අතුරුපස


තිතට මත නොහොත් බේබදු හිනා   


කලකින් හමු වූ මිතුරන් දෙදෙනෙක් බාර් එක තුළ දී මිතුදම් අලුත් කරගෙන මාර්ගයට අවතීර්ණ වූහ.  
‘මච්චාං..... උ..උඹට වැඩියි! එක් අයෙක් කීවේ හරහට අඩි තබමිනි.   
‘පිස්සුද බං...? මං පදමටයි බොන්නෙ’ අනෙකා කීවේය.   
‘කොහොම ද පදම දැන ගන්නෙ?   
‘ආං අර ලයිට් කණුව ළඟ දෙන්නෙක් ඉන්නවා නේද? යම් වෙලාවක උන් හතර දෙනා වෙලා පෙනුණොත් මම දන්නවා.... පදම වැඩියි’  
‘ඉතින් එතන එක්කෙනානේ ඉන්නේ’  
..................  


විසි අටේ වයස්ගත මිනිහා   


මාධ්‍යවේදියා තම කුතුහලය ඇවිස්සු වයස්ගත මිනිසා කතාවට අල්ලා ගත්තේය.   
‘මට කියන්න. ඔබතුමා මේ තරම් කලක් ජීවත්වීමේ රහස මොකක්ද?   
‘අයිසේ මම අඩි ගැහුවා. සිගරට් බිව්වා. කුඩු ගැහුවා. ඔය සේරම කළා.   
‘පුදුමයි දැන් කීය ද ඔබතුමාගේ වයස’  
‘විසි අටයි’  
...............  


ඉරහඳ සොයා ගැනීම 

 
කකුළු ගමනින් පැමිණි බේබද්දා ඉදිරියට පැමිණි මඟියකුගෙන් මෙසේ ඇසීය.   
‘ෂනා! අ....අර පේන්නෙ ඉරද..... නැත්නම් හඳද?   
තවත් බේබද්දකු වූ මඟියා අහස දෙස බලා කාරුණිකව පිළිතුරු දුනි.   
‘අනේ සොරි. මං මේ පළාතෙ කෙනෙක් නෙවෙයි.   
.................  


ස්ටේෂමට ඇරලවන්න ආ මිනිස්සු 

 
බීමත් මිතුරන් තිදෙනෙක් දුම්රිය ස්ථානයට පැමිණියේ අන්තිම මොහොතේදීය. ඔවුන් වේදිකාවට පැමිණෙනු සමගම දුම්රිය ගමනාරම්භ කළේය. තිදෙනාම ඒ පසුපස දිවගිය මුත් එල්ලීගත හැකි වූයේ දෙදෙනකුට පමණි.   
ඈත්ව යන දුම්රිය දෙස බලා සිටි අනෙකා උඩ පැන පැන සිනාසෙන්නට විය. මේ දුටු වේදිකාවේ සිටි මඟියෙක් ඔහු අසලට පැමිණ කතා කළේය.   
‘මට තේරුම් ගන්න බෑ ඔහේ ඇයි හිනාවෙන්නේ කියලා. කෝච්චිය මිස්වෙලා තියෙද්දිත්?   
‘ඇත්ත මට කෝච්චිය වැරදුණා’ තවමත් සිනහව නවත්වාගෙත නොහැකිව ඔහු පිළිතුරු දුනි. ‘ඒ වුණාට අරුන් දෙන්න ආවේ මාව ස්ටේෂන් එකට ඇරලන්නනෙ.’  
.............  


මම තාම බාර් එකේ   


තැබෑරුම් හිමියා රාත්‍රි ආහාරයෙන් පසුව නින්දට සැරසුණා පමණි. දුරකථනය නාදවන්නට විය.  
‘මේ ඔය කතා කරන්නේ බාර් එක අයිති මහත්තය ද?’   
‘ඔව්...ඔව්... කවුද මේ රෑ?’  
‘සර්... බාර් එක අරින්නේ කීයට ද?’   
‘දහයටනේ?’   
‘ටිකක් කළින් අරින්න බැරිද?   
‘හලෝ බේබදුකම තිබුණට ඉවසනවා. බාර් එක අරින්නේ දහයට.   
‘නෑ. මට බාර් එකෙන් එළියට යන්නයි ඕනෑ. මම ඇතුළෙ ඉද්දිම මේක වහලා.’   
............  


අද ඒ යකා බීලා නෑ

   
සඳ නියපොත්තක් මෙන් අහසේ දිස්වූ ඒ වෙලාවේ ඇනෝෆිල්ස් සිය බිරිය ඇමතීය.   
‘සුදා මං අඩියක් ගහලා එන්නම්. දැන් හොඳයි වෙලාව. කට්ටිය කොයිල් පත්තු කරගෙන සැපට නිදි ඇති.’   
‘ඕකනෙ නරක පුරුද්ද. කිව්වට අහන්නෙ නෑ. අර සැරයක් වගේ කොයිල් එක උඩ වහන්න එපා.’   
ඇනෝෆිල්ස් පිටතට පියඹා යන මොහොතේ බිරිය මෙසේද කීවාය.   
‘චටස් ගාලා සද්දයක් ඇහුණොත් මම කාලා නිදා ගන්නවා ඕං’   
එහෙත් ඉක්මනින් ඇනෝෆිලිස් ආපසු පැමිණියේය.   
‘මොකෝ ගිය පයින්ම?’  
‘මෙලෝ රහක් නෑ’ ඇ​නෝෆිලිස් කාරා කෙළ ගැසීය. ‘අද ඒ යකා බීලා නෑ.’  

 

 

 

කලණ මිතුසඳ.