‘‘21 වැනි සංශෝධනය වෙනුවට ජාතික ලැයිස්තු සංයුතිය වෙනස් කළ යුතුයි‘‘


(බිඟුන් මේනක ගමගේ) 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීම අන්තර්ගත වන පරිදි යෝජනා කර ඇති 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නැතැයි ද ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා කළයුත්තේ මහමැතිවරණයකදී ජයගන්නා දේශපාලන පක්ෂයට වැඩි බෝනස් ආසන සංඛ්‍යාවක් ප්‍රදානය කිරීම යැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති සීමා නිර්ණය කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.

ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රී සංඛ්‍යාව තීරණය කරන අවම ඡන්ද සීමාව 5% දක්වා ඉහළ දැමීමෙන් මෙම කාරිය කළ හැකිය යැයි ද එවිට ජාතික ලැයිස්තුවට හිමි මන්ත්‍රී ධූර 29 න් 9 ක්ම ජයග්‍රාහී පිලට ලබාදීමට අවස්ථාව උදාවන්නේ යැයි ද ලියනගේ මහතා කීවේය.

ජයග්‍රාහී දේශපාලන පක්ෂයට බෝනස් ආසන 9ක් ලබාදෙන ක්‍රමයක් පිහිටු වූ සැනින්ම සුළු ජාතික හා සුළු පක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වනු ඇතැයි ද එවිට රජුන් තනන්නන්ගේ භූමිකාව වෙනුවට මිත්‍රශීලී දේශපාලන සංස්කෘතියක් කරා යා හැකි වනු ඇතැයි ද මහචාර්යවරයා අවධාරණය කළේය. 

19 වැනි සංශෝධනය තිබුණත් නැතත් සුළුතර ආණ්ඩු බිහිවිය හැකි යැයි කී හෙතෙම අවම ඡන්ද සීමාව 12.5% දක්වා ඉහළ දැමුවහොත් ජනතා විමුක්ති පෙරමුණ, ටී.එම්.වී.පී, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඊ.පී.ඩී.පී වැනි සුළු ජාතික හා සුළු පක්ෂ දැඩි අර්බුදයකට ගොස් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වනු ඇතැයි ද අනතුරු ඇඟවූයේය.

ලංකාවේ දැනට ක්‍රියාත්මක සමානුපාතික ඡන්ද ක්‍රමය ද ලෝක පරිමාණයෙන් ගත්විට සුවිශේෂී යැයි ද ඊට හේතුව ජයග්‍රාහී අපේක්ෂකයා බලගැන්වීමට යම් යම් ක්‍රියාමාර්ග ගෙනතිබීම යැයිද මහාචාර්ය ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ මැදිහත්වීම් කළ ප්‍රාමාණිකයෙකි.