ෂූටින් එපාවුණු ජානකී
හැටේ දශකයේ ශ්‍රී ලංකා තිරයේ බැබළුණු නිළියන් අතර ජීවරාණී කුරුකුලසූරියට හිමිවන්නේ මුල්ම ස්ථානයකි.
ජීවරාණි ඉමහත් ජනප්‍රියත්වය සමඟම සිනමා පුවත්පත්වල ඇගේ නැඟනියන්ටද හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරින් ශිරානි හා ජානකී මුල් තැන ගත්හ. මැණික් ඒ කාලය වන විට කුඩා දැරියකි.
ජීවරාණී මෙන්ම ශිරානි හා ජානකීද විවාහයෙන් පසු සිනමාවෙන් සමුගත්හ. එහෙත් ජීවරාණි විවාහයෙන් පසුද චිත්‍රපට කීපයක රඟපෑවාය.
මැණික් ඒ තුන්දෙනාටත් වඩා චිත්‍රපට ගණනාවක රඟපෑවාය.
ජීවාගේ නැඟණියන් අතරිනුත් ජානකී කුරුකුලසූරිය මතකයේ රැඳෙන්නේ ‘‘අක්කර පහේ’’ තෙරේසා චරිතයෙනි. ජානකී ‘‘බඩුත් එක්ක හොරු’’, ‘‘කතුරු මුවාත්’’, ‘‘මී මැස්සෝ’’ ආදී චිත්‍රපටවල රඟපෑවද එකල ‘‘අක්කර පහ’’ බැලූ බොහෝ ප්‍රේක්‍ෂකයන්ට ජානකීගේ ‘‘තෙරේසා’’ චරිතය අමතක නොවන්නේ එය ප්‍රේක්‍ෂක සිත මහත් සේ කම්පනය කරන බැවිනි.
ගැමි තරුණයකු වූ සේන අධ්‍යාපනය සඳහා මහනුවරට යන අතර බෝඩිමේ සිටි තෙරේසා නම් තරුණියට පෙම් බඳී. ඇය වත්පොහොසත්කම් ඇති පවුලක තරුණියකි.
එහෙත් තෙරේසා වෙනත් කඩවසම් තරුණයකු සමඟ ඔහුට පෙනි පෙනීම අත්වැල් පටලා යන විට සේන කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වූවකු ලෙස බලා සිටී.
මඩවල එස්. රත්නායකගේ ‘‘අක්කර පහ’’ නවකතාව ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්‍ෂණ්‍ය කළ ‘‘අක්කර පහ’’ චිත්‍රපටය හදවත් සසල කළ චිත්‍රපටයකි.
ජානකී පවසන්නේ රඟපෑමේ අවස්ථා ලේසියෙන් ලද නිසාම එහි එතරම් අගයක් ඇයට නොදැනුණ බවයි.
‘‘අපේ තාත්තා (කේ.වී.ඒ. ප්‍රනාන්දු) තරුණ කාලයේ සිනමාවට සම්බන්ධ වෙන්න විශාල කැමැත්තකින් ඉඳලා තියෙනවා. ඒ කාලෙ චිත්‍රපට හැදුණෙ ඉන්දියාවෙ. ඒ නිසා තාත්තා පින්තූර අරගෙන යවලා චිත්‍රපටවල රඟපාන්න උත්සාහ කළත් ගෙදරින් කොහොමටවත් කැමැත්ත දීලා නෑ. ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ රඟපෑම වැදගත් රැකියාවක් නොවන බවයි. තාත්තාගේ සමාජ පසුබිම එසේ වුවත් විවාහ වීමෙන් පසු තාත්තා උත්සාහ කළේ තමන්ගේ දරුවන් සිනමාවට සම්බන්ධ කරන්නයි. ඒ නිසා ජීවක්කාට පුංචි කාලෙ ඉඳලම නැටුම් ඉගැන්නුවා. ඇය නැටුම් ඉගෙන ගත්තේ වජිරා චිත්‍රසේන මහත්මිය, සිරිනේලිස් ගුරුන්නාන්සේගෙන්. ඒ වගේම නාලිනී සමරසිංහගෙන්. ඒ හැරුණු විට තාත්තාගේ යාළුවෙක් වූ සංගීතඥ තිලකසිරි ප්‍රනාන්දු නිතර අපේ පානදුරේ වෑකඩ ගෙදරට ආවා ගියා. ජීවක්කාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා දැනගෙන ඇයව ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට රැගෙන ගියා. ඒ විතරක් නෙමෙයි ජීවක්කා, තිලකසිරි ප්‍රනාන්දු එක්ක ගායනා කළ ‘‘මාලා මනමාලිය වූදා...’’ ගීතය බෙහෙවින් ජනප්‍රිය වුණා. ‘‘නාග ලොවින් ගෙනා බුලත්...’’ ආදී ගීතද ඉතාමත් ජනප්‍රිය වුණා. ඇය ගුවන් විදුලියේ ‘‘ඒ’’ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්.
‘‘දවසක් තාත්තා ජීවක්කා සමඟ ලෙස්ටර් මහතා හමුවෙන්න ගියේ චිත්‍රපටයක චරිතයක් ලබා දෙන්න කියන්නයි. ලෙස්ටර්ට තාත්තාගෙ පැත්තෙන් ඥාති සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒ කාලෙ වෙනකොට ලෙස්ටර් සන්දේශයේ වැඩ හුඟක් ඉවර කරලා. ඒත් තාත්තාගේ කීම අහක දාන්න බැරිකමට ලෙස්ටර් අමුතුවෙන් කුඩා චරිතයක් ලියල අක්කාට රඟපාන්න අවස්ථාව දුන්නා.
‘‘සන්දේශය’’ නිෂ්පාදනය කළේ සිනමාස් සමගම. ‘‘සන්දේශය’’ ප්‍රදර්ශනය කරන විට අක්කාගෙ රඟපෑම් දැකල ‘‘වීර විජය’’ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. ඊට පස්සේ අක්කව ලංකාවෙ ප්‍රථම වර්ණ චිත්‍රපටය ‘‘රන්මුතු දූව’’ට තෝරා ගත්තා. ජීවක්කාගේ රඟපෑම් ජනප්‍රිය වුණා.’’ ජානකී කියයි.
ශිරානිට මුලින්ම රඟපාන්නට ලැබී ඇත්තේ ‘‘රන්මුතු දූව’’ චිත්‍රපටයේ කුඩා චරිතයකි. ජානකීගේ මුල්ම රඟපෑම් ‘‘සෙනෙහස’’ චිත්‍රපටයෙනි.
‘‘මට එතකොට වයස අවුරුදු දහ හතරක් විතර ඇති. මම ගෙදර මිදුලෙ සෙල්ලම් කර කර හිටියා. ජීවක්කාට ‘‘සෙනෙහස’’ චිත්‍රපටයට කතා කර ගන්න ආවා. මාව දැකල ‘‘සෙනෙහස’’ චිත්‍රපටයට ගත්තා. ඒ අක්කාගේ දුව හැටියටයි. ඒ මගෙ මුල්ම චිත්‍රපටය වුණත් තිරගත වුණේ පසුවයි.
‘‘මට ඒ කාලෙ චිත්‍රපටවල රඟපෑම ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. ලොකේෂන් එකට ගිහිල්ලා අධ්‍යක්ෂවරයා කියන එක කරල එනවා. එහෙමනැතුව මම හිතලා රඟපෑවෙ නෑ කවදාවත්...’’
‘‘බඩුත් එක්ක හොරු’’ චිත්‍රපටයට රඟපාන්න ලැබුණෙත් ඒ විධියට...’’
“ජීවක්කාගේ විවාහ මංගල්‍යයේ තිබූ එක් උත්සවයකදීයි. ජීවක්කාගෙ වෙඩින් රිසෙප්ෂන් එකට හුඟ දෙනෙක් ආවා. එතැනදී තමයි ලෙස්ටර් මහතා මාව දැකල තියෙන්නෙ.”
‘‘අක්කර පහේ’’ තෙරේසාගෙ චරිතයෙ මට සාමාන්‍ය ජීවිතයෙ විධිහටයි ඉන්න තිබුණේ. ඒ චරිතයෙත් මට වෙනසක් දැනුණෙ නෑ. මම කියන විධියට කරල ආවා...’’ ජානකී කියයි.
‘‘මිස්ටර් පීරිස් රඟපෑම ගැන මොකුත් කියන්නෙ නෑ. අපිට ඕනෑ විධියට රඟපාන්න ඇරලා ඉන්නවා...’’ ඒ ජානකීගේ ලෙස්ටර් අධ්‍යක්‍ෂණය හඳුනාගෙන ඇති ආකාරයයි.
ජානකීගේම වචනවලින්ම කියතොත් ඇයත් නොදැන ඇය හොඳ රඟපෑමක් ඉදිරිපත් කර ඇත.
‘‘තේරේසාගේ චරිතය සාර්ථකයි කියන්නෙ ඒකයි. නැතුව මම හිතල රඟපෑවා නෙමෙයි.’’
ජානකී නිළියක ලෙස විශාල දුරක් ගියේ නැත. ඒ නිසාම ඇයට කිසිදු සම්මානයක් මෙතෙක් ලැබී නැත. එහෙම ආශාවක්ද ඇයට තිබී නැත. එහෙත් ජීවරාණි ජනප්‍රියම නිළිය ලෙස වාර ගණනාවක්ම සම්මාන ලබා තිබේ.
1981 වසරේ අප්‍රේල් මාසයේදී ජානකී කීවේ ‘‘නිම් වළල්ල’’ පසු කල රූපවාහිනියෙන් නරඹද්දී ඇයට දැනුණේ ඇය එතරම් අවබෝධයකින් එම චරිතය රඟපා නැති බවයි.
‘‘එහි අඩුපාඩු මම දැක්කෙ අවුරුදු ගාණකට පස්සෙයි’’ ඇය කීවාය.
ජානකී සිනමාව අත හැරියේ 1969 දීය.
‘‘මම ඒ තීරණය ගත්තෙ විවාහය නිසා. ඊට අවුරුදු හයකට විතර පස්සෙ. 1975 දී මම උපාලිත් (ජානකීගේ සැමියාගේ නම උපාලි වික්‍රමසිංහ. ඔහු අභාවප්‍රාප්ත වූයේ මීට වසර දහයකට පමණ පෙරදීය) චාමිලා දුවත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. එතකොට (1975 දී) චාමිලා දුවට අවුරුදු තුනයි. අපි එහෙ පදිංචිව හිටියෙ නිව් කාසල්වල. උපාලිත් මමත් ඔස්ට්‍රේලියාවෙදි රැකියාවල නියුතු වුණා. උපාලි සේවය කළේ මෝටර් රථ සමාගමක. අපි අවුරුදු හයක් ඔස්ට්‍රේලියාවේ හිටියා. ඒ අවුරුදු හය තුළදීම සමහර පාළු අවස්ථාවල මම ඇස් දෙක පියාගෙන අපි දැන් ඉන්නෙ ලංකාවෙ කියල හිතන්න උත්සාහ කළා.’
මේ අවුරුදු හයේ කාලය තුළ තමයි මගේ අම්මයි, තාත්තයි දෙන්නම නැති වුණේ. ඒ අවමංගල්‍ය දෙකටම මට එන්න බැරිවුණා. අම්ම අසනීපව ඉන්දෙද්දී නම් මම බලන්න ආවා.
‘‘අම්මයි තාත්තයි නැති වුණා’’ කියල විශ්වාස කරන්න මම මැලි වුණා. ඒත් ලංකාවට ආවම අම්මයි තාත්තයි නැති ගෙදර පාළුව මට තදින්ම දැනුණා.’’
ඇය මෙසේ පැසුවේ 1981 දී ඕස්ට්‍රේලියාවේ වසර හයක් සිට ලංකාවට පැමිණි පසුවය.
‘‘තාත්තාට ඕනා කරල තිබුණේ රඟපෑම වැදගත් රැකියාවක් කියල පෙන්වන්න. අපි රඟපාන කාලෙ තාත්තට හැම කෙනෙක්ම කීවෙ රඟපාන්න දෙන්න එපා කියල. ඒත් තාත්තා කීවෙ ගෑනු ළමයි රඟපාන්න ගියාට නරක් වෙන්නෙ නෑ කියල පෙන්වන්න වුවමනා බවයි’’ ජානකී තාත්තා ගැන යළි සිහි කළාය.
ජානකී සිනමාවෙන් ඉවත් වී දැන් වසර 52 ක් පමණ වෙයි. ඒ 1969 දීය.
1981 දීද ඇය කීවේ යළි සිනමාවට නොඑන බවයි. එදා කීවේ දැන් සිනමාවට නොඑන බවයි. එදා කීවේ දැන් සිනමාවට ආයෙත් එන්න ප්‍රමාද වැඩි බවයි.
කී පරිදිම ඇය සිනමාව යළි ආවේ නැත. දැන් ඇගේ දියණිය විවාහ වී දරුමල්ලන් සමඟ ජීවත් වන්නීය. පසුව ඇය රූපලාවන්‍ය කටයුතුවල නිතර වූවාය.
‘ඕස්ට්‍රේලියාවෙ ඉඳල ආවට පස්සෙ මොනව හරි කරන්න ඕනෑ කියල හිතුණා. රූපලාවන්‍ය කටයුතු, මනාලියන් සැරසීම වගෙ කටයුතු පටන් ගත්තෙ ඒකයි.
‘‘මම ඒ ගැන විශේෂ හැදෑරීමක් කරල නෑ. මම පුංචි කාලෙ ඉඳලම අක්කට කොණ්ඩ මෝස්තර දාන හැටි දැකල තියෙනවා. ඒක මට නිකම්ම පුරුදු වුණා. මෝස්තර ගැන වුණත් එහෙමයි. රඟපෑම වගේම ඒ කටයුතුත් මම නවත්තල දැම්මා. ඒකට හේතු වූයේ කොවිඩ් ආ එකයි.’’
හැටේ දශකයේ මුල් කාලය විජය සිනමාවට ඒමට උත්සාහ දැරූ අතර විසිතුර පත්‍රයට කුමාර කරුණාරත්න ලියූ නවකතාවකට ඇය ඡායාරූප සඳහා පෙනී සිටියේ විජය කුමාරතුංග සමගය.
එකල සීදුවේ සිට කොළඹට දුම්රියෙන් පැමිණෙන විජය පින්තූර කතාවට පෙනී සිට ආපසු සීදුව බලා යන්නේද දුම්රියෙනි.
‘‘ඒ කාලය මතකදැයි’’ මා ජානකීගෙන් ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ ‘‘විජය ඒ කාලෙ ජනප්‍රිය නෑ. ඒත් හරි හොඳයි. ඒ කාලෙ විජයට වැඩිය අපි ජනප්‍රියයි. පස්සෙ කාලෙ තමයි විජය ජනප්‍රිය වුණේ ඒත් නිහතමානීකම අඩු වුණේ නෑ’’ ඇය කීවාය.
ඇය සිනමාවෙන් ඉවත් වුණා කියා පසුතැවීමක් නැත. අද වෙනකම් රඟපෑවා නම් රඟපාන චරිතය ගැන මීට වඩා හිතා රඟපාන්න තිබුණද සිනමාවෙන් ඉවත්වීම ඇය සලකන්නේ නිදහස්වීමක් ලෙසයි.
‘‘ඒ කාලෙ මට ෂූටින් එපාවෙලයි තිබුණෙ. අද කාලෙ වගෙ නෙමයි පැය ගණන් අව්වේ ඉන්න ඕනා. ගෙදර ගියාම හිසරදේ බෑ. එහෙම අව්වෙ පැය ගණන් ඉඳලත් සමහරදාට රාත්‍රියෙත් එළිවෙනකම් ෂූටින්වලට රෑ නිදිමරන්න ඕනෑ. රඟපෑමෙ අගයක් අපට නොදැනුණේ අවස්ථාවල් නිකම්ම ලැබුණු නිසයි.’’
මම මුලින්ම රඟපාන කොට වයස අවුරුදු 14 යි. ‘‘අක්කර පහේ’ රඟපාද්දී අවුරුදු 17 ක් විතර ඇති. ඒ වුණත් මම සිනමාවෙන් අයින් වුණේ මගෙ හොඳම කාලෙ තමයි.’’
කාලය බොහෝ දේ වෙනස් කර තිබේ. ජානකී උත්සාහයකින් තොරව සිනමාවට ආවාය. චිත්‍රපට දහයක පමණ රඟපෑවාය. සිනමාවේ රැඳී සිටියේ වසර කිහිපයකි. යළිත් සිනමාවට එන්න කිසිවිටෙක කල්පනා නොකළාය.
ඇය දැන් ගෙවන්නේ නිදහස් ජීවිතයකි. රූපලාවන්‍ය හා මනාලියන් හැඩ ගැන්වීමේ කටයුතුවලින්ද නිදහස් වී සිටියද සෙලොලොයිඩ් පට මත සිතා බැලීමකින් තොරව ඇය මැවූ චරිත පමණක් තවමත් ඉතිරිව තිබේ. ඒ මතක ඔස්සේ ජානකී ගැන පමණක් නොව තාත්තාගේ ආශිර්වාදයෙන් සිනමාවට පැමිණි ජීවරාණි, ශිරානි මෙන්ම මැණික් ගැනද තව බොහෝ කාලයක් කතා කරනු ඇත.
රොඩ්නි විදානපතිරණ