“ණය මුදල් යොදවන්නේ අදායම් ඉපයිය හැකි ආයෝජනයක් ලෙසයි“


(මුදිතා දයානන්ද)

“අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. අපි ණය ගන්නවා. එහෙත් ඒ ණය මුදල් යොදවන්නේ ආදායම් ඉපයිය හැකි අයෝජනයක් ලෙස පමණයි. එයින් රට සංවර්ධනය කිරීම අපේ අරමුණ” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඉකුත්දා (19) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ ජාතික ජනබලවේගය මාලබේ නගරයේ පැවැත්වූ ජන රැලියකට සහභාගි වෙමිනි.
අනුර දිසානායක මහතා එහිදී තවදුරටත් මෙසේද කීය.

ධාරානිපාත වර්ෂාව නොතකා අපට සවන් දෙන්න ඇවිත් ඉන්න ඔබ සැමට ගෞරවය, ප්‍රණාමය පළමුකොට පුද කරනවා.

නොවැම්බර් මාසෙ 16දා ජනාධිපතිවරණයට නියමිත ඡන්ද ව්‍යාපාරය ඇතුළේ සිදුකරන දේවල් දැක්කාම අපට හිතෙන්නේ මේක හොඳම නත්තල් පප්පා තෝරන තරගයක් කියලා. එක අපේක්ෂකයෙක් අනුරාධපුරයට ගිහිල්ලා කියනවා, එයා බලයට ආවාම වී ගොවිතැන සඳහා පොහොර නිකං දෙනවා කියලා. අනෙක් අපේක්ෂකයා කියනවා මම ඔක්කෝම ගොවීන්ට පොහොර නිකං දෙනවා කියලා. තව තැනක දී කියනවා බදු විශාල ප්‍රමාණයක් අඩු කරනවා කියලා. අනික් අපේක්ෂකයා එතකොට කියනවා කිරි වීදුරුවක් දෙනවා කියලා. ආයෙත් කියනවා උසස් පෙළ සමත්වෙන සියලුම දෙනාට උපාධියක් දෙනවා කියලා. අනෙක් කෙනා කියනවා ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දෙනවා කියලා. මේ ගොල්ලන්ගේ මුළු ආර්ථික ප්‍රතිපත්තියම යාචක ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි ජාතික ජන බලවේගය නියෝජනය කරන අපි රටට ඉදිරිපත් කරන්නේ සංවර්ධන ආර්ථික ප්‍රතිපත්තියක්.

මේ දවස්වල පුද්ගලයන් එහෙට මෙහෙට බැණ ගන්න, එහෙට මෙහෙට පනින ප්‍රවෘත්ති යනවා. අපිට ඒවා වැඩක් නැහැ. අවුරුදු 71ක් මේ රට ගෙනාපු තැනින් වෙනස් කිරීමේ ප්‍රතිපත්තිය ජනතාවට පැහැදිලි කිරීමේ කාර්ය භාරයක් අපට තිබෙනවා. මේ රට නව දිශාවකට යොමු කළ හැකි නව පාලනයක් ගොඩනගන්න ධෛර්යවන්තව ඉදිරියට එන්න කියලා ආරාධනා කරනවා. මේ වන විට විනාශයේ අන්තයට ගෙන ගොස් තිබෙන, හපයක් බවට පත්කර තිබෙන මේ රට ගොඩනැගිය යුතුයි. අපි නොවැම්බර් 16 වැනිදා බලය ඉල්ලන්නේ මේ රට ගොඩනඟන්න. මේ රට අපි සහතික වශයෙන් හදනවා.

මේ සඳහා නිීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, මහජනයාගේ දේපළ හොරකම් කරන, වංචා, දූෂණ සිදුකරන දේශපාලනය නතර කිරීමත්, මහජන ආරක්ෂාව, ජාතික සමගිය තහවුරු කිරීමත්, කියන මූලික කුලුනු තුන ශක්තිමත්ව අපි ඉදිරියට ගොඩනඟනවා. දේශපාලනඥයන්ට මහජනයාගේ බදු මුදල්වලින් වරදාන වරප්‍රසාද දීම නතර කිරීමේ සිට රට ගොඩනැඟීම පටන් ගන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන් අතර, විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තහවුරු කිරීමෙන් තොරව මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලීන් අතර විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. සංවාද තියෙන්න පුළුවන්. හැබැයි මේ තුන ගැන විසංවාදයක් තියෙන්න බැහැ.

රජයේ ආදායම ණය පොලී වාරික ගෙවාගන්න ප්‍රමාණවත් නැතිවෙලා තියෙනවා. එහෙම නම් කොහොමද ගොඩ එන්නේ. රටට ලබාගන්නා ණය ආර්ථිකයේ ප්‍රමුඛතාවලට  යොදවන්න ඕන. එහෙම ණය යොදවනවා නම්, අපිට පහසු ණය පොලියට ගන්න පුළුවන්. යොදවන මුදලට සරිලන ප්‍රතිඵල ගන්න පුළුවන්. ව්‍යාපෘතිවලට ණය දෙන්න සූදානම් ආයතන තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව උදාහරණයක්. නමුත් සූරියවැව පිට්ටනිය ණය අරගෙන හැදුවාට තියෙන ප්‍රතිඵලය මොකක්ද? පිට්ටනිය හදලා අවුරුදු දහයක් වෙනවා. මැච් විස්සක්වත් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි මොරගහකන්ද. ශක්‍යතා අධ්‍යයනය අසමත්. නමුත් මෛත්‍රීගේ සිහිනය සැබෑ කරගන්න හැදුවා. මේකෙ ඉලක්ක සපුරාගන්න නම්, අවුරුද්දකට දහපාරක් පිරෙන්න ඕන. නමුත් පිරෙන්නේ දෙපාරයි. හැබැයි මේ වගේ ව්‍යාපෘතිවලට වාණිජ වෙළෙඳ පොළෙන් ණය දෙනවා. ශක්‍යතා අධ්‍යයනය බලන්නේ නැහැ. රට ගොඩනැගීමට නම් මේ වගේ ණය අපි ලබාගන්නේ නැහැ. අද තියෙන ණය අර්බුදය ඇතිවෙලා තියෙන එක හේතුවක් මේ වාණිජ ණය අසාර්ථක ව්‍යාපෘතිවලට යෙදවීම.

අපේ පාලනයක් යටතේ අඩු පොලියට ණය අරගෙන ඉතාමත් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවනවා. නැත්නම් වඩාත් කාර්යක්ෂම යටිතල පහසුකම්වලට යොදවනවා. කාර්යක්ෂම යටිතල පහසුකම් ආර්ථිකයට වක්‍රව බලපානවා. අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ හඳුනාගත් ඉලක්ක කීපයක් තිබෙනවා. එකක් එප්පාවල පොස්පේට් නිධිය. අන්න එතෙන්ට ආයෝජනයත් තාක්ෂණයත් අපි කැඳවනවා. පුල්මුඬේ ඛනිජ වැලි නිධියත් ඒ වගේ. අපේ මිනිරන් සම්පතත් ඒ වගේ. ලෝකයේ හොඳම මිනිරන් සම්පතක් අපට තිබෙන්නේ. හැබැයි අදටත් මිනිරන් කුට්ටි අපනයනය කරනවා. ටොන් එකක් ඩොලර් 2000කට. නමුත් මිනිරන් නිස්සාරණය කළොත් කිලෝ එකක් ඩොලර් 5000කට දෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් තිබෙනවා. මේ කර්මාන්ත දියුණු කරලා රට ගොඩනගන්න පුළුවන්.  

ජනතාව මුහුණ දීල ඉන්න ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රවාහනය. මාලබේ සිට කොළඹට යන වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8 යි. නුවර පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 8.2කයි. ගාලු පාරෙන් ඇතුල් වුණොත් සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 9යි. මේ බව සමීක්ෂණවලින් හෙළිවෙලා තිබෙනවා. විශාල මාර්ග තදබදයක් තියෙන්නේ. මෙතෙන්ට අපි විසඳුම් සොයන්න ඕන. බීබීසී ආයතනය මැතකදී හෙළිකර තිබුණා ලංකාවේ පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90 කට කවර වර්ගයේ හෝ ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා කියලා. ලංකාවේ මේ පොදු ප්‍රවාහනය උපයෝගී කරගන්නේ සියයට 52 යි. සියයට 48 ක්ම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පෞද්ගලිකව සපුරා ගන්නවා. පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වට්ටවලා. මේ නිසා ලීසිං වාරිකය ගෙවා ගන්න බැරි ආර්ථික මට්ටමකට ජනතාව වැටිලා. කොළඹ වාණිජ අධිකරණයේ නඩුවලින් සියයට 90ක් ලීසිං ගෙවා ගන්න බැරිවුණු නඩු. ගෙවා ගන්න බැරි වුණේ ආදායම් මාර්ග බිඳවැටීම නිසා.

අපේ රටේ ලංගම බස් තියෙන්නේ 5600යි. පෞද්ගලික බස් 21000යි. අද බස් කියන්නේ ස්වයං රැකියාවක්.

අයිතිකරුවන් 18000ක් ඉන්නවා. කුකුළු කූඩුවක් දානවා වගේ බස් එකක් අරන් පාරට දානවා. මුලින් කොළඹ දුවන බස් ඈත ප්‍රදේශවලට විකුණලා අන්තිමට පාසල් සේවාවට යොදා ගන්නවා. පෞද්ගලික බස් සේවයේ ගුණාත්මක භාවය අද තීරණය වෙන්නේ අයිතිකරුවාගේ වත්කම් මත. ඒ නිසා පෞද්ගලික බස් සේවය විධිමත් ආයතනගත ව්‍යුහයකට අපි ඇතුල් කරනවා. බස්වල තියෙන ගුණාත්මක භාවය ඉහළ දාන්න ඕන. අද දුම්රිය සේවය යොදා ගන්නේ මගීන්ගේ 5%යි. අවුරුදු 5ක් යනකොට මෙය 20% දක්වා වර්ධනය කර ගන්න අපි සැලසුම් සකස් කර තිබෙනවා. දුම්රිය සේවය ඉතාම කාර්යක්ෂම තත්ත්වයට අපට පරිවර්තනය කළ හැකියි. අන්න එතෙන්ට ආයෝජනය කරන්න ඕන. අද මාලබේ ඉඳලා කොළඹට යන්න පැය එකහමාරක්, එන්න පැය එක හමාරක් යනවා. දවසෙන් පැය තුනක් මහපාරේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා.

මේ රටේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පළල් කර ගන්නත්, අලුතින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් දෙලක්ෂයකට වැඩි පිරිසක් හඳුන්වා දෙන්නත් සැලසුම් සකස්කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලක්ෂ දෙකකට වැඩියෙන් නිර්මාණය කරන්න සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා. අද එහෙම මාර්ගෝපදේශනයක් නැහැ.
පාර අයිනේ සෑම ගෙදරකම කඩකාමරයකුත් හදනවා. හදලා මාසයක් දෙකක් යනකොට වහනවා. එහෙම වෙන්නේ ඇයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් පිළිබඳ මාර්ගෝපදේශනයක් නැහැ. අපේ රටේ කිරි කර්මාන්තය, සම් කර්මාන්තය, අපේ පලතුරු වගාව, බුලත්, කුරුඳු, ගම්මිරිස් ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීමට යොමු කරන ඉලක්කයක් හදලා තියෙනවා. අන්න ඒ  ඉලක්කයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් යොමු කරනවා. ඔවුන් අර්බුදයකට පත්වුණොත් ආණ්ඩුව මැදිහත්වෙලා නැවත නැගිට්ටවනවා. අද එහෙම නැහැ.  මේ ආයෝජකයන්ගේ ආරක්ෂණය රජයේ වගකීමක් හැටියට භාර ගන්නවා.

අන්න ඒ අය අවුරුදු 5ක් 6ක් සාර්ථක වෙනකොට අලුතින් බදු ගෙවන්නන් බවට පත්කර ගන්න පුළුවන්. රජයේ ආදායම වැඩිකර ගන්නේ මේ තුළින්. එහෙම නැතිව ඉන්න ආයෝජකයන් මත අසීමිත බදු බරක් පටවලා මේ යාචක ආර්ථිකය තුළින් අපිට උත්තරයක් හොයන්න බැහැ. පොහොර නිකං දෙනවා කිව්වාට ආහාර වේලක් දෙනවා කිව්වාට සල්ලි හොයා ගන්න විදිහක් නැහැ. නත්තල් පප්පලාගේ කතා විතරයි. අපි රටේ හදන්නේ යාචක ආර්ථිකයක් නොවෙයි. සංවර්ධන ආර්ථිකයක්. මේ තුළින් රටේ ඉහළ ආර්ථිකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්. ඒ වගේම ජනතාව නියැලී ඉන්න ආර්ථික ප්‍රභවය කෘෂිකර්ම, ධීවර, කුඩා තේවතු, මල් වගාව, වගේ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ සඳහා එකින් එක ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් යනවා.

අද මැතිවරණය වෙනුවෙන් බලයේ හිටි මේ කණ්ඩායම් දෙකම ජනතාවගේ දුප්පත් භාවය විකුණමින් යනවා. මේක යාචක ආර්ථිකයක්. ඔවුන් සංවර්ධනය කරන්නේ යාචක භාවය. ඒ වෙනුවට අපි සංවර්ධන ආර්ථිකයක් ගොඩනඟා අවුරුදු 71ක් පුරා හපයක් බවට පත්කර තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න අපි ඔබ සැමගෙන් බලය ඉල්ලා සිටිනවා. නොවැම්බර් 16 දා ඒ වෙනුවෙන් තීරණාත්මක දිනයක්. ඒ දිනයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදී අපි ඔක්කෝම එකතු වී මේ රට ගොඩනඟමු. ලෝකය දියුණු වී තිබෙන්නේ විනාශයන් හමුවේ අත් බැඳගෙන, වකුටුවී හිටපු මිනිසුන්ගෙන් නොවේ. මානවයා ඉතිහාසයේ මේ තරම් ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙන්නේ අර්බුදයට මුහුණ දීලා, ධෛර්යය සම්පන්නව මැදිහත්වීමෙන්. මේ රට කඩා වැටෙමින් තිබෙන ගමන් මාර්ගය වෙනස් කිරීම සඳහා නොවැම්බර් 16 වැනිදා ධෛර්යය සම්පන්නව නැගිට එකතු වෙමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.

සාහිත්‍යවේදී කිර්ති වැලිසරගේ, චිත්‍රපට අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසාසේකර චන්ද්‍රසේකර, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර යන මහත්වරුද අදහස් දැක් වූහ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, කාටුන් ශිල්පී විනිහෙට්ටිගොඩ, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ, මහත්වරුන් ඇතුළු ජාතික ජනබලවේගයේ නායකත්වය දරන විද්වතුන් විවිධ වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.