අකුණු සද්දෙට බය ඒ.එස්.එම්. මහත්තයා


අමුතු ගති ඇති මිනිස්සු​

 

අහස ගොරවන විට හෝ මහ හඬින් අකුණු ගසනවිට කුඩා ළමයි දැඩි ලෙස බියට පත්වෙති. එවැනි අවස්ථාවල දී ඔවුන් බොහෝවිට කරන්නේ අසල සිටින තම වැඩිහිටි ඥාතිවරයෙකුගේ ඇඟේ එල්ලී හඬා වැටීමය. එහෙත් එම ළමුන් ක්‍රමයෙන් ලොකු මහත්වන විට එම ස්වභාවය වියැකී යන්නේ නිරායාසයෙනි.  


කුඩා ළමුන් සියයට අනූනවයක් පමණ පිරිසකගේ ස්වභාවය එසේ වුවද තරුණ හා තලත්තෑනි වියට පත්වීමෙන් පසුව ද අහස ගොරවන විට ළමා කාලයේ දී මෙන් හැසිරෙන පුද්ගලයන් ගැන ද ඉඳහිට හෝ අසන්නට ලැබේ.   


කලකට ඉහත උඩරට දුම්රිය මාර්ගයේ එක්තරා දුම්රිය ස්ථානයක සේවය කළ උපදුම්රිය ස්ථානාධිපතිවරයා එවැන්නෙකි. ඔහු එම දුම්රිය ස්ථානයේ සෙසු සේවකයන් අතර හැඳින්වූයේ රත්නෙ මහත්තයා යනුවෙනි. හෙතෙම අහස ගොරවන විටත් මහ හඬින් අකුණු ගසනවිටත් දැඩි ලෙස බියට පත්වූවේය. එලෙස අනපේක්ෂිත ලෙස අහස ගිගිරුම් දෙන හෝ අකුණු ගසන බොහෝ අවස්ථාවල දී ඔහු කළේ ඒ අසල සිටින කවරෙකු ගේ හෝ ඇඟේ එල්ලී කෑගැසීමය.  


‘‘අහස ගොරවන කොටයි, සද්දෙන් අකුණු ගහන කොටයි මගේ හිතට පොඩි බයක් දැනෙනවා...!’’ ඔහු කියා සිටිය ද රත්නේ මහත්තයා ගැන දන්නා හඳුනන අය කියන්නේ එය එසේ මෙසේ බියක් නොවන බවය.   


‘‘අහස ගොරවන කොටයි, අකුණු ගහන කොටයි විතරක් නෙවී දවසක් අපේ ස්ටේෂන් එක ළඟින් ගියපු ලොරියක ටයර් එකක් පිපිරුණා විතරයි මෙන්න මේ මනුස්සයා ළඟ හිටපු අපේ එස්.එම්. මහත්තයාගෙ බෙල්ලෙ එල්ලුණා. තව ඩිංගෙන් දෙන්නම බිම.....’’   


ඔහු සේවය කළ දුම්රිය ස්ථානයේ සෙසු සේවකයන් එසේ කියන්නේ සිනාසෙමිනි. එම සිද්ධියේ දී එස්.එම්. මහත්තයා කොතරම් කලබල වූවාදැයි කිවහොත් ඔහු පැළඳ සිටි උපැස් යුවළ ද බිම වැටී කුඩුපට්ටම් වී ගියේය. අන්තිමේ දී එහි අලාභය ගෙවීමට ද රත්නෙ මහත්තයාට සිදුවිය.  


ඒ කාලයේ ඔහු ගේ වයස අවුරුදු තිහක් පමණ වුව ද ඒ වනවිටත් හෙතෙම තනිකඩයෙකුව සිටියේය. එහෙයින් උපදුම්රිය ස්ථානාධිපති නිල නිවසේ ඔහු පදිංචිව සිටියේ තනිවමය. ඒ.එස්.එම්. බංගලාව තරමක විශාල එකක් වූයෙන් දුර බැහැර ප්‍රදේශයක සිට පැමිණි පෝටර්වරයෙකු ද එහි නතර කරවා ගෙන සිටියේ ඔහුගේ තනියටය.   
එක්තරා වැසි සහිත දිනයක ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා රාත්‍රී සේවයේ යෙදී සිටිය දී ඔහුගේ නිල නිවසේ සිට ලොකු දුවගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.  
‘‘අනේ තාත්තේ අල්ලපු ගෙදර රත්නෙ අයියා මහ රෑ අපේ ගෙදරට දුවගෙන ඇවිත් සාලේ වාඩිවෙලා ඉන්නවා. අපට නිදාගන්නවත් විදියක් නෑ...’’   
තම වැඩිමහල් දියණියගෙන් ලැබුණු එම දුරකතන ඇමතුමත් සමග ඔහුගේ හිස ගිනි ගත්තේය. එසේ වූයේ එවකට යොවුන් වියේ සිටි තම බාල දියණිය ද එදින විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සිට ගෙදර පැමිණ සිටින බව මතකයට නැගීමෙනි. එසැනින් ඔහු කුඩයක් ද ඉහලාගෙන ගෙදර ගියේය. ඔහු නිවසට යන විටත් සරමකින් හා බැනියමකින් සැරසුණ රත්නේ ආලින්දයේ පුටුවක් මතට වී ගැහි ගැහි බලා සිටින අයුරු දුර තියාම පෙනී ගියේය.  
‘‘මොකෝ රත්නෙ මේ රෑ? අද විජේපාල ගමේ ගිහින්ද?’’   
ඔහු එසේ අසමින් ආලින්දයට ගොඩවදින විටම ඈත අහසේ මහ හඬින් අකුණක් පුපුරා ගියේ හාත්පසම ආලෝකමත් කරමිනි. එසැණින් තම අසුනෙන් නැගී සිටි රත්නේ දොර උළුවස්සට හේත්තුවී ඔහු සමග කතා කරමින් සිටි එස්.එම්. මහත්තයාගේ ඇඹේණියගේ ගෙල බද‌ා ගත්තේ මහ හඬින් කෑගසමිනි. ඒ අසල සිටි ඔහුගේ බාල දියණිය බියට පත්ව මරහඬ තැළුවාය.  


‘‘රත්නෙ තමුසෙට පිස්සුද අයිසේ?’’ යි ඇසූ එස්.එම්. මහත්තයා වහා ඉදිරියට පැන තම බිරිය ඔහුගේ ග්‍රහණයෙන් මුදවා ගත්තේය.   


එසැණින් යළි සිහි එළවාගත් රත්නේ අසුන මත හිඳගෙන ‘‘හා..ස් හා...ස්’’ ගා හති දැම්මේය.  


‘‘පස්සෙ බලන කොට මේ හාදයා මහ වැස්සේ අපේ ගෙදරට දුවගෙන ඇවිත් තියෙන්නේ අහස ගොරවනවට බයේ. එදා විජේපාල ඉඳලත් නෑ. ඉතින් හොඳ වෙලාවට ලොකු දුව කෝල් කරලා මට කිව්වෙ. නැත්තං මහ ගිනි විජ්ජුම්බරයක් සිද්ධ වෙන්න තිබුණේ’’  


පසුදා එම සිද්ධිය තම කාර්ය මණ්ඩලය සමග කී එස්.එම්. මහත්තයා වැඩිදුරටත් සඳහන් කළේ පසුව කෝපි කෝප්පයක් ද බොන්නට දී මිනිහා තමන් විසින්ම ඒ.එස්.එම්. බංගලාවට ඇරලූ බවය.  


පසුදා සවස් වරුවේ බිස්කට් පැකට් එකක් ද රැගෙන එස්.එම්. බංගලාවට ගිය රත්නේ ‘‘අනේ මිසිස් ගුණතිලක ඊයේ රෑ වෙච්ච සිද්ධිය ගැන අහිතක් හිතන්න එපා. අහස ගොරවන කොට මගේ හිතට ලොකු බයක් දැනෙනවා. ඒකයි මම මෙහාට දුවගෙන ආවේ’’ යි කියමින් මගින් මගට සමාව ගෙන තිබුණේය.  
‘‘මිනිහා අහස ​ගොරවන කොට ඇස්දෙක පියාගන්න හැටි දකලා අපේ දූල දෙන්නටත් හරි හිනා...’’   
එස්.එම්. මහත්තයා එසේ කියා තිබුණේ රත්නේ ළඟ පාතක ඇද්දැයි විමසිල්ලෙන් වටපිට බලමිනි.  
තවත් දවසක බදුල්ලේ සිට පැමිණෙන ශීඝ්‍රගාමී දුම්රියකට ටැබ්ලට් එක ලබාදීමේ රාජකාරිය පැවරී තිබුණේ රත්නේ මහත්තයාටය. වෙනද‌ා එම කාර්යය ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ ද එදින ඔහු අත්‍යවශ්‍ය කරුණක් සඳහා නිවාඩු ලබා තිබුණේ දුම්රිය ස්ථානයේ සියලුම රාජකාරි කටයුතු රත්නෙ මහත්තයා වෙත පවරමිනි.  
ඒ අනුව ඔහු සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී, ඈත සිට නළාව හඬවමින් එන ශීඝ්‍රගාමී දුම්රියට ටැබ්ලට් එක දීම සඳහා සූදානම් වී බලා සිටියේය. ඒ මොහොතේ අහසේ වැහි වළාවක සලකුණකුදු නොතිබුණත් අනපේක්ෂිත ලෙස අහසේ අකුණක් පුපුරා ගියේ මුළු පළාතම දෙවනත් කරමිනි.  


එම අනපේක්ෂිත සිද්ධියෙන් බියට පත් රත්නෙ මහත්තයා තමන් අත තිබූ ටැබ්ලට් එක ද බිම දමා පැන ගොස් තිබුණේය.  


ඒ සැරේ කෝච්චියේ ඇන්ජින් ඩ්‍රැයිවර් මහත්තයා කෝච්චිය ඈතින් නතර කරල ඇවිල්ලයි ටැබ්ලට් එක අරගෙන ගියේයි කී පෝටර්වරයෙකු පසුද‌ා සේවයට පැමිණි ලොක්කාට එම සිද්ධිය විස්තර කළේ අතින් පයින් පවා රඟ දක්වමිනි.  


රත්නෙ මහත්තයා දකුණු පළාතේ කෙනෙකු වූයෙන් මසකට වරක් තම මෑණියන් දැකීම සඳහා ගාල්ලට යාමට පුරුදු වී සිටියේය.  


‘‘මම ගමේ යනකොට නගින්නෙම ගාඩ් වැගන් එකටමයි...  


මොකද උඩරට ලයින් එකේ වගේම මුහුදුබඩ ලයින් එකේ වැඩ කරන හැම ගාඩ් මහත්තයෙක්ම වගේ මගේ මේ දුර්වලකම දන්නවා...’’  


ඔහු එසේ කියන්නේ තමන්ට සුව පහසු ලෙස ගමන් කිරීමට දෙවැනි පන්තියේ රාජකාරි වාර ප්‍රවේශ පත්‍රයක් තිබියදීත් නියාමක මැදිරියේ බංකුවක් මත හිඳ ගෙන යාමට මුල් වී ඇති හේතු සාධක පැහැදිලි කරමිනි.  


ඔහුම සඳහන් කරන අන්දමට මුල් කාලයේ තම රාජකාරි වාර ප්‍රවේශපත්‍රය යොදා ගනිමින් දෙවැනි පන්තියේ සුව පහසු ලෙස ගමන් කළ රත්නෙ මහත්තයා එවැනි අමිහිරි සිදුවීම්වලට කොතෙකුත් මුහුණ පා තිබුණේය.


වරක් ඔහු අලුත විවාහ වූ හැඩි දැඩි තරුණයෙකුගෙන් සැර කනේ පාරක් කා තිබුණේ අහසේ පුපුරා ගිය අකුණකට බියෙන් ඒ අසල සිටි එම තරුණයාගේ රූබර මනාලිය බදා ගැනීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.  


‘‘අනේ මේ මහත්තයා අහස ගොරවන කොටයි. අකුණු ගහන කොටයි හරි බයයි. ඒකයි මේ නෝනා බද‌ාගෙන තියෙන්නේ’’ යි කියමින් ඒ අසල සිටි දුම්රිය සේවකයෙකු විසින් ඔහු බේරා නොගන්නට එම තරුණයාගෙන් රත්නෙ මහත්තයාට බඩ පුරා ගුටිකෑමට ඉඩ තිබුණේය.  


තවත් දිනයක ඔහු මෙලෙස ගාලු දුම්රිය පොළේ දී රූමත් පාසල් සිසුවියකගේ ද ගෙල බදාගෙන තිබුණේ ධර්මපාල උද්‍යානයේ රූස්ස ගස්වල අතුපතර වසා සිටි කපුටන් එළවීම සඳහා උද්‍යාන සේවකයන් විසින් දල්වනලද බට්ටො රතිඤ්ඤා වැලකින් නැගුණු හඬකට බියවීමෙනි.  


එදින රත්නෙ මහත්තයාට ගුටිකෑමට සිදු වී තිබුණේ ඒ අසල සිටි කුඩා පාසල් සිසුන් පිරිසකගෙන්වීම විශේෂත්වයක් විය.  


‘‘හැබැයි ඉතින් ඒ සිද්ධියෙනුත් මට එක හොඳක් වුණා’’ යි කියමින් සිනාසෙන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇය පසුව තමන්​ෙග් ප්‍රේමවන්තිය වූ බවය.  
ඊට වසරකට හෝ දෙකකට පසු පාසල් ගුරුවරියක ලෙස පත්වීමක් ලැබූ එම තරුණිය කුමන හේතුවක් නිසාවත් වැසි දිනවල දී තම පෙම්වතා හමුනොවීමට තරයේ වගබලා ගෙන තිබුණාය.  


‘‘කියන්න බැහැනේ මේ මනුස්සයා මහ සෙනඟක් මැද්දේ මාව බදා ගත්තොත් එහෙම වස ලැජ්ජාවක්නේ’’ යි කියමින් සිනාසෙන ඇයට මේ වන විට ඇති වී තිබෙන සැක සංකාව වී ඇත්තේ තමන්​ෙග් විවාහ මංගල්‍යය ද‌ා පෝරු මස්තකයේ සිටිය දී අහස ​ගොරවන හඬක් ඇසුනහොත් උද්ගතවන තත්ත්වය ගැනය.  


විශේෂයෙන්ම ඇයට එවැනි සැකයක් හටගෙන ඇත්තේ රත්නේ ගාල​්ලේ මහ රෝහලේ දන්ත චිකිත්සාගාරයේ දතක් ගලවා ගැනීමට ගොස් සිටිය දී දත ගලවමින් සිටි රූමත් වෛද්‍යවරිය බදාගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන සැලවීමෙන් පසුවය.  

 


නිහාල් ජගත්චන්ද්‍ර