’මුල් වසර දෙකේ අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළා’


(අංජුල මහික වීරරත්න,ඡායාරූප ඉෂාන් සංජිව)

රට අගාධයට ගියේ ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකි යැයි සිතූ පාලකයන් නිසා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (5) පැවසීය.

මුල් වසර දෙක ඇතුළත අමාරු තීරණ ගෙන ආර්ථිකය ස්ථාවර කළ බව කී අග‍්‍රාමාත්‍යවරයා ශක්තිමත් පදනමක මිස මඩ වගුරේ ගෙවල් හදන්නට හැකියාවක් නැති බවද අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීය. ලබන තෙවසර තුළ අපනයන ආදායමට මූලිකත්වය දෙන, ශීඝ‍්‍රයෙන් දියුණුවන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි.

රැකියා බිහිකිරීම, ආදායම වැඩි කිරීම එමෙන්ම සාමාන්‍ය ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි. වසර 40කට පෙර එනම් 1977 වසරේ නොවැම්බරයේ අප මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. එම නිසා නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳ කටයුතු වැඩි වුණා. චීනය, ඉන්දියාව, වියට්නාමය විවෘත ආර්ථිකයට පිවිසුණේ අපෙන් පසුවයි.

යුද්ධය නිසා අපේ සංවර්ධන වේගය අඩු වුණා. සෙසු රටවල සංවර්ධන වේගය අඩු වුණේ නැහැ. අපිට සමාන මට්ටමේ සිටි මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ද අපට පිටුපසින් සිටි චීනයත්, පසුව ඉන්දියාවත්, වියට්නාමයත් දැන් අප පසු කරගෙන ඉදිරියට ගොස් තිබෙනවා. දැන් අපට පිටුපසින් සිටින්නේ මියන්මාරය, කාම්බෝජය, ලා ඕසය, ඇෆ්ගනිස්ථානය පමණයි.

අප අපනයන ආර්ථිකයට ගමන් කිරීමේ වේගය අඩු වුණත්, පසුගිය දශකයේදී විපර්යාසයක් ඇති වුණා. අපගේ ආර්ථිකය වෙළෙඳ නොවන කටයුතු සඳහා වැඩි වශයෙන් අවධානය යොමු වුණා. රටේ වර්ධනය ඇති වුණේ වෙළෙඳ නොවන අංශවලිනුයි. ආර්ථිකයේ අපනයන නිෂ්පාදනයටත් ඊට සම්බන්ධ ආයෝජනකරුවන්ටත් අහිත කරවූ ප‍්‍රතිපත්ති එම යුගයේදී ක‍්‍රියාත්මක වුණා. එකළ ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් තීරු බදු සහනයෙන් ලැබෙන්නට තිබූ වාසිය ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කළා. බංග්ලාදේශය එහි වාසිය ලබා ගත්තා.

අපනයන අඩුවීමත් සමඟ සංවර්ධනය සඳහා එවකට රජය යටිතල පහසුකම් ඉදිකිරීම ආරම්භ කළා. යටිතල පහසුකම් ඉදිකිරීමට තම ආදායම් නොතිබූ නිසා ණය ලබාගත්තා. ලංකාවේ වෙළෙඳපොළින් පමණක් නොව පළමුවරට විශාල වශයෙන් විදේශ වෙළෙඳපොළෙන් මුදල් ලබා ගත්තා. එකල යුරෝපයේ තිබූ ආර්ථික අර්බුදය නිසා විදේශ මුදල් ලංකාවේ රැඳුණේ කෙටි කාලයක් පමණයි. එම මුදල් ආපසු යන්නට පටන් ගත්තා. ඒ අනුව සම්පූර්ණයෙන්ම යටිතල පහසුකම් ඉදිකරන්නට පටන් ගත්තා.

උදාහරණ වශයෙන් ගතහොත් හම්බන්තොට වරාය, සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාව ආදිය දැක්විය හැකියි. මේ ආයතනයේ අය ක‍්‍රිකට් ගහන්න කැමැති නම් අපට සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය දෙන්න පුළුවන්. මේ සියලූම ඉදිකිරීම් සඳහා අප විශාල වශයෙන් ණය ලබාගත්තා. අන්තිමට සිදුවූයේ කුමක්ද? මෙරට තරුණ තරුණියන්ට රැකියා තිබුණේ නැහැ. සමහරුන් මැදපෙරදිග රටවල්වලට ගියා. එම නිසා සමාජ ව්‍යුහය වෙනස් වුණා. පවුල් කැඩුණා. බොහෝ විට තරුණයන් ත‍්‍රීරෝද රැකියාවට යොමු වුණා.

අවසාන යුගය වනවිට ණය නොව පොලියවත් ගෙවා ගන්නට නොහැකි තත්ත්වයකට රට ඇද වැටී තිබුණා. 2015 වසර වනවිට රට විශාල ආර්ථික අවුලකට යන බවට බොහෝදෙනා මත පළ කර තිබුණා. ඒ යුගයේ මහබැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ මා දන්නා අයට කතා කළ විට ඔවුන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැහැ. එවැනි අර්බුදයක් එන්නට පෙර වේලාසනින්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ මහතා තීරණය කළා. සමහර රටවල ආර්ථික අර්බුදයක් එනවා නම් මැතිවරණ පවත්වනවා.

අවසානයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික මෙහෙයුම ඇරැඹීමේ වගකීම අපට පැවරුණා. අප ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සංසන්දනය කර බලමු. 2004 වසරේ ශ්‍රී ලංකාවේ අපනයනය බිලියන 5ක් හෙවත් මිලියන 467ක් වුණා. බංග්ලාදේශයේ එම වසරේ අපනයනය බිලියන 8ක් හෙවත් මිලියන 657ක් වශයෙන් දැක්වුණා. අප ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබාගත්තේ නැහැ. 2017 වන විට අපේ අපනයනය බිලියන 10ක් හෙවත් මිලියන 546ක් බවට පත්වී තිබුණා. එය දෙගුණයක්වත් වැඩිවී නැහැ. නමුත් බංග්ලාදේශයේ 2017 වන විට අපනයනය බිලියන 30ක් හෙවත් මිලියන 197ක් බවට පත්වී තිබුණා. එසේනම් බංග්ලාදේශයේ අපනයනය තුන් ගුණයකටත් වඩා වැඩිවී තිබෙනවා.

අප ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගෙන ඉදිරියට ගියා නම් එම වසරේදී අපට ඩොලර් බිලියන 19ක් ලැබීමට තිබුණා. බංග්ලාදේශයේ සිදු වුණේ කුමක්ද? ඒ අය හොඳ ආරම්භයක් ගෙන ෂික් හෂීනා අගමැතිතුමියගේ මූලිකත්වයෙන් මැතිවරණයක් පවත්වා වසර 5කට පසු ජයග‍්‍රහණය කළා. ලංකාවේ සිදු වුණේ කුමක්ද? ලංකාවේ එසේ වුණානම් හොඳ ආර්ථිකයක් සමඟ මැතිවරණයක් පවත්වා ජයග‍්‍රහණය කරන්න තිබුණා. එසේ වුණානම් මා මෙතැන නැහැ.

ආර්ථිකය අතපසු කර දේශපාලනය කරන්නට හැකියැයි බොහෝ අය සිතනවා. අමාරු වුණත් තීරණ ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. එම නිසා ගත යුතු අමාරු තීරණ අප පළමු වසර දෙකේදී අරගත්තා. රට සංවර්ධනය කිරීමට අප පොරොන්දු වුණා. නමුත් සංවර්ධනයට පෙර ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යයි. මඩවගුරේ ගෙවල් හදන්නට බැහැ. කොපමණ සංවර්ධනයක් අවශ්‍ය වුවත් ආර්ථික ස්ථාවර බව නැතිව ඉදිරියට යන්න බැහැ. අප පසුකළේ ණය පොලියවත් ගෙවා ගන්නට නොහැකිව තිබූ ආර්ථිකයක් බව අමතක කළ යුතු නැහැ.

එම තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් සහයෝගය අප අගය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගන්නේ ඇයිදැයි බොහෝ අය ඇසුවා. අපට අවශ්‍ය තරමින් ආධාර ලබාගත යුතුයි. අපට අවශ්‍ය ආධාර ඔවුන්ගෙන් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අවශ්‍ය මුදල් ලබාගැනීමට අපේ රජයට හැකියාව ලැබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක‍්‍රියා කළේ අපේ දේශීය ආදායම වැඩිකිරීමටයි. එසේ කිරීමේදී වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. එවිට බැණුම් අසන්නටත් සිදුවුණා. මේ වන විට ලබාගත් ණයෙහි පොලිය අපේ ආදායමෙන් ගෙවා දැමීමට හැකියාව ලැබී තිබෙනවා. එයත් විශාල ජයග‍්‍රහණයක් බව කිව යුතුයි. එම ස්ථාවර බව අප ඇති කර තිබෙනවා. මෙතැන් සිට ඉදිරි පියවර කිහිපයක් අප විසින් ගත යුතුයි. ඒ ආර්ථිකයේ ස්ථාවර බව තහවුරු කිරීම සඳහායි.

නමුත් අපට සම්පූර්ණ ණය ගෙවා දැමීමට ශක්තියක් නැහැ. අප විදේශ ආයෝජන ලබාගැනීමට ක‍්‍රියා කරන්නේ ඇයි? තව අවුරුදු පහ, හයකින් අපගේ දළ දේශීය නිෂ්පාදිතය ශීඝ‍්‍රයෙන් වර්ධනය වූ පසුව එම ආදායමත් ණය ගෙවාදැමීම සඳහා යෙදවීමට හැකියාව තිබෙනවා.

ඒ වනතුරු අපට ණය ගැනීමට සිදුවනවා. මෙවර ණය ගන්නේ ණය ගෙවීමට මාර්ගයක් නැතිව නොවේ. පැහැදිලි දැක්මක් ඇතිවයි. වසර පහක්, දහයක් යන විට ණය ගෙවීමට අපට මුදල් තිබෙනවා. ඒ එක්කම දළ දේශීය නිෂ්පාදනය දෙස බලන විට ජාතික ණය ප‍්‍රතිශතය 79 සිට 70 දක්වා අඩු කර ගන්නට අපට හැකිවුණා.

එය 60 දක්වා අඩු කිරීමට අප ක‍්‍රියා කළ යුතුයි. මේ වනවිට මහ බැංකුවෙන් කෙටි හා මධ්‍ය කාලීන ණය පාලනය කිරීමේ උපක‍්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. එය සංශෝධනය කිරීමෙන් පසුව ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට හේතුව 2019 සිට 22 දක්වා එක් අවුරුද්දකට අඩුම වශයෙන් විදේශ ණය රුපියල් බිලියන එකත් දෙකත් අතර ප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබීමයි. එම අවුරුදු හතර ඇතුළත එතරම් විශාල ණයප‍්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට සිදුවනවා. ඒවගේම අපේ අයවැය තදින් පාලනය කිරීමටත් සිදුවෙනවා. මේ සඳහා අප අලූත් වෙන්දේසි ක‍්‍රමයක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව මහ බැංකුව සහ භාණ්ඩාගාරය මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. සාකච්ඡුාවලින් පසුව එම වෙන්දේසි ක‍්‍රමයත් ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබාගෙන ඇති ණය පියවීම සඳහා කාර්යාලයක් ආරම්භ කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. එය මහ භාණ්ඩාගාරය හා සම්බන්ධ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මුදල් ණයට ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය මැදිහත්ව කටයුතු කළ නිසා එය ගෙවීමේ කටයුතු සඳහාත් මැදිහත්වන ලෙස මම ඔවුන්ට පැවසුවා.

මහ බැංකුව ණය ගැනීම සඳහා භාණ්ඩාගාරය යොදා ගත්තත් අනෙක් පාලන කටයුතු නොකිරීම අපේ එක් අත්දැකීමක්. එම නිසා මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට වෙන් වෙන්ම කටයුතු කිරීමට සැලැස්වීමට අප තීරණය කළා. අද අප මේ කටයුතු කරන්නේ එහි එක් ප‍්‍රතිඵලයක් ලෙසයි. උද්ධමනය අඩු කිරීම පිළිබඳව ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අප මෙම වසරේදී    6% ආර්ථික වර්ධන වේගයක්

බලාපොරොත්තු වුවද නියඟය සහ ගංවතුර තත්ත්වයන් නිසා එය අඩාල වුණා. වැට් වැඩි කිරීමේ බලපෑම, බඩු භාණ්ඩවල හිඟයක් ඇතිවීම ආදී සිදුවීම් පාලනය කරමින් ඉදිරියට යා යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමට හෝ එය වෙළෙඳපොළට රැගෙන ඒමට තරම් ශක්තියක් නැහැ. මෙවැනි පසුබිමක් මත මෙම වසරේදී අප විශාල සංවර්ධන වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ රැකියා උත්පාදනය කිරීමේ උපක‍්‍රම පිළිබඳවත් අප සාකච්ඡා කරනවා. ඒ සඳහා විවිධ අමාත්‍යාංශයන්ගෙන් අදහස් ලැබී තිබෙන අතර මහ බැංකුව හරහා මූලික වාර්තාව සකස් කර තිබෙනවා. හර්ෂ ද සිල්වා අමාත්‍යතුමාට ඒ සඳහා වූ සම්පූර්ණ වාර්තාව සකස් කිරීමට අප භාර දී තිබෙනවා.

මෙම වසරේ මුල් භාගයේදී කුලියාපිටිය, පන්නල, කොග්ගල, කළුතර ආදී ප‍්‍රදේශවල ව්‍යාපෘති ආරම්භ කර එම කාර්මාන්ත ශාලාවල ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා.

හම්බන්තොට ව්‍යාපෘති ඉදිරි මාස දෙක, තුන තුළ ක‍්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා. මේ වනවිට නව ආයෝජන සිදු කිරීමට ආයෝජකයන් අපෙන් අවස්ථා ඉල්ලමින් සිටිනවා. හම්බන්තොට පිරිපහදු මධ්‍යස්ථානයක්, එල්එන්ජී විදුලි බලාගාරයක්, ආදී ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඉදි කෙරෙමින් පවතින කොළඹ මූල්‍ය නගරයේ ගොඩනැගිලි ඉදි කිරීම පිළිබඳව මේ වනවිට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධවී එල්එන්ජී විදුලි බලාගාර දෙකක් සහ පර්යන්තයක් ඉදි කිරීමට එකඟවී තිබෙනවා. මෙවැනි වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

නුවර සිට හම්බන්තොට දක්වා විශේෂ ආර්ථික කලාපයක් ඇති කිරීමට කටයුතු කරනවා. එම විශේෂ ආර්ථික කලාපයට ගුවන් තොටුපළ දෙකක් සහ වරාය දෙකක් ඉදිකිරීමට නියමිතයි. ඉදිරියේදී සිංගප්පූරු සමාගමක් ත‍්‍රිකුණාමලයේත්, පොළොන්නරුව,අනුරාධපුරය, දඹුල්ල සහ මඩකළපුව ආදී ප‍්‍රදේශවලත් කර්මාන්ත ඇති කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ආකාරයට ඊසාන දිග සහ නිරිත දිග ආර්ථික කලාප දෙකක් නිර්මාණය වෙනවා. නව ආයෝජන ලබා ගැනීමට තිබෙන්නේ මෙම ආර්ථික කලාප හරහායි.

අප රටේ සියලූම නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වයකින් සමන්විත විය යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ව්‍යාපාර සඳහා රට තුළ තරගකාරීත්වයක් නොමැතිවීම හේතුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට රැගෙන යනවා. එය අපට නැවැත්විය නොහැකියි. අප බෙංගාලබොක්කේ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

මේ වනවිට ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය ලැබී තිබෙනවා. දැන් අපිට ඇති අභියෝගය ජීඑස්පී ප්ලස් සහනයෙන් ලැබුණු නිෂ්පාදන හය දහසින් කොතරම් ප‍්‍රමාණයක් අපනයනය කිරීමට හැකිවේද යන්නයි. අප ඇඟළුම්, රබර්, ධීවර කර්මාන්ත සඳහා පමණක් සීමා වෙනවාද එසේත් නොමැතිනම් තවත් වසරක් දෙකක් ගත වනවිට විදේශ ආයෝජකයින්ගේ ද සහාය ඇතිව අපනයන ප‍්‍රමාණය පුළුල් කරනවාද යන්න අප තීරණය කළ යුතුයි. මෙම වසර තුන තුළ එවැනි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි අප කටයුතු කරන්නේ. මූල්‍ය ක්ෂේත‍්‍රය සහ බැංකු ක්ෂේත‍්‍රයත් මීට සම්බන්ධ කළ යුතු වෙනවා. මම මෙම ස්ථානයට පැමිණෙන විට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියන් සිවු දෙනෙක් ජය මංගල ගාථා ගායනා කළා.

මට අවශ්‍ය එම සිසුවියන් සිවුදෙනා ඇතුළු සියලූම ¥ දරුවන්ට ණය බරින් තොර රටක් නිර්මාණය කර දීමටයි. මේ පව් ඔවුන් පිට පැටවීමට මම සූදානම් නැහැ. අපි මේ සඳහා විසඳුම් සෙවිය යුතුයි. ඔබේ දරුවන්ට බරක් නැති, නීතිය සාමය ගරු කරන හොඳ ආදායමක් සහිත ආර්ථික වශයෙන් කේන්ද්‍රිය රටක් ඇති කිරීමට මට අවශ්‍යයි. රට පිළිබඳව මගේ අවසාන අරමුණ එයයි. අප ක‍්‍රියාත්මක කරන සියලූ දේවල් ඒ අරමුණ සඳහා වන උපක‍්‍රමයි.

මේ සියල්ල සිදු කිරීමට නම් ඔබේ ක්ෂේත‍්‍රයෙන් විශාල සේවයක් ලැබිය යුතුයි. අවසානයේ මෙහි ප‍්‍රතිඵල ලබා ගන්නේ අනාගත පරපුරයි. මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක වන විට වැඩි බරක් පැටවෙන්නේ පෞද්ගලික අංශයටයි. පෞද්ගලික අංශයෙන් වැඩ කටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා. එම නිසා ඉදිරියේදී මෙම ක්ෂේත‍්‍රයෙන් රටේ සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් සිදු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු බැංකු නිලධරයෝ රැසක් ද සහභාගී වූහ.