(නිමල කොඩිතුවක්කු, මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, කැස්බෑව - ජී.එච්.එස්. කහටපිටිය)
කතාවට, දේශපාලනයට සීමා වූ බෞද්ධකම වෙනුවට ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් රටේ සමස්ත විහාර පද්ධතිය ශක්තිමත් සංවර්ධනයකට ලක් කරන බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට ලබාදී තිබෙන ඒ සුවිශේෂී ශක්තිය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකර ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයන් තුළින් සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ‘මතුදම් සුරකින රටක් දැය රකින රජයක්’ මැයෙන් මහරගම තරුණ සේවා සභාවේදී ඉකුත්දා (11) පැවැති සඟ සමුළුව අමතමිනි.
සජිත් ප්‍රේමදාස මහතා රට දැය සමය වෙනුවෙන් සිදුකළ සේවය අගය කිරීම සඳහා පැවැති එම සමුළුවට භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් වැඩම කර සිටියහ.
එක්සත් ජාතික භික්ෂු පෙරමුණ, ජාතික විද්වත් සංඝ සභාව සහ සමස්ත ලංකා ත්‍රෛ නිකායික එක්සත් සඟ පෙරමුණ එක්ව මෙම සඟ සමුළුව සංවිධානය කර තිබිණි.
ත්‍රෛ නිකායික මහා සංඝ රත්නය විසින් දස විධ යෝජනාවලියක්ද සජිත් ප්‍රේමදාස මහතා වෙත බාරදෙනු ලැබීය. එහි පහත යෝජනා ඇතුළත් විය.
1. වසර දහස් ගණනක් මුළුල්ලේ ඒකච්ඡත්‍රව පැවති භූමිය එලෙසම ඒකිය රටක් ලෙස ආරක්‍ෂා කළ යුතුය.
2. ජනවාර්ගික, ආගමික හෝ පළාත් මත පවතින සුවිශේෂී නීති අහෝසි කර එක රටක් තුළ එක නීතියක් තහවුරු කළ යුතුය.
3. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ පවතින වියවුල් නිරවුල් කොට ඒවායේ බෞද්ධ අයිතිය තහවුරු කළ යුතුය.
4. බුද්ධශාසනය පිළිබඳ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින කිසිදු වගන්තියක් සංශෝධනයකට හෝ ඉවත් කිරීමකට ලක් නොකළ යුතුය.
5. සංඝ සාමග්‍රියෙන් ශාසනික අභිවෘද්ධිය ගොඩනැගීම සඳහා නිකායත්‍රයට පොදු සංඝ මූලස්ථානයක් ගොඩනැගීමට ක්‍රියා කළ යුතුය.
6. යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා ලද භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමට සිදුවන්නේ නම්, ඒ පිළිබඳ අදාළ භික්ෂුන් වහන්සේ අයත් නිකායේ මහනාහිමියන් හා ලේඛකාධිකාරී හිමියන් දැනුවත් කිරීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
7. ආගමික ගැටලු උද්ගත වූ අවස්ථාවන්හිදී එම ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද සර්වාගාමික කමිටුවක් ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පිහිටු විය යුතුය.
8. දූෂණ හා වංචා වැළැක්වීම කාර්යක්ෂමව කිරීම සඳහා ශක්තිමත් නව නීති සම්පාදනය කළ යුතුය.
9. මත්පැන් මත්ද්‍රව්‍යයන්ගෙන් වැනසී යන ජන ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාවට නැගිය යුතුය.
10. නව ආගමික මධ්‍යස්ථාන ආරම්භ කිරීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, පළාත් පාලන ආයතනයේ හා නියමිත අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි නිසි අවසරය ලබාගැනීම අනිචාර්ය කළ යුතුය.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
“අනාගත රජයක් තුළින් ක්‍රියාත්මක කිරීමට යෙදෙන ආගමික සංවර්ධන ක්‍රියාදාමයත්, සිංහල බෞද්ධ අපේ මාතෘභූමියේ සම්බුද්ධ ශාසනයට හිමි සුවිශේෂී ස්ථාවරය ශක්තිමත් කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා.
විවිධ කරුණු හේතුවෙන් අපේ ජන සමාජය තුළ තිබෙන විවිධ මත ගැටුම් අපි සුවපත් කළ යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජන කොට්ඨාසයන් ඒකරාශී කරගනිමින් රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, සුරැකෙන ආකාරයේ වැදගත් වැඩසටහනක් අපි අලුතින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ මගින් අපට ලැබෙන ඒ ශක්තිය, ස්ථාවරත්වය උපයෝගි කරගනිමින් තේජස්වන්ත සිද්ධාන්ත මාතෘ භූමියක් නිර්මාණය කිරීමට අපි සැදී පැහැදී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට ලබාදී තිබෙන ඒ සුවිශේෂී ශක්තිය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකර ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයන් තුළින් වහාම ක්‍රියාවට නංවන්නට අපි සැදී පැහැදී සිටිනවා.
අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩකටයුතු දියත් කිරීමේදී බුදුදහමේ උතුම් ප්‍රතිපත්තීන් අපි සියලු දෙනාටම වැදගත් වෙනවා. බෞද්ධ රාජ්‍යයන් සමග සුවිශේෂී ආර්ථික සහ සංස්කෘතික සබඳතාවන් වර්ධනය කරගනිමින් නව ආර්ථික කලාප නිර්මාණය කරමින් සම්බුද්ධ ශාසනය සුරකිමින් අපි මාතෘ භූමිය සංවර්ධනය කරන්නා වූ වැඩසටහන ඉදිරියට ගෙනියනවා.
බුදු දහමේ ඇති යම් කරුණු කාරණා සම්බන්ධයෙන් මහා සංඝරත්නය අතර විවිධාකාරයේ මතයන් තිබෙන බවට වර්තමානය වනවිට අපි අවබෝධ කරගෙන තිබෙනවා. මේ විවිධ මත බුදුදහමේ අනාගත පැවැත්මට අහිතකර අයුරින් බලපානු ඇතැයි මම විශ්වාස කරනවා. එම නිසා ධර්ම, විනයධර උගත් භික්ෂූන් වහන්සේ මූලික කරගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්ම සංඝායනාවක් පැවැත්වීමට අපි කටයුතු කරනවා.
බුදුදහමත් සමග බැඳුණු පාලි භාෂාව ක්‍රමයෙන් අභාවයට යාම කම්පා සහගතව අපි දකිනවා. නවීන භාෂා පුහුණු ක්‍රමවේදයන් හරහා පාලි භාෂාව තරුණ භික්ෂූන් වහන්සේට සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට පහසුවෙන් උගත හැකි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මම කැපවෙනවා.
පුරාතනයේ පටන් මෙරට දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්වුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයයි. අප රටේ පිහිටා තිබෙන පිරිවෙන් පද්ධතිය කඩිනම් සංවර්ධයකට ලක් කර සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට කැපවෙනවා. ඒ වගේම අලුතින්ම ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් අප රට තුළ ස්ථාපනය කරලා බෞද්ධ ශිෂ්ඨාචාරයේ නව කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් කිරීමට කැපවෙනවා.
අප රටේ ඇති සියලුම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බෞද්ධ ස්මාරකයන් ස්ථිරව සුරක්ෂිත කිරීමේ ජාතික වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මම අපේක්ෂා කරනවා. භික්ෂුණී ශාසනය සහ දසසිල් මෑණිවරුන්ගේ ආරාම පද්ධතිය දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා.
පාඨලී චම්පික මැතිතුමා, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු මගේ අමාත්‍යාංශය දියත් කර තිබෙන ආගමික සිද්ධස්ථාන වැඩි දියුණු කිරීමේ වැඩපිළිවළ තවදුරටත් ශක්තිමත් කරවමින් අප රටේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන නව පුනර්ජීවයකට ලක් කිරීමටත් අපි සැලසුම් කර තිබෙනවා.
අපේ රටේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම පිළිබඳව කතාබහ කරාට ප්‍රමාණවත් නැහැ. අපි සැමවිටම සම්බුද්ධ ශාසනය ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රමවේදයක් තුළින් ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථානයක් ලැබෙන අපේ රටේ ඒකීය භාවයත් සම්බුද්ධ ශාසනයත් සුරැකීම උදෙසා කැපවෙනවා. ඒ වගේම අනිකුත් සියලුම ආගම් සහ ජාතීන් සමග එකමුතු භාවයෙන්, සංහිඳියාවෙන්, සහෝදරත්වයෙන් කටයුතු කර රට එක්සේසත් කිරීමට කටයුතු කරනවා.
මේ රටේ බුද්ධ ශාසනය බබළවන්න බුද්ධ ශාසන අමාත්‍යාංශය බුද්ධ ශාසන අරමුදලත් ස්ථාපනය කළේ දිවංගත මගේ පියාණන්. ගම් උදාවක් ගම් උදාවක් පාසා චෛත්‍ය ඉදිකරලා, දළදා හාමුදුරුවන්ට රන් වියන පූජා කරලා ගරා වැටුණු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රායෝගික බෞද්ධයෙක් විදියට එතුමන් කළ සේවය ඉදිරියට ගෙනයමින් සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කිරීමට මම කටයුතු කරනවා කියන පොරොන්දුව ලබා දෙනවා.
සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කරන ඒ මව්පියන් වෙනුවෙන් බුදුපුත් මාපිය කැපකරු ක්‍රමය යළිත් වරක් ශක්තිමත් කරනවා. ඒ ඔවුන්ට නිවාස ලබාදීමේ වැඩසටහන් තවත් ශක්තිමත් කරනවා.
අපේ රටේ පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් දහම් පාසල් ඉදිකිරීමේ සිසු දහම් සෙවණ වැඩසටහන ආරම්භ කරලා මේ වනවිට 370කට ආසන්න දහම් පාසල් ශාලා ඉදිකර තිබෙනවා. 2025 වනවිට දහම් පාසල් ශාලා ඌණතාවයෙන් පෙළෙන සියලුම විහාරස්ථානවලට එම ශාලා ලබා දීමට අපි කටයුතු කරනවා.
ඒ වගේම චෛත්‍ය නොමැති විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් වසර හතරක් ඇතුළත චෛත්‍ය 1125ක් ඉදිකිරීමේ වැඩ කටයුත්ත මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙයට අමතරව ගරා වැටුණු කටු මැටි සංඝාවාස ඇතුළු ගොඩනැගිලි තිබෙන්නේ නම් ඒ හැම විහාරස්ථානයකම අඩුපාඩු සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
සම්පත් ඌණතාව නිසා විහාරස්ථාන වැසී යන බව අපිට ආරංචි වුණා. අපේ රටේ තිබෙන එකදු විහාරස්ථානයක්වත් විනාශ මුඛයට යාමට ඉඩ නොදී ආරක්‍ෂා කිරීමට මම ප්‍රතිඥා දෙනවා. මම විපක්ෂයේ සිටින විට මගේ පියාණන්ගේ හිතේ තිබුණු යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අනුව දුෂ්කර ප්‍රදේශවල ඇති විහාරස්ථානවලට ආදායම් මාර්ගයක් ලබාදීමේ වැඩසටහනක් යෝජනා කළා. ඒ වැඩකටයුත්ත දියත් කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා.
මම මේ සඳහන් කළේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් අපි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන සංවර්ධන ක්‍රියාදාමයන්වලින් කොටසක් පමණයි. කතාවට, දේශපාලනයට සීමා වූ බෞද්ධකම වෙනුවට ප්‍රායෝගික ආගමික සංවර්ධන ක්‍රියාදාමයකින් අපේ රටේ සමස්ත විහාර පද්ධතිය අති විශිෂ්ට ශක්තිමත් සංවර්ධනයකට ලක් කිරීමට මම කැපවෙනවා කියන ප්‍රතිඥාව මෙහිදී ලබා දෙනවා” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා:
“මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට මුල්වී වැඩකළ පිරිසක් විදියට කිසිම අවස්ථාවක මොනම ආකාරයක බෙදුම්වාදයක්වත් එහෙම නැත්නම් ආගම, භාෂාව මුල්කරගෙන ඇතිවන ත්‍රස්තවාදයට හිස එසවීමට අපි ඉඩ තබන්නේ නැහැ.
ඒ වගේම මහා සංඝරත්නය සම්මත කරගත් ඒ ප්‍රතිඥාව අනුව මේ රට එක නීතියක් යටතට රැගෙන ඒමට මේ රට පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා. දැනටමත් ඒ සම්බන්ධ නීති ප්‍රතිපාදන 11 කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව සකස් කරලා තිබෙනවා. නව පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ බිහිවුණාට ඒ කටයුතු සිදු කරන බවට අපි ප්‍රතිඥා දෙනවා.
ඒ වගේම මේ රටේ විවිධ ආගමික, විවිධ ජන කණ්ඩායම්වල අනන්‍යතාවන් ආරක්ෂා කරන අතරේ මේ රටේ ඒකීය භාවයට හානියක් සිදුවන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් වීමට අපි ඉඩ තබන්නේ නැහැ. මේ රටේ ඒකීය භාවය පළුදු කිරීමට විදේශීය කණ්ඩායම් සමග ඇතැම් කල්ලි උත්සාහ කළ හැම අවස්ථාවකදීම ඒවා පරාජය කිරීමට කටයුතු කළ පිරිසක් විදියට අපි ඒ ප්‍රතිඥාව යළි යළිත් ලබා දෙනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනායාවල පාලිත හිමියෝ මෙසේ කීහ.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රට, දැය, ආගම වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් අපි මේ මහා සඟ සමුළුව සංවිධානය කළා. දහම්පාසල්, පිරිවෙන්, වෙහෙර විහාර, ඉදිකරමින් භික්ෂූන් වහන්සේ, පන්සල් සහ බෞද්ධ ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ශාසනික මෙහෙය භික්ෂූන් වහන්සේ විදියට අපි අගය කළ යුතුයි.
අද සජිත් ප්‍රේමදාස මහතා වටා ආගමික නායකයන්, බුද්ධිමතුන්, විද්වතුන්, උගතුන් ඇතුළු මහජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය සජිත් ප්‍රේමදාස මහතා සතුව තිබෙන බව අපිට කිව හැකියි” යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ:
“අතීතයේදී අපිට දකුණු ඉන්දියානු ආක්‍රමණ එල්ල වුණා. එදා අපි ඔවුන්ට අමතක නොවන පාඩම් ඉගැන්නුවා. අද අපිට තියෙනවා ඇමරිකානු පුරවැසියකුගෙන් මේ රට බේරගන්න. මේ ඇමරිකානු පුරවැසියා සුදු පිරිවට ඇදගෙන ජනතාව නොමග යවමින් මේ රට කොල්ලකන්න බලාගෙන ඉන්නවා.
මේ රටේ මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු සියලුම පිරිස් එකතු කරමින් මේ ඇමරිකානු පුරවැසියාට එරෙහි සටන අපි නියත වශයෙන්ම ජයගන්නවා” යැයි ද උන්වහන්සේ එහිදී පැවසූහ.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.