’අනාගතයේ එන කිසිම ආණ්ඩුවකට කැළි කසළ ප‍්‍රශ්නය ඉතුරු කරන්නේ නෑ’


(කිරිඳිවැල - උපාලි රණවීර)

මේ රටේ කිසිම රජයකින් කැළිකසළ ප‍්‍රශ්නයට විසඳුමක් දී නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කිරිඳිවැලදී ඉකුත්දා පැවැසීය.

කැළිකසළ ප‍්‍රශ්නය අනාගතයේදී කිසිදු ආණ්ඩුවකට ප‍්‍රශ්නයක් නොවන ලෙස ස්ථිරසාර වැඩපිළිවෙළක් යටතේ විසඳන බව ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති සිරිසේන මහතා මේ බව පැවැසුවේ කිරිඳිවැල  මිල්ලතේ මිල්ලතාකන්ද විවේක සේනාසනයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

හිටපු අමාත්‍ය අභාවප‍්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ 77 වැනි ජන්ම දිනය නිමිති කරගෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු_ පවුලේ ඥාතීන් හා සේනාසනයේ දායක දායිකාවන්ගේ දායකත්වය ඇතිව මෙම පිංකම සංවිධානය කොට තිබිණ. අභිනව භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් වූ ඵලකය ජනාධිපතිවරයා විසින් නිරාවරණය කරනු ලැබිණ.

භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම මහා විහාරවංශික ශ්‍යාමෝපාලී වනවාස මහා නිකායේ ප‍්‍රධාන අනුශාසක කොලන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාධිපති වගවිමල නාහිමියෝ විසින් පීත්ත පටයක් කපා නව භාවනා මධ්‍යස්ථානය විවෘත කළහ.

සමාධි බුද්ධ ප‍්‍රතිමාව නිරාවරණය කිරීම මිල්ලතේකන්ද සේනාධිපති මහා විහාරවංශික ශ්‍යාමෝපාලික වනවාස මහා සංඝසභාවේ කාරක සංඝ සභික නෙලූවත්තුඩුවේ අතුලදේව නාහිමිපාණන් විසින් සිදු කෙරුණු අතර ධාතුන් වහන්සේලා නිදන් කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් සිදුකරන ලදී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීතුමාගේ පියාණන් සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ ගුණ සිහි කරමින් අභිනවයෙන් ඉදිකරන ලද ශ‍්‍රී සීලරතන නාහිමි අනුස්මරණ භාවනා ශාලාව විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මෙවැනි උතුම් කටයුත්තකට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම හර්ෂණ ඇතුළු ඒ පවුලේ සියලූදෙනාට මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා.

දැන් මම වැඩ කරන්නේ හර්ෂණ රාජකරුණා තරුණ මන්ත‍්‍රීතුමත් එක්ක. මීට කලින් අවුරුදු 25කට 27කට විතර එහා මම පාර්ලිමේන්තුවෙදී වැඩ කළේ හර්ෂණගේ තාත්තා සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමත් එක්ක. එතුමා පිළිබඳව මට වඩා තමුන්නාන්සේලා සෑම කෙනෙක්ම දන්න නිසා සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමා පිළිබඳව මම තමුන්නාන්සේලාට කතා කිරීම කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ. සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමා මගේ ඉතාමත් හිතවත් මිත‍්‍රයෙක්. අපේ හාමුදුරුවෝ අනුශාසනා කළ විදියටම බුලත් විටක් කාලා බොහෝම ගැමි විදියට මේ ගැමි සුන්දර පරිසරයෙන් ගොඩනැගුණු ග‍්‍රාමීය පොදු ජනතාව නියෝජනය කළ දේශපාලනඥයෙක් විදියට තමයි එතුමා පාර්ලිමේන්තුව තුළත් කටයුතු කළේ. ගමේ සුන්දරත්වය සමග ගොඩනැගුණු චරිත සුන්දරත්වයත් සමගයි කටයුතු කළේ. එතුමා බොහෝ වෙලාවට මට කතා කළේ මල්ලි කියලා. ඒවගේම ප‍්‍රදේශවාසී ඔබ කාගේත් ගෞරවයට, ආදරයට පත් වුණු මේ රටේ ආදර්ශමත් දේශපාලනඥයෙක් විදියට මම ඉතාමත් සතුටු වෙනවා එතුමා වෙනුවෙන් අද මෙවැනි උතුම් පුණ්‍ය කටයුත්තකට සහභාගි වීමට ලැබීම පිළිබඳව.

භාවනා මධ්‍යස්ථානය පූජා කිරීමේ ආනිශංස එයින් ඇති වන්නා වූ කුසල කර්මයන් පිළිබඳව එයින් ලබන්නා වූ භාග්‍ය සහ වාසනාව පිළිබඳව මම හිතන්නේ අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ධර්ම දේශනාවලදී අපි අහලා තිබෙනවා. මූලික වශයෙන්ම භාවනා මධ්‍යස්ථානය වැදගත්කම අපි කවුරුත් දන්නා පරිදි මේ ආරණ්‍යයේ වැඩවසන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වගේම මෙහි එන බැතිමතුන් ඒ වගේම මෙහි අපේ ගෞරවණීය මහා සංඝරත්නයෙන් බණ දහම් අහන, භාවනා කරන, අනුශාසනා ලබාගන්නා මේ රටේ පින්වන් බෞද්ධ ජනතාවට මේ තුළ ඉතාම උතුම් සේවාවක් වෙන බව අපි දන්නවා.

අද මේ රටට ඉතාමත් අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාවගේ ශික්ෂණය, විනය සහ හැදියාවයි. අපි භෞතික සම්පත්වලින් කොතෙක් රටක් දියුණු කළත් මිනිසුන්ගේ යහපත්කම, මිනිසුන්ගේ සීලාචාරකම, හැදිච්චකම, ගුණගරුක බව, ආගමික දර්ශනයන් තුළින් තමයි වර්ධනය වෙන්නේ. භාවනා මධ්‍යස්ථානයක ඒවගේම භාවනා ක‍්‍රම පිළිබඳව බෞද්ධ දර්ශනයෙන් දෙන මගපෙන්වීම සහ උපදේශකත්වය තුළ අපි සෑම කෙනෙක්ම දන්නවා අපේ ජීවිත කොතෙක් දුරට හැඩගස්වා ගන්න පුළුවන්ද කියන එක. මේ නොසන්සුන් ලෝකයේ සන්සුන් මනසක් ඇතිව ජීවත් වෙන්න අද ජීවත් වෙන කාට වුවත් දුෂ්කරයි. අධි තාක්ෂණිකව දියුණු වෙන්න, දියුණු වෙන්න මිනිසාගේ නොසන්සුන්කම වැඩි වෙනවා. මේ තාක්ෂණික ලෝකය නොමැතිව මීට වඩා ලෝකයේ තිබුණු පරිසර සංවේදීතාවක් සමග එදා තිබුණු පරිසරයන් තුළ මිනිසාගේ යහපත් බව හැදියාව ගුණගරුක බව තිබුණා. ඒ නිසා සමාජ තරගකාරිත්වයට පුරුදු වී සිටින මිනිසා බොහෝ දේ ලබා ගැනීම සඳහා ධනය ලබන්න, තනතුරු ලබන්න, වෙනත් තමන්ට අවශ්‍ය දේවල් ලබන්න මේ කරන තරගයේදී ඇතිවන නොසන්සුන්තාවත් සමග තමාගේ ගුණගරුක බව, යහපත්කම, හැදියාව තමන්ටම අමතක වෙනවා. ඒ නිසා මෙවැනි උතුම් පුණ්‍ය කටයුත්තක් සඳහා අද මේ ගොඩනැගිල්ල පූජා කිරීම අපි කාගේත් සතුටට කාරණයක් වෙනවා.

අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ අනුශාසනා කරමින් කිව්වා, ජනාධිපතිතුමා පැමිණි වෙලාවේ කාරණයක් කියන්න තියෙනවා. එන්න තියන පාර අඩි 22 ක් පළලයි. මේක ලොකුවට හදා ගත්තොත් හොඳයි විශාල පිරිසක් එන නිසා කියලා. ඒක කියන කොට හර්ෂණ මා දිහා බලලා ඔළුවේ අතගහ ගත්තා ඇයි මේක ජනාධිපතිතුමාට කියන්නේ මට කරන්න පුළුවන් වැඩක්නේ, මට කරන්න පුළුවන් දේ මොකද ජනාධිපතිතුමාට කියන්නේ කියලා. මම කිව්වා එහෙම නම් ඔයාම කරන්න. මම මොකටද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා. එතුමා තරුණ දක්ෂ කාර්යශූර මන්ත‍්‍රීවරයෙක් විදියට ඒ දේ කරයි. මම දන්නවා එතුමාට මෙය කරන්න කිසිම අපහසුතාවක් නැහැ. එහෙම අඩුපාඩුවක් තියනවා නම් මට ඒකට උදව් කරන්න පුළුවන්.

ඒවගේම අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ අනුශාසනා කළා පරිසරය, කැළිකසළ පිළිබඳව. අපේ මහ නායක හාමුදුරුවනේ, මේ රටේ කිසිම රජයකින් මේ කැළිකසළ ප‍්‍රශ්නයට විසඳුමක් දීලා තිබුණේ නැහැ. ඒක මම බොහෝම පැහැදිලිව කියන්නට  ඕනෑ. කිසිම නායකයෙක් කිසිම ආණ්ඩුවක් මේ ප‍්‍රශ්නයට විසඳුම් දීලා නැහැ. අද අපේ ඇෙ`ග් කඩා වැටිලා තියෙන්නේ, අවුරුදු 60 ක් 70 ක් එකතු කරපු කුණු කඳු තමයි. ඒක තමයි ඇත්ත තත්ත්වය.

ජීවිත ගණනාවක් විනාශ වුණු මීතොටමුල්ල කුණු කන්ද ගැන කිව්වොත් 1988 තමයි මීතොටමුල්ල කුණුකන්ද පටන් ගත්තේ. රටේ සෑම ප‍්‍රදේශයකම පළාත් පාලන ආයතන විසින් කැළිකසළ කුණු එකතු කෙරුවා. කුණු කඳු හැදුවා. නමුත් තාක්ෂණය භාවිත කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ලෝකයේ අනිකුත් සංවර්ධනය වුණු රටවල් වගේ අපි අරගෙන නැහැ. ඒ නිසා මේ කැළිකසළ ප‍්‍රශ්නය, කුණු කඳු ප‍්‍රශ්නය මේ රටේ තිබුණු දීර්ඝකාලීන ප‍්‍රශ්නයක්. එහි ප‍්‍රතිඵලයක් විදියට තමයි අද විශාල ජීවිත ගණනාවක් මීතොටමුල්ලේ නැති වුණේ. අපි දැන් වර්තමාන රජය විදියට බැණුම් අසමින්, විවේචන අසමින්, චෝදනා ලබමින් ඒ ආණ්ඩු ගණනාවක් නොකරපු දේ, අවුරුදු 50 ක් 60 ක් ගොඩගැසුණු මහා කුණු කඳු ටික පිළිබඳව වගකීම අපේ අතට අරගෙන තිබෙන්නේ. අපි දැන් අලූත් තාක්ෂණය පාවිච්චි කරලා, ටෙන්ඩර් කැඳවීම් කරලා මේ කැළිකසළ ප‍්‍රශ්නය නැවත අනාගතයේ කිසිදු ආණ්ඩුවකට ප‍්‍රශ්නයක් නොවන විදියට ස්ථිරසාර වැඩපිළිවෙළක් යටතේ විසඳනවා.

දැනට ජාත්‍යන්තර වශයෙන් තිබෙන සහයෝගිතාවයත් අරගෙන, තාක්ෂණික උපදේශකත්වයන් ලබාගෙන ව්‍යාපෘති රාශියක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙනවා. ඉදිරි අවුරුද්දක දෙකක කාලය තුළ මම විශ්වාස කරනවා රටේ කැළිකසළ ප‍්‍රශ්නය නැවත කිසියම් පාලකයෙකුට ආණ්ඩුවකට රටේ ජනතාවට ප‍්‍රශ්නයක් නොවන ආකාරයට විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. අද කැළිකසළ පිළිබඳව සෑම තැනම තිබෙන්නේ විරෝධය. කිසිම තැනක කිසිම කෙනෙක් කියන්නේ නැහැ මෙන්න මේ ස්ථානයට ඔය කැළිකසළ ටික ගෙනත් දාන්න කියලා. රටේ එක තැනකවත් විරෝධය මිසක් විසඳුම් නැහැ.  ඕනෑම කෙනෙකුට විරෝධය පළ කරන්න පුළුවන්. නමුත් විසඳුම තමයි ඉතා වැදගත් වෙන්නේ.

කොළඹ තිබෙන කුණු පුත්තලමේ ඈත විශාල වනාන්තර ප‍්‍රදේශයකට ගෙනියන්න සැලසුම් කරලා තිබෙන්නේ. දැන් ඒකටත් විරෝධය පළ කරනවා. ඒ දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුයි සේරම එහේ ගේන්නත් එපා කියනවා. එතකොට කැළිකසළ දාන්නේ කොහේද කියන ප‍්‍රශ්නය තමයි තියෙන්නේ. මේ වගේ කාරණාවකදී අප සෑම කෙනෙක්ම ප‍්‍රශ්නයකට විසඳුමක් සමග තමයි අපි විරෝධය පළ කරන්නට  ඕනෑ. අඩු වශයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය ගත්තොත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ කැළිකසළ දාන්නේ කොතනද කියන එක ගම්පහ දිස්ත‍්‍රික්කයේ වගකිව යුතු සියලූ දෙනා තීන්දු කරන්න  ඕනෑ. කොළඹ දිස්ත‍්‍රික්කය ගත්තහම කොළඹ දිස්ත‍්‍රික්කයේ කැළිකසළ දාන්න අද අලූත් තාක්ෂණික තත්ත්වයන් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. කාබනික පොහොර නිෂ්පාදනය එහෙම නැත්නම් බලශක්ති නිෂ්පාදනය මෙවැනි කාර්යයක් සඳහා තමයි යොමු විය යුත්තේ. ඒ නිසා රට වශයෙන්ම අපි ක‍්‍රියාත්මක කරන්නේ මේ කැළිකසළ ප‍්‍රශ්නයේදී එවැනි නව තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගෙන කැළිකසළ කළමනාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට අපි ක‍්‍රියාත්මක කරලා තිබෙනවා.

මම සති දෙකකට සැරයක් මේ කැළිකසළ කළමනාකරණය සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රධාන කමිටුව රැුස් කරලා එහි ප‍්‍රගති සමාලෝචනයන් කරනවා. මීට කලින් කිසිම කාලයක රජයක් ඒ සඳහා ප‍්‍රමුඛත්වය දීලා තිබුණේ නැහැ. ඒ නිසා මෙවැනි කරුණුවලදී අපි කාගේත් සහයෝගය ලබාගෙන ඒ ප‍්‍රශ්න විසඳීම සඳහා කටයුතු කිරීම අවශ්‍ය වෙන නිසා පරිසරයේ තිබෙන වැදගත්කම තේරුම් අරගෙන කටයුතු කිරීම අවශ්‍යයයි.

මේ උතුම් ආරණ්‍ය සේනාසනයේ පවතින පරිසරයට සංවේදී ගුණය නැවත නැවතත් අගය කරමින් මම නිහ`ඩ වෙනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.

පල්ලේගම පූර්වාරාමාධිපති, දොම්පේ 2 ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය නවගමුවේ රේවත හිමි.

අභාවප‍්‍රාප්ත සරත්චන්ද්‍ර රාජකරුණා මහතා සිදු කළ ආගමික සමාජයීය සේවාව අඛණ්ඩව කිරීම ගැන හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීතුමාට ස්තූති කරනවා. සරත්චන්ද්‍ර රාජකරුණා මහතා අපේ ඉල්ලීම් කිසිවක් පැහැර හැරියේ නැහැ. ප‍්‍රදේශයේ සෑම නිවසකටම විදුලිය ලබාදුන්නා පන්සල්වලට, නිවෙස්වලට නිතර ආව ගියා. බුලත්විටක් කාලා කතා කරලා ගිය ජනහිතකාමී අයකු බව කියන්න පුළුවන්. කොළඹ කසළ දැන් දොම්පේ මාළිගාවත්ත ප‍්‍රදේශයට රැුගෙන ඒම නිසා අපේ පරිසරයට ලොකු තර්ජනයක් ඇතිවී තිබෙනවා. භූගත ජලයට බලපෑම් ඇතිවිය හැකියි. වර්ගීකරණය කළ කසළ පමණක් රැුගෙන ආ යුතුයි. අපේ සුන්දර පරිසරය රැුකගන්න උදව් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව නිවෙස් අතහැරයාමට පවා සූදානම් වෙනවා.

විදුලිබල පුනර්ජනනීය හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා.

හිඟුරාණ කුඩා ජල විදුලි බලාගාරය ආරම්භ කළේ දිවංගත සරත්චන්ද්‍ර රාජකරුණා මහතායි. බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කුඩා ජල විදුලි බලාගාරය හදලා ජාතික පද්ධතියට එක්කිරීම අරමුණු කරගෙනයි එසේ කටයුතු කළේ. ඒ අනුව හිඟුරාණ ජල විදුලි බලාගාරය හදලා මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කොට තිබෙනවා. හිඟුරාණ බලාගාරය වත්මන් ජලවිදුලි බලාගාරය පිහිටුවීමේදී සුවිශාල වූ ආදර්ශයක් ලබාදී තිබෙනවා. එහි ඉඩම් අයිතිය රජයට පවරා දී තිබෙනවා. එහි ඉඩම් අයිතිය රජයට පවරා දීම ඓතිහාසික දෙයක්. පරිසරය අපවිත‍්‍ර නොකර බලශක්තිය ලබාගැනීම අද සිදු කරනවා.

කසළ කළමනාකරණයට විධිමත් දැක්මක් රජයට තියෙනවා. රජය ඒ වගකීම භාරගත්තා. දිගු කාලයකට කසළ ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. කසළවලින් විදුලිය නිපදවන බලාගාර තුනකට අනුමැතිය ලැබී තියෙනවා. ඉන්පසු කොළඹ කුණු පිටතට යන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා.

මගේ පියා දිවංගත සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමාත්, මාගේ සීයාත් මුල් වී ආරම්භ කළ මෙම ආරණ්‍ය සේනාසනයේ අභිනව භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මාගේ ආරාධනාව පිළිගෙන පැමිණීම ගැන ජනාධිපතිතුමාට ස්තූති කරනවා. මගේ පියා ජීවතුන් අතර සිටියානම් අදට 77ක් සම්පූර්ණ වෙනවා. එතුමා ජීවතුන් අතර සිටියානම් අද මේ සඳහා මූලික වී කටයුතුත් කරනවා. මෙම පුණ්‍ය භූමිය බොදු ජනතාව ඇතුළු සැමට ගෞරවනීය ලෙස ඇදහීමේ අවස්ථාව උදාකර දීම ගැන සතුටු  වෙනවා.

මිල්ලතාකන්ද ආරණ්‍ය සේනාසනාධිපති නෙලූවත්තුඩුවේ අතුලදේව, මෙගොඩවැවේ රතනසිරි යන හිමිවරුද මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

 හිඟුරාණ කුඩා ජල විදුලි බලාගාරය පිහිටි ඉඩමේ ඔප්පුව හර්ෂණ රාජකරුණා මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාට ප‍්‍රදානය ද කිරීම මෙහිදී සිදු කෙරිණ.

කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී තුසිතා විජේමාන්න, පළාත් සභා මන්ත‍්‍රී උපාලි ගුණරත්න, දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උභය කුමාර ජයවර්ධන, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් ජයලත්, දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් ජී. විජේසිරිවර්ධන යන මහත්ම මහත්මීන් ද සේනාසනයේ දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.