කුමාර කාශ්‍යප හිමියන්ට ප්‍රශ්න පහළොවක්
චම්මික සූත්‍රය ඇසුරෙන්
තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙති.
කුමාර කශ්‍යප හිමියෝ ‘‘අන්ධ වනය’’ නමින් හැඳින්වුණු මහ කැළෑවක භාවනාවෙහි යෙදී සිටිති. එවිට එක්තරා දෙවියෙක් (ශ්‍රද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි විසු බ්‍රහ්මයෙක්) උන්වහන්සේ වෙත පැමිණ ප්‍රහේලිකා ස්වරූපයෙන් යුතු ප්‍රශ්න 15 ක් ඉදිරිපත් කළේය. මෙන්න මේ ප්‍රශ්න 15.....
මහණ ! මේ තුඹසක් තිබේ. එය රාත්‍රී කාලයෙහි දුම් දමයි. දවල් කාලයෙහි ඇවිළෙයි. බ්‍රාහ්මණයෙක් ඇවිත් සුමේධ නමැත්තාට මෙහෙම කියයි. සුමේධ. ආයුධයක් ගන්න. එම ආයුධයෙන් මේ තුඹස (හුඹහ) කොටස් හතරක් වන සේ හාරන්න. එසේ හාරගෙන යන විට දොර පොල්ලක් දොර අඟුලක් හමුවේවි. එය ඉවත් කරන්න. තවත් හාරන්න. එවිට මැඬියෙකු හමුවේවි. ඒ මැඬියාත් ඉවත් කන්න. තවදුරටත් හාරන්න. එවිට දෙමං හන්දියක් හමුවේවි. එයත් ඉවත් කරන්න. තවත් හාරන්න. එවිට පෙරහනක් හමුවේවි. එයත් ඉවත් කරන්න. තවදුරටත් හාරන්න. එවිට ඉඳිඹුවෙකු හමුවෙයි. ඒ ඉඳිබුවාත් (ඉබ්බා) ඉවත් කරන්න. තවත් හාරන්න. එවිට මස් කපන ආයුධයක් හා මස් ලොඹුවක් හමුවේවි. ඒ දෙකත් අස්කරන්න. තවදුරටත් හරන්න. එවිට මස් වැදැල්ලක් හමුවේවි. එයත් ඉවත් කරන්න. තවදුරටත් හාරන විට නාගයෙකු හමුවේවි. නාගයා ඉවත් කරන්නට එපා. ඌට හිරිහැර කරන්නටත් එපා නාගයාට නමස්කාර කරන්න.
හෑරීම මෙතෙකින් අවසානයි.
ඉන්පසු ඒ දෙවියා කුමාර කාශ්‍යප හිමියන්ට මෙසේ කීය
මහණ ! ඔබ මේ ප්‍රශ්න බුදු රජාණන් වහන්සේගෙන් අහන්න. උන් වහන්සේ මේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් දෙයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්කේ බුදු කෙනෙකුට හෝ බුද්ධ ශ්‍රාවකයෙකුට හෝ (සිවුපිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමකට) පමණයි. මෙසේ කියා ඒ දෙවියා අතුරුදන් විය.
කවුද මේ දෙවියා?
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුදු වී අවුරුදු විසිදහසක් ජීවත් වී සිට පිරිනිවන් පෑහ. එසේ පිරි නිවියායින් පසු භික්ෂූන් වහන්සේලා පස් නමක් ඉණිමගක් බැඳ එහි ආධාරයෙන් ගල්කන්දක් උඩට නැග රහත් වෙලා මිස බිමට නොබසිමියි යන අධිෂ්‍ඨානයෙන් යුතුව ඉණිමග බිමට පෙරලා දමා ගල් කන්ද උඩ භාවනා කරන්නට පටන් ගත්හ.
දින කිහිපයකට පසු මෙයින් එක් නමක් රහත් විය. එයින් පසු දෙවැනි දිනයෙහි තවත් නමක් අනාගාමී ඵළයට පත් විය. දෙදෙනා වහන්සේ ඉර්ධි බලයක් ද ලැබූහ. ඒනිසා උන් වහන්සේලා අහසින් ගොස් (ඉණිමග බිමට පෙරලා දැමූ නිසා කන්දෙන් බිමට බැසීමට වෙනත් ක්‍රමයක් නැත) පිඬු සිඟා ගොස් ආහාර සොයා ගෙන ඇවිත් අනිත් තුන් නමට දුන්හ. උන්වහන්සේලා එය භාරගත්තේ නැත. එසේ භාර නොගත්තේ මුලින්ම ඇති කරගත් ගිවිසුමක් නිසාය. එසේම එම තුන් නම රහත් වීම හෝ කිසිම මාර්ග ඵලයක් නොලබාම කුස ගින්නේම අපවත් වූහ.
ඒ අනුව රහත් වූ තැනැත්තා සසර නැවත ඉපදීමක් නැති නිසා සසරෙන් ඉවත් විය. අනාගාමි වූ තැනැත්තා සසර ගමන තවම අවසන් නොකළ නිසා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉපදුණි. අනික් තුන් දෙනාගෙන් එක් කෙනෙක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි පුක්කුසාති නමින් ඉපදී මේ දෙවියාගේ කියමන අනුව බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි වි භාවනා කොට රහත් විය. තව කෙනෙකු දාරුචිරිය නමින් තාපසයෙකු වී මේ දෙවියාගේ උපදෙසින් බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් කෙටි බණක් අසා රහත් විය. තුන්වැන්නා වන කුමාර කාශ්‍යප හිමියන් අන්ධ වනය නම් මහා කැලෑවේ භාවනා කරමින් සිටින අවස්ථාවක දී මේ දෙවියා උන් වහන්සේ ළඟට ඇවිත් ඉහත කි ප්‍රශ්න 15 ව ඉදිරිපත් කොට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්නට යයි කියා අතුරු දන් විය. මෙය පෙර යහළුකම අනුව කළ උදව්වකි.
කුමාර කාශ්‍යප හිමියෝ එම ප්‍රශ්න 15 බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු දුන්හ.
තුඹස යයි කීවේ කුමකට ද?
වේයන් විසින් ඔවුන්ගේ මුව තුඩින් ටික ටික ගෙනැවිත් ඔවුන්ගේ කෙළවලින් අනා ඉදි කරන ලද පස් ගොඩ තුඹස හෙවත් හුඹහ යනුවෙන් හඳුන්වනු ලැබේ. එය සිදුරු සහිතයි. එම සිදුරු එක එක කාර්යයන් සඳහා වෙන් කොට තිබේ. ඔවුනගේ ප්‍රජනනය (ඉපදීම) වැඩීම, ජීවත් වීම, මරණය ද සිදුවන්නේ මේ තුඹස තුළමය. මේ තුඹස තුළට නයා, මුගටි, තලගොයි, හිකනලුන් ආදී සතුන් රිංගා ගෙන වාසය කරති. අපේ මේ ශරීරය ද තුඹසක් හා සමානයි. මේ ශරීරය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස් හතරකින් යුක්තයි. භාවනාවේ යෙදෙන්නා එම කොටස් හතර වෙන වෙනම සිතා බැලිය යුතුයි. එනිසයි කොටස් හතරක් වන සේ මේ තුඹස හෑරිය යුතු යැයි මුලින්ම කීවේ. තවද මේ ශරීරය මවු පියන්ගේ ආර්තවානු ශුක්‍රානු යන ධාතු කොටස්වලින් යුක්තය. මුලදී මවුගේ ලේ ධාතුවෙන් පෝෂණය ලැබූ මේ දරුවා මෙලොවට බිහි වූවායින් පසු බත් පිට්ටු ආදී ඝන ආහාරවලින් පෝෂණය ලබා වැඩෙයි.
තුඹස ඇතුළේ සිදුරු තිබෙනවා වාගේ මේ ශරීරය ඇතුළේත් සිදුරු තිබෙනවා. ආමාශය එහි ලොකුම සිදුරයි. තුඹස ඇතූළට නොයෙක් සතුන් රිංගාගෙන ඉන්නවා වාගේ මේ ශරීරය ඇතුළේත් කිරි පණුවන්, වට පණුවන් ආදී අසූ කුලයක පණුවන් සිටිනවා. එනිසා තුඹසත් ශරීරයත් සමාන කොට දැක්වීම සාධාරණයි.
ඇයි මේ තුඹස රාත්‍රී කාලයෙහි දුම් දමන්නේ
මිනිසා හෙට දවසේ කළ යුතු වැඩ ගැන (බොහෝ කොට) අද රාත්‍රියේ සිතයි. සිතින් සැලසුම් කරයි. ඊට අවශ්‍ය ශ්‍රමය හෝ උපකරණ ආදියක් වෙයි නම් ඒවා ලබා ගන්නා සැටි සිතයි. මේ අන්දමට හෙට දවසේ කළ යුතු වැඩ ගැන අද රාත්‍රියේ සිතා බැලීමයි. මේ තුඹස රාත්‍රී කාලයේ දුම් දමනවා යැයි කීවේ එනිසයි.
දහවල් කාලයේ මේ තුඹස දැල් වෙන්නේ ඇයි?
රාත්‍රි කාලයේ සිතින් සිතා සැලසුම් කළ පරිදි ඊළඟ දවසේ එම වැඩ ක්‍රියාත්මක කිරීමයි. තුඹස දැල්වෙනවා යැයි කීවේ ඒ සඳහා කායික මානසික ශ්‍රමය ද අවශ්‍යයි. එය ගිනිගෙන දැවීමකට සමානයි.
බ්‍රාහ්මණ යැයි කීවේ කාටද?
‘‘බාහිත පාපොති බ්‍රාහ්මණෝ’’ යන කියමනට අනුව සියලුම පාපයන් බැහැර කළ තැනැත්තා බ්‍රාහ්මණයාය. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේය. එසේම සියලුම කෙලෙස් නැති කළ සිවු පිළිසිඹියාපත් (අර්ථ ධර්ම, නිරුක්ති, ප්‍රතිභාණ යන කරුණු සතරින්ද යුක්ත) මහ රහතන් වහන්සේ ද බ්‍රාහ්මණයාය. කෙනෙකුට නිවන් මග කියා දීමට හැකියාව ඇත්තේ මේ දෙදෙනාට පමණි.
මතු සම්බන්ධයි
කල්පේ ආනන්ද සාගර හිමි