ලෝකයම සැණකෙළි ස්වරූපයක් ගෙන තිබේ.
ගම කෙසේ වෙතත් කොළඹ නගරය නම් උත්සවශ්‍රීයෙන් ඇළලී ඇත.
මේ නව අවුරුද්ද උදාව පිළිගැනීමයි. දැන් දැන් ජනවාරි පළමු වැනි දා අවුරුදු සැමරීමට අපේ ඇත්තන් පුරුදුව සිටිය ද අතීතයේ එවැන්නක් තිබුණේ නැත.
අතීතයේ අප ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග බොහෝ රටවල අවුරුදු උදාව සැමරුවේ සූර්යයා මූලික කරගනිමිනි. සූර්යයා ලෝකයේ සියලු දෙයට අධිපති දෙවියා ලෙස පිළිගත් පැරැන්නෝ සශ්‍රීකත්වයට හේතු වූ සූර්යයාට කෘතගුණ දැක්වීම පිණිස සූර්යය මංගල්‍යයන් මහා ඉහළින් සැමරූහ.
සංස්කෘත බසින් සූර්යයාට කීවේ “අවුර්” යනුවෙනි. “ඉද්ද” යනු කෙළින් යන්නයි. සූර්යයා මුදුන් වන අර්ථය හෙවත් සූර්යයා කෙළින් පිහිටන අර්ථය ඇතිව අවුර්+ඉද්ද යන්න එක්වී අවුරුද්ද යන වචනය බිහිවූ බව පිළිගැනීමයි. එසේනම් අවුරුද්ද යනු සූර්යයා මුදුන් වෙන මාසයයි. අතීතයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරුවේ මාර්තු මාසයේ දී බවත් පසුව එය බක් හෙවත් අප්‍රේල් මාසය දක්වා ක්‍රමිකව වෙනස් වූ බවත් පිළිගැනීමයි. අදට ද සූර්යයා මෙරටට මුදුන් වෙන්නේ මාර්තු 23 වැනිදා සහ ඒ ආසන්න දිනවලදීය.
වී ගොවිතැන ඇතුලු කෘෂිකර්මය මත පදනම් වූ සංස්කෘතියක ජීවත් වූ අතීත වැසියෝ නව අස්වැන්න කපා පාගා ගෙටගත් විට වසර මුළුල්ලේ තමන්ට පිහිට වූ සූර්ය දෙවිඳුන් පිදීම සඳහා පැවැත්වූ අලුත් අවුරුදු මංගල්‍යයට දැවැන්ත සංස්කෘතික අර්ථයක් තිබිණි. එහි විද්‍යාත්මක බව කෙසේ වෙතත් ඔවුහු අහසේ ඇතැයි කල්පනය කළ තරු රටාවන් ඔස්සේ සකසා ගත් රාශි චක්‍රයන් ද එයට අනුගත කළහ. ඒ අනුව සූර්යයා මේ රාශි ඔස්සේ ගමන් කරතැයි විශ්වාස කළ පැරැන්නෝ මේෂ රාශිය රාශි චක්‍රයේ පළමුවැන්න ලෙසත් දොළොස්වැන්න ලෙස මීන රාශියත් සලකා සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණෙන අවස්ථාව නව අවුරුද්දක උදාව ලෙස සැලකූහ. ඒ පෙරදිග පැරැන්නන්ගේ ක්‍රමයයි.
මෙරට වැසියෝ මේ අයුරින් පුරුදුව සිටි අතර නව අවුරුද්ද දින ගණනක උත්සවශ්‍රීයෙන් සැමරූහ.
නව අවුරුද්ද හා බැඳුණු උත්සව සම්බන්ධ ඉතිහාසයක් තිබේ. නව වර්ෂයක උදාව සැමරීම සඳහා උත්සව පැවැත්වීම පිළිබඳ පැරණි වාර්තා හමුවන්නේ බැබිලෝනියා ශිෂ්ටාචාරයෙනි. ඒ ක්‍රිස්තු පූර්ව 4000 තරම් ඈත අතීතයෙනි. ඔවුන් මාර්තු 21 වැනිදා නව අවුරුදු උදාව සමරා ඇත. රෝමානුවන් නව අවුරුදු උදාව මාර්තු මාසයේ සමරා ඇත.
දැන් ශ්‍රී ලාංකිකයෝ ද අලුත් අවුරුද්දක උදාවීම ලෙස සැලකීමට පුරුදුව සිටින්නේ දින දර්ශනයට අනුව වසරේ පළමු දිනය ලෙස සැලකෙන ජනවාරි 01 වැනිදාය. මෙය මෙරට භාවිතයට පැමිණියේ පෘතුගීසීන්ගේ පැමිණීමෙනි.
ලෝකයේ විවිධ වර්ෂ භාවිත කර ඇත. සිංහල බෞද්ධයා භාවිත කළේ බෞද්ධ වර්ෂ ක්‍රමයයි. එමෙන්ම ශක වර්ෂ ක්‍රමය ද මෙරට භාවිතයේ පැවැතිණි. කල්ප වර්ෂ, කලියුග වර්ෂ, ප්‍රහවාදී වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ භාවිතයේ පැවැතිණි. දැන් ලෝකය පුරාම භාවිත වෙන පොදු සම්මතය වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයයි. අපි ද දැන් බුද්ධ වර්ෂයේ සහ ශක වර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂය දක්වා ගමන් කර සිටිමු. ක්‍රිස්තු වර්ෂයට මාස 12කි. මාස 12 දින 28, 29, 30 සහ 31 වශයෙන් බෙදී යයි. මේ මාස දැක්වෙන දින දර්ශනය වන්නේ ගෞරියානු දින දර්ශනයයි.
නව වසරක උදාව ගෙනෙන ජනවාරි මාසය ලෝවැසි සියලුම දෙනා තුළ අපේක්ෂාවන්, අධිෂ්ඨානයන් ප්‍රාර්ථනාවන් හා හැඟීම් ජනිත කරවන්නකි. ඇතැමුන් මෙම දිනය “ජනේරුව” ලෙස සලකයි. පින්ලන්ත භාෂාවෙන් ජනවාරි සඳහා “ ටැමික්කු” යන වචනය භාවිත කරයි. මෙහි නියම අර්ථය “ශිශරයේ දහවල” යන්නයි. චෙක් රාජ්‍යයේ ජනවාරිය “ලේඩන්” යනුවෙන් හඳුන්වන්නේ “අයිස් මාසය” යන අර්ථය ඇතිවය. කොරේෂියන් භාෂාවෙන් කැපීම යන අර්ථය ඇති “සිජේකාන්ජ්” යන වචනය ජනවාරියට භාවිත කරයි.
ක්‍රිස්තු පූර්ව 153 දී රෝමානු සෙනට් සභාව ජනවාරි පළමු වැනිදා නව අවුරුද්දක් ආරම්භ වෙන දිනය මුල් වරට නම් කරන ලදී. එසේ වුවද ජුලියස් සීසර් ක්‍රිස්තු වර්ෂ 46 දී එය සම්මත භාවිතයට ගන්නා තුරු ප්‍රසිද්ධියට පත්වූයේ නැත.
කෙසේ වෙතත් ජනවාරි මාසය හා එහි පළමු දිනය ඇරඹෙන්නේ දේව විශ්වාසයක් මත පදනම්වය. පුරාණ රෝමයේ පළමුව භාවිත වී ඇත්තේ රෝමානු කැලැන්ඩරයයි. එය ක්‍රිස්තු පූර්ව 713 දී පමණ මෙය ගොඩනැගුවේ යැයි සැලකෙන “නියුමා පොම්පීලිය් රජු විසින් සකස් කර ඇතැයි රෝම ඉතිහාස රචකයන්ගේ පිළිගැනීමයි. එම කැලැන්ඩරයට දින 304ක් සහිත මාස 10ක් තිබිණි. එහි පළමු මාසය වූයේ මාර්තුවයි.
ඊජිප්තුව ජයගත් ජුලියස් සීසර් රෝමයට පිවිසීමෙන් පසු “ජානුස්” යන නමින් හඳුන්වන ඉදිරියට හා පිටුපසට මුහුණු දෙකක් සහිත රෝමානු දේවතාවාට විශේෂ ස්ථානයක් දීමට කටයුතු කර ඇත. ඒ අනුව ජුලියස් සීසර් මරණයට පත්වීමට පෙර රෝමානු කැලැන්ඩරය සංශෝධනය කරමින් ජුලියස් නමින් මාසයක් නම්කර ජානුස් දේවතාවාට ගරු කිරීමක් ලෙස රෝමානු කැලැන්ඩරයේ 11 වැනි ස්ථානයේ තිබූ “ජනේරියස්” හෙවත් ජනවාරි මාසය වසරේ පළමු මාසය ලෙස නම් කළේය.
පසුව 13 වැනි ග්‍රෙගරි පාප්තුමා වර්ෂ 1502-1585 කාලයේ සකස් කළ කැලැන්ඩරයේ ද වසරේ මුල් මාසය ලෙස ජනවාරි මාසය පිළිගෙන තිබේ. නූතනයේ එය බොහෝ දෙනා ග්‍රෙගරියානු කැලැන්ඩරය ලෙස හඳුන්වයි. අන්තර්ජාතික පිළිගැනීමට ලක්ව ඇති මෙම කැලැන්ඩරය ක්‍රිස්තු වර්ෂ 1582 පෙබරවාරි 24 වැනි දින පාප්තුමා විසින් නිකුත් කළ ඉන්ටර් ග්‍රැවිසිමස් නමැති ශුද්ධාසන හසුන් පතින් කිතුනු ලෝකයේ භාවිතයට ගැනිනි.
ඒ අනුව මෙරටට මෙම කැලැන්ඩරය භාවිතයට ආවේ පෘතුගීසීන්ගෙනි.
ග්‍රෙගරියානු දින දර්ශනයේ වසරේ පළමු දිනය වන්නේ ජනවාරි 01 වැනිදා ය. මේ ජනවාරි පළමු වැනිදා වර්ෂය ආරම්භ කරමින් සැණකෙළි පැවැත්වීමට ලෝකය පුරුදුව ඇත. එය යුරෝපයෙන් අපිට ලැබුණු පුරුද්දකි.
මෙය උත්සවයක් වෙන්නේ යුරෝපීයයන් බහුතරයක් විසින් ඇදහු කිතුනු දහමේ නත්තල පැරණි අවුරුද්දේ දෙසැම්බර් 25 වැනි දිනට යෙදී තිබීම හේතුවෙනි. එමෙන්ම යුරෝපයේ ශීත ඍතුවේ දරුණුතම කාලය ද මේ දිනවල තිබීම හේතුවෙන් රැකියාවල යෙදෙන බොහෝ දෙනෙකුට නිවාඩු කාලයක් ද ලැබීම උත්සව පැවැත්වීමට අමතර වාසියක් වෙයි.
පැරණි ලාංකීය ජන සමාජය යුරෝපීය ක්‍රමයට පුරුදු වෙද්දී ඔවුන්ගේ නිවාඩු කාල, උත්සව කාල හා ගති ස්වභාවයන් ද අපේ සමාජයට අනුගත වූයේ නිතැතිනි. ඒ නිසාම නත්තල මෙරට කිතුනු බැතිමතුන්ට පමණක් නොව කිතුනු හා යුරෝපීය ක්‍රමයට හැඩ ගැසුණු සිංහල බෞද්ධයන්ට ද අරුමයක් වූයේ නැත. තමන් ඇසුරු කරන ජන සමාජයේ නත්තල මහ ඉහළින් සමරද්දී කුඩා දරුවන් වෙනුවෙන් නිවසේ නත්තල් ගසක් ඉදිකරන්නට බෞද්ධයෝ ද අද පුරුදුව සිටින්නේ එබැවිනි.
කාර්යාලවල වාර්ෂික නිවාඩුවක් ලබාගැනීමේ පහසුකම් පුද්ගලික අංශයේ බොහෝ දෙනෙකුට හිමි වේ. එමෙන්ම වර්ෂාවසානයේ ලැබෙන දිරි දීමනා මුදල් ද රටම උත්සවශ්‍රීයෙන් ඇළලී යාමට හේතුවක් වෙයි.
බෝනස් මුදල් රැගෙන නිවාඩුවක් ද දමා තම දරුමල්ලන් සමඟ සාප්පු සවාරියේ යාමටත් සංචාරයේ යෙදීමටත් ලාංකිකයෝ දැන් පුරුදුව සිටිති. මෙයට අමතරව නත්තලට කිතුනු බැතිමතුන් බහුලව සිටින මීගමුව, මොරටුව වැනි ප්‍රදේශ පමණක් නොව සමස්ත කොළඹ නගරයම අලංකාර ලෙස සැරසිලිවලින් ආලෝකමත් වන්නේ උත්සවශ්‍රීය තීව්‍ර කරමිනි.
ගතවූ වර්ෂයට සමුදෙන්නට දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය වෙනුවෙන් කොළඹ දී පමණක් නොව කොළඹින් පිටත නගරවල ද සාද සංවිධානය වෙන්නේ මහා පරිමාණයෙනි. ඒ වෙනුනේම තම කාලය, මුදල් හා ශ්‍රමය වැය කරන්නෝ ද බොහොමයකි. ෆේස්බුක් හා වෙනත් සමාජජාලා ඔස්සේ ද රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා වැනි මාධ්‍ය ආයතන මගින් ද මේවා මහා පරිමාණයෙන් සංවිධානය වෙයි.
ඇතැම් මූල්‍ය ආයතනවලින් තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් ද මෙවැනි වර්ෂාවසාන සාද සංවිධානය වෙන අතර බොහෝ කාර්යාලවල ද තම නිලධාරීන්, ඔවුන්ගේ පවුල් හා සේවක සේවිකාවන් වෙනුවෙන් වර්ෂාවසාන සාද සංවිධානය කරයි. එමෙන්ම දැන් දැන් සුපිරි පාසල්වල ආදිශිෂ්‍ය සංගම්වලින් ද දෙසැම්බර් 31 රාත්‍රී සාද සංවිධානය කරන ආකාරයක් පෙනෙන්නට තිබේ.
මේ බොහොමයක් සාද මූලික කරගන්නේ මධුවිතයි. ඇති පදමට මධුවිත පානය කර බමන මතින් නැටුම් නටා පැරණි කැලැන්ඩර වර්ෂයට සමුදෙන බොහෝ දෙනකු ජනවාරි පළමුවැනිදා කිසිවක් නොවූ පරිදි යළි සිය වැඩ අරඹයි.
මේ සාදවලට තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියෝ ද සහභාගී වෙන අතර එයට ස්ත්‍රී පුරුෂ බේදයක් ද නැත. තවමත් ගැමි සමාජයට මේ වර්ෂාවසාන සාද පැවැත්වීමේ පුරුද්ද ගමන් කර නැතත් එය නුදුරු අනාගතයේම පැමිණෙනු ඇතැයි සිතන්නට බැරි නැත.
ජනවාරි මාසයේ පළමු වැනිදා බොහෝ නිවෙස්වල කිරිබතක් ඉදෙන්නේ නව අවුරුද්ද පිළිගැනීමටය. කාර්යාලවලද නව අවුරුද්දේ වැඩ ආරම්භ කරන පළමු දිනය ජනවාරි පළමුවැනිදා හෝ දෙවැනි දා හෝ වේවා කිරිබතක් හා කැවිලි පෙවිළි සහිත ආහාර මේසයක් පිළියෙල කරන්නට අමතක කරන්නේ නැත. මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ පුරුද්ද අනුව යාමක්යැයි අනුමාන කළ හැකියි.
අපේ රටේ ද නව වසරක උදාව එලෙස සැමරුව ද බ්‍රසීල ජාතිකයෝ අවුරුද්ද සමරන්නේ තම නිවසට එන අමුත්තන්ට විශේෂ කැවිලි වර්ග පිරිනැමීමෙනි. මෙම දිනයේ දී එළවළුවලින් පිළියෙල කළ සුප් වර්ගවලින් සංග්‍රහ කිරීමත් යේමන්ජා නම් ජලයට අධිපති දෙවියන් පිදීම සඳහා පළමු වැනිදා උදෑසන ඉටිපන්දම් හා විවිධ මල්වලින් සැරසූ කුඩා බෝට්ටු ජලයේ පාකර හැරීමත් බ්‍රසීල ජාතිකයන්ගේ පුරුද්දකි.
අහසට අධිපති මඩර්ක්න් දෙවියන්ට හා සාගරයට අධිපති ටියමැට් දෙවඟනට පුද සත්කාරකරමින් බැබිලෝනියානුවන් ජනවාරි 01 වැනිදා සිට දින 11ක කාලයක් අකිටු නමින් උත්සවයක් පවත්වන්නේ මහත් උද් යෝගයෙනි.
එංගලන්ත වැසියන් තම නිවසට නව වසරේ දී පිරිමින් පැමිණීම සුබ කරුණක් යැයි විශ්වාස කරයි. එමෙන් ම කියුබානුවන්, හංගේරියානුවන් හා ඔස්ට්‍රියානුවන් ද නව වසරේ දී තම කෑම මේසයේ ප්‍රමුඛත්වය දෙන්නේ ඌරුමස්වලින් පිළියෙල කළ ආහාර සඳහා බව සඳහන්. ඔවුන් ඌරා අභිවෘද්ධියේ සංකේතයක් ලෙස සැලකීම මෙයට හේතුවයි.
ඇමෙරිකානුවන් නව වසර සැමරීම ආරම්භ කරන්නේ දෙසැම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී. නිව්යෝර්ක් නගරයේ පිහිටි ටයිම්ස් චතුරශ්‍රය මුදුනේ සිට අඩි 12ක විශ්කම්යකින් යුතු යකඩ ගෝලයක් පහතට හෙළීමෙන් මෙය සිදුකරන්නේ 1907 වර්ෂයේ සිට. නව වසර උදාවේ දී සුදු ගෝවා සහ කළු මෑ ඇට ආහාරයට ගැනීම ඇමෙරිකානුවන්ගේ විශේෂත්වයක්. මේ ආහාර සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස ඔවුන්ගේ පිළිගැනීම වී තිබේ.
ග්‍රීසිය නව වසර උදාවේ දී ප්‍රමුඛත්වය ලබාදෙන්නේ කුඩා දරුවන්ට වීම විශේෂත්වයක්. ජනවාරි පළමුවැනිදා උදෑසනම දිය නා පිරිසිදු වෙන ග්‍රීක ජාතිකයෝ තම දරුවන් අලුත් ඇඳුම් අන්දවා මලින් සරසා ඔවුන් සමඟ පෙරහර පවත්වා දවසම දරුවන්ට කෙළි දෙළෙන් ගතරන්නට ඉඩ කඩ ලබා දෙති.
උදාවන නව මාස 12 සතුටින් ගතකළ හැකි බවට විශ්වාස කරමින් මිදි ගෙඩි 12 ක් දෙසැම්බර් 31 වැනි දා මධ්‍යම රාත්‍රිය අවසන්වීමට පෙර ආහාරයට ගැනීම ස්පාඤ්ඤ ජාතිකයන්ගේ සිරිතක් වී තිබේ.
නෝවේ වැසියන් නව වසර පිළිගන්නේ තමන්ටම ආවේණික ආමන්ඩ් මුසු කළ පුඩිම් ජනවාරි පළමු වැනි දා සැකසීමෙන් ඉන් පසු විවිධ ධාන්‍ය බීජ මෙම පුඩිම තුළට දමා පසුව නිවසේ සියලු සාමාජිකයන් අතර බෙදා ආහාරයට ගැනීම ඔවුන්ගේ සම්ප්‍රදායක්.
ලොව පුරා විවිධ රටවල ජනවාරි පළමු වැනිදා ඒ අයුරින් නව වසරේ උදාව සමරන අතර ශ්‍රී ලාංකිකයෝ වසර දහස් ගණනක් තමන්ට උරුමව පැවැති මහා අවුරුදු මංගල්‍යය ද අප්‍රේල් මාසයේ සමරමින් නව වසරේ උදාව සාද පවත්වමින් සැමරීමට පුරුදුව සිටින ආකාරයක් වර්තමානය වනවිට දක්නට ලැබෙයි.
සජීව විජේවීර