පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු
2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ තුළ ජනතා අභිලාෂයන් මුදුන් පැමිණ වීමක් සිදුවී ද? මේ ඒ ගැන පොල් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- කොහොම ද අයවැය?
පිළිතුර:- විශේෂයෙන් මතක් කළ යුතුයි. ජනාධිපති ධුරයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වෙලා වසරක් පිරෙන මොහොතකයි මේ අයවැය ඉදිරිපත් කළේ. මේ ගෙවුණු අවුරුද්ද ඉතාම අභියෝගාත්මකයි. ඒ වගේම එතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරළ ජනාධිපතිවරයෙක්. උත්සවවලට වියදම් නොකර බොරු සෝබන නැතිව එතුමා ප්‍රායෝගිකව ආදර්ශ සමාජගත කළා. මේ අයවැය ඉදිරිපත් කරන්නෙත් ඒ පදනමේ ඉඳගෙනයි.
ප්‍රශ්නය:- කොහොම වුණත් රටේ ආර්ථික අර්බුදයට මේ අයවැය තුළ උත්තර නැහැ කියලා තමයි පේන්නේ?
පිළිතුර:- මම ඔබට මෙහෙම උත්තරයක් දෙන්නම්. අයවැය වෙනමම අරගෙන කතා කරන්න බෑ. ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළ තුළ තමයි අයවැය ඉදිරිපත් කරන්නේ. ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දු රාශියක් දුන්නා. මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවා කිව්වා. මත්කුඩුවලින් හා පාතාලයෙන් තොර රටක් හදනවා කිව්වා. ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව අපට පේනවා. ඒ වගේම උපාධිධාරීන් හැටදහසකට ආසන්න ප්‍රමාණයකට රැකියා දුන්නා. අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් දරුවන් ලක්ෂයකට රැකියා දුන්නා. සමෘද්ධිය. ජනසවිය කිය කියා සහනාධාර දුන්නාට රටේ දුප්පත්කම නැතිවෙන්නේ නෑ. ඒ දරුවන් රටේ ආර්ථිකයට අවශෝෂණය කර ගත යුතුයි. ඒක කළා. අයවැය සැලසුම් කරලා තියෙන්නේ ඒ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රතිඵල දිහා බලාගෙනයි.
ප්‍රශ්නය:-නමුත් ජනතාව ඉක්මන් සහන බලාපොරොත්තු වෙනවා?
පිළිතුර:- සහන දෙනවා කියලා ප්‍රායෝගික නැති විදියට ඔය මොන මොනවා හරි දීලා හරියන්නේ නෑ. අපි ගත්තොත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය 70 - 77 කාලයේදී ආර්ථික වැඩපිළිවෙළක් ගෙන ගියා. නමුත් දැඩි නීතිරීතිත් එක්ක තමයි ඒ ආර්ථික වැඩ පිළිවෙළ ගියේ. ඒකට ජනතාව කැමැති වුණේ නෑ. ඒ නිසා ඒ රජය 77 දී පරාජය වුණා. ඊට පස්සේ ආපු විවෘත ආර්ථිකයෙන් රට විශාල විනාශයකට ගියා. හැබැයි දැන් නැවත වතාවක් අපේ රජය නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙළකට ගිහින් තියෙන බව අයවැයෙන් පවා හොඳට පේනවා. පිටරටින් ගෙන්වන ඒවා සීමා කරලා තියෙනවා. අපනයන කෘෂිකර්මාන්තයට තැන දීලා තියෙනවා. උදාහරණයක් විදියට මගේ පොල් සංවර්ධන අමාත්‍යාංශයට ගත්තොත් ඉස්සර තේ, පොල්. රබර් වලින් තමයි අපි විදේශ විනිමය හොයා ගත්තේ. පහුගිය කාලයේ අපි ඒවා අතහැරලා දැම්මා. පොල් ඉඩම් කට්ටි කරලා විකුණලා විනාශ කළා. නමුත් ජනාධිපතිතුමා දැන් අපනයන කෘෂිකර්මාන්තයට මූලිකත්වය දීලා තියෙනවා. පොල් වගාව වැඩි කරන්න දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ජනාධිපතිතුමා අපට කියලා තියෙනවා ඉඩම් හොයාගන්න කියලා. අපි දැන් ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. තැඹිලි කර්මාන්තයට අපේ අවධානය යොමු කරලා තියෙනවා. අලුතෙන් පොල් වගා කරන ප්‍රදේශ අපි හඳුනාගෙන තියෙනවා. මොනරාගල, පොලොන්නරුව වගේ දිස්ත්‍රික්කවල පොල් වගාව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. උතුරු ප්‍රදේශය ගත්තොත් දෙවැනි පොල් ත්‍රිකෝණය ලෙස වන්නිය, මුලතිව් හා කිලිනොච්චිය පදනම් කරගෙන ඇති කරනවා. ඒවාට සැලසුම් තිබිලා විතරක් හරියන්නේ නෑ. වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි. අයවැය ඉලක්ක කරන්නේ අන්න ඒ වැඩපිළිවෙළයි. මං හිතන්නේ මේ තමයි පළමු වතාව රටේ ආර්ථික ක්‍රියාවලිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න පළමු වතාවට උසස් පෙළ සමත් ඒත් විශ්වවිද්‍යාලයට යන්න බැරි දරුවන්ට වෘත්තීය පුහුණු අවස්ථාවක් ලබා දෙනවා. එම දරුවන්ට මාසිකව රුපියල් හාර දහසක දීමනාවක් දෙන්න අයවැයෙන් යෝජනා කරනවා. අපි හැමදාමත් කළේ දැනට තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම. නමුත් ගන්න ප්‍රමාණය වැඩි කරන්න බෑ. ඒ නිසා විශ්වවිද්‍යාල නැති දිස්ත්‍රික්ක තෝරාගෙන විශ්වවිද්‍යාල ඇති කරනවා. පාසල් දාහක් තෝරාගෙන ජාතික මට්ටමට ඒ පාසල් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැවැන්ත වැඩපිළිවෙළ තමයි මේ අයවැය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ.
ප්‍රශ්නය:- කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්වෙච්ච මිනිසුන් ක්ෂණික සහන බලාපොරොත්තු වෙනවා. නමුත් අයවැය තුළ ඒ සම්බන්ධයෙන් කිසිම අවධානයක් නැති බව තමයි පේන්නේ?
පිළිතුර:- ඒක වැරැදියි. කොවිඩ් මාරක වසංගතය හොඳින් පාලනය කරපු දෙවැනි රට බවට අපේ රට පත්වුණා. රෝහල්වල හිටපු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125ට අඩු වුණා. නිරෝධායන වචනය ලෝකයම පිළිගන්නා වචනයක් බවට පත්වුණා. කොහොම වුණත් අපේ සංචාරක කර්මාන්තය බිංදුවට වැටුණා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් අද වෙනකොට නතර වෙලා තියෙනවා. නොයෙක් ක්ෂේත්‍රවලින් අඩු විදේශ විනිමය නතර වෙලා තියෙනවා. ධීවර කර්මාන්තයත් යම් යම් ප්‍රශ්නවලට මුහුණපාලා තියෙනවා. ජනාධිපතිතුමා ඒ නිසා තමයි පළමු වතාවට ඒ අහිමි වුණ ආදායම් මාර්ග වෙනුවට විකල්ප මාවත්වලට යොමු වුණේ. මෙච්චර කාලයකට අවධානය යොමු නොකරපු අපනයන කෘෂිකර්මාන්තය වගේ දෙයකට යොමු වුණේ. මොන ක්‍රමයෙන් ද අපි සල්ලියක් හොයා ගන්නේ. පිටරටින් සල්ලි ගේන්න පුළුවන් නිෂ්පාදන ශක්තිමත් කිරීම තමයි රජයේ අවධානය යොමුවෙලා තියෙන්නේ. දැන් කහ ලොකු හිඟයක් තියෙනවා. ඒ ආනයනය කිරීම නතර කරපු නිසා කහ වවන්න කියලා ගොවියන්ට කිව්වා. හෙට අනිද්දා වෙනකොට දැවැන්ත කහ අස්වැන්නක් එළියට එනවා. අපි රටක් විදියට ඉදිරියට යමින් ඉන්නේ ඒ විදියටයි. දැන් බලන්න කොවිඩ් දෙවැනි රැල්ලක් ආවා. නමුත් අපි ජනතාව ආරක්ෂා කරගෙන රට ආර්ථික වශයෙනුත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා.
ප්‍රශ්නය:- විශ්‍රාම යන වයස 60 දක්වා දීර්ඝ කළේ සේවකයාට අවරුදු 55 දී ගන්න තිබුණ මුදල් ආණ්ඩුව අතට ගන්න කියලා විපක්ෂය කියනවා?
පිළිතුර:- ඒක වැරැදියි. අද ගත්තොත් රාජ්‍ය අංශයෙත්, පෞද්ගලික අංශයෙත් උඩ ඉඳලා පහළට සේවය කරනවා. සමහර ආයතන ගත්තොත් අවුරුදු 55 න් සේවකයන් යනකොට කඩාගෙන වැටෙනවා. ඒ නිසා 55 කියන්නේ වයසක අය නොවෙයිනේ. ඒ වගේම හොඳ අත්දැකීම් ලබපු පිරිසක්. ඔවුන් ඔවුන්ට සේවය කළ හැකිව තිබිය දී නීතිය නිසා 55 න් විශ්‍රාම යනවා.
ප්‍රශ්නය:-රජයේ සේවකයන්ට අමතර රැකියාවක් කරන්න අයවැයෙන් යෝජනා කරනවා. ඒ කියන්නේ ඔබලා පිළිගන්නවා දෙන පඩියෙන් ජීවත් වෙන්න බෑ කියලා?
පිළිතුර:- අපි හැමදාමත් ගත්තාම රාජ්‍ය අංශය ශක්තිමත් කළා. එක පැත්තකින් චෝදනා කරනවා, ඇයි රාජ්‍ය අංශයට මෙච්චර බඳවා ගැනීම් කරන්නේ කියලා. උපාධිධාරීන් හැටදහසක් බඳවා ගන්න කොට ඔවුන්ට නිශ්චිත වගකීමක් පවරණවා. මම යෝජනා කළා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් එක උපාධිධාරියෙක් පත් කරන්න කියලා. පළමු වතාවට ජනාධිපතිතුමා පියවර ගත්තා රාජ්‍ය අංශය කාර්යක්ෂම කරන්න සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. උපාධියක් තියාගෙන ගෙදර ඉන්න වෙලා තියෙනවා නම් ඒක ඒ උපාධිධාරියාගේ වරදක් නොවෙයි. අපි මේ උත්සාහ කරන්නේ ඒ වැරැදි නිවැරැදි කරන්නයි. නිර්මාණශීලී මිනිසකුට වැඩ කරන්න එමගින් තමන්ගේ ආර්ථිකය සවිමත් කරන්න අරමුණු කරගෙන තමයි ඔය ක්‍රියා මාර්ගය ගත්තේ.
ප්‍රශ්නය:-විපක්ෂය කියනවා ආණ්ඩුව දත්ත විකෘති කරලා රටේ ආර්ථිකය ධනාත්මකයි කියලා පෙන්වනවා කියලා?
පිළිතුර:- මේ විපක්ෂයට ඔය වගේ ‘‘ගොං කතා’’ කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැනේ. කොවිඩ් ආවම කොයිතරම් දේවල් කිව්ව ද? අපි අසාර්ථක වෙයි කියලා බලාගෙන හිටියා. නමුත් දැන් කට උත්තර නැතිව ඉන්නවා. කොවිඩ් වසංගතයක් එක්ක මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට ගොදුරු වෙලා තියෙන වෙලාවක මේ වගේ අයවැයක් ඉදිරිපත් කරයි කියලා විපක්ෂය හීනෙන්වත් හිතුවේ නෑ. ඒ නිසා දැන් නන්දොඩවනවා. කොවිඩ් රෝගීන්ගේ ගණන, කොවිඩ් මරණ සංඛ්‍යාව ආණ්ඩුව හංගනවා කියලා කාලයක් කිව්වා. එහෙම කියලා ලැජ්ජා නැතිව දැන් ඔහොමත් කියනවා. අපිට කියන්න තියෙන්නේ දැන් රටේ තියෙන්නේ විහිළු සපයන විපක්ෂයක්. ඔය විදියෙ විහිළු සපය සපයා ඉන්නව කියලයි අපි විපක්ෂයට කියන්නේ.
ප්‍රශ්නය:- බැංකුවලට, ලීසිං ආයතනවලට, රජය උපදෙස් දීලා තියෙනවා වාරික නොකපා ඉන්න කියලා. නමුත් ඒ සහනය ජනතාවට ලැබෙන්නේ නෑ. ජනතාව කබලෙන් ළිපට වැටිලා ?
පිළිතුර:- ඔව්, එහෙම චෝදනා නිරන්තරයෙන් අපට ලැබෙනවා. බැංකුවලට වගේම සෑම මූල්‍ය ආයතනවලටම අපි රජයක් විදියට අනුග්‍රහය දක්වලා තියෙනවා. එහෙම කරන්නේ ජනතාවට ඒ හරහා සහන සපයන්නයි. එහෙම සහන නොදෙන ආයතන සම්බන්ධයෙන් අපි වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ සහනය ජනතාවට ලබා දෙනවා.
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්