දුම්බර ගලන කළු ගඟේ උපත සොයා ගිය ගමන


දුම්බර අඩවියේ අතහැර දැමූ ඉසව් සොයා-6   

 

කළු ගඟ උපදින වමාරපුගල කන්ද

 

 

  • දුම්බර හැඩ කරන පතන් සහ තැනිතලා බිම් රාශියක්   
  • දියඇලි දුසිමක් නිර්මාණය ​ෙවන දූවිලි ඇලි දාමය   
  • කි.මී. 12ක් දිග පැය දහයක පමණ දුෂ්කර ගමනක්   

 

පසුගිය සතියේ අප කතිකා කරනු ලැබූයේ ලංකාවේ කුඩාම ගම වූ වල්පොළමුල්ල පිළිබඳවය. වල්පොළමුල්ල නම් සුන්දර ග්‍රාමයේ හෙල්මලු ක්‍රමයට වගා කරන ලද කෙත්යාය අසලට ඉතා ඈතින් පෙනෙන දියඇලි දාමය අතරින් අප ගමන ආරම්භ කිරීමට යොමුවූයේ ඒ ඉසව්වේ දෙපසම පිහිටි පතන් සහ තැනිතලා බිම් අතරිනි. මෙම ගමන මිනිස් වාසය පිහිටි අවසන් ගම්මානය වන ඇටන්වල සිට කි.මී. 12ක් වනපියස ගැඹුරේ පිහිටි ඉසව්වක් වන අතර හෙළයේ මහා ජලාශය වන මොරගහකන්ද පෝෂණය කරන කළු ගඟ උපත ලබන අඩවියයි.   


මීට පෙර මුල් ලිපිවල සඳහන් කළ පරිදි නකල්ස් වන රක්ෂිතය වඩාත් විශේෂ වන්නේ පතන් බිම් හේතුවෙනි. එලෙසම අක්කර ගණනාවක් වසාගෙන පිහිටි එම පතන් බිම්වල පැවැත්ම සහ යාවත්කාලීන සිදුවන්නේ ස්වභාවිකවය. එනම් තණ උලාකන හරක් රංචු හේතුවෙනි. අතීතයේ පටන් ගම්වැසියන් වනය තුළ පිහිටි තණ බිම් හා පතන් බිම් කරා තම ගවයන් රැගෙන ගොස් උන්ට රිසි පරිදි ගැවසීමට ඉඩකඩ ලබාදීම ස්වභාව ධර්මයාගේ ජීවන චක්‍රයේ අගයයන් නිතැතින්ම සිදුකරන්නාක් මෙනි.   


සංචාරකයන්ට විවෘත එකම පතන වනුයේ පිටවල පතන පමණක් වන අතර එය නැරඹීමට සහ පර්​ෙ‌ය්ෂණ කටයුතු සඳහා විවෘත කරන ලද නිල සංචාරක මාර්ගයකි. එය කොතරම් ස්වභාවිකදැයි කිවහොත් එහි විටෙක අලි පවා ගැවසෙන අතර පතන් බිම්වලටම විශේෂිත මැඩි විශේෂ සහ පැළෑටි විශේෂ පවා ඇති ඉසව්වකි. පාරිසරික වටිනාකම් අතින් පොහොසත් වූ එම බිම්කඩ හැර තවත් බොහෝ විශාල පතන් බිම් දුම්බර රක්ෂිතයේ වනමැද පවතියි. ඒවා විශේෂයෙන්ම වනයට උචිත ලෙස අනුවර්තනය වී ඇති අතර මානා පඳුරුවලින් සහ තෘණ මතින් වැසී පවතියි.   

 

විලංගොල්ල පතන

 


පිටවල පතන, වෙලන්ගොල්ල පතන, අලියා වැටුනු ඇළ තැන්න, කොටගඟ තැන්න, අස්වැද්දුම පතන, ඉලුක් පතන, රැහැන කෙටු පතන, ගිනි කෙලිය පතන, කොමල පතන, ලඹුලඔය පතන, දෙවලගල පතන, බම්බුගල පතන ආදී පතන් සහ තැනිතලා බිම්වල ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර දහස් ගණනකි. මේ සියල්ල ගුවනට විවෘත බිම් ප්‍රදේශ වන අතර මින් බොහෝමයක් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඇවන්වල සිට වල්පොළමුල්ලට පැමිණි අප ඉන්පසු ගමන ආරම්භ කළේ කළු ගඟේ උපන් බිම සොයා යාමටයි.   
කළු ගඟ ලෙස ගංගා දෙකක් ලංකාව තුළ පවතින අතර ඉන් ප්‍රධානතම ප්‍රසිද්ධ කළු ගංගාව යනු සමනල රක්ෂිතයෙන් පෝෂණය වී මිණිපුර ඔස්සේ ගලාගෙන ගොස් කළුතරින් දියඹට එකතු වන ගංගාවයි. ඒ හැර ඇති අනෙක් කළු ගංගාව නම් දුම්බර රක්ෂිතයේ වමාරපුගලින් පටන් අරගෙන තෙල්ගමුඔයේ ජල කඳත් රැගෙන මොරගහකන්ද සහ අවට ගම් පෝෂණය කරමින් මහවැලි නදියට වැටෙන ගංගාවයි.   


මෙය බහුලවම ගැවසෙන්නේ සහ සමස්ත දියවර පෝෂණය වනු ලබන්නේ දුම්බර රක්ෂිතයේ මාතලේ දිස්ත්‍රික්කයට අදාළ කොටසකි. තෙල්ගමු ඔය මොරගහකන්ද ජලාශයට පසුව අඹන් ගඟට එකතු වන අතර අඹන් ගඟ පසුව ඇලහැර ප්‍රදේශයේ දී කළුගඟ හා එකතුවේ. ඉන්පසු කළුගඟ වස්ගමුව වන උද්‍යානයේ උතුරු කෙළවර පිහිටි ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ලංකාවේ දිගම ගංගාව වන මහවැලියට එකතුවේ.   


වල්පොළමුල්ල කෙතේ සිට ගමන් ඇරඹූ අප සලකුණු කරන ලද පැහැදිලි සංචරණ මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළේ අඩි පාරක් ලෙසිනි. මෙම මාර්ගය දූවිලි ඇල්ලට යන සම්මත සංචරණ මාර්ගය වන හෙයින් මෙහි ගමන් කිරීම පහසුය. නමුත් දූවිලි ඇලි සොයා යන ගමනේ දී ඇටන්වලින් උදෑසනම පිටත්වීම අතිශය වැදගත් වේ. මන්ද කඳු හෙල් තුන හතරක් බසිමින් ඉදිරියට ගමන් කළ යුතු හෙයිනි.   


කෙසේ හෝ අඩි මාර්ගය දිගේ ඉදිරියට යන අප වල්පොළමුල්ල සීමාවෙන් ඔබ්බට යන කඩුල්ල පැන එනසාල් වගාව සහ රූස්සගස් පිරුනු වනපෙත දිගේ ඉදිරියටම ගමන් කළෙමු. වල්පොළමුල්ල ගල්තලාව පසුකරගෙන ඉතා ඈතින් පිහිටි දියඇලි බලමින් පල්ලම බැස්ස අප ළඟා වූයේ කිරිමැටිය හේනටයි. මෙය ද කුඩා පතනක් වූ අතර පඳුරුවලින් ගහණව තිබුණි.   


තුන්හිස්ගල ඉතා අපූරුවට මෙහිදී දැකගත් අතර ඉන්පසු අප ළඟාවූයේ නුගතලාව ඔය වෙතටයි. එහි තිබූ කොන්ක්‍රීට් කණුව සහ තනා තිබූ ලී වැට අපට ඇඟවූයේ මෙම ඉසව්වේ මිනිස් වාසයක් තිබුණ බවයි. මන්ද හේන් කටයුතු හෝ වෙනත් වගා කටයුතු සඳහා මෙම සීමාව පනවා තිබී ඇති බවකි.   

 

දූවිලි ඇල්ල

 


නයි හතු වර්ග ද දැකගනිමින් ඉදිරියට කඳු නගිමින් බසිමින් අප ළඟා වූයේ විශාල නුගගසක් සමීපවයි. ඒ අසලින් බිත්තියට යන මාර්ගය රතු ඊතල සලකුණකින් සටහන් කර තිබුණේ ගලකය. එම දුෂ්කර ඉසව්ව ද සාර්ථකව තරණය කරමින් අප පැමිණියේ වැද්දාහේන වෙතය. මෙය ද කුඩා තැනිතලා පතන් බිමකි. තණ වැවී ඉතා අලංකාරව තිබූ මෙම ස්ථානය දූවිලි ඇළි දාමයට යන පිරිසට ඉතා වැදගත් ස්ථානයකි. මන්ද ඇටන්වල සිට එන මාර්ගයත් රඹුක්ඔළුව සිට එන මාර්ගයත් හමුවන ස්ථානය මෙය වන බැවිනි.   
මෙහි මද වේලාවක් විවේක ගත් අපි අසල පිහිටි වැද්දාහේන ඔයෙන් මුහුණකට දොවාගෙන ජලය පානය කළෙමු. මේ වනවිට අප සිටින්නේ මිනිස් වාසයෙන් බොහෝ දුරකය. ඉතාමත් ඝන වන පියසක් වන මෙහි රූස්ස ගස් සේම විවිධ පැළෑටි වර්ග ද දක්නට ලැබුණි. ඉතාමත් විශාල වට ප්‍රමාණ සහිත කඳන් පිහිටි ශාක ද විවිධ හැඩතල ගත් ගල් පර්වත ද බොහෝමයක් මෙහි දක්නට ලැබුණි.   


ඉන්පසු ක්‍රමයෙන් ඉදිරියට ගිය අපට මුණගැසුණේ අතිරේක දියවරින් පෝෂණය වන පොල්වත්ත දියඇල්ලයි. එය පසු කළ අප ළඟාවූයේ සමස්ත ගමනේම දුෂ්කර කොටස ලෙස හඳුන්වන බිත්තිය නම් කොටසටයි. එය ඉතා තද නැග්මක් වන අතර බොහෝ ස්ථානවල අපට යායුතුව තිබුණේ විශාල ගල් බිත්තිය අසලිනි. සුළු ලිස්සීමක් මත ප්‍රපාතයට වැටීමක් විය හැකි තරම් වූ අතර එහිදී අපට මුල්වරට පෙණපිඩු නගා ගලායන කළු ගඟ දක්නට ලැබුණි.   


එහිදී අපි අසල වූ දුම්බර ඇල්ල නරඹා එහි ඉහළට ගොස් එහි සඟවා තිබූ තවත් ඇලි යුගලයක් දැක ගත්තෙමු. ඉන්පසු අප ඉදිරියට යත්ම කළුදියපොකුණ ලෙස හඳුන්වන දියඇල්ල ඉහළට පැමිණි අතර එතැනින් දකුණු පස වනපියසට ගමන්කළේ ගූගල් සිතියමට අනුව හෝ වන ඉලුක් පතනට යාමටයි. ඉලුක් පතනට අපි විනාඩි කිහිපයකින් ළඟාවුණෙමු.   
එය විශාල පතනකි. ඉලුක් හා මානා පඳුරු පිරුනු එහි කුඩා ගල් තලාවක් ද විය. වනඅලි මෙහි ගැවසී ඇති බවට සාක්ෂි අප දුටු අතර ඒ අවට නිරීක්ෂණය කළ අපට අතහැර දැමූ නටබුන් දක්නට නොලැබුණි. නමුත් වන වැදී තිබුණු කපන ලද දර අතු කිහිපයක් අපි දුටුවෙමු. එතෙනින් ඉදිරියට ගිය අප සේන්දු වූයේ මහ ගඟ ඔස්සේ ගලාගෙන එන නාරංඅත්ත ඔයටයි.   


නාරං අත්ත ඔය දිගේ මද දුරක් ගිය අප දෙමෝදරට ළඟාවූ අතර එනම් කළුගඟට නාරංඅත්ත ඔය වැටෙන ස්ථානයයි. ඊට මදක් ඉහළින් ගිය අප දුටුවේ දූවිලි ඇලි දාමයේ තවත් සුන්දර ඇල්ලකි. සන්සුන් ඇල්ල හමුවීමට පෙර හමුවන මෙහි ඉහළ ඉන්කැනෙට් තටාකය ලෙස හඳුන්වන ස්ථානය පිහිටා තිබේ.   


එහි ඉහළ කූඩාරම් ගසා සිටීමටත් එය සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානය බවටත් පත්ව ඇත. පඩිපෙල් ඇල්ල ඒ අසලම පිහිටියේ මානිගල දක්වා කිලෝමීටර් ගණනක් ඈත දුරක් හිස් අවකාශයේ දැකගත හැකි හොඳම ස්ථානය බව පසක් කරමිනි.   


පඩිපෙළ අැල්ල දිගේ ගිය අප සන්සුන් ඇල්ල ද තවත් අවශේෂ කුඩා ඇල්ලක් ද නරඹා ළඟාවූයේ දාමයේ ප්‍රධානම ඇල්ල වන දූවිලි ඇල්ලටයි. එය විශේෂ වන්නේ ඇල්ලේ මැද පිහිටි පනහකට අධික මිනිස් පිරිසකට වුව රැඳී සිටිය හැකි ගුහාව හේතුවෙනි. එම ස්ථානයට ළඟාවූ අප අද දින රාත්‍රිය එහි ගත කළේ ජලය හොඳ හැටි තිබුණු හෙයිනි. සීතල පින්න ද තිබුණ අතර අපගේ පසෙකින් ගල් බිත්තියෙන් ද අනෙක් පසින් ඉහල සිට වැටෙන ජල පහරක් වූහෙයින් මෙම රාත්‍රිය ඉතා සුන්දර වුණි.   


පසු දින අප ගමන ආරම්භ කළේ ඇල්ල ඉහළට නගිමිනි. පසුව අපි එම ජල පහර දිගේ ඉහළටම ගමන් කරන විට තවත් ඇලි යුගලයක් දැක ගත්තෙමු. එසේ යන විට අප රැහැන කෙටූ පතනට ළඟාවූයේ ගූගල් සිතියම පෙන්වූ පරිද්දෙනි. ඊට ප්‍රථම වමාරපුගල වම් පසින් පිහිටි විශාල ගල් තලාවට ද අප ගමන් කළ අතර ඒ මාර්ගයෙන් අපි කළු ගඟේ උපත සිදුවන දියකඩිති පිහිටි වමාරපුගල මුදුනට ගමන් කළෙමු. මහ වන මැද පිහිටිය ද වමාරපුගල වෙත මිනිසුන් ඈත අතීතයේ සිට පැමිණ ඇති බව අප දුටුවේ එහිවූ යම් ගල් පර්වත හා කුට්ටි හේතුවෙනි. 

 
කෙසේ හෝ අප ඊළඟට සූදානම් වූයේ වමාරපුගල අනෙක් කෙළවර සිට දූවිලි ඇල්ලට සමාන්තරව ගොස් ගිනිකෙළිය පතනට ළඟාවීමටයි. ඒ හරහා අප රණමුරේ ගම්මානයට ළඟා වීමට තීරණය කළේ රාත්‍රිය වනවිට එහි යා යුතු හෙයිනි. රැහැනකෙටූ පතන සිතියමේ පරිදි බව අප මීට පෙර දුටුවේ තුන්හිඳගල මුදුනේ සිටයි. කෙසේ හෝ එහි සිට මීමුරේ ගමට ළඟා විය හැකි අතර එය අනෙක් පසින් kmp වාඩිය වෙත ගමන් කර බඹරැල්ලට යන මාර්ගයට සම්බන්ධ වේ. මෙම ඉසව්වට වමාරපුගල, ලකේගල, අලුගල්කන්ද හා යහන්ගල පිහිටි කඳුවැටිය ඉතා හොඳින් අපට දක්නට ලැබුණි.   


මෙම ඉසව්වල ඈත අතීතයේ මිනිස් වාසයක් තිබූ අතර මෙම අඩි මාර්ග ඔවුන් තම පහසුවට සාදාගත් ඒවා විය. යම් යම් නටබුන් තිබූ බවට හෝඩුවාවන් අපට හමුවූ අතර ඒවා ද නිරීක්ෂණය කරමින් අප ඉදිරියට ඇදුණේ ගිනිකෙළිය පනතට ළඟාවීමටයි. අර්ධ කවාකාර ලෙස පිහිටි ගිනිකෙළිය පතන වන අලි රජ දහනක මීට පහතින් තවත් පතන් බිමක් ඇති අතර මෙම පතන හරහා කඳුවැටියේ කෙළවරට ගොස් හෙල බැස නැවතත් කන්දක් තරණය කර අප ළඟා වූයේ ගිනිකෙළියටත් වඩා විශාල වූ අස්වැද්දුම පතන වෙතය. එය ද බැලූ බැල්මට අර්ධ කවාකාර ලෙස තිබූ අතර එම ප්‍රදේශවලට ඇටන්වල සහ හෙම්මාතගල දක්වා වපසරියක් දක්නට ලැබුණි.   


අස්වැද්දුම පතන කෙළවරක අතහැර දැමූ දර මගින් සෙවිලි කළ මිනිස් වාසයක නටබුන් දැකගත් අතර එම ගමන තවත් දුර යන්නට තිබුණේ රණමුරේ වෙත ළඟාවීමටයි. වන මැද පිහිටිය ද ගිනිකෙළිය පතන තුළ ගවරැල ගැවසෙන ඉසව්වකි. අස්වැද්දුම පතන නිමා වන විටදී කලින් දවසේ කිරිමැටියහේන පසුකරන විට දුටුවාක් මෙන් ලී වැටක් දැකගත් අතර එය ගම්මානය ළඟ බවට අප ලද හෝඩුවාවක් විය.   


එය පසුකර ඉදිරියට යත්ම මාර්ගය බෙදෙන ස්ථානයක් වූ අතර කළු ගඟ ද පසෙකින් ගලන්නට විය. ඉන්පසු අප ළඟා වූයේ ගම්වාසීන්ගේ ජල අවශ්‍යතාව සපුරන වන මැද පිහිටි විශාල ජල ටැංකිය අසලටය. එතැන් සිට අප රණමුරේ ගම්මානය වෙත ළඟාවූ අතර ඒ මග තුළ අත්හරින ලද ඉඩකඩම් සහ වගාබිම් අපට හමුවුණි. විවිධ හේතු මත එම ගම්වැසියන් ඒවා අත්හැර දමා ඇති අතර සවස් යාමය පසුවෙමින් තිබුණ හෙයින් අප අසල පිහිටි ජල පීල්ලක් අසලට ගොස් ගත දොවා ගත්තේ කටු පඳුරුවලට සීරුණු දූවිලි ගස් ගඳ පිරුනු අපගේ ගත පිරිසිදු කර ගැනීමටයි.   


සමස්ත ගමනට කි.මී. 30 කට අධික දුරක් වූ අතර විශාල ප්‍රදේශයක පිහිටි සෞන්දර්යය සහ පතන බිම් සේම කළුගඟේ හැඩය ද අපට දැකබලා ගන්නට ලැබුණි.   
ලබන සතියේ වනමැද පිහිටි අත්හැර දමන ලද kmp වාඩිය සොයා.   

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු