හම්බන්තොට සෙල්ලම් පෑ අප්‍රිකා සිරකරුවා එංගල්බ්‍රෙක්ට් හම්බන්තොට කුපිත කරයි


  • එංගල් නගරයේ සැරිසරන හැම විටකම තුවක්කුවක් කරේ එල්ලාගෙන උල් පිහියක්ද රැගෙනායාම ඔහුගේ සිරිත විය. එසේ යන විටදී ඔහු හැඳසිටියේ කාකි රෙදිවලින් නිමවූ දිගැති කමීසයක් නැතහොත් කබායක් පමණි. විලි වසාගැනීමට කලිසමක් හැඳගැනීම හිතාමතාම ඔහු නොකළේය.

 

ඒ ක්‍රි.වර්ෂ 1897 යි. හම්බන්තොට නගරයේ මුහුදු වෙරළට නුදුරුව කණ්ඩිය උඩ තිබූ පොල් අතුසෙවිලි කළ ආප්ප කඩයට රෑ දෙගොඩ ජාමයේ එංගල්බ්‍රෙක්ට් ගොඩවූයේ දැඩි බලාපොරොත්තු ඇතිවය. වෙනදා මෙන් නොව ඔහු ජැන්ඩියට කළු කලිසමක් ඇඳගෙන හිසේ තොප්පියක්ද පැලඳ සිටි අතර සුපුරුදු පරිදි තුවක්කුව කරේ එල්ලාගෙන සිටි අතර දකුණතේ උල්පිහියද විය.   


ආප්ප කඩය රෑ ජාමයේ මුහුදු යන ධීවරයින් සහ ලුණු පටවාගෙන යාමට පැමිණි ගැල් කරුවන්ගෙන් පිරී ඇත. ආප්ප කඩේ, අම්මාගේ අත්උදව්වට සිටින තරුණ ‘තොසානා’ ලමිස්සියගේ දෙඇස් එක්වරටම යොමු වූයේ කඩයට ගොඩවූ තරුණ එංගල් වෙතය.   


එංගල්බ්‍රෙක්ට් දඬුමැස්සේ වාඩිවුණා පමණි. මෙතෙක් වේලා පිළිසඳරේ අල්ලාප - සල්ලාපයේ යෙදී සිටි කවුරුත් නිශ්ශබ්ද වූහ. එංගල්ගේ රෞද්‍ර පෙනුමටත් තුවක්කුවටත් බියවූ හම්බන්තොට වැසියෝ ඔහුට දැඩි අකැමැත්තෙන් සිටියද මූණට කිසිවක් කීමට බියවූහ.   


ධීවරයින්ද ගැල්කරුවන්ද තම රැකියාවට යන පාටක් නැත. කාලයද නිසොල්මනේ ගෙවීයයි. එංගල් ටිකවේලාවක් බලාසිටියේ ඉවසුම් නැතිවය. 

 
බැරිමතැන කෝපයෙන් තුවක්කුව අතට ගත් එංගල් ‘කාලකන්නියෝ’ තොපි මූදු යන්න ආවනම්... පලයව් මූදට... තොපේ වැඩේ අනික් උන්ගේ ඕපා-දූප කතා කරන එක... තුවක්කුව පිරිස දෙසට එල්ල කරමින් එංගල්බ්‍රෙක්ට් උස් හඬින් මොර දුනි. කවුරුත් උන්-හිටි තැන්වලින් නැගිට ඉවත්ව ගියහ. ධීවරයින් ඔවුන්නොවුන්ගේ ආම්පන්න රැගෙන වැල්ලට ගියහ. ඉක්බිතිව එංගල් තොසානා දෙස අනුරාගී බැල්මක් හෙළා මද සිනහවක් පාමින් නැවත දඬු මැස්සේ වාඩි වුයේ තම අත තිබූ තුවක්කුව පසෙකින් තබමිනි.   
තොසානා... දීපං එංගල්ට ඔය ආප්ප වට්ටිය... උණු කෝපිත් දීපං.. කඩේ අම්මා තොසානාට කීවාය.   
හාමිනේ... මං ගොඩවෙනකොට අරූං මොනවද කතා කොර කොර හිටියෙ? මම දන්නවා මේ ආප්ප කඩේට මං ගොඩවෙනවට උංගෙ මනාපයක් නැති බව.. එංගල් කීවේ තොසානා දුන් ආප්ප වට්ටිය උකුලේ තබා ගනිමිනි. මේ අතර වාරයේ කඩයට ගොඩ වූ ධීවරයින් කීප දෙනෙකුම එංගල් දැක ආපසු හැරී ගියහ.   
‘උන්ට .... පිස්සු... හැදිල වෙන්නැති... මේ තොසානා ලමිස්සි අප්‍රිකාවේ බ්‍රෝයර් හිරකාරයට පංගාත්තු කොරලා දුන්නේ මමෙයි කියනවනේ... ආප්ප අම්මා පිළිතුරු දුනි.   


ඉතිං හාමිනේ එ්කේ වැරැද්දක් තියෙනවයැ... මමත් ලේ - මස්වලින් හැදුණු මිනිහෙක්නේ... හා කමක් නැහැ.... හාමිනේ මම අද ආවේ මේ තොසානා කෙලී එක්ක හඳපානේ වැල්ලෙ ටිකක් ඇවිදින්න යන්න... එංගල් ආප්ප අම්මාට කීවේය.   


හ්ම්... දෙන්න කැමති නම් මගේ මොකෝ. ගිහිල්ලා වරෙල්ලා... ඔය වැල්ලේ ඔරු කාරයින්ට පේන්න එහෙම යනව නොවෙයි..... වැල්ල අද්දර අලිත් ඇති.... සෙවිල්ලෙන් ගියා නම් හොඳයි....   


ලැබුණු අවසරයෙන් තොසානා පැන එංගල්ගේ අත අල්ලාගති. එකල සූරියවැව මීගහජදුර ගොන්නොරුව විසූ අලි රංචු හම්බන්තොට හරහා බුන්දලට යන - එන බව අාප්ප අම්මා දැන සිටියාය.   


හාමිනේ... හම්බන්තොට ඉන්න සමහර මිනිස්සුන්ට වඩා වනාන්තරේ ඉන්න සත්තු හොඳයි. එහෙනම් හාමිනේ.. අපි ගොහින් එන්නං... කියමින් එංගල් තොසානා සමග මුහුදු වෙරළට පිය නැගීය.   
මුහුදු වෙරළේ දැඩි ශීතලද කැලෑමල්වල සුවඳ පහසද විඳිමින් දෙදෙනා හඳපානේ මඳ දුරක් වැල්ළේ ඇවිද ගොස් කොහොඹ ගස් යට අඳුරු සෙවනැල්ලේ නතර වූහ. එංගල් කතාකරමින් ​තොසානා... හම්බන්තොට ඉන්න වැඩිදෙනෙක් මට කැමති නැති වග මම දන්නවා. ඒ වගේම උඹ මට මනාප බවත් දන්නවා. මම උඹට ආදරෙයි. කියමින් තොසානා කෙලී සිප වැළඳගති. ඇගේ කෙහෙවලිය අවුල්ව නලල මත විසුරුණි. ආදරයේ උපරීම මිහිර එතැන විය. අවසානයේ එංගල් කතාකරමින් ‘තොසානා ආදරය කියන්නෙ මොනතරම් රසවත් දෙයක්ද කියලා මට හිතෙනවා. මම අද අලුත් මිනිහෙක් වුණා කියලා. තොසානා ඇගේ අවුල් වූ කොණ්ඩය නැවත ගැටගසාගෙන කඩයට යාමට ඉස්සර විය. 

 
හාමිනේ... ඔන්න තොසානා ආවා.... මම යන්නම්.... මට ඉතින් ඇති වැඩක් නැහැ නේ. මම හෙටත් එනවා... අරුං ටික ඇවිත් ගියාට පස්සේ..... මගේ නිවාසේ ස්තෝප්පුවට මේ කඩේ හොඳට පේනවා.   
කල් යත්ම තොසානා එංගල් ආදර අන්දරය හම්බන්තොට ප්‍රදේශවාසීන් අතර කතා බහට ලක්විය.   
ඕලන්ද (Holland) ජාතිකයින් දකුණු අප්‍රිකාවට සැපත්ව එය ඔවුන්ගේ යටත් විජිතයක් කරගත් තැන සිට එරට හඳුන්වන ලද්දේ කේප් කොළණිය හැටියටය. දකුණු අප්‍රිකානු සහ ඕලන්ද සම්මිශ්‍රණයෙන් පැවැති දකුණු අප්‍රිකානුවන්ගෙන් කොටසක් බෝයර් (BOER) ගෝත්‍රිකයින් හැටියට දකුණු අප්‍රිකාව තම නිජබිම කරගත්හ. ඔවුන් සටන්කාමී අභිමානයෙන් යුත් ජාතියක් ලෙස ජීවත්වූ අතර ක්‍රි.ව. 1814 දී පමණ දකුණු අප්‍රිකාවට පැමිණි බ්‍රිතාන්‍ය නාවිකයෝ බෝයර් ජාතිකයින් සමග යුද වැදී ඔවුන් සහමුලින් යටත් කරගත්හ. වසර ගණනාවකට පසු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලනයට එරෙහිව බෝයර්වරුන් සිදුකළ දරුණු අරගලය බෝයර් යුද්ධය නමින් ඉතිහාසගත විය. ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්සේ සිංහල ජනතාව බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එරෙහිව සිදුකළ අරගලය (ඌව-වෙල්ලස්ස කැරැල්ල) බෝයර් යුද්ධයට සමානවූ අතර වෙල්ලස්ස කැරැල්ල නිමාවට පත්වූයේ වසර 1818 දීය.   


බෝයර් යුද්ධයෙන් පරාජයට පත්වූ බෝයර්වරු තම නිජබිමේ සිරකරුවන් බවට පත්වූහ. ඉක්බිතිව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට පක්ෂපාත බවට දිවුරුම් දුන් සිරකරුවන් නිදහස් කළ අතර දිවුරුම් දීම ප්‍රතික්ෂේප කළ සිරකරුවන් 5000 පමණ දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් කරන ලදුව නැව් මගින් ඔවුන්ගෙන් කොටසක් ලංකාවටද සෙසු සිරකරුවන් ඉන්දියාවටද යැවිනි. ඒ වනවිට ලංකාව පැවැතියේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් හැටියටය. (බ්‍රෝහියර්-දුටු ශ්‍රී ලංකාව by RL Brohier Surveyor General of Ceylon)   


පසුකලෙක දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේදී අත්සන් කරන ලද ගිවිසුමක් ප්‍රකාරව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන්ට පක්ෂපාත බවට ප්‍රතිඥා දෙන සිරකරුවන් සියළු දෙනා දකුණු අප්‍රිකාවේ ඔවුන්ගේ ගම් බිම් කරා යැවීමට තීන්දු වී එය ක්‍රියාත්මක විය. එහෙත් එංගල්බ්‍රෙක්ට් ඇතුළු දියතලාවේ රඳවාසිටි කණ්ඩායමක් ප්‍රතිඥා දීම ප්‍රතික්ෂේප කළහ.   


එංගල් මුල සිටම කියා සිටියේ ඔය පර සුද්දෝ මගේ රට සූරා කෑවා. අපේ රටේ රත්‍රං දියමන්ති උංගේ රටට ගෙනගියා. උන් ලංකාවට කොරෙත් ඒ ටිකමයි යන්නය. ඒ අනුව සිරකරුවන් දෙදෙනෙකුට යාපනය කච්චේරියෙන් දීමනාව ලබාදෙමින් ඔවුන් උතුරට යැවිණ. සිරකරුවන් දෙදෙනකු මඩකළපුවට යැවිණි. එංගල්බ්‍රෙක්ට් මේ සියලුම සිරකරුවන්ගෙන් වඩාත්ම දඩබ්බර පුද්ගලයා වූ අතර ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් එවකට හම්බන්තොට උපදිසාපති ඊ.බී. නොයිස් (ක්‍රි.ව. 1897 සිට 1907) මහතා විසින් ඔහු නැව් මගින් ගාල්ල හරහා හම්බන්තොටට කැඳවාගෙන ආවේය. (බ්‍රෝහියර් දුටු ශ්‍රී ලංකාව සහ උපදිසාපති නොයිස්ගේ පරිපාලන වාර්තා)   


හම්බන්තොට වෙත රැගෙන ආ එංගල් උපදෙස් ප්‍රකාරව නොයිස් උප දිසාපතිවරයා විසින් රයිපලයක්ද තුවක්කුවක් හා අවශ්‍ය කරන පතොරම්ද ලබා දී තිබේ. එංගල්ට හම්බන්තොටින් කුඩා නිවසක් සහ ජීවත් වීමට රජයෙන් සුළු දීමනා මුදලක්ද ගෙවීම ආරම්භ විය. හම්බන්තොට මාගම්පත්තුවේ මහමුදලි එච්.ඊ. අමරසේකර මුදලිතුමාගේ දැන්වීමක් අනුව බුන්දල අල්ලීස් ගම්බාර මහතා විසින් එංගල්ට ගොන් කරත්තයක් දුන් බව පැරණි පරිපාලන වාර්තා සහ පොත පතෙහි දැක්වේ.   


ඒ කොතෙකුත් පහසුකම් සැපයුවද එංගල්බ්‍රෙක්ට් ගේ යටිසිතෙහි පැලපදියම්ව තිබුණේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව දැඩි වෛරයකි. කෙසේ වෙතත් තම නිජබිම අහිමිවූ මෙම සිරකරු කෙරෙහි අමරසේකර මහමුදලිතුමා සහ අල්ලිස් ගම්බාර මහතා දැක්වූයේ තදබල සෙනෙහසක් සහ අනුකම්පාවකි. ඒ අනුව එංගල් මියයන තුරුම ඔවුන්ගේ මිතුරකු විය.   


හම්බන්තොට වියළි කර්කශ පරිසරයට එංගල් ඇලුම් කළේය. තම කුඩා නිවසේ ස්තෝප්පුවේ වාඩිවී සිටිනා විට ඈත මුහුදු වෙරළේ අඩනිරුවතින් ගැවසෙන සුදු ජාතික කාන්තාවන් එංගල්ට හොඳහැටි පෙනේ. මුහුදු වෙරළට නුදුරු කණ්ඩිය උඩ පොල් අතු සෙවිලි කළ රෑ ආප්ප කඩයේ තොසානා ලමිස්සිය කඩිමුඩියේ වැඩකරන හැටි ඇසිපිය නොගසා තම නිවසේ ස්තෝප්පුවේ සිට බලා සිටීම එංගල්ට ඊට වඩා ප්‍රියජනක විය. දිනක් ගිනි දහවලේ මුහුදට බැස පිහිනීමට සිතක් පහළවී එංගල්බ්‍රෙක්ට් ගියේ සුදු ජාතික කාන්තාවන් වෙරළේ සිටි තැනටය. ඔහු පැලඳ සිටි සියලුම ඇඳුම් එතැනදී ගලවා නිරුවතින්ම මුහුදට පැන දිය යටින් සුදු කාන්තාවන් සිටි තැනට පිහිනාවුත් ගොඩට ආවේ හිතේ කේන්තියෙනි.  


ඈතින් බලාසිටි තරුණයින් හූ කියන්නට පටන් ගති. සුදු කාන්තාවෝ ඉක්මනින් ඉවතට ගියහ. එංගල් කිසිත් නොදුටුවාක් මෙන් නැවත මුහුදට පැන ඈත දියඹට පිහිනා ගියේ බලා සිටි කවුරුත් මවිත කරමිනි. එංගල් අතිදක්ෂ කිමිදුම්කරුවකු වූ අතර කීප වතාවකදී මුහුදේ ගසාගෙන ගිය සුදු ජාතික තරුණ තරුණියන් කර තියාගෙන ගොඩට ගෙනැවිත් පණ බේරා දී තිබේ.  


ටික දිනකින් එංගල් නගරයේ සැරිරන්නට විය. ඒ යන හැම විටකම තුවක්කුවක් කරේ එල්ලාගෙන උල් පිහියක්ද රැගෙනායාම ඔහුගේ සිරිත විය. එසේ යන විටදී ඔහු හැඳසිටියේ කාකි රෙදිවලින් නිමවූ දිගැති කමීසයක් නැතහොත් කබායක් පමණි. විලි වසාගැනීමට කලිසමක් හැඳගැනීම හිතාමතාම ඔහු නොකළ අතර ඒ ගැන විමසූ සෑම අයකුටම එංගල් කියා සිටියේ ‘ඉංග්‍රිසි පරසුද්දෝ ශ්‍රේෂ්ඨ බෝයර් ජාතිය විනාශ කළා. මගේ රට සූරා කෑවා. ​උන් ලංකාවට කොරෙත් ඒකමයි. අපි දුක්විඳිනවා. උන් සැප විඳිනවා. අපිට දැන් සියල්ලම අහිමි වෙලා. මම හෙළුවෙන් ඉන්නේ ඒක ලංකාවේ මිනිසුන්ට තේරුම් කොරන්නයි. සුද්දන්ට විරුද්ධව මගේ හිතේ තියෙන කොරෝදෙ පෙන්වන්නයි.  


එංගල් මෙලෙස ගිනි දවාලේ හම්බන්තොට නිවාස ඉදිරියෙන් තිබූ පටු පාරවල් දිගේ නිතර දෙවේලේ සැරි සැරීම නිසා ප්‍රදේශවාසීන් දිගින් දිගටම එච්.ඊ. අමසේකර මාගම්පත්තු මහ මුදලිතුමාට පැමිණිලි කරන්නට වූහ. ඒ අනුව සමරසේකර මහමුදලිතුමා තම වලව්වට එංගල් ගෙන්වාගෙන මේ පිළිබඳව විමසූ විට මුදලිතුමාට ලැබුණු පිළිතුරද පෙර පරිදි විය. එංගල් ගේ පිළිවෙත වෙනස් කිරීමට ප්‍රයත්න දැරීම නිශ්ඵල විය හැකි බව කල්පනා කළ මුදලිතුමා විසඳුමක් ලබා ගැනීමට උපදිසාපතිතුමා ඉක්මනින්ම හමුවීමට තීරණය කළේය. ඔහු එංගල්ට කතා කරමින් එංගල් තමුන් යට කලිසමක් නැතිව ගෙවල් ඉස්සරහින් යනවට හම්බන්තොට මිනිස්සු කැමැති නැහැ. ඒ නිසා මිනිස්සු ඉන්න දිහාවෙ යන්නෙ නැතිව ඔය ගොන්නොරුව, මීගහජඳුර කැලෑව පැත්තෙ යනව නම් වඩා හොඳයි. කෑමට සතෙක් වෙඩි තියාගන්නත් පුළුවන්. පතොරම් අහවර නම් මට කියාපං. දැනට මේ පතොරම් තුනක් තියාගනිං. හොඳයි. එහෙනම් එංගල්ට බඩගිනිත් ඇතිනේ. කුස්සියට ගිහිල්ලා හුදංචිහාමිට කියාපං. උදේට උයාපු බත් මුවමස් ඇති. මම කියපු දේවල් ඔලුවේ තියාගන්නවා හොඳයි.  


යාල පාලකයා හැටියට පත්වීම  


කල් නොයවා එච්.ඊ. අමරසේකර මහමුදලිඳු හම්බන්තොට උපදිසාපතිතුමන් හමුවී එංගල්ට එරෙහි ප්‍රදේශවාසීන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන ලදුව එවකට (1907) ශ්‍රී ලංකා ආණ්ඩුකාර හෙන්රි බේලක් නියෝග කරන ලද්දේ එංගල්බ්‍රෙක්ට් යාල නේවාසික දඩයම් බිම් රක්ෂිතයේ භාරකරු හැටියට පත් කරන ලෙසයි. පත්වීම් කඩදාසිය හම්බන්තොට උපදිසාපති විසින් නිකුත් කළ අතර එය අමරසේකර මහ මුදලිඳු විසින් එංගල්බ්‍රෙක්ට් වෙත භාර දුනි. හෙටම ගොං කරත්තෙන් බුන්දලට ගොහින් අල්ලිස් ගම්බාර මහත්තයත් හම්බ වෙලා යාලට යනවා. තමුන්ගේ මාසෙ පඩිය ගන්න කරත්තෙන් හම්බන්තොට කච්චේරියට එන්න ඕන. ටික දවසකින් උප දිසාපතිතුමාත් එක්ක මම යාලට එනවා. මහමුදලිතුමා එංගල්ට දැන්විය. පත්වීම් කඩදාසිය අතට ගත් එංගල් ‘මුදලිතුමා මම මේ රස්සාවට කැමතියි. හම්බන්තොට සමහර මිනිස්සුන්ට වඩා වනාන්තර​ෙය ඉන්න සත්තු හොඳයි. ඉතිං මුදලිතුමා දැනට සති දෙකක් වෙලේ ඉඳං මම ඉන්නෙ හිතේ සතුටකින් නොවෙයි.  
ඒ මොකෝ? මුදලිතුමා එංගල්ගෙන් ඇසීය. අර වැල්ල අද්දර රෑ ආප්ප කඩේ අම්මගේ අත්උදව්වට එන තොසානා කෙලී මං එක්ක පංගාත්තුවෙලා හමාරයි. මම ඒකිට මනාපයි, ඒකිත් මට මනාපයි. දැනට සති දෙකක් වෙලේ ඉඳන් මට ඒකිව හම්බ වුණේ නැහැ. ඒකිගෙ කුසේ බාගෙදා මගේ දරුවා පිළිසිඳගෙනත් ඇති. මුදලිතුමාට විතරයි ඒකිව ගෙන්නල දෙන්න පුලුවන්.


එහෙනම් එංගල් උඹ මනමාල පිස්සුවකිං ඉඳල තිබිල තීනවා. හොඳයි එංගල් උඹ දැන් ගොහින් උදෙන්ම ගොංකරත්තෙන් වරෙං. ලෙහෙස්තිවෙලා බුන්දල අල්ලිස් ගම්බාරයක් හම්බවෙලා රාත්තිරි එහේ ඉඳලා යාලට පලයං.. මේ වලව්වෙ වැඩට ඉන්න හුදංචිහාමි එක්ක ගිහින් පෙන්නපං රෑ ආප්ප කඩේ තීන තැන. මම ඒකිව වලව්වට ගෙන්වන්නං හෙට උදේට.


අමරසේකර මහමුදලිඳු හුදංචි හාමිට කතා කොට මේ එංගල් එක්ක ගිහින් එයා පෙන්වන ආප්ප කඩේ වැඩ කොරන තොසානා කෙල්ලට හෙට උදෙන්ම වලව්වට එන්න කියාපන්.... දෙමව්පිය දෙන්නත් එක්කම.  
මුදලිතුමාගේ නියෝග පරිදි සියලුම දෙනා පසුදින උදෙන්ම වලව්වට පැමිණියහ. උඹලා ඉස්සෙල්ලාම මොනව හරි කාලා ඉඳපල්ලා. හුදංචි හාමි ඔවුන්ට සංග්‍රහ කළේය.  


හා.. එංගල් වරෙං... මේ තොසානා ඇවිදින් ඉන්නවා. අම්මා තාත්තාත් ඉන්නවා. කියන්න තියෙන දෙයක් කියාපන්. අමරෙස්කර මුදලිඳු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩිවෙමින් කීය. මුදලි තුමා මේ තොසානාට මම එන්න කීවේ මා එක්ක කරත්තෙන් බුන්දලට යන්න එන්න කියන්න. දවසක් හමාරක් අල්ලිස් ගම්බාරයගේ ගෙදර මා එක්ක ගතකොරාට පස්සේ මම ගම්බාරයට කියලා එයා හම්බන්තොටට ඇරලවන්නම්. තොසානගෙයි මගෙයි සම්බන්ධකම ගැන මුදලිතුමාට මම ඊයේ කිව්වනේ.  


හරි.. හරි.. තොසානෙ. උඹ මොකෝ කියන්නේ. මුදලිතුමා තොසානාගෙන් විමසීය. මම කැමැතියි හාමුදුරුවනේ එංගල් එක්ක යන්න. හ්ම් සියලුම දෙනා... ඉදිරියේ මේ කියන්නේ... එංගල් සහ තොසානා අඹුසැමියන් වගේ හැසිරිලා ගොඩාක් කල්. ඒ නිසා... උඹලා දෙන්නා... විවාහ වූ විදියට මම සලකනවා කියමින් මුදලිතුමා කතාව අවසන් කළේය.  


එදින සවස්වන විට එංගල් සහ තොසානා බුන්දල අල්ලිස් ගම්බාර මහතාගේ නිවසට ගොඩවූ අතර එම නිවසේ අය බොහොම සාදරයෙන් නව යුවළ පිළිගති. යුවළට කාමරයක්ද ලැබුණි. රාත්‍රී දෙකක් තොසානා සමග එම නිවසේ ගතකළ එංගල් නව පණක් ලද්දකු සේ තම ගොන් කරත්තයෙන් යාලට ළඟාවුනි. තොසානාද කරත්තයකින් හම්බන්තොට යැවිණි.  


(මතු සම්බන්ධයි)    

 

යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු විශ්‍රාමික වනජිවී නියෝජ්‍ය අධ්‍යක්ෂ

එඩ්මන්ඩ් විල්සන් විසිනි