(අංජුල මහික වීරරත්න, ඡායාරූප - ඉෂාන් සංජිව)
බටහිර රටවල සංක‍්‍රමණික දොරටු වැසෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් මව්බිම දියුණු කිරීමේ වගකීම සියලූ ශ්‍රී ලාංකිකයන් වෙත පැවරී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා කොළඹදී ඊයේ (2) පැවැසීය.
ආසියාව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වන යුගය වැඩි ඈතක නොවන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මේ බව කීවේ මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ වාර්ෂික උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.
මාලබේ තොරතුරු තාක්ෂණ ආයතන ශ‍්‍රවණාගාරයේදී මෙම උපාධි ප‍්‍රදානෝත්සවය පැවැත්විණි.
මෙහීදි වැඩිදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙසේ පැවසීය.
මාලබේ තොරතුරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනය ඉංජිනේරු තාක්ෂණ විශ්වවිද්‍යාල අතුරින් දෙවැනි වන්නේ කටුබැද්ද විශ්වවිද්‍යාලයට පමණක් බව කිව යුතුයි. පළමුවෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් මෙරට උපාධි ලබාදුන්නා. පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් පසුව වැඩිපුරම මෙරටට ඉංජිනේරු වෘත්තිකයන් බිහිවන්නේ මාලබේ උසස් අධ්‍යාපන ආයතනයෙන් බව කිව යුතුයි.
උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගිවන්නට ලැබීම සතුටක්. මීට කලකට පෙර අප නවීකරණ යුගය ආරම්භ කළා. එකල ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂයේ සිටින විට ජයවර්ධනපුර කෝට්ටේ අගනගරය බවට පත් කළ යුතු බව සඳහන් කළා. ඒ ප‍්‍රකාශයට ඇතැමුන් හිනාවුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් බැහැර වී කළ යුතු දේ කළා. මමත් ඒ යුගයේ බියගම නවීකරණය සඳහා දායක වුණා.
වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිට කොළඹට යනවිට විශාල රථවාහන තදබදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා. රාජගිරියේ ගුවන් පාලම ඉදිවීමෙන් පසුව ඒ ප‍්‍රශ්නයටත් විසඳුමක් ලැබේවි.
සාම්ප‍්‍රදායික සිතුවිලිවලින් ඈත්ව නවීන සිතුවිලි ඇති කරගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි. අපට ඉදිරියට යාමට එම සිතුවිලි උපකාර වෙනවා.
අද අප සැලසුම් කරන දේ ඇතැම්විට ඒ අයුරින්ම අනාගතයට වලංගු නොවිය හැකියි. මා සමග විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් බොහෝ දෙනෙකු නීතිඥයින් සහ ව්‍යාපාරිකයන් බවට පත්වුණා. මම දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණා. එක් අයෙකු අගවිනිසුරු බවට පත්වුණා.
සමාජයේ ඉදිරියට යනවිට බාධක ජය ගැනීමට පුරුදු විය යුතුයි. හැම විටම සාර්ථකත්වය ගැන පමණක් සිතුවහොත් සාර්ථක නොවන විට කලකිරීමට පත්විය හැකියි. ආපස්සට සිතුවිලි මෙහෙයවා තමන් කළ දේ හරි දැයි ආවර්ජනය කරන්න. වැරදුණු තැන් මොනවාදැයි මෙනෙහි කරන්න. එවිට ජීවිතය ජය ගැනීම පහසුයි. හැමවිටම අනාගතය අවිනිශ්චිතයි. ඒ ගැන හොඳින් තේරුම් ගෙන සමාජයේ ජීවත්විය යුතුයි.
මෙම ආයතනයෙන් උපාධිය ලබන සිසු සිසුවියන්ද අනාගතයේදී විදේශගතව රැුකියා කරන්නට සැලසුම් කරනවා ඇති. එම සිසුන් අධෛර්යමත් කරන්නට මා කැමැති නැහැ. බොහෝ පිරිස් උත්සාහ කරන්නේ බටහිර රටවලට යාමටයි. නමුත් බටහිර රටවල සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති ශීඝ‍්‍රයෙන් වෙනස් වී තිබෙනවා. ආගමන විගමන ගැටලූ හේතුවෙන් බොහෝ බටහිර රටවල් සංක‍්‍රමණිකයන් බාර ගැනීම නතර කර තිබෙනවා.
මහා බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට හේතු වූයේත් මෙම සංක‍්‍රමණික ගැටලූ බව සඳහන් කළ යුතුයි. ඇමරිකාවත් මේ වනවිට සංක‍්‍රමණිකයන්ට ඉඩ නොදෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අප ශ්‍රී ලංකාවේ ජීවත්වෙමින් දියුණුව කරා යා යුතුව තිබෙනවා.
අතීතයේ විශ්වවිද්‍යාලවලින් සමත්වූ උගතුන් ගියේ බටහිර රටවලටයි. නමුත් වර්තමානයේදී ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. මේ යුගයේදී ශීඝ‍්‍රයෙන් දියුණුව කරා පා ඔසවන්නේ ආසියාවයි. තව වසර 20ක් ඇතුළත ඉන්දුනීසියාව ඇතුළු ආසියා තීරුව ලොව ජනප‍්‍රියම සංවර්ධන තීරුව බවට පත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ සිට දියුණු වන්නට සිතන අයට මෙය වටිනා පණිවිඩයක් බව කිව යුතුයි. මා දේශපාලනයට පැමිණියේ මෙරට ආර්ථික පරිවර්තනයක් වූ යුගයේදීයි. එම යුගයේදී සමාජවාදී ආර්ථිකය අතහැර ශ්‍රී ලංකාව වෙළෙඳපොළ ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටියා. වත්මන් පරපුර අපේ පරපුරට වඩා තොරතුරු තාක්ෂණ අංශයෙන් බොහෝ ඉදිරියට පැමිණ තිබෙනවා. අප දැන් උණුසුම්කාරී යුගයකට පැමිණෙමින් තිබෙනවා. අඩු වේතන සමග තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකියාවක් නැහැ.
යහපාලන රජය පිහිටවූ පසුව හාවඞ්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංගමයේ විමර්ශන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙරටට පැමිණියා. ඔවුන් වසරක් ඇතුළත එම අධ්‍යයනය කළා. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ඒ විමර්ශනයේදී අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. නමුත් අප වෙළෙඳපොළ ආර්ථිකයේ එක් තැනක සිරවී සිටින බව කිව යුතුයි. ඇඟලූම් කර්මාන්තය ගතහොත් ශ්‍රී ලංකාවට පසුව ඇඟලූම් කර්මාන්තයට පිවිසුණු රටවල් අපට වඩා ඉදිරියට ගොස් සිටින ආකාරය දැකගත හැකියි. බොහෝ රටවල් විවිධ නිෂ්පාදනවලට පෙළඹී සිටිනවා.
1991 වසරේදී වියට්නාමයේ ආර්ථික අමාත්‍යවරයා මෙරට ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. අපෙන් ඉගෙනගත් අය අද අපටත් වඩා ඉදිරියට ගොස් තිබෙනවා.
අපට සිදුවී තිබෙන්නේ කුමක්ද? අද ශ්‍රී ලංකාවේ අඩු පඩි විශාල ප‍්‍රශ්නයක්. අපට අඩු පඩියක් සමග තරග කරන්නට සිදුවී තිබෙනවා. එමනිසා බොහෝ තරුණ තරුණියන් විදේශ රැුකියා සඳහා ඇදී යන්නට පෙළඹී තිබෙනවා. නැතිනම් ත‍්‍රිරෝද රථ එළවනවා. අප මේ තත්ත්වයෙන් මිදිය යුතුයි.
අපනයන පවා විවිධාංගීකරණය කළ යුතුව තිබෙනවා. ලෝකය සමග තරග කිරීමට හැකි තත්ත්වයකට පැමිණිය යුතුව තිබෙනවා.
අඩු පඩි සමග අපට දියුණුව කරා යන්නට බැහැ. තාක්ෂණය මෙන්ම දැනුම සමග ඉදිරියට ගමන් කළ යුතුයි. අපට නැත්තෙත් එයයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තාක්ෂණය පැත්තට ගමන් කළේ නැහැ.
ජර්මන් අධ්‍යාපනය තාක්ෂණ අධ්‍යාපනයට සුවිශේෂී ස්ථානයක් දී තිබෙනවා. ජපානය, කොරියාව ආදී රටවල්ද කාර්මික අධ්‍යාපනය සඳහා ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. වර්තමානයේ ඇඟලූම් කර්මාන්තය පවා තාක්ෂණික අතින් ඉදිරියට යා යුතුයි. ජැකට් කෝට් මහනවාට අමතරව ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් පෙළඹිය යුතුයි.
කෝටි දෙකක ජනගහනයක් සහිත වෙළෙඳපොළකින් අපට ඉදිරියට යන්නට බැහැ. අප ඉන්දියාව, යුරෝපය අල්ලාගත යුතුයි. විදේශ වෙළෙඳපොළ අල්ලා ගැනීමට නම් දේශීය කර්මාන්තද නගා සිටුවිය යුතුව තිබෙනවා. ඒ පාරම්පරික දැනුම අප නූතන සමාජයට ලබාදිය යුතුව තිබෙනවා.
දේශීය කර්මාන්ත දියුණු නොවීමට බලපාන ප‍්‍රධාන හේතුවක් වන්නේ තාක්ෂණික හිඟකමයි. මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ පරිගණක තිබුණේ නැහැ. කැසට් රෙකෝඩර් නම් තිබුණා. මගේ පියා මටත් සහෝදරයාටත් කැසට් රෙකෝඩර් දෙකක් අරගෙන දුන් අයුරු මට මතකයි. අද ටේප් රෙකෝඩර් තිබෙන්නේ කොහේද? තාක්ෂණ පෙරලියත් සමග ඒ සියල්ල අතුරුදන් වී තිබෙනවා.
1977 වසරේ ශ්‍රී ලංකාවටම පරිගණක තිබුණේ දෙක තුනක් පමණයි. පසුව මෙරටට රූපවාහිනිය පැමිණියා. ටිකෙන් ටික තාක්ෂණය සම්ප‍්‍රාප්ත වුණා.
අද කුඩා දරුවන්ට පවා ජංගම දුරකතන තිබෙනවා. තව වසර 20කින් මොනවා වේවිද කියන්න දන්නේ නැහැ. වර්තමානයේ ගෙදර කාටත් ජංගම දුරකතන තිබෙනවා.
මේ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැුකියා කරන අයට අගනා අවස්ථාවක් උදා වී තිබෙනවා. තොරතුරු තාක්ෂණය විසින් සෙසු ක්ෂේත‍්‍රයන් ද වෙනස් කරමින් සිටිනවා. නුදුරු අනාගතයේදී ලියාපදිංචි කිරීමේ කවුන්ටරවලින් තොරව කෙලින්ම හෝටලයේ කාමරයට යාහැකි යුගය උදාවේවි. එමෙන්ම තොරතුරු තාක්ෂණික දියුණුවත් සමග බැංකු ලිපිකරුවන් කීදෙනෙකු ඉතිරිවේදැයි කියන්න බැහැ.
තාක්ෂණයේ හොඳ මෙන්ම නරක තිබෙනවා. අප හොඳ අධ්‍යයනයකින් යුතුව තාක්ෂණය පරිහරණය කළ යුතුයි. නවීකරණය කරා ගමන් කළ යුතුයි.
තොරතුරු තාක්ෂණ උපාධිය ගත් අය රටේ ඉදිරි ගමනේ නියමුවන් බව කිව යුතුයි. වර්තමානයේ දැනුම මූලික වූ සමාජයක් බිහිවී තිබෙනවා.අතීතයේ අපිට ඉතා දියුණු වාරි තාක්ෂණයක් තිබුණා. වැවක බිසෝ කොටුවේ සැලැස්ම සළකා බලන්න. කාශ්‍යප රජුගේ සීගිරිය, එහි ජල උද්‍යානය ගැන සිතන්න. ඒ තාක්ෂණය නව පරපුරත් ඉගෙන ගත යුතුයි.
අපි අතීතයේදී තාක්ෂණය අතින් ලෝකයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටි බවට මෙම නිර්මාණ සාක්ෂි දරනවා. අප නැවතත් ඒ තත්ත්වය ළඟාකරගත යුතුයි. නවීකරණය සඳහා අපේ ජනතාවට සහජ හැකියාවක් තිබෙනවා.රජය ණය උගුලෙන් රට ගොඩගැනීමට වෙහෙසෙමින් සිටිනවා. හොඳ කළමනාකරණයක් ඇතිව නවීකරණය කරා ගමන් කළ යුතුයි. ඔබේ අනාගතය යනු රටේ අනාගතය යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. තොරතුරු තාක්ෂණ ඉංජිනේරු හා ව්‍යාපාර කළමනාකරණ පීඨවල ප‍්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මෙහිදී ප‍්‍රදානය කෙරිණි.