2050 දී මිනිසාට ඉලෙක්ට්‍රොනික් සමක්


මේ සටහන කියවන ඔබ අවුරුදු 20 ට අඩු නම්, මේ සටහනට අන්තර්ගත දේවල්  ඔබේ ජීවිත කාලයේ දී දැක ගැනීමට හෝ අත්විඳින්නට හෝ හැකි වේවි. සමහරවිට ඔබට  ‘විද්‍යුත් අමරණීයත්වයට’ පත් වීමට පවා හැකිවේවි. අනාගතයේ දිනෙක ඔබේ අදහස්, සිතුවිලි එසේ්ත් නැතිනම් ඔබේ චින්තනය හා දැක්ම, අත්දැකීම් පරිගණක ගත කර, ගබඩා කර මතු පරම්පරා සඳහා භාවිතයට ගැනීමට හැකි වේවි. 


හෝමෝ ඉරෙක්ටස්, හොමෝ සේපියන් සේපියන් ලෙස පරිණාමය වුණු මිනිසා අනාගතයේ යළි පරිණාමයට ලක් වේවි යැයි පැවැසෙයි. ඒ, නව තාක්ෂණයත් සමඟ මුසු වෙමිනි. අනාගතයේ මිනිසා තවත් පරිණාමය වී, නව මානව විශේෂයක් බිහිවනු ඇති අතර, එම මානවයා හෝමෝ ඔප්ටිමස් යනුවෙන් හැඳින්වීමට හැකිවනු ඇතැයි පැවැසෙයි. මෙම අපූරු අදහස ලොවට ඉදිරිපත් කරන්නේත්, මානව පරිණාමයේ මීළඟ අදියර ‘හෝමෝ ඔප්ටිමස්’ ගැන අදහස් දක්වන්නේත් ආචාර්ය ඉයන් පියර්සන් ය. ආචාර්ය පියර්සන් අනාගතය පිළිබඳ විදු ඇසින් අදහස් දක්වන විද්‍යාඥයෙකි. ඔහු පෙන්වා දෙන අන්දමට, හෝමෝ ඔප්ටිමස්ගේ පහළ වීම, 2050 දී පමණ ආරම්භ වනු ඇත.


අද වනවිට අන්තර් ජාලය අපේ ජීවිතවලට නැතිවම බැරි දෙයක් වී අවසන්. සියලුම එදිනෙදා කටයුතු නිවසින් පිටතට අඩියක්වත් තබන්නේ නැතිව අන්තර් ජාලය ඔස්සේ් කර ගැනීමට හැකියාව ඇත. ආචාර්ය පියර්සන් විශ්වාස කරන්නේ තව අවුරුදු 35 ක් ගත වෙද්දී, මනුෂ්‍යයන් සෘජුවම අන්තර් ජාලය හා බද්ධ වී, අන්තර් ජාලයේ ජීවත් වනු ඇති බවය. නිවෙස්වල ඇති කරන සුරතල් සතුන් සමඟ කතා කිරීමට ද හැකිවනු ඇතැයි පැවැසෙයි. ඒ, මනුෂ්‍ය මොළයට සවි කෙරෙන කුඩා පරිගණක හෝ පරිගණක චිප ඇසුරිනි. පියර්සන් පෙන්වා දෙන අන්දමට මෙය නව පෙරැළියක් වනු ඇත.


බයෝ තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය අනාගතයේ පෙරැළි රැසකට සම්බන්ධ කර ගැනෙයි. ප‍්‍රමාණයෙන් කුඩා වුණත්, බොහෝ දේ කළ හැකි ආකාරයේ මොළයක් මිනිසාට ලැබෙනු ඇත. ඒ අනුව, මිනිස් සිරුරේ ද වෙනස් වීම් සිදුවේවි. ප‍්‍රමාණයෙන් කුඩා සිරුරක් තිබීම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා වාසි දායක වේවි. කුඩා ප‍්‍රමාණයේ මිනිසුන් අභ්‍යවකාශයේ රැගෙන යෑම ද පහසුවක් වේවි. ‘පුංචි සුරංගනාවන්ට වගේ පියාපත් නිර්මාණය කිරීමට හැකිවේවි. ඒ අනුව, සැහැල්ලූ සිරුරකින් ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දීමට මිනිසාට හැකි වේවි’ යැයි ආචාර්ය පියර්සන් පැහැදිලි නර දෙයි.


මිනිසාට පරිගණක සමඟත් නව තාක්ෂණික උපකරණ සමඟත් සම්බන්ධ වීමට මිනිසාගේ සම ‘ඉලෙක්ට්‍රොනික සමක්’ බවට පත් වනු ඇත. මෙය සිදුවන්නේ විද්‍යුත් සංවේදක සමේ සවි කිරීම හරහාය. ඇතැම් ඉතා කුඩා විද්‍යුත් උපාංග සිරුර තුළ ෙසෙල අතරේ තැන්පත් කිරීමට ද හැකිවනු ඇත. මෙවැනි උපාංගවලින් සිරුරේ ක්‍රියාකාරීත්වය පවා වැඩි දියුණු වෙයි. කලවා ප‍්‍රදේශයේ සවි කරන මෙම උපාංගවලින් පාදවල ශක්තිය වැඩි වෙයි. මොළයට සවි කෙරෙන රැහැන් රහිත උපාංගවලින් මනසින් පවා අන්තර් ජාලයට සම්බන්ධ වීමට හැකි වනු ඇත.


මුහුණ ලස්සන කිරීමට ආලේපන භාවිත කිරීම අවශ්‍ය නොවෙයි. මුහුණේ කම්මුල්වල සහ ඇස් යට සවි කෙරෙන උපාංගවලින් සම අව පැහැ ගැන්වීම වෙනස් කරාවි. රැලි වැටීම නැති කරයි. දත් ආරක්ෂා කර ගැනීමටත්, පහසුවෙන් එක් දතක් වෙනුවට තවත් දතක් සවි කර ගැනීමටත් හැකි වේවි. සිරුරේ සෞඛ්‍ය නිසි ලෙස පවත්වාගෙන යෑමටත් රෝගී වීම වැළැක්වීමටත් ෙසෙල අතර තැන්පත් කෙරෙන මෙම උපාංගවලට හැකියාව ලැබෙනු ඇත. දියවැඩියා රෝගියකු නම්, අවශ්‍ය වේලාවට අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ඉන්සියුලීන් සිරුරට ලැබෙන විදියට එම උපාංග සකස් කළ හැකි වේවි.

 


ලූසිත
ඩේලිමේල් ඇසුරිනි