අතිශයින් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩ රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බළකොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවැනි විමලධර්මසූරිය රජු විසින් මහනුවර රාජ්‍ය පිහිටුවූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වැනිදා ත්‍රී සිංහලයේ අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසීන්ට හසුවීමෙනි. උඩරට රාජ්‍ය සමය වනවිට මෙතෙක් ලංකාවේ නොතිබූ රාජ්‍ය පරම්පරාවක් ස්ථාපිත වන අතර රජුගේ ප්‍රසාදය දිනා ගනිමින් බලය හා වස්තුව වෙනුවෙන් සටන් කළ නව රදල පැලැන්තිය හා වඩුග නායක්කාර වංශිකයින්ගේ කුලල් කා ගැනීම සිංහල රජ සමය අවසන් වීමට හේතු විය. එම රාජාවලිය අවසානයත් ඉංග්‍රීසීන්ගේ යටත් විජිත යුගයේ ආරම්භයත් ඉන් පසුව සිදු වූ දේශපාලන ආගමික හා සංස්කෘතික පෙරළියත් නිහඬව නිසසලව දරාගෙන බලා සිටින නිසල බවේ සංකේතාත්මක භූමිය වන්නේ මහ මළුවයි.
මහනුවර උඩරට රාජ්‍යයේ ශ්‍රී දළදා මාළිගාවේ ඉදිරිපිට දුල්ලෑව වළව්ව (වත්මන් රැජින හෝටලය) තෙක් වූ හතරැස් බිම් තීරය දුක, කඳුළ, වේදනාව පමණක් නොව සොම්නස, සතුට, ජයග්‍රහණය දරා ගනිමින් අපේ ඉතිහාසය අපට කියා දෙන මහා ග්‍රන්ථයක් වැනිය. සකල ලෝක වාසී ජනතාවගේම ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුව ශ්‍රී වාම දළදා වහන්සේ අද වැඩ සිටිනුයේ මහමළුව ඉදිරිපිට වූ ශ්‍රී දළදා මන්දිරයේය. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කලිගු රටේ කලිගු රජුට ලැබුණු වාම දළදා වහන්සේ ඔහුට මුහුණ පාන්නට වූ අර්බුදකාරී අවස්ථාවක එම රජුගේ උපදෙස් පිට කිත්සිරිමෙවන් රජුගේ කාලයේදී (රා.ව. 301-328) ලංකාවේ කොට්ටියාර් පත්තුවේ (ත්‍රිකුණාමලය) ඉලංකතුරේට (ලංකා පට්ටනය) වඩමවා ගොඩ බැස අනුරාධපුරයේ ධම්ම චක්ක විහාරයේ සාදන ලද දළදා මාලිගයේ තැන්පත් කරන ලදහ. මෙතෙක් මාලිගා රජවරුන් උදෙසා පමණක් ඉදි වූ අතර ආගමික මධ්‍යස්ථාන, පන්නශාලා (පන්සල), වෙහෙරේ (විහාරය) නමින් හැඳින් වූහ. අසපු ආරාම යනුවෙන් ද හැඳින්විය. එහෙත් දන්ත ධාතුන් වහන්සේ සඳහා ඉදි වූයේ පන්සල් ආරාම නොව මාළිගාය. එතෙක් ත්‍රී සිංහලයේ රාජ්‍ය සංකේතය ලෙස ස්ථාපිත වූයේ ශී මහා බෝධීන් වහන්සේය. දළදා වහන්සේ වැඩම වීමෙන් මාළිගා ඉදි වී අනුරාධපුර, පොළෙන්නරු, දඹදෙණි, යාපහු, කුරුණෑගල යුග පසු කර, ගම්පල යුගයේදී නියම් ගම්පාය විහාරස්ථානයේ තාවකාලිකව තැන්පත් වූ දළදා වහන්සේ කෝට්ටේ යුගයෙන් පසු ධර්මපාල රජුගේ කාලයේ දෙල්ගමු විහාරයේ ආරක්ෂාව පිණිස කුරහන් ගලක සඟවා මහනුවර පළමු වන විමලධර්මසූරිය රජු කළ (ක්‍රි.ව. 1992-1604) කාලයේ මහනුවර ඉදිකර ශ්‍රී දළදා මාළිගයේ වඩා හිඳුවන ලදී. මේ කාලයේ දළදා මාළිගාවේ පත්තිරුප්පුව නොතිබූ අතර, මහජනතාවට දළදා මාළිගාවට යාමට අවසර නොතිබිණි. එය රාජ්‍ය ආරක්ෂාව යටතේ තැන්පත් කර තිබූ බැවිනි. එබැවින් මහජනතාව මහ මළුවේ සිට ඈතින් පෙනෙන දළදා මන්දිරයේ වැඩ වසන දළදා වහන්සේ වැඳ පුදා ගත්හ.
ක්‍රි.ව. 1603 දී උඩරට ආක්‍රමණය කළ පෘතුගීසීන් සෙංකඩගල මහමළුවට පැමිණි අතර, එහිදී ඔවුහු ශ්‍රී දළදා මාළිගාව ගිනි තබා විනාශ කළහ. ඒ සෙනරත් රජතුමාගේ කාලයේදීය (1604-1635). මේ කාලයේ දළදා වහන්සේ මැද මහනුවරට වැඩමවා නැවත දෙවැනි රාජසිංහ රජු කාලයේ (1635-1687) නැවත දෙමහල් මන්දිරයක් තනවා එහි වඩා හිඳුවන ලදී. ත්‍රී සිංහලයේ අන්තිම සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) නැවත දළදා මැදුර ප්‍රතිසංස්කරණය කර ඇත. ශ්‍රී ලාංකිකයින් බොහෝ විට කෲර රජෙකු ලෙස පෙන්වා දෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නිර්මාණාත්මක කළාකරුවෙකු විය. එහෙත් ඔහු කෲර රජෙකු බවට පත් වූවේ හෝ පත් කළෝ අපේම රදළවරුමය. එදා ‘ටිගොල් යාය’ නම් වූ මදුරුවන් පිරි භූමි භාගය අලංකාර වැව් කොමලියක් බවට පත් කළේත්, තම පෞද්ගලික දේපලක් ලෙස පත්තිරිප්පුව දේවේන්ද්‍ර මූලාචාරියා ලවා කර වූයේන් ඔහුගේ කලාකාමී බව නිසාය. එම කලාංග දෙකම අද මහනුවරට ගෙන දෙන්නේ අපූර්වම සුන්දරත්වයකි. තමන් හමුවට එන මහජනතාවට රැඳී සිටීමට මහ මළුව සංවර්ධනය කළ රජතුමා නුවර පෙරහර බැලීමට හා මහජනතාව ඇමැතීමට මහ මළුවට සෙනඟ රැස් කළේය. දෙමළින් ‘පාතඉරිප්පු’ (ඇවිත් බලන්න) නම් අටපට්ටම ආකාරයේ මන්දිරය ඉදිකළේ 1811 දීය. මුල් කාලයේ මහ මළුව පත්තිනි දේවාලය අතරින් ගිය ඇත් වීදිය ඔස්සේ දේව සංහිදට සම්බන්ධව තිබුණි. දේව සංහිද අසල අලකොල මඩිත්ත නම් වූ වගුරු බිමක් වූ අතර ඇහැලේපොළ කුමාරි හාමි දරුවන් කෙටවූ වංගෙඩිය විසි කළේ එම වගුරු බිමටය. පසු කාලයේ ඉංග්‍රීසි රජය විසින් එම බිම ගොඩකර, ශාන්ත පාවුළු වෙනුවෙන් පල්ලියක් ඉදිකළහ. ඒ සමගම මිෂනාරි අධ්‍යාපනය වෙනුවෙන් ශාන්ත පාවුල් විද්‍යාලය පසුකාලීනව ඉදි කළේ මහනුවර දළදා මාළිගාව පෙනි පෙනීය. 2000 දශකයේ මුල් භාගයේදී සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ එම විද්‍යාලය එතැනින් ඉවත් කළ අතර ඒ වෙනුවට අස්ගිරි විහාර පරිශ්‍රයේ වාරියපොල ශ්‍රී සුමංගල නමින් විද්‍යාලයක් ඉදි කළේය.
ත්‍රී සිංහලයේ අවසන් රජු සමයේ පිළිමතලව්ව වලව්ව (වත්මන් ජනාධිපති මැදුර) ඉදිරිපස පැරණි දේවාල වීදිය තිබූ අතර මාළිගා වීදියක් නොතිබිණ. එම හිස් භූමිය ද මහ මළුවට යා විණ. සර් එඩ්වඩ් බාන්ස් ආණ්‍ඩුකාර කාලයේදී ශාන්ත පාවුල් දේවස්ථානය අසලින් වැව දෙසට යාමට ශ්‍රී දළදා වීදිය දක්වා මාර්ගයක් ඉදිවිණි. ඒ දේව මෙහෙයන් සඳහාත් මියගිය ඉංග්‍රීසි ජාතීන්ගේ ආගමික කටයුතු සඳහා ගැරිසන් සොහොනට යාම පිණිසත් සාන්ත පාවුල් දේවාලයට පැමිණීමේ පහසුවත් සඳහාය. මේ නිසා මහ මළුව දෙකට බෙදිණ. එහි කුඩා කොටස (රැජින හෝටලය දෙසට) වූ කොටස මල් උයනක් වූ අතර එය ෆිනික්ස් උයන ලෙස නම් ලැබීය. ශ්‍රී වික්‍රම රජ සමයේ මාළිගාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ඇරවුවාවල නිලමේ විසින් ධර්ම ශාලාවක් ඉදිකර තිබී ඇත. එය පෙරහර නැරඹීමට එන ජනතාවට පහසුවක් විය. දුල්ලෑව වලව්ව (රැජින හෝටලය) ඉදිරිපිට මහ මළුවට ඇතුළු වීමට කොරවාහල්කඩක් එකල තිබූ අතර, අද එතැන නව වහල්කඩක් ඉදිවී ඇත.
ක්‍රි.ව. 1828 මැයි මාසය උදා වන්නේ වෙසක් පුන් පෝයද සමගය. මෙකල ආණ්‍ඩුකාර එඩ්වඩ් බාන්ස් සාන්ත පාවුල් පල්ලියට සමාන්තරව පිහිටා ඇති ශ්‍රී දළදා මාළිගයේ වැඩ වසන දළදා වහන්සේ අානුභාවය පරීක්ෂා කර බැලීම සඳහා ශ්‍රී දළදා වහන්සේ මහ මළුවට වැඩම කර වීම නිසා ඇතිවූයේ මහා ගංවතුරකි. කන්ද උඩරට බිම්පෙත් වසා ගිගුම් දී වට වැස්සෙන් මහනුවරද මහ මළුව ද පිරී ඉතිරී යෑමට විය. මෙම ගංවතුර ‘දළදා වතුර’ ලෙස පසුව හැඳින්විණ. මේ කතාව දළදා වතුර ග්‍රන්ථයක්ව ඉතිහාසයට එකතු විය. 16, 17 සියවස්වලදී මහනුවර ආක්‍රමණය සඳහා පෘතුගීසින් හා ලන්දේසින් පැමිණි අතර ඔවුන් කිසි ගරුසරුවක් නොමැතිව මහ මළුවේ කූඩාරම් ඉදි කළේ බලහත්කාරයෙනි. ඒ කාලයේ කිරි මුහුද එතැන නොතිබූ අතර තිබුණේ ටිගේල් යාය පමණි. මෙසේ ආ විදේශ හමුදා අතර 1805 දී මහනුවර ආක්‍රමණය පැමිණි මේජර් ඩේවිගේ හමුදාව සෙංකඩගල රාජ්‍ය විනාශ කිරීමේ අරමුණින් මහ මළුවේ කූඩාරම් ඉදි කළ අතර මේ වනවිට නගර වැසියෝ නගරයෙන් පිටව ගොස් සිටියහ. එදා කළහකාරී ලෙස හැසිරුණු ඩේවිගේ පිරිස මහ වරුෂාවකට මුහුණ දුන්හ. ඒ අවස්ථාවේ උඩරැටියන් කළ ප්‍රහාරයෙන් පැරද පලා යන විට නැවත ලේවැල්ලේදී සිංහල හමුදාවේ ප්‍රහාරයකට ලක්ව බොහෝ දෙනෙකු මිය ගියහ.
1815 දී උඩරට රදළවරුන්ගේ හා ඉංග්‍රීසි අධිපතියන්ගේ කුමන්ත්‍රණ හමුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් විය. 1815 මාර්තු 02 දා ත්‍රී සිංහලය ඉංග්‍රීසින්ට පවරා දීමේ ඓතිහාසික කන්ද උඩරට ගිවිසුම ඩොයිලිගේ මගපෙන්වීම මත මගුල් මඩුවේ අත්සන් තැබීමට නියමිතව තිබිණි. මේ අවස්ථාවේ ඉංග්‍රීසි හමුදාව අවි දරා මහ මළුවේ රැඳී සිටියහ. දහසක් දෙනාගේ ශෝකී දෙනෙත් හමුවේ ඉංග්‍රීසින්ගේ කතිර කොඩිය මහ මළුවේ ලෙල දුන් අතර එය දුටු ජාතික හැඟීමෙන් යුතු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් වහා ඉදිරියට පැමිණ ඉංග්‍රීසින්ගේ කතිර කොඩිය කඩා බිම දමා පාගා ‘ගිවිසුම අත්සන් කිරීමට තව කල් තියෙනවා. එතෙක් බලය අපටයි.’ පවසා අභිත විරුවෙකු සේ අපේ සිංහ කොඩිය මහ මළුවේ ඔසවනු ලැබීය. මේ දැනගත් ජෝන් ඩොයිලි මහ මළුවට පැමිණ සුමංගල හිමිගෙන් සමාව ඉල්ලා ඇත. ත්‍රී සිංහලයේ රාජ්‍ය අවසානයෙන් පසුව උදා වනුයේ ඉංග්‍රීසින්ගේ අධිරාජ්‍යවාදී පාලන සමයයි. සිංහල ජනතාවට වඩාත්ම උඩරට ජනතාවට මහා පීඩාකාරී අවධියක් උදා විය. බල ලෝභී රදලවරුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඉංග්‍රීසින් ගෙන ගිය පාලනයට විරුද්ධව එදා සිංහලයේ රාජාවලිය අවසන් කිරීමට සහාය දුන් අයම විරුද්ධ වූහ. රට තුළ විශාල කැරලි කෝලාහල ඇති විය. එයින් ප්‍රමුඛ කැරැල්ල වූයේ කැප්පෙටිපොළ මහ නිලමේ විසින් ඇති කළ ඌව වෙල්ලස්ස මහ කැරැල්ලයි.
තමාගේ යටත් විජිතයක් වූ ලංකාවේ සංචාරය සඳහා එංගලන්තයේ හත්වැනි එඩ්වඩ් රජුගේ නාමයෙන් කිරුළ පැලඳි වේල්ස් කුමාරයා ලංකාවට පැමිණෙන බව 1875 දී දන්වා තිබිණි. ‘වත්මන් චාල්ස් කුමරුගේ’ සීයා මේ හේතුව නිසා ඉංග්‍රීසීහු රාජසිංහ රජු විසින් අඩක් නිම කර තිබූ මහනුවර වැව වත්මන් ස්ථානය දක්වා විශාල කර වලාකුළු බැම්ම ද අවසන් කළේ හිරකරුවන් යොදවමිනි. 1840 දී පල්ලේදෙණිය වැව හෙවත් බෝගම්බර වැව කඩා හිස් කරන අතර එය එදා වත්මන් බෝගම්බර පිට්ටනිය, ඔර්ලෝසු කණුව, මධ්‍යම වෙළෙඳපොළ, මහනුවර මහජන බැංකු හා යටිනුවර වීදිය (පල්ලේදෙණිය) වීදිය දක්වා විහිදී තිබූ බව කියැවේ. ඇහැලේපොළ දේවිය ගිල්වනු ලැබුවේ දැනට දළදා වීදියේ පිහිටි කොඩිතුවක්කු ගොඩනැගිල්ල අසල බව සැක කෙරේ. මෙම සංවර්ධන ව්‍යාපෘති වේල්ස් කුමාරයා අතින් විවෘත වන අතර එම ගමන සිහිපත් කිරීම සඳහා ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මගින් මහ මළුව හා වෝඩ් මාර්ගය අතරමග, මුලාදෑනි මන්දිරය ඉදිරිපිට 1875 දී වතුර මලක් ඉදි කළේය. එමෙන්ම මහනුවර වැවට ඉහළින් වූ කඳු ගැටය දර්ශනීය මල් වත්තක් කළ ඔවුහු එය ‘වේල්ස් පාක්’ යනුවෙන් නම් කළහ. එය අද ‘වෙස් පාක්’ නමින් පෙම්වතුන්ගේ පෙම් තොටිල්ල බවට පත්ව තිබේ.
මතු සම්බන්ධයි...
බටුගොඩ
එම්.එස්. රණතුංග (කලාභූෂණ)