අතුරුපස


කෝඩුකාරයෝ  


සැත්කමකට නියමව සිටි රෝගියා මහත්සේ බියපත්ව සිටියේය. දොස්තර මහතා පැමිණි විට ඔහු තම සිත තුළ පැවැති චකිතය මෙසේ හෙළි කළේය.   
‘‘අනේ ඩොක්ටර්...! මට හරි බයයි... කවදාවත් මට මේ වගේ ලෙඩක් හැදිලා නෑ! මෙ... මේක මගේ පළමුවෙනි ඔපරේෂන් එක!’’  
‘‘වැඩිය හිතන්න එපා ලාල්! මට තියෙන්නෙත් ඔය බයම තමා! මේක මගෙත් පළමුවෙනි ඔපරේෂන් එක!’’  


අවසාන ඉල්ලීම  


බලාපොරොත්තු සුන්වූ විලාසයෙන් අවට බැලූ දොස්තර මහතා, රෝගියාගේ මුහුණ බලා කාරුණික ස්වරයෙන් ඔහු ඇමතීය.  
‘‘ගුණවර්ධන මහත්මයා... අපි බොහොම උත්සාහ කළා... නමුත් මේ ​රෝගයේ හැටි දන්නවානේ... පුළුවන් හැම දෙයක්ම අපි කළා... ඉතින් කියන්න දැන් මොනවද අපෙන් කෙරෙන්න ඕනෑ?’’

  
‘‘අ... අනේ පිං සිද්ධවෙයි මහත්තයෝ...!’‘ ​රෝගියා කීවේ මහත් අපහසුවෙනි. ‘‘ම... මාව වෙන දොස්තර කෙනෙකුට පෙන්නනවද?’’  


ඩොක්ටර් ‘සූ’  


වෛද්‍ය වෘත්තිය වූ කලී ඉතා භාරදූර, වගකීම් සහිත කාර්ය භාරයකි. රෝගියකුට සිටින දෙවියා වෛද්‍යවරයාය. අප ලෙඩවූ පසු අපේ ජීවිත කැමැත්තෙන්ම පවරා දෙන්නේ ඔහුටයි!  


වෛද්‍ය වෘත්තිය මිනිසුන් වෙනුවෙන් පමණක් සීමාවූවක් නොවේ. සතුනට වෙදකම් කරන වෛද්‍යවරුද සිටිති. ඔවුහු නම් පශු වෛද්‍යවරුය. හරකුන්, බල්ලන්, බළලුන් පමණක් නොව අලි ඇතුන් ආදී නොයෙක් සත්වයනටද ඔවුන්ගේ සේවය ලබාදෙනු ලැබේ.  


සත්වෝද්‍යානයක සේවය කරන පශු වෛද්‍යවරුනට තම රාජකාරිය සඳහා බලවත් කැපකිරීමක් කරන්නට සිදුවේ. එය ඉතා භාරදූරය. දුෂ්කරය. එවැනි අවස්ථා කීපයක් පාඨක පහන් සංවේගය පිණිස මෙසේ ලියා දක්වමි.  


සත්වෝද්‍යානයේ සිටින ලොකුම සතා අලියාය. ඇතැම් මිනිසුන් මෙන් මොවුන්ද බෙහෙත් බොන්න හොරය. මුව තුළට බටයක් දමා බෙහෙත් පොම්ප කිරීමට වෛද්‍යවරයාට සිදුවන්නේ එවිටයි.  


පැස්බරාට බෙහෙත් පොවන්නට දොස්තර පැමිණි හැමවිටම ඌ කරන්නේ ඔලුව වැල්ලේ හංගා ගැනීමයි. තවත් අයගේ සහාය ඇතිව යන්තමින් බෙහෙත පොවා ගන්නා විට හැමදෙනාටම උගේ පා පහරවල රස බැලීමටද සිදුවේ.  


වවුලන්ට බෙහෙත් දෙන අවස්ථාවලදී ඌ එල්ලී සිටින ගසට නැග, අත්තට කකුල් මාට්ටුවක් දමා හිස පහතට වැටෙන සේ එල්ලී සිටීමට දොස්තරට සිදුවේ. මින් මැදුරේ සිටින බූවල්ලන්ට බෙහෙත් කිරීමද මහත් වධයකි. උන්ගේ අඬුවලින් ඇඟිලි එකිනෙක වෙළාගත් පසු දොස්තර ‘ලොක් ඩවුන්’ වී හමාරය.  


සතුන් වත්තේ සිටින මුහුදු සිංහයින්ට බෙහෙත් පෙවීමට නම් ඉතා පහසු කටයුත්තකි. නරඹන්නන් ඉදිරියේ රැඟුම් දක්වන විට පුහුණුකරුවා වරින් වර ඌ දෙසට හුරුල්ලන් විසි කරයි. දොස්තර කරන්නේ ඒ අතරම බෙහෙත් පෙතිද විසිකිරීමයි. මුහුදු සිංහයෝ ඒවා ගුවනේදීම අල්ලාගන්නා බැවින් කෙළින්ම විසිවන්නේ බඩටමය.  
පොල් ගසකින් කුරුම්බා ගෙඩියක් එහෙම පිටින්ම ගිල, බෙල්ලේ මුල එය සිරවී ජිරාෆ් අසනීප වූ අවස්ථාවේ, දොස්තර මහතාට මුළු දවසම මහන්සි වන්නට සිදුවිය. ජිරාෆ්ගේ බෙල්ලට ඉනිමගක් හේත්තුකර, පිට පැත්තෙන් තෙරපමින් කුරුම්බා ගෙඩිය ආමාශය දක්වා යැවීමට පැය හතඅටක්ම ගතවුණේය.  
ඉත්තෑවා අසනීප වූ දවසේ, දොස්තර සිරින්ජරයද ගෙන එහි ගියේ ඉන්ජෙක්ෂන් විදින්නටයි. එහෙත් ඊට පෙර ඌ දොස්තරට ඉන්ජෙක්ෂන් විදින්නට වූ නිසා බොහෝ කරදර සිදුවිය.  


පිඹුරා අසනීපව පැත්ත වැටුණු දා දොස්තර පළමුව කළේ, ඌ අත්තක වැනීමයි. පසුව බෙහෙත් ගල්වා ප්ලාස්ටර්වලින් වෙළන්නට පටන් ගත්තේය. ප්ලාස්ටර් මදිවී කඩෙන් ගෙනෙන්නටත් එදා සිද්ධවිය.  


ඉබ්බා කරන්නේ දොස්තර දකිනවිටත් හිස කටුව තුළට ඇදගැනීමයි. එහෙත්, කටුව තුළට අත පොවා බෙල්ලෙන්ම අල්ලා ඉවතට ඇද බෙහෙත් පොවන්නට එතුමා පසුබට නොවේ.  
මුගටියාට ප්‍රතිකාර කිරීමට ගිය දවසේ ඌ නයාට දමන සෙල්ලම් දොස්තර ඉදිරියේ පෙන්වන්නට පටන් ගත්තේය. ඌ සමග එහාට ​මෙහාට පැන දොස්තර හොඳටම හෙම්බත්වූ පසු, ඌ වහා පැන දොස්තරගේ ගෙල ඩැහැගත්තේය. සහායකයෝ වහා පැන දොස්තර මහතාට ප්‍රතිකාර කිරීමට රැගෙන ගියහ.  


හිපපොටේමස්ට බෙහෙත් දීමත් ලේසි නැත. ඔවුන් සඳහාම නිපදවුණු ත්‍රීවීල් රෝදයක් තරමේ බෙහෙත් පෙති තල්ලු කරගෙන විත්, ඒ මත හිඳගෙන දොස්තර බලා සිටින්නේ ඌ කට අරින වෙලාවක් එනතුරුය. කට ඇරිය විගස උගේ දිව මතට පැනගන්නා එතුමා, සහායකයන්ගේද උදව් ඇතිව බෙහෙත් පෙති උගේ උගුරෙන් පහළට තල්ලු කර යවයි.  
වඳුරන්, චිම්පන්සින්, ගෝරිල්ලන් ආදී වානර කුලයේ සතුනට බෙහෙත් කරන විට සුරූපී හෙදියක කැටුව යන්නට දොස්තර මහත අමතක නොකරයි. උන්ගේ අවධානය ඇය වෙත යොමුව තිබියදී ඔපරේෂන් එකක් කළත් දැනෙන්නේ නැත.   


සිංහයින් හා කොටින්ට ප්‍රතිකාර කිරීමේදීද මෙවැනි ක්‍රමයක් අනුගමනය කෙරේ. කොටින්ගේ රූප සහිත වීඩියෝවක් පෙන්වූ විට සිංහයෝද, සිංහයින් සිටින චිත්‍රපටයක් දුටු විට කොටිද එකිනෙකාට ගොරවාගනිමින් දත් විළිස්සති. ඒ අතරේ අත් පා වෙන්කරගෙන ගියත් උන්ට වගක් නැත.  


කලණ මිතුසඳ