අතුරුපස


කලකිරීම   


එදත් උදේ වැඩට යන්නට පිටත් වූ මම 7.35 දුම්රිය අල්ලාගත යුතු නිසා ඉක්මන් පියවරින් නගරය දෙසට ගියෙමි. මා නිතර ගොඩවන හන්දියේ කඩය ළඟදී ඒ පැත්ත බැලුවේ පුරුද්දටය. මුදලාලි මා දුටුවොත් කට පුරා සිනාසී වචනයක් දෙකක් කතා කරන නිසාය.   


එහෙත්, කඩයේ ඉදිරිපස කාඩ්බෝඩ් කැබැල්ලක ලියා එල්ලා ඇති වැකිය දුටු මම තිගැස්සී සිටියෙමි.   
දුම්රියට තවත් විනාඩි දහයක් පමණ ඇත. මා කඩයට ගොඩවැදුණේ සිදු වී ඇත්තේ කුමක්දැයි දැනගැනීමටය.   
මුදලාලි මේසය ළඟ වාඩි වී පොතක් දිග ඇරගෙන නළලට අත ගසාගෙන බර කල්පනාවකය. “මුදලාලි” යි මා කතා කරත්ම ඔහු හිස ඔසවා බැලීය.   


“මුදලාලි... මොකද වුණේ? කරදරයක් ද? ඇයි අපට නොකීවෙ?”   
“කරදරයක්?” මුදලාලි මා දෙස බැලුවේ පුදුමයෙනි. “ඈ... ඇයි මහත්තයා එහෙම ඇහුවේ?”   
“නෑ... මේ බෝඩ් එක දැකලයි මම බැලුවේ. ප්‍රශ්නයක් නම් විසඳුමක් හොයමු. මොකක් ද කලකිරීමට හේතුව?”   
“කලකිරීමක් මොකක්ද? නෑ... එහෙම නෑ...”   
“එහෙනම් මේ ලියලා තියෙන්නේ ‘සිත කලකිරී ඇත’ කියලා?”   
“අයියෝ... මහත්තයා... ඔය වචන දෙකක් හේත්තු වෙලා වගේ නේද? ඔය ලිව්වේ ‘සීත කළ කිරි ඇත’ කියලනේ...”   
“ඈ?”   
කෝච්චිය හූ තබනු ඇසේ. මම වහා පාරට පැන දුවන්නට වීමි.   
....................  


අනුන්ගේ පහන් 

 
උපන්දින සාදයකට සහාභාගි වූ ජිනපාල මහතා සිය මෝටර් රථයෙන් ආපසු එමින් සිටියේය. වේලාව රාත්‍රී දහය පසු වී ඇත. නගරය පසුකර පාරේ එන අතර සිදු වූයේ මහත් අකරතැබ්බයකි. ඔහුගේ මෝටර් රථයේ විදුලි පහන් නිවී ගියේය.   


නිවසට තවත් කිලෝමීටර තුන හතරක් ඇත. පාරේ විදුලි පහන් කණු ද නැති නිසා මෙතැනින් ඉදිරියට යාම බොරුය. කුමක් කරම්දැයි කල්පනා කරමින් සිටින විට වාසනාවකට මෙන් තමන් යන දෙසටම පැමිණෙන මෝටර් රථයක් ඔහුට පෙනුණි.   


වහා රථය පණගන්වා ගත් ජිනපාල මහතා ඒ වාහනය පසුපසින්ම ගමන ඇරැඹීය. හොඳ වෙලාවට ඒ රියැදුරා කලබලකාරයෙක් නොවේ. සාමාන්‍ය වේගයෙන් යන නිසා කරදරයක් නැතිව ඒ එළියෙන් යාගත හැකිය. ඔහු තම නිවස පසුකර යන අයෙක් නම් කිසිම ගැටලුවක් නැත.   


කිලෝමීටරයක් පමණ ගිය පසු ඉදිරියෙන් යන රථයේ වේගය මඳක් වැඩි විය. කන්දක් නගින බව පෙනේ. මීටර සියයක් ගියේ නැත. රියැදුරා එකවරම බ්‍රේක් ගසා වාහනය නැවැත්වීය.   
එය ජිනපාල කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි. ඔහුගේ වාහනය ඉදිරියෙන් ගිය රථයේ පසුපස ගැටුණි.   
ජිනපාලට යකා නැග්ගේය. වහා දොර ඇරගෙන එළියට බැස බැණ වදින්නට පටන් ගත්තේය.   
“මොකක්ද ඒ කළේ? සිග්නල්වත් නොදා එක පාරටම ඔ​හොමත් වාහන නවත්වනවා ද ඕයි?”   
“මොනවා? කවුද තමුසේ?” අනෙකා ඔහු වෙත කඩා පැන්නේය.   


“මගේ ගෙදර මගේ ගැරේජ් එ​කේ වාහනේ නවත්වන්න මොන සිග්නල් ද ඕයි?”   
.............  


ප්‍රසන්න කතාවක්   


2022 නව වසර වෙනුවෙන් ​බොහෝ වෙළෙඳ ආයතන ඉතා අලංකාර දින දර්ශන මෙවරත් මුද්‍රණය කර තිබේ. ඒ අතර වූ ලූල් යුවළක් දැක්වෙන ආකර්ෂණීය දින දසුන කාගේත් සිත් ගති. එය නිකුත් කර තිබුණේ ‘ලක්වර්ම්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ නමැති සුප්‍රකට වෙළෙඳ ආයතනයයි.   


දින දර්ශනය එළිදක්වමින් නව වසර වෙනුවෙන් පුංචි උත්සවයක් සංවිධානය කළ ආයතනයේ සභාපති ප්‍රසන්න දිරිවර්ධන මහතා ආරාධිත මාධ්‍යවේදීන් සහ අමුත්තන් හමුවේ තමන් පැමිණි දුෂ්කර ගමන මෙසේ හෙළි කළේය.   


“මම උඩුගං බලා ගිය මිනිහෙක්.” ප්‍රසන්න කතාව පටන් ගත්තේ එසේය.  


“ඒ කියන්නේ මම ගං ඉවුර දිගේ උඩහට ගියා... හැබැයි අරමුණක් ඇතිව. එතකොට මම දැක්කා ගල්තලාවක ඉඳගෙන මාළු බාන මිනිහෙක්.   


මම ඒ මිනිහා ළඟින්ම ඇන තියා ගත්තා... මගේ තිබුණා හබරල කොළයක ඔතපු පුංචි පාර්සලයක්. ඒක දිග ඇරලා මිනිහට පෙන්නුවා. මහත ගැඩවිලි පණුවන් අටදෙනෙක් තමයි ඒකේ තිබුණේ. මිනිහා හිනාවෙලා එයින් එකෙක් ඇමට ගහලා ආයෙත් බිලී කොක්ක වතුරට දැම්මා.   


එදා හවස් වෙනකොට මම ගෙදර ආවේ මාළු වැලක් අරගෙනයි. පහුවදා මම සිලිසිලි මල්ලක් පුරවලා පණුවෝ අරගෙන ගං ඉවුරේ තවත් ඈතට ගියා. මාළු බාන්නන් හතර පස් දෙනෙකුම මුණගැහිලා කඩමණ්ඩියටත් ගිහින් එදා ගෙදර එනකොට හඳත් මෝදු වෙලා තිබුණා.   


පස්සේ මම තව ටිකක් මහන්සි වෙලා මගේ පරණ බයිසිකලේ අලුත්වැඩියා කළා. එදා ඉඳන් මගේ පණුවෝ සැතැපුම් ගණන් ඈත තැන් තැන්වල තිබුණු බිලී කොකුවල ඇමිණිලා ගඟට පනින්න පටන් ගත්තා...   
ඔන්න ඉතින් එගොඩ ඉවුරේ මාළු බාන උදවියත් මගේ පැලට එන්න පටන් ගත්තා. මම ගෝලයෙකුත් අරන් ඇණවුම්වල හැටියට පණුවෝ හාරලා පාර්සල් බැඳලා තිබ්බා. තොටුපළේ ඔරුකාරයාගේ කලදවසත් ඒකෙන් යහපත් වුණා. පසුවෙනකොට මහවැලි, කැලණි, වලවේ, කළු ගංගාවල මාළුන්ටත් ‘ප්‍රසන්න පණු සප්ලයර්ස්’ බඩු ඕනෑ වුණා. අක්කර ගණනක පණු තවානක් දැම්මා. උන් රැකබලාගන්න, පණුවන් නෙළන්න, අසුරන්න, බෙදාහරින්න සේවකයන් ගත්තා. වෙන එකක් තියා තත්ත්ව පාලන නිලධාරීනුත් හිටියා. නිෂ්පාදන වෑන්වලින් රට පුරාම බෙදාහැරියා.   


දැන් අපේ නිෂ්පාදන රටවල් දාසයකට යවනවා. ඔන්න ඕකයි අපේ ආයතනයේ කතාව.”

 

“එතකොට මේ කැලැන්ඩරේ ඉන්න ලූල්ලු දෙන්නා?” මාධ්‍යවේදියෙක් යමක් අසන්නට සැරසුණි. 

 
“උන් දෙන්නත් ළඟදීම මගේ ඇම කනවා...” ප්‍රසන්න කීවේ මහත් උජාරුවෙනි. 

 

 
කලණ මිතුසඳ