අතුරුපස


වරද කාගේද?


අයිශ්චර්යා රායි ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීම නිමිත්තෙන් එරට රජය විසින් මුද්දරයක් නිකුත් කරන ලදී.


ගතවූයේ දින කීපයකි. අලුත් මුද්දරයක් ඇලවෙන්නේ නැති බවට දසතින් පැමිණිලි ගලා එන්නට විය. මුද්දර කාර්යාංශයේ නිලධාරීහු වහාම ඒ පිළිබඳව පරීක්ෂා කර බැලූහ. එහෙත් මුද්‍රණය කරන ලද කිසිම මුද්දරයක එවැනි දෝෂයක් සොයා ගැනීමට ඔවුහු අසමත් වූහ.


සමීක්ෂණ කණ්ඩායම් රට පුරා යවා තැපැල් කන්තෝරුවලට බෙදාහැර තිබූ සියලු මුද්දර පරීක්ෂා කළත් නොඇලවෙන මුද්දරයක් සොයාගත නොහැකි විය. අවසානයේ අබිරහස හෙළි වූයේ තැපැල් කන්​තෝරුවකදීමය.


මුද්දර අලවන සියලු දෙනා දිව ගා තිබුණේ මුද්දරයේ යට පැත්ත නොව උඩ පැත්තයි.


පුංචි දඩයක්


සුමිතුරු මහේස්ත්‍රාත්වරු දෙදෙනෙක් දිනක් සන්ධ්‍යා කාලයේ පාපැදි දෙකකින් සංචාරයක යෙදුණේය. රෑ බෝවී ආපසු එද්දී මේ දෙදෙනා පැට්‍රෝල් යන රාළහාමිලාට කොටුවූහ.


තම නිලතල ගැන රාළහාමිලාට හෙළි නොකළ හෙයින්, ලයිට් නැතිව පාපැදි ධාවනය හේතුකොට මහේස්ත්‍රාත්වරු දෙදෙනාට නඩු දෙකක් පැවරිණි. නඩුවට පෙර දිනයේ ඔවුහු මෙසේ කතිකා කර ගත්හ.
වනිගරත්න අපි දෙන්නම මේ නඩු අහමු, මගේ නම අඬගැහුවාම මට පුංචි දඩයක් ගහනවා. මම තමුසෙගෙ නඩුව අහන්නම්.


පසුදින උසාවියේදී පළමුව නම අඬගැසුණේ වනිගරත්නටයි. අතුකෝරළ මහේස්ත්‍රාත්තුමා විනිසුරු අසුනේ හිඳ ගත්තේය.


‘රුපියල් දාහක් දඩ.


පසුව අතුකෝරළගේ වාරය එළැඹිණි. විනිසුරු අසුනේ සිටි වගනිරත්න, උගුරේ රැල් බුල් හැර මෙසේ ප්‍රකාශ කළේය.


දැන් මෙවැනි වැරදි කෙරෙනවා බොහොම වැඩියි. අද මේ උසාවියෙහිම ඇහෙන මේ විදියේ දෙවෙනි නඩුවයි මේ. මෙවැනි කාරණා සුළුකොට තැකීමෙන් නීතිය හෑල්ලු වෙනවා.


විත්තිකරුට රුපියල් දහදාහක දඩයක් නියම කරනවා.


පුටු සටන


බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක දබර කර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් විත්ති කූඩුවට නංවනු ලැබ තිබුණේය. විනිසුරුතුමා මෙසේ ප්‍රශ්න කළේ සාක්කි කූඩුවේ සිටි තැනැත්තාගෙනි.


‘මේ දෙදෙනා සණ්ඩු කරන විට තමා ඒ ස්ථානයෙන් සිටියාද?


‘එහෙමයි ස්වාමීනි’
‘කොහොමද මේ දෙදෙනා සණ්ඩු කළේ? බැණ ගත්තාද.... නැතිනම්’
‘පුටු දෙකක් අරගෙන ගහගත්තා ස්වාමීනි’
‘ඇයි තමා මේ සණ්ඩුව නතර කරන්න උත්සාහ නොකළේ?
‘තවත් පුටුවක් තිබුණෙ නෑ ස්වාමීනි.


හිච්චි නගා


නිලුපුල් මහත් සොවින් ඇයගේ ඡායාරූපය දෙස බලා සිටියේය. කලක් තිස්සේ සිත පත්ලේ එක් රැස්වූ දහසක් පැතුමන් සුණුවිසුණුව ​ගොසිනි. සිතු දේ නොමවී නොපැතූ දෙයක්ම සිදුවී ඇත.


දස වසක් තමා පෙම් කළ කාංචනා දැන් අනෙකකුගේ බිරිය වී හමාරය. ඇයගෙන් තොර ලෝකයක් ගැන සිතා ගන්නටවත් බැරි නිසාම ජීවත්වීමට වඩා මරණය සුදුසු බව ඔහු තීරණය කර තිබුණි.


මෙලොවින් තුරන්වීම සඳහාම මිලදී ගත් කඹයද රැගෙන ඔහු තම කාමරයට පැමිණියේය. මේසය මත වූ කාංචනාගේ රාමු කළ ඡායාරූපය රූරා බසින කඳුළු අතරින් බොඳවී ඔහුට පෙනිණි. එය අතට ගත් ඔහු හාදු වරුසාවකින් ඇයට සමු දුන්නේය.


බාල්කයට ලණුව දමා තොණ්ඩුව සකසා සූදානම් කළ නිලුපුල් මේසය මත නැග දිවියෙන් සමු ගන්නට සූදානම් විය. තොණ්ඩුව ගෙල වටා දමා ගත්තේය. දෙමව්පියන් ඇතුළු තමන්ට හිතවත් බොහෝ දෙනා මතකයට නැගී එද්දී ඔහු සිත දැඩිකර ගත්තේය.


දැන් කළ යුත්තේ මේසයෙන් පැනීම පමණි. එවිටම පාරේ ඈත එන රුවක් අඩක් විවරව තබු ජනේලයෙන් ඔහුට පෙනුණි.


ඒ සුන්දර ගමන් ලතාව ඔහුට දැක පුරුදුය. සමීපව එද්දී ඔහු ඇය හඳුනා ගත්තේය. කලකට පෙර ඔහු සිතින් ආදරය කළ පසුව ඈත්ව ගිය තම නෑනණ්ඩිය වූ හිච්චි නගා නිවස ඉදිරියෙන් ගමන් කරමින් සිටී.
කවුළුව තුළින් නිලුපුල් දුටු හිච්චි නගා මල් මල් ඔමරි හිනාවකින් ඔහුට සංග්‍රහ කළාය. ජීවිතයේ අගය ඔහුට යළි දැනුණේ එවිටයි.


නිලුපුල්ට උන්හිටි තැන් අමතක විය. පියමං වන්නට පෙර ජනේලය ළඟට ගොස් ඇයට කථා කරන්නට ඔහුට වුවමනා විය. වහා මේසයෙන් ඒ දෙසට පැන්නේය. එහෙත් අවාසනාවකි. දෙපා පොළොවේ නොගැටී ඔහු එල්ලෙමින් සිටියේය.


කලණ මිතුසඳ