‘නීතිවේදීන්ට කඳුළු ගෑස් එල්ලවූ යුගය අවසන්‘


(අංජුල මහික වීරරත්න,ඡායාරූප - ගයාන් අමරසේකර)

නීතිවේදීන්ට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල වූ යුගය අවසන් කර ශ්‍රී ලාංකික අධිකරණ පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට යහපාලන රජය සමත් වී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී ඉකුත් සිකුරාදා (3) පැවැසීය.

රටට පිටතින් මෙන්ම රට තුළින් අධිකරණ පද්ධතියට අතපෙවීම් සිදු නොවිය යුතු බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතීතයේ සිදු වූ එවැනි වැරදි අඩුපාඩු නිසා ශ්‍රී ලංකාව තවමත් වන්දි ගෙවමින් සිටින බව පැවැසීය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ 2017 ජාතික නීති සතිය වැඩසටහනේ සමරු උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

කොළඹ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේදී මෙම උත්සවය පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා

“ජාතික නීති සතිය නීතිවේදී සංගමය විසින් ඇරැඹූ නව ක‍්‍රියාදාමයක්. මෙම ක‍්‍රියාදාමය මගින් රට පුරා ජනතාවට නීතිය පිළිබඳව දැනුමක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. රට පුරා පළාත් අධිකරණ මගින්ද මෙම ක‍්‍රියාදාමය ව්‍යාප්ත කෙරෙන බැවින් ජනතාව දැනුවත් කිරීම තවදුරටත් පහසු කරුණක් වෙනවා.

මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව නීතිවේදී සංගමයට ස්තුතිය පළ කළ යුතුයි. අගවිනිසුරු ධුරයෙහි දිවුරුම් දීමෙන් පසුව ප‍්‍රියසාද් ඩෙප් මහතා සහභාගි වන ප‍්‍රථම උත්සවය මෙයයි. එම නිසා මා අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතාට උණුසුම් සුබ පැතුම් පළකරනවා. ඩෙප් මහතා අගවිනිසුරු ධුරයට සැබෑ සුදුස්සකු බව සඳහන් කළ යුතුයි. රටේ මහජනතාවත් මෙම පත් කිරීම අනුමත කරාවි. මෙම පත් කිරීම රාජ්‍ය යාන්ත‍්‍රණයේ පවතින ස්ථාවර බවට සාක්කියක් බව කිව යුතුයි. ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වී තිබෙනවා.

අපට අඳුරු ඉතිහාසයක් තිබෙනවා. නීතිවේදීන්ටත් කඳුළු ගෑස් කන්නට වූ යුගයක් තිබුණා. ඒ යුගය පසුකරගෙන පැමිණ අප නැවත ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තහවුරු කිරීමට සමත් වී සිටිනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට අනතුරක් වූ විට ජනතාවට සිදු වන්නේ පාරට බැස අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර ගැනීමයි. ශ්‍රී ලාංකික ජනතාව හැම විටම ඒ ස්වාධීන අයිතිය තහවුරු කිරීමට සූදානමින් සිටියා.

අපේ අධිකරණ පද්ධතිය දේශපාලන පද්ධතියට වඩා පැරණියි. ව්‍යවස්ථාදායක සංකල්පයට පෙර අධිකරණ පද්ධතිය පැවතුණා.  ඕලන්ද සමයේ පවා අධිකරණ පද්ධතියක් තිබුණා. අතීතයේ ව්‍යවස්ථාදායකයේ සිටි සියලූම සාමාජිකයන් නීතිවේදීන් බව සිහිපත් කළ යුතුයි. අතීතයේ පටන් ජනතාවට අධිකරණය කෙරෙහි විශේෂ විශ්වාසයක් තිබුණා. ආසියාවේ පැරණිම අධිකරණ පද්ධතිය තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේයි.

රට තුළින් මෙන්ම රටට පිටතින් අධිකරණයට අතපෙවීම විශාල ප‍්‍රශ්නයක් බව කිව යුතුයි. රටට පිටතින් මෙන්ම රට තුළින් එවැනි දෙයක් සිදුවිය යුතු නැහැ. අතීතයේ සිදු වූ එවැනි අතපෙවීම් නිසා අපට අදටත් ගැටලූවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. අප මේ වනවිට යුරෝපා සංගමය සමග ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් තීරුබදු සහනය නැවත ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටිනවා. රටේ දියුණුව වේගවත් කිරීමට නම් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලබාගෙන යුරෝපා වෙළෙඳපොළට ඇතුළු විය යුතුයි. අපට පී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබෙන්නේ යුරෝපා සංගමය සමග ඇති එකඟතා මතයි. එම එකඟතාවය නම් මෙරට යහපාලනය ස්ථාපිත කිරීමයි.

එකල ස්වාධීන අධිකරණයක් නොතිබීම වැනි අර්බුද නිසා අපට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමි වුණා. මාධ්‍ය නිදහස නොමැති වීමත් අපට අහිතකර අයුරින් බලපෑම් එල්ල කළා. රජය මෙන්ම නීතිවේදීන් පසුගිය වසර දෙක තුළ ක‍්‍රියාකළ සුබවාදී ක‍්‍රියා පිළිවෙත නිසා අපට යුරෝපා සංගමය සමග සාකච්ඡා කළ හැකි වාතාවරණයක් උදා වී තිබෙනවා. වර්තමානයේදී අප හමුවේ ඇති අභියෝගයක් වන්නේ ඇතැම් නීති ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සකසා ගැනීමයි.

ඇත අතීතය අවසන් අනාගතයේ යහපත් වෙනසක් කරා ගමන් කළ යුතුව තිබෙනවා. අපේ ඇතැම් නීති ජාත්‍යන්තර තත්ත්වයට නැහැ. එය ප‍්‍රශ්නයක් වී තිබෙනවා. අපි මේ වෙනස්කම් කරන්නේ කෙසේද?

වර්තමානයේ අපේ අධිකරණ පද්ධතිය ක‍්‍රියා කරන ආකාරය ප‍්‍රශ්නයක් නොවේ. අප ජාත්‍යන්තර දේශපාලන හා සිවිල් අයිතිය පිළිබඳ ප‍්‍රඥප්තියේ පාර්ශව්කරුවන් බවට පත් වී සිටිනවා. දෙවරක්ම අප එහි පාර්ශ්වකරුවන් බවට පත්ව සිටින බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන සමයේදී සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ අප එම ප‍්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් බවට පත් වුණා.

මහත් මතබේදයට තුඩුදුන් සිංහරාසා නඩු තීන්දුව මෙම ප‍්‍රඥප්තියට පටහැනි වූ බව කියැවුණා. එම නඩු තීන්දුවේදී අප ජාත්‍යන්තර සම්මතවලින් ඈත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් කොමිසම හමුවේ ඇති ප‍්‍රශ්නය අපේ අවධානයට යොමුවිය යුතුයි. 2014, 2013 වසරවල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව කටයුතු කළා. ශ්‍රී ලංකාව විරුද්ධව යෝජනා සම්මත කරගත්තා.

පසුගිය වසර දෙකක කාලය තුළ යහපාලන රජය එම අහිතකර තත්ත්වය සුබවාදී අතකට ගැනීමට ක‍්‍රියා කළා. මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා කල් ඉල්ලා තිබෙනවා. දැන් අප ඒ වෙනුවෙන් නිසි පියවර ගත යුතුයි.

දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් නිර්දේශ නිකුත් වී තිබුණා. දෙමුහුන් අධිකරණයක් පිළිබඳව ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ ජාත්‍යන්තරයේ අපේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසයක් නොමැති වීම නිසයි.

ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය ලෝකය ඒ අයුරින්ම දන්නවාදැයි අප දන්නෙ නැහැ. නීත්‍යානුකූල අයුරින් අගවිනිසුරුවරුන් පත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ ක‍්‍රියාකාරීත්වය අනුව ඒ ක‍්‍රියාවලිය සිදු වී තිබෙනවා. දැන් අපට අධිකරණය පිළිබඳව ප‍්‍රශ්න නැහැ. නමුත් ඇතැම් නීති සම්මත කර ගැනීම ප‍්‍රමාද වී තිබෙනවා. ගොඩගැසී ඇති නඩු ඉක්මනින් විභාග කළ යුතුයි.

අපට දෙමුහුන් අධිකරණයක් අවශ්‍යද? අපේ අධිකරණය ස්වාධීනයි. දෙමුහුන් අධිකරණයක් අපට පිහිටුවන්න හැකියාවක් තිබෙනවාද? ඒ සඳහා ව්‍යවස්ථාවේ වෙනසක් මෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක්ද, එමෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍යයි. මේ කරුණු අනුව දෙමුහුන් අධිකරණයක් සැදීම ප‍්‍රායෝගික වන්නේ නැහැ. අපට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසය ගොඩනැගෙනවානම් දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය වන්නේ නැහැ. අප දැන් අලූත් යාන්ත‍්‍රණයක් පිළිබඳව සොයා බලමින් සිටිනවා. එමෙන්ම අතුරුදන් වූවන්ගේ කාර්යාලය කඩිනමින් ස්ථාපිත කිරීම අපේ අරමුණයි. සත්‍ය කුමක්දැයි හෙලිකර ගැනීම සඳහා සත්‍ය කොමිසමක් පත් කිරීම පිළිබඳවද සොයා බලනවා. සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහාවන හොඳම ක‍්‍රමය එයයි. සත්‍ය කොමිසමෙන් ප‍්‍රශ්න විසඳන ආකාරය පිළිබඳව අප අධ්‍යයනය කරමින් සිටිනවා. මෙම ක‍්‍රමය සියලූම පක්ෂ විසින් පිළිගෙන තිබෙන බව කිව යුතුයි. මේ පිළිබඳව රණ්ඩු කරමින් සිටියා ඇති. ජනතාව දුකට පත්වූයේ කොතැනදී දැයි අප සොයා ගනිමු. ඒ වෙනුවෙන් වන්දි ලබාදිය යුතුයි.

සත්‍ය කොමිසම යනු සංහිඳියාව සඳහා මූලික අඩිතාලම බව සඳහන් කළ යුතුව තිබෙනවා. උතුරු නැගෙනහිර දුක්විඳින ජනතාව පිළිබඳව මෙන්ම ඒ ප‍්‍රදේශවල අතුරුදන් වූවන් ගැනත් සොයා බැලීම රජයේ වගකීමයි. සංහිඳියාව සඳහා සත්‍ය කොමිසම ඉදිරියට ගෙන යනවා. දෙමුහුන් අධිකරණයක් හැදීම ප‍්‍රායෝගිකව කළ නොහැකියි. ඒ සඳහා වෙනත් විකල්ප සොයා ගත යුතුව තිබෙනවා. අප එක් වී ඒ සඳහා කටයුතු කරමු“ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා

“නීතිවේදීන්ගේ අරමුණ විය යුත්තේ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමයි. නීතිවේදීන්ගේ සංගමය ඒ සඳහා විශාල මෙහෙවරක් කරනවා.

ජන ජීවිතය වඩා යහපත් කර ගැනීම සඳහා නීතිවේදීන් ජනතාවට උපකාර විය යුතුයි. යුක්තිය ඉටු නොවීම මෙන්ම යුක්තිය පමා වීමත් අවැඩක් බව සඳහන් කළ යුතුයි. ජනපති ප‍්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින්නේ එම තත්ත්වය වැළැක්වීම සඳහායි.  සියලූ අණපනත් සෑම භාෂාවකින්ම නොමැති වීම විශාල වරදක්. එයින් පොදු මහජනතාව විශාල වශයෙන් පීඩාවකට ලක් වෙනවා. අණපනත් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබෙනවා. ඉදිරි වසර එකහමාර තුළ එම පරිවර්තනය සිදු කිරීම අපේ අරමුණයි.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා-අපි පොඩි මිනිහාගේ නීති ගැටලූ විසඳා ගැනීම සඳහා උපකාර විය යුතුයි. එමෙන්ම ඔවුන්ට අධිකරණයට අවතීර්ණ වීමට උපකාර කළ යුතුව තිබෙනවා. එමෙන්ම අධිකරණ ක‍්‍රියාවලිය හැර ජනතාවට සමත මණ්ඩල, බේරුම්කාර මණ්ඩල පිළිබඳව දැනුමක් ලබා දිය යුතුයි. එමෙන්ම ජාතික නීති සතියේදී ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් මා නීතිවේදීන්ට විශේෂ ප‍්‍රණාමයක් පුද කරනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම්, ජාතික නීති සතිය වැඩසටහනේ සභාපති කුවේරා ද සොයිසා, නීති ආධාර කොමිසමේ සභාපති රොහාන් සහබන්දු මහත්වරුද කතා කළහ. ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.