ඉකිරි ගැවසෙන තල්පේ ස්වභාවික නාන තඩාග


ක්‍රියාදාම චාරිකා

ස්නානය කළ හැකි තඩාග

පොල් රුප්පා කන්ද

 

 

කඳුකරයේ සීතලද කඳුවැටි, දිය ඇලි පිරි හරිත වන තුරුලතා පිරුණු බිම්කඩින් මඳක් ඈත්ව මෙවර අප ගමන් කිරීමට සිතුවේ දකුණු වෙරළ තීරය වෙතය. මන්ද ගාලු මාතර ඉසව්වේ මුහුදු වෙරළ ආශ්‍රිතව තිබෙන සුන්දරතම ස්ථාන කිහිපයක් බලා ගැනීමටය. තල්පේ සහ මිරිස්ස යනු අද දවසේ අපගේ ගමනාන්ත වන බැවින් රුහුණු කුමාරියේම උදැහැනැක්කම අප පිටත් වූයේ තල්පේ ස්වභාවික මුහුදු තඩාග වෙතය.  


ගාල්ලට පැමිණි පසු අප උණවටුන හරහා තල්පෙට ළඟා වීමට පොදු ප්‍රවාහන සේවය යොදාගත් අතර තල්පේ වෙරළ තීරයට අප පිවිසුණේ පැරගන් හෝටලය පිටුපසිනි. මෙම වසරේ සංචාරය කිරීමට හොඳම රට ලෙස තේරී පත්වුණු දෙයියන්දර දක්ෂිණ වෙරළ සහ අවට නිරන්තරයෙන් විදේශිකයන් බහුල වශයෙන් දක්නට ලැබේ.  
දකුණු වෙරළ අලුත්ගම සිට බොහෝ සංචාරක ගම් දනව් පසුකරමින් ගාල්ල මාතර හරහා කිරින්ද හම්බන්තොට දක්වා දිවයයි. ඉන් අලුත්ගම සිට හික්කඩුව හා ගාල්ල අතරත් ගාල්ල සිට සෘජුවම මාතර දක්වාත් වෙරළ තීරය තුළ පවතින ස්වාභාවික වෙරළ සැබැවින්ම විදේශිකයන්ට මිහිබට සුරපුරක් බඳුය. අව්ව තැපීම මූලික අරමුණ කරගෙන වෙරළ තීරයේ මුහුදු රළ සමඟින් ඔබ මොබ යන විදෙස් සංචාරකයන් ඕනෑතරම් මෙම වෙරළ හා සමීපව දැක ගත හැකිය.  


සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොටගෙනම දක්ෂිණ වෙරළබඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව අති මහත්ය. ගාල්ලට පැමිණෙන බොහෝ විදේශිකයෝ ගාලු කොටුවේ ප්‍රෞඪ සුන්දරත්වය විඳගත් පසු උණවටුන හෝ ආශ්‍රිත වෙරළ තීරයකට ගොස් තවත් අත්දැකීම් ලබා ගනිති. තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි. තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වන තටාක කිහිපයක් මේ දිනවල දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.  


පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළටද දිය කඳ හළමිනි. විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය ස්නානය සිදු කරති. බැලූ බැල්මට එම පිහිටීම ස්වභාවික වුවද හතරැස් ලෙස තිබීමේ රහස හා අතීතාවර්ජනය සොයා අපි අසල වූ ගම්වාසියෙකු සමග සුහද පිළිසඳරක යෙදුණෙමු.  


මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය. මන්ද ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ. අද වන විට මෙම වළවල් සුන්දර තඩාග ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය.  


විශේෂයෙන්ම උදෑසන කාලය තුළ මෙම වළවල් ​ෙහාඳින් දැකගත හැකි අතර ඇතැම් විට වඩදිය - බාදිය හේතුකොට ගෙන මෙවා වසාගෙන මුහුදු ජල කඳ වෙරළට පැමිණිය හැකිය. එවිට මේවා තුළට බැස සිටීම අනතුරුදායක විය හැක. කෙතරම් සුන්දරත්වයක් විනෝදයක් මෙම තඩාග ගෙන දුන්නද මේ අසලම එක්තරා අනතුරක් පවතින බව මෙහි පැමිණෙන්නෝද දනිති. එනම් ඉකිරි නම් මුහුදු සත්වයා මෙම ඉසව්වේ බහුල ලෙස දැකිය හැකි වීමයි.  


කුඩා ටෙනිස් බෝලයක් වටේට ඉත්තෑ කූරු සවි කර ඇත්තා සේ මෙම සත්වයා මෙම ගල්පරයේ ඇලී සිටින නමුත් මිනිසාට කිසිදු හානියක් සිදු නොකරයි. නමුත් මිනිසා මෙම සතුන්ගෙන් බොහෝ ප්‍රවේසම් විය යුත්තේ මෙම සතාව පෑගීමට පුළුවන්කම ඇති හෙයිනි. ඔබේ නිරුවත් දෙපාවලට මෙම සත්වයා පෑගුණහොත් එම කටු රාශියක්ම ඔබේ යටිපතුලේ ඇනී ලේ ගලන වේදනාබර තුවාලයක් සිදු විය හැක. එම නිසා කළු වර්ණයෙන් යුතු මෙම ඉකිරින්ගෙන් වඩාත් ප්‍රවේසම් වී සිටිය යුතුය.  


අපි මෙහි ගිය දිනයේදී ගල් පරය පුරාවට ඉකිරින් සිටි අතර ප්‍රවේශමෙන් එකෙකු අතටද ගෙන බැලීමු. තඩාග ඇතුළේ පවා බිත්ති මත මුන් සිටිය හැකි බැවින් තඩාග තුළට බැසීමේදී ප්‍රවේසම් වීම හා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය. තවද තල්පේ මුහුදු වෙරළ යනු වසර කිහිපයක් පුරාවට මුහුදේ ගිලී දෙස් විදෙස් සංචාරකයන් මියගොස් තිබේ. එබැවින් මුහුදු ජලය තුළ ස්නානය කිරීමේදී අපි නිතරම සුපරික්ෂාකාරී වීමු. මන්ද කඳුකරය තුළ ඇති දිය ඇලි මෙන් නොව මුහුදු රළ වෙරළ සිපගන්නා ඉසව්වේ තිබෙන අවදානම පිළිබඳ අප හොඳින් දන්නා හෙයිනි.  

 

කොකනට් ට්‍රී හීල් (අන්තර්ජාලයෙන්)

ඉකිරියෙක්

දකුණු වෙරළ තීරයේ කොටසක්

සුන්දර වෙරළ සහ තඩාග

ඉකිරි සමුහයක්

 

 


තල්පේ නාන තඩාගවලින් සමුගත් අප මීළඟට පිටත් වූයේ කොග්ගල හරහා මිරිස්සට යාමටය. සුන්දර වෙරළ තීරයන් අතරින් ලුණු රසැති මුහුදු සුළං සිපගෙන පිම්මට මාතර බලා යන මගේ අප කිලෝමීටර් 25 ක් පමණ ගිය පසු අප ළඟා වූයේ මිරිස්ස නගරයටය. මිරිස්ස ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය අසලට පැමිණ එතැනින් මුහුදු වෙරළ අසලට යා හැකි අඩි පාරේ අපි ගමන් කළෙමු.   


කුඩා ලඳු කැලෑවකින් පසු එම අඩි පාර සේන්දු වන්නේ පොල් රුප්පාවකටය. එය ගොඩබිම මුහුදට නෙරා ගිය කුඩා තුඩුවක් වැනි ස්ථානයකි. මුහුදු මට්ටමට වඩා මීටර් කිහිපයක් උසින් පිහිටි එම බිම්කඩ හඳුන්වන්නේ පොල් රුප්පා කන්ද (Coconut Tree Hill) ලෙසිනි. මෙම ස්ථානයද ඉතා මෑතකදී අතිශය ලෙස ජනප්‍රිය වූ සංචාරක නැවතුම්පොළකි. එක්තරා සුන්දර රටාවකට විහිදී ඇති පොල්ගස් හේතුවෙන් මෙම කුඩා තුඩුවේ ලස්සන තීව්‍ර කිරීමට සමත් වේ. මෙම හේතුවෙන්ම මෙම ස්ථානයද දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පවතියි. මෙම ස්ථානයට පහළින් ඇති මුහුදට බැසීම තරමක් අනතුරුදායකය. කුඩා බිම්කඩක් පුරා පැතිර ඇති මෙම ස්ථානය මනා ලෙස පිරිසිදුව පැවතුණි. විසම හෝ අපචාරමය කටයුතු සිදු කිරීම මෙම ස්ථානයේ තහනම් නිසාදෝ පරිසරයත් එහි ගැවසෙන්නෝත් කිසියම් විනිත අයුරකින් හැසිරෙනු අපිද දුටුවෙමු.  


මිරිස්ස වෙරළ තීරයට අභරණයක් වන මෙම කඳු ගැටය පිහිටියේ වැලිගම බොක්කට ආසන්නවය. මිරිස්ස වෙරළ තීරය වැලිගම තෙක් දිව යන්නේ වැලිගම බොක්ක හරහා වන අතර වැලිගම වෙරළ තීරයට පොල්වත්ත ගඟ එකතු වනු අපට දැක ගත හැකි විය. එලෙසම එහි පසෙක මිරිස්ස ධීවර වරාය පිහිටා තිබුණි.   


මිරිස්ස යනු අතීතයේ පටන් ප්‍රචලිත ස්ථානයක් වන අතර 2004 සුනාමියෙන් බැට කෑ විශාල ප්‍රදේශයක් විය. වර්තමානය වන විට මිරිස්ස වෙරළ තීරය හා ආශ්‍රිත ප්‍රදේශ දැඩි සංචාරක පුරයක් බවට පත්ව තිබේ. මන්ද මෙම ඉසව්වල විදෙස් සංචාරකයින්ට ලැගුම් ගැනීමට හෝටල් පමණක් නොව රජයේ නව සංකල්පය අනුව කුඩා හෝ විශාල නිවාස පවා විදේශිකයින්ට නවාතැන් ගැනීමට සුදුසු ලෙස සංවර්ධනය කිරීමට මූල්‍යාධාර සපයන බැවින් බොහෝ ප්‍රදේශවල නිවාස ආශ්‍රිත නැවතුම්පොළවල් දැකගත හැකි විය.  
මිරිස්ස තවත් විශේෂ ඉසව්වකට ප්‍රසිද්ධ වේ. එනම් තල්මසුන් නැරඹීමට යාම සඳහාය (Whale Watching) මිරිස්ස වෙරළ තීරයේ සිට මුහුද දෙසට යන විට මෙම තල්මසුන් නැරඹීම සිදු කළ හැකිය. ඒ සඳහා ඔබට යම් මුදලක් ගෙවා බෝට්ටු සේවයක් ලබා ගැනීමට සිදුවෙයි. මිරිස්ස ආශ්‍රිතව කොරල් පර සේම ආශ්‍රිත වෙරළබඩ සිද්ධි කිහිපයක් ඇති අතර ඉන් දියේ ගිලී සිදු වූ මරණ සංඛ්‍යාව වැදගත් වේ.  


මන්ද මිරිස්ස වෙරළ තීරය කොතරම් සුන්දර වුවද නොසිතන ලෙස මුහුද තුළට යාමෙන් දිය වැල් හෝ සැඩ රළ පහරට හසුව දියඹට ඇදී යා හැකිය. ජල ස්නානය කිරීම සඳහා මිරිස්ස වෙරළ තීරය සුදුසු වන අතර එහිදී පොල් රුප්පා කන්ද මඳක් ඈතින් දැක ගත හැකිය. එම කඳු ගැටයේ පොල් ගස් පිහිටීම සැබැවින්ම හරි අපූරු බව දුරටද පැහැදිලිව දැකගත හැක.   


දවසේ තව දුරටත් කාලය ඉතිරිව තිබූ හෙයින් අපි වෙරළ තීරය දිගේ මාතර දෙසට ගමන් කරන්නට පටන් ගත්තෙමු. අපට අව්ව කෙතරම් බාධාවක් වුවද සුදු මහත්වරු සුදු නෝනාවරු හරි අාසාවෙන් ගිනි අව්වේ සිටිනු අපි දුටුවෙමු. ගිනි අව්වට පිච්චෙන වැටකෙයියා පඳුරු තුළ තවමත් වසන්තයේ මල් පිපෙනු දැකගත හැකි වූ අතර අවිධිමත් වෙළෙඳාම් කටයුතු නිසා වෙරළ තීරයේ මග අහුරමින්ද විදෙස් ජනයාට හිරිහැරයක් වෙමින්ද අැතැම් පිරිස් ගැවසෙනු දැකගත හැකිවිය. වෙරළ දිගේ ගමන් කිරීම අප කඳුකරයේ ගමන් කරනවාට වඩා අමාරු දැයි විටෙක අපට සිතුනේ වැල්ලේ එරී ගෙන අව්වට පිච්චෙමින් යන විටය. මන්ද ගහ කොළ මීදුම් සීතල පිරුණු කඳුකරය තුළ අප ලද අත්දැකීම් බොහෝම වීමත් වෙරළ හා වෙරළබඩ අත්දැකීම් අල්ප වීමත්ය.  


කෙසේ හෝ සවස්වරුව වන විට අපි ප්‍රධාන මාර්ගය ඔස්සේ මාතරට පැමිණ කොළඹ බලා යන දුම්රියට ගොඩ වුණෙමු. මෙහිදී තවත් විශේෂ දෙයක් කිව යුතුමය. දකුණු ප්‍රදේශයට සංචාරයට පැමිණෙන විට ගාලු කොටුවේ සිට තල්පේ සහ මිරිස්ස හරහා මාතරට පැමිණීමේදී සුන්දර වෙරළ තීරයන්, නාන තොටුපොළවල් සේම අලංකාර හෝටල් හා සංචාරක සේවා මධ්‍යස්ථාන දැකගත හැකිය. එම නිසාම ඔබේ සංචාරය මැනවින් සැලසුම් කරගෙන පැමිණීම වඩාත් සුදුසු වේ. තල්පේ මුහුදු තඩාග යනු අනතුරුදායකත්වයෙන් පිරුණු සුන්දර ස්ථානයකි. ඉකිරින් ගැවසීම මෙම ප්‍රදේශවල සුලබ වන අතර වෙරළේ ගමන් කිරීමේදී සහ තල්පේ තඩාග තුළට බැසීමේදී අප උන්ගෙන් ප්‍රවේසම් විය යුත්තේ එම සතාව පාගා නොසිටීමෙනි. මන්ද ඉකිරින් පැගී යටිපතුලේ කූරු ඇනී තුවාල වූ දෙස් විදෙස් සංචාරකයින් අපට හමු වූ හෙයිනි. මිරිස්ස වෙරළ තීරය පොල් රුප්පා කන්දෙන් ලාලිත්‍ය වන අතර පරිසරය දූෂණය නොකිරීමටත් විදේශිකයන්ට කරදර වන ලෙස හැසිරීමෙන් වැළකීම ඉතා වැදගත්ය. මන්ද මෙම ස්ථාන නිතරම පොලිසිය මගින් නිරීක්ෂණය වන අතර ගම්වාසීන් පවා නිතරම මෙම ප්‍රදේශවල සිදුවන කටයුතු පිළිබඳ විමසිලිමත්ව සිටින හෙයිනි.  


එලෙසම පාරම්පරික මාළු අල්ලන ක්‍රමයක් වන රිටි ක්‍රමයද මෙම ඉසව්වල දැකගත හැකිය. මුහුදේ ගසා තිබෙන එම රිටි මත නැගීමේදී පවා ප්‍රවේසම් විය යුත්තේ එය භාවිතා කරගෙන තවමත් ධීවර ජනතාව තම මසුන් ඇල්ලීමේ කාර්යය සිදුකරන හෙයිනි. කෙසේ හෝ කඳුකරයෙන් ඈත්ව දකුණු වෙරළේ සුන්දරත්වය සොයා අප ගිය චාරිකාව මතකයට වැදගත් විය. ලුණු රස කැටිවුණු මුහුදු සුළඟ සහ ජනාකීර්ණ පරිසරය සමග කඳු මිටියාවත් අතර ගෙවුණ වනගත පරිසරය අපට නිතැතින් මතකයට පැමිණෙයි.   

 

තඩාග

තල්පේ මුහුදු තඩාග

දැවැන්ත ගල් පරය

 

 


සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු