(අංජුල මහික වීරරත්න)
‘ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් මැදි ආදායම් ලබන රටක් කියමින් සිටින යුගය නිමා කර උසස් ආදායම් ලබන රටක් බවට පත් කිරීම සඳහා වන සැලසුම් සියල්ල ක‍්‍රියාත්මක කරමින් සිටින බව’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (31) පැවසීය.
හැමදාම දුප්පත් රටක් ලෙස ජීවත්වීම ලැජ්ජාවට කරුණකැයි කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අනාගත පරපුර ඒ ලැජ්ජාවෙන් මුදා ගැනීම ජාතික රජයේ මුලික අරමුණ යයිද කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණභරණ කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කළ ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
මැණික් හා ආභරණ කර්මාන්තය දියුණුවට පත්කර එයින් වැඩිපුර ආදායම් සහ රැකියා ලබා ගැනීමට යහපාලන රජය කැපවී සිටිනවා.
අප රජය බාර ගත්තේ ණය බරින් කඩා වැටුණු ආර්ථිකයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එමෙන්ම අපට බාරගන්නට වූයේ විදේශ ආයෝජන නැති ආර්ථිකයයි.
2014 වසර සමග සසඳන විට වර්තමානයේ මෙරටට ලැබී තිබෙන විදේශ ආයෝජන සියයට තුන්සියයකින් වැඩිවී තිබෙන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා මට දැනුම් දුන්නා. මෙහි සිටින ඕනෑම ඇමැතිවරයකුගෙන් විමසුවහොත් තමන්ගේ ප‍්‍රදේශයේ මෙන්ම තම අමාත්‍යාංශයේ වී ඇති යම් යම් ප‍්‍රගතිදායක තත්ත්වය පිළිබඳව පවසයි. චීන අයෝජන, ජපන් ආයෝජන, ඉන්දීය අයෝජන ශීග‍්‍ර වශයෙන් අද මෙරටට ගලා එමින් පවතිනවා.
අක්කර දහසක විශාල කර්මාන්ත කලාපයක් බිහි කරන ආකාරය පිළිබඳව මේ වනවිට සැලසුම් සකස් කර තිබෙනවා. එල්.එන්.පී. විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමග සාකච්ඡා කරනවා. හම්බන්තොට එල්.එන්.ජී. විදුලිබලාගාරයක් ඉදිකිරීම සඳහා චීනය සමග සාකච්ඡා කරනවා. එල්.එන්.ජී. විදුලි බලාගාර තුනක් එකවර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරුණේ මීට පෙර කුමන අවස්ථාවකදැයි මා අහන්න කැමතියි.
විදුලි බලාගාර තුනට අමතරව හතරවැනි විදුලි බලාගාරය ඉදිකිරීම සඳහාත් දැන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ලබන සතියේදී ටෙන්ඩර් විවෘත කිරීමට නියමිතයි. එය සාර්ථක වුවහොත් එල්.එන්.ජී. විදුලි බලාගාර හතරක් එකවර මෙරට ස්ථාපිත කෙරෙනවා.
හම්බන්තොට වරාය ණය බරෙන් මා නිදහස් කර ගත්තා. මත්තල ගුවන් තොටුපොළ ද ඒ ආකාරයටම දියුණු කිරීමට නියමිතයි. මැණික් හා ආභරණ කලාපය හම්බන්තොට ස්ථාපිත කරන්නැයි සමහරුන් කියනවා. බස්නාහිර පළාතේ කටුනායක කර්මාන්ත කලාපය ස්ථාපිත කරන ලෙස තවත් පිරිසක් කියනවා. මේ පිළිබඳව තීරණයකට එළඹීමට නම් තවදුරටත් සාකච්ඡා කරන්න වේවි.
අප ඉදිරියේදී වෙළඳ කලාප විශාල වශයෙන් බිහි කරන්න නියමිතයි. ගාල්ල දිස්ත‍්‍රික්කයේ සංචාරක කලාප තුනක් පිහිටුවීමට නියමිතව තිබෙනවා. ඒ සංචාරක කලාප වෙන් වන්නේ උසස් ආදායම් ලබන සංචාරකයන් සඳහායි. එක් සංචාරක කලාපයක් අක්කර 500කින් පමණ සමන්විතයි.
සංචාරක කර්මාන්තය ඇරැඹුණේ ගාල්ලේද බේරුවලද කියා විශාල විවාදයක් තිබෙනවා. ගාල්ලේ ජනතාව එය ඇරැඹුණේ ගාල්ලේ බව කියනවා. බේරුවල ජනතාව තම ප‍්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹුණු බව කියනවා. මා ඒ කතාවට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. මොකද ඒ පළාත් දෙකෙහිම අපට ඡුන්ද තිබෙන නිසයි.
මැණික් කර්මාන්තය දියුණු කරන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. වර්තමානයේ බොහෝ දෙනකු මැඩගස්කරය ඇතුළු බොහෝ රටවලට ගොස් අපට මැණික් දෙනවා. එසේ නම් අපි සියලූම දෙනා එක්ව මැණික් කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ කරමු.
ඒ අතර ලංකාවේ පතල් කර්මාන්තය මැණික් කර්මාන්තකරුවන් දියුණුවට පත් කිරීම සඳහා ක‍්‍රියා කළ යුතුයි.
මධ්‍යම පරිසර අධිකාරියටත් භූ විද්‍යා සහ පතල් කාර්යාංශයටත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් එහිදී සුවිශේෂී වගකීම් පැවරෙන බව කිව යුතුයි. සියල්ල කළ යුත්තේ ලැබෙන විදේශ ආදායම නැතිනම් විදේශ විනිමය තුන් ගුණයක් බවට පත්කර ගැනීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහායි.
මේ කාර්යාභාරය ඉටු කළ යුත්තේ ඇයි. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය බර අපේ ජීවිත කාලය තුළදීම ගෙවා දැමෙනවා. ණය බර නැවත ඊළඟ පරම්පරාවට දෙන්නේ නැහැ. අපේ ජීවිත කාලයේදී ඇති කරගත් ණය බර අපේ ජීවිත කාලෙය්දීම ගෙවා දැමිය යුතුයි.
ණය ගෙවීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. විශාල වශයෙන් රැකියා උත්පාදනය කළ යුතුයි. රට දියුණු කළ හැක්කේ එවිටයි.
හැමදාම අඩු ආදායම් රටක් මැදි ආදායම් රටක් ලෙස කියමින් සිටිය යුතුද? හැමදාම ඒ බව කියමින් සිටීම මට නම් ලැජ්ජාවට කරුණක් වනවා. අප උසස් ආදායම් ලබන රටක් බවට පත්විය යුතුයි. අප ක‍්‍රියා කළ යුත්තේ ඉලක්කය සපුරා ගැනීම සඳහායි.
යහපාලන රජය කැපවී ඇත්තේ ශක්තිමත් ආර්ථිකය ශ්‍රී ලංකාවට දීමටයි. පක්ෂ දෙකක් එකට එක්වූයේ ඒ ශක්තිමත් ආර්ථිකය රටට දීමටයි. ඒ ශක්තිමත් ආර්ථිකය බිහි කිරීමේ අඩිතාලම දමා තිබෙනවා. 2020 වනවිට මීට වඩා හොඳ ශක්තිමක් ආර්ථිකයක් බිහිකර තැනීම මගේ අරමුණයි.
මැණික් කර්මාන්තයට ශ්‍රී ලංකාවේ ඉතා පැරණි ඉතිහාසයක් තිබෙනවා. මැණික් කර්මාන්තය බිහි වුණේ මෙරට තේ කර්මාන්තය ඇරැඹීමටත් බොහෝ පෙර යුගයේ සිටයි.
මැණික් කර්මාන්තය තුළින් වර්තමානයේ ලබන ඩොලර් මිලියන 500ක ආදායමෙන් පමණක් අපට සෑහීමට පත්වන්න හැකියාවක් නැහැ. අඩු තරමින් ඒ ආදායම ඩොලර් මිලියන 5000 දක්වාවත් වැඩි කරගත යුතුයි. මැණික් කර්මාන්තය ආශ‍්‍රයෙන් තවත් රැකියා දස දහසක්වත් බිහි කරගත යුතුව තිබෙනවා.
මැණික් කර්මාන්තය විදේශ විනිමය උපයන ප‍්‍රධාන මාර්ගයක් බවට පත් කිරීමට ආර්. පේ‍්‍රමදාස ජනපති සමයේ තීරණය කළා. වත්මන් යහපාලන රජයේ අරමුණ වන්නේද ඒ තත්ත්වය තවත් ඉදිරියට ගෙන යාමයි.
ඉදිරියේදී මැණික් කර්මාන්තකරුවන් හමුවී සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මැණික් කර්මාන්තයෙහි විය යුතු වෙනස්කම් පිළිබඳව එහිදී අපට යෝජනා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
හොංකොං වර්තමානයේ මැණික් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වශයෙන් හඳුන්වාදිය හැකියි. නමුත් එරට මැණික් ගැරීමක් වන්නේ නැහැ. මේ අනුව බලන කල ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය බවට පත්වීමට ඉහළ සුදුසුකම් තිබෙන බව සඳහන් කළ යුතු යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා:
මමත් අතීතයේ සිට මැණික් කර්මාන්තයට සහභාගී වුණා. පළමු මැණික් ප‍්‍රදර්ශනය සංවිධානය කිරීමටත් මම සහයෝගය දුන්නා.
වර්තමානයේ මැණික් කර්මාන්තය තිබෙන තැන ගැන සතුටට පත්වීමට හැකියාවක් නැහැ. මෙරට මැණික් කර්මාන්තය වසර දහස් ගණනක් පැරණියි.
අතීතයේ වෙළඳ හුවමාරු ක‍්‍රමය යටතේත් ශ්‍රී ලංකාවේ මැණික්වලට හොඳ ඉල්ලූමක් තිබුණා. ලොව පුරා රජවරුන්ගේ ඔටුනුවල බොහොමයක් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මැණික් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මෙරට මැණික් කර්මාන්තය තවත් බොහෝ දුරක් ඉදිරියට යා යුතුයි. රොනී ද මැල් මුදල් අමාත්‍යවරයා ලෙස මෙරට මැණික් කර්මාන්තය නිදහස් තත්ත්වයකට පත් කලා.
වාමාංශිකයකු වුවද එන්.එම්. පෙරේරා මුදල් අමාත්‍යවරයා පවා මැණික් කර්මාන්තයේ ඉදිරි දියුණුව සඳහා විශාල වශයෙන් බදු සහන දුන්නා. අපත් බොහෝ දුරට කළ යුත්තේ එයයි.
පවතින නීති ලිහිල් කර මැණික් කර්මාන්තයේ දියුණුව සඳහා පියවර ගත යුතුව තිබෙනවා. බොහෝ දෙනා පවුලේ ව්‍යාපාර ලෙසත් මැණික් කර්මාන්තයේ නිරත වෙනවා.
වර්තමානයේ ඬේසි ආච්චිගේ මැණික් මල්ල දේශපාලන ක්ෂේත‍්‍රයේදී බොහෝ දුරට කතාබහට ලක්වූ මාතෘකාවක් බව මෙහිදී සිහිපත් කරන්න කැමැතියි.
මැණික් කර්මාන්තය ආශ‍්‍රිතව වර්තමානයේදී ලක්ෂ පහකට පමණ සෘජු රැකියා තිබෙනවා. මැණික් කර්මාන්තකරුවන් සියලූම දෙනා එක තැනක ස්ථාපිත කරන මැණික් කර්මාන්ත කලාපයක් ස්ථාපිත කිරීම වැදගත් වන බව අපගේ හැඟීමයි. උත්සවයට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් යන මහත්වරුද මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් රැුසක්ද සහභාගී වූහ.