ඉදිරිපත් කරනවා. ඒ ගැන අපට ප්‍රශ්නයක් නෑ. ඕනෑ තරම් අපේක්ෂකයෝ අපට ඉන්නවා. හැබැයි කවුරු හිටියත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා වෙන්නේ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙකුට ‘චාන්ස්’ එකක් නැහැ.  


පිළිතුර:- එහෙම දෙයක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා තීන්දු කරයි ඒ අවස්ථාවට සුදුසු ජයග්‍රහණය කරන්න සුදුසු අපේක්ෂකයා කවුද කියලා.  


ප්‍රශ්නය:- යූඑන්පිය කියනවා පොහොට්ටුවෙන් එන්නේ ‘හිට්ලර්’ කියලා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ?  


පිළිතුර:- මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිට්ලර් වගේ පේනවා ඇති. මොකද රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. කවුරුවත් කියන කිසිම දෙයක් අගමැතිවරයා අහන්නේ නෑ. පසුපෙළ මන්ත්‍රීවරුන්ට නායකත්වයේ වෙනසක් වෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට බලය වැඩියි කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අඬනවා. එක්සත් ජාතික පක්ෂයෙ මන්ත්‍රීවරු කියනවා යූඑන්පී ආණ්ඩුවක් අවශ්‍යයි කියලා. ඔය කිසිම දෙයක් වෙන්නේ නැති කොට ඒ ගොල්ලන්ට හීනෙන් පවා හිට්ලර් පේනවා ඇති. ඒ නිසා තමයි ඔය කියවන්නේ.  


ප්‍රශ්නය:-ඔබ ගෝඨාභය රාජපක්ෂ කියන නම මග හැරියා?  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයකුට මගේ මනාපය තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එහෙමයි. බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් එහෙමයි. මොකද ඔය කියන දෙන්නම මගේ බාප්පලනේ. මට දෙන්නම ප්‍රශ්නයක් නෑ.  


ප්‍රශ්නය:-මම බැසිල් රාජපක්ෂ නම කියන්නත් පෙර ඔබ ඔහු ගැන සඳහන් කළා. ඇත්තටම ඔහු ආවොත් මොකක් වෙයිද?  


පිළිතුර:- බාප්පලා කවුරු ආවත් මට ප්‍රශ්නයක් නෑ. ලොකු තාත්තා ආවත් බාප්පලා කවුරු ආවත් ඒ අය බාප්පලාම තමයි. ඒ නිසා මට විශේෂ ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අතේ තමයි අන්තිම තීන්දුව තියෙන්නේ. බාප්පලා කවුරු ආවත් එකයි.  


ප්‍රශ්නය:-දිනන්න කතා කළාට දිනුවට පස්සේ මොකද කරන්නේ? ආපහු පරණ පාරෙමද?  


පිළිතුර:- අපට නිශ්චිත සැලැස්මක් තියෙනවා. මහින්ද චින්තනයේ අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපි කරන දේ පිළිබඳව. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ කියපු දේ කරපු කෙනෙක්. ඒ වගේම කරපු දේ කියපු නායකයෙක්. ඊළඟ ආණ්ඩුවත් එතුමාගේ නායකත්වයෙන් තමයි පිහිටුවන්නේ. ඒ පිහිටුවන ආණ්ඩුව මගින් අපි ආර්ථික, සමාජීය හා දේශපාලන අතින් රට ස්ථාවර කරනවා. පළමුව රට ස්ථාවර විය යුතුයි. මහා දැවෙන ප්‍රශ්න තියෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ. ඒ වගේම ඉඩම් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න තියෙනවා. මහවැලියෙත් එහෙමයි. ඒ නිසා ඒ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න පුළුවන් නායකත්වයක් රටට අවශ්‍යයි. ඉස්සෙල්ලාම මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් තුළ ඉස්සෙල්ලාම රට ස්ථාවර කරනවා. ඒ හරහා මේ රටේ බොහෝ ප්‍රශ්න විසඳෙනවා. ස්ථාවර ආණ්ඩුවක් තුළ මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් අප සතුව තියෙනවා.  


ප්‍රශ්නය:- දස වසරක මහින්ද රාජපක්ෂ පාලනය බිඳවැටීමට අදාළව බලපෑ සාධක පිළිබඳව පසුවිපරමක් කළාද?  


පිළිතුර:- ඔව්. ඒ පිළිබඳව අපි පුළුල්ව සාකච්ඡා කළා. ඒ වගේම නිවැරදි කරගත යුතු තැන් හඳුනා ගත්තා. එසේ නිවැරදි වීමේ නිහතමානීකමක් අපට තියෙනවා. ඒ අනුව බොහෝ වෙනස්කම් කරලත් තියෙනවා.  


ප්‍රශ්නය:- පරාජයට හේතු මොනවද?  


පිළිතුර:- කාරණා කිහිපයක් තියෙනවා. අපිට තිබුණේ අවුරුදු 24 ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක්. වෙනසක් පිළිබඳ ලොකු කතාබහක් ඇතිවුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ දැවැන්ත ආර්ථික සමාජයීය සංවර්ධනය සාමාන්‍යකරණය වුණා. මිනිසුන්ට සංවර්ධනය පිළිබඳ වටිනාකම නැති වුණා. මොකද හැම තැනම පාරවල් හැදුණා. හැම තැනම ගොඩනැගිලි හැදුණා. මිනිසුන්ගේ ආර්ථික අපහසුතාවන් නැති වුණා. තුන්වේල කාලා ජීවත්වෙන්න පුළුවන්කම ලැබුණා. ව්‍යාපාර දියුණු වුණා. ඉතින් මිනිස්සු හිතුවා වෙනසක් කරලා මෙතැනින් එහාට තව දුර යන්න පුළුවන් කියලා. කවුරුවත් විශ්වාස කරන්නේ නෑනේ අලුත් ආණ්ඩුවක් ආවම රට තිබුණ තැනින් අඩි 10 ක් පස්සට අරගෙන යයි කියලා. මිනිස්සු හිතුවා අලුත් ආණ්ඩුවක් ආවම වැඩිපුර සහන දෙයි කියලා. වැඩිපුර ආයෝජන ගෙනෙයි කියලා. මොකද කලින් ආණ්ඩුවට වඩා වැඩ කරන්න අවශ්‍ය නිසා. ඒ අවුරුදු 24 ක කාලය හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දැවැන්ත සංවර්ධනය සාමාන්‍යකරණය වීම තුළ තමයි වෙනසට ඉඩක් ලැබුණේ.  


ප්‍රශ්නය:-ඔබ හිතන්නේ ඔය සාධක පමණක්ම ද බලපෑවේ කියලා?  


පිළිතුර: මෙහෙමයි. දැන් බලන්න. රටේ වරායවල් හදන එක සාමාන්‍ය දෙයක් වුණා. එයාර්පෝට් සාමාන්‍ය දෙයක් වුණා. අද මත්තල ගැන විතරයි කතා කරන්නේ. අපි නුවරඑළියේ එයාර්පෝට් එකක් හදන්න සැලසුම් කළා. අම්පාර එයාර්පෝට් එක අලුත්වැඩියා කළා. කන්කසන්තුරේ ගුවන් පථය හැදුවා. ඔහොම දැවැන්ත වැඩපිළිවෙළක් ගියා. ඒ නිසා එ්ක සාමාන්‍යකරණය වුණා. අධිවේගී මාර්ග සාමාන්‍යකරණය වුණා. මුලදී අපට මතකයි දක්ෂිණ අධිවේගී මාර්ගය හදන කොට පාර දෙපැත්තට වෙලා මිනිස්සු පාලම දිහා බලාගෙන හිටියා. දෙහිවල පාලම හදන කොට මිනිස්සු පාලම හදනවා බලන්න ගියා. හැබැයි අද වෙනකොට අපේ ආණ්ඩුවෙන්ම පටන් ගත්තු කැලණි පාලම හදනවා. හැබැයි කවුරුවත් නතර වෙලා බලන්නේ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒකත් එක්ක තමයි මිනිස්සු බැලුවේ වෙනසක් එක්ක තවත් දුරක් යන්න පුළුවන් කියලා. රටේ අවාසනාවට වෙනසකට ගියා. අන්තිමට වුණේ කබලෙන් ළිපට වැටීමක්.  


ප්‍රශ්නය:-විපක්ෂයේ හිටපු මේ අවුරුදු තුන ඇතුළත ඔබ කරගත් නිවැරදි කර ගැනීම් මොනවද?  


පිළිතුර:- අපි බොහෝ දේවල් පිළිබඳව අවබෝධ කරගත්තා. විශේෂයෙන්ම අපි ආණ්ඩු බලයේ ඉන්නකොට මම දේශපාලනයට එනකොට මගේ වයස 23 යි. පාර්ලිමේන්තුවට එනකොට අත්දැකීම් තිබ්බේ නෑ ඒ වෙලාවේ. මේ අවුරුදු තුනේ ලබපු අත්දැකීම් එක්ක මිනිස්සු හඳුනා ගන්න ලැබුණා. අපි ආශ්‍රය කරපු මිනිස්සු ගැන හොඳ අවබෝධයක් ලැබුණා. ඒ වගේම මේ දේශපාලන භූමිකාව තුළ නායකයන්ගේ තීන්දු තීරණ රටට කොයිතරම් බලපානවද කියලා අපිට තේරෙනවා. ඒ තුළ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වේවි.  


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී ඔබට හමුවෙනවද? කතා කරනවද?  


පිළිතුර:- මෛත්‍රීපාල ජනාධිපතිතුමා ළඟදි නම් හමුවුණේ නෑ. ඔය කොහේදී හරි පාරේ අහම්බෙන් දැක්කොත් තමයි.

 

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්