දේශමාන්‍ය දුලිප් මෙන්ඩිස්ගේ අද දවස
ඕමාන් කණ්ඩායමේ මහ පුරුක
ඕමාන් ක්‍රීඩකයන්ගේ ආදරය
ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලැබුණු පසු පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය ලැබුවේ ‘දුලිප් මෙන්ඩිස්’ ගේ නායකත්වය යටතේය. ඒ සදානුස්මරණීය තරගය මෙන්ම, ‘දුලිප් මෙන්ඩිස්’ යන චරිතය ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාවේ තවත් අමරණීය පිටුවකි. ප්‍රථමයෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයක දී ඉනිම දෙකේදීම ශතක ලබාගත් වාර්තාවට හිමිකම් කියන්නේ ද දේශමාන්‍ය - දුලිප් මෙන්ඩිස්ය. 96 ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළේ ද මේ දුලිප් මෙන්ඩිස් ප්‍රවීණයාය. ආක්‍රමණශීලි වේගවත් පිතිහරඹ රටාව නිසා ‘‘දුලිප්’’ එදා ලෝක ක්‍රිකට් කරළියේ නමගිය චරිතයක්ව වැජඹුණේය. වත්මනෙහි මේ ප්‍රවීණයා ඕමාන රාජ්‍යයට නැතුවම බැරි චරිතයක්ව සිටින්නේය. ඕමාන රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ පුරෝගාමියා ලෙසත් ඕමාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසත් කටයුතු කරන, දුලිප් මෙන්ඩිස් ප්‍රවීණයා, ඕමානයේ සිට අප සමග එක් වූ මොහොතකි මේ.
• මේ දිනවල වැඩ කටයුතු රාජකාරි එහෙම මොන වගේ ද?
ඕමාන රාජ්‍යයේ මම කටයුතු කරන්නෙ ක්‍රිකට් සංවර්ධනය කිරීමේ ප්‍රධානියා ලෙසයි. ඊට අමතරව ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කරනවා.
• ඕමානයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ මහ පුරුක ඔබ කිව්වොත් හරි ?
මුළු රටේම ක්‍රිකට් ගැන බැලීමේ වගකීම පැවරිලා තියෙන්නෙ මට තමයි. වසර හතක් තිස්සේ මෙලෙසින් කටයුතු කරනවා.
• ඕමානයට ගිහින් ගත කරන ජීවිතය මොන වගේ ද?
අලුත් තැනකට ආවාම හැම දෙයකටම අලුතින්ම පුරුදු - පුහුණු වෙන්න වෙනවා. මුලදි මටත් එහෙමයි. සියලු දේ දැන ගන්න වගේම, පරිසරයට හුරුවීම මූලිකවම කළ යුතුව තිබුණා. මගේ රාජකාරියේදී, එකවරම මම එරට ක්‍රිකට් හදන්න ගියේ නැහැ. වසර දෙකක් විතර ගතකළේ, කොහොමද, මොන විදියට ද ක්‍රිකට් ඒ රටේ පැවැත්වෙන්නෙ කියලා බැලුවා. ඊට පසුව තමයි හරියටම වැඩේට බැස්සෙ.
මම ඕමාන ක්‍රිකට් කණ්ඩායම බාර ගන්නකොට එයාල ස්ථානගත වෙලා හිටියේ කලාපයේ අනෙකුත් රටවල් අතර පස්වැනි කාණ්ඩයට අයත් රටක් ලෙසයි. දැන් අද එයාලා අන්තර්ජාතිකව ඩිවිෂන් ටු හෙවත් දෙවැනි පෙළ තත්ත්වයේ සිටින කණ්ඩායමක්. 2016 සහ මේ වසරේදි ටී-ටුවෙන්ට් ලෝක කුසලාන තරගාවලියට තේරුණා. විශේෂයෙන්ම මෙවර 2020 ටී ටුවෙන්ට් තරගාවලියේ කාල සටහන අනුව ඕමානය සිටින්නෙ ශ්‍රී ලංකාව ඇතුළත් කාණ්ඩයට. කොහොම වුණත් කෝවිඩ් වසංගතය නිසා මේ තරගාවලිය ඉදිරියට කල් ගිහින් තියෙන්නෙ. ලබන වසරේදී මේ තරගාවලිය ඉන්දියාවේ දී පැවැත් වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ එක්දින තරග සඳහත් ඕමානය සුදුසුකම් ලබා සිටිනවා. එම සුදුසුකම් ලැබීමත් එක්ක ඕමානයට එක්දින තරග 36 ක් ලැබී තිබෙනවා. දැනට 10ක් විතර ගහලා එයින් ඉදිරියෙන්ම සිටින්නෙ ඕමානයයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, ස්කොට්ලන්තය, නැම්බියා, ඇමෙරිකාව යන රටවල් එම කාණ්ඩයට ඇතුළත්. ටෙස්ට් තත්ත්වයට පසුව තිබෙන රටවල් ලෙස ඒවා නම් කරන්න පුළුවනි. මෙම තරග 36 ගහලා ඉදිරියට ආවොත් 2023 ලෝක කුසලාන තරගාවලිය නියෝජනයට සුදුසුකම් ලබනවා.
• ඕමාන රාජ්‍යයෙන් ඔබට ලැබෙන්නෙ මොන වගේ පිළිගැනීමක් ද?
මුලින්ම මම මෙහාට ආ වෙලාවෙ නම්, කවුරුවත් එච්චර දැන සිටියේ නැහැ. පසුව කණ්ඩායම සහ ක්‍රිකට් ටිකෙන් ටික දියුණුවෙන විට බොහෝ දෙනා මා ගැන කතා කරන්න පටන් ගත්තා. ඕමානය වඩා ප්‍රකටව තියෙන්නෙ පාපන්දු ක්‍රීඩාවට. නමුත් දැන් වසර හතර - පහක් ඇතුළත දී ක්‍රිකට්වලිනුත් ඉහළට ඇවිත්. ඉහළම පහසුකම් සහ තාක්ෂණයෙන් යුතු වූ ක්‍රීඩාංගණ පවා හදලා තියෙන්නෙ. දිවා රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් පවා තියෙනවා.
• කොහොමද පවුලේ විස්තර එහෙම?
මගේ බිරිඳ මාත් එක්ක මෙහි සිටින්නෙ. අපි ඉන්නෙ ‘මස්කට්’ නගරයේ. කොළඹ ගෙදර නම් දැනට කවුරුවත් නැහැ. වැඩ කරන සේවකයන් තමයි එය බලා ගන්නෙ. පුතාලා දෙදෙනා සහ දියණිය ලංකාවේ නෙවෙයි ඉන්නෙ. ඒ තුන්දෙනාම ඕස්ට්‍රේලියාවෙ පුරවැසිභාවය ලබාගෙන සිටින්නෙ. ලොකු පුතා ඉන්නෙ බ්‍රිස්බේන්වල. අනෙක් දෙන්නා ඇඩිලේඩ්වල.
එදා ශ්‍රී ලංකා පිලේ සගයින් සමග
• ඒ අය මොන වගේ වෘත්තීන්වල ද නිරත වෙලා සිටින්නෙ ?
ලොකු පුතා අලෙවිකරණ අංශයේ රැකියාවක් කරනවා. දෙවැනි පුතා වෛද්‍යවරයෙක්. දුවත් රැකියාවක් කරනවා. දරුවෝ තුන්දෙනාම විවාහකයි. මේ තුන් දෙනාටම දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දෙසැම්බර් නත්තල් සමයේදී ලැබෙන නිවාඩුව එක්ක අපි දෙන්නා ඕස්ට්‍රේලියාවට යනවා. ගිහින් දරුවෝ තුන් දෙනා එක්ක සහ මුනුපුරාලා එක්ක තමයි ඒ කාලය ගත කරන්නෙ. ලංකාවේ ගෙවන්න තියෙන්නෙ බොහොම ටික දවසක් විතරයි.
• පුතාලා දෙදෙනා සහ දියණියගෙ නම් සඳහන් කරමු නේද?
ලොකු පුතා නිරූ, දෙවැනිය, සංජීවි, දුවගෙ නම මෙනෙකා.
• එදා ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ නැතිනම්, මොන වගේ රැකියාවක් කරන්න තිබුණ ද?
පාසල් අධ්‍යාපනය ලබන්න මම මුලින්ම ගියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට. සා/පෙළ සමත්වෙලා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ආවා. එහි උසස් පෙළ කරමින් සිටිය දී තමයි පළමු පෙළ ක්‍රිකට් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මාව තේරුණේ. ක්‍රිකට් පිස්සුවක් වගෙ දෙයක් තමයි ඒ කාලයේ තිබුණේ.
• කොහොමද ඒ ක්‍රිකට් පිස්සුව ඇති වුණේ?
අපේ ගෙදර පිහිටා තිබුණෙ ශාන්ත සෙබස්තියන් විදුහල අසලයි. විවේකයක් ලැබුණාම නිතරම වගේ අපි කළේ පාසල් පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගහපු එක තමයි. අපේ තාත්තා සහ අය්යත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුණා. අය්යලා තමයි මාව ක්‍රිකට්වලට උනන්දු කෙරෙව්වෙ. ඊට පසුව යාළුවෝ එක්ක එකතු වුණාම තදින්ම ඔළුවට ගියේ ක්‍රිකට්.
• ඒ කාලයේදී ඔබගේ ක්‍රිකට් වීරයින් වුණේ කවු ද?
වීරයින්ට වඩා ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණ තිබුණෙ. මගේ ලොකු අය්යා පාසල් පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒ නිසා මගෙත් ප්‍රධාන අරමුණ වුණේ ක්‍රිකට්. 1971 දී රෝයල් - තෝමියන් (රාජකීය - ශාන්ත තෝමස්) මහ තරගයේ දී ශතකයක් ලබා ගත්තා. 72 දීත් 184 ක් ලබා ගත්තා. ඒ වසරේදිම පාකිස්ථානය සමග පැවති තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුවා. මට මතක හැටියට එදා ශ්‍රී ලංකාපිල මෙහෙයවූයේ මයිකල් තිසේරා, පාකිස්ථාන කණ්ඩායම මෙහෙය වූයේ ඉන්ටිකාබ් අලාම්. පළමු ඉනිමේ මම ලකුණු 8 යි ගත්තෙ. ඒත් දෙවැනි ඉනිමේ දී හැට ගණනක් ගැහුවා.
• එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ අය ඔබ ආමන්ත්‍රණය කළේ මොන නමින් ද?
‘‘ඩුල්ලා’‘ කියලා. අදටත් මට කතා කරන්නෙ ඒ නමින්.
• ටෙස්ට් වරම් ලැබු පසු, පළමු සහ දෙවැනි ඉනිමේ දී ශතක ලැබු වාර්තාව තිබෙන්නෙ ඔබගේ නමින්. ඒ තරගය ගැන මතකය මොන වගේද?
ටෙස්ට් තත්ත්වය අපට ලැබුණාට පස්සේ, දෙවැනියට ක්‍රීඩා කළ තරගාවලිය ඉන්දියාවෙදි පැවැත්වුණේ. ‘චෙපොක්’ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ ටෙස්ට් තරගයේදී ශතක දෙකම ලබා ගත්තෙ. හැබැයි ඒ තරගයට එන විට, මගේ ස්ථානය ගැන ස්ථාවර තැනක් තිබුණෙ නැහැ. ඒත් ඒ තරගයෙන් පසුව මගේ තැන ස්ථාවර වුණා. හැබැයි ඒ තරගයේදී අපේ කණ්ඩායම මුලදී එච්චර හොඳට ක්‍රීඩා කළේ නැහැ. නමුත් දෙවැනි ඉනිමේදී අපි හොඳට ක්‍රීඩා කළා. දිනීමට තිබු අවස්ථාව අපෙන් ගිලිහිලා ගියා. ඒ තරගය ජය පරාජයෙන් තොර එකක් ලෙස නිමා වුණා.
• එදා ක්‍රිකට් දිවියේ සොඳුරු - මිහිරි මතකයන් අවදි කළොත්?
ඒ කාලයේ බොහොම කිට්ටුවෙන් හිටියෙ බන්ධුල වර්ණපුර. නායකයා ලෙස වැඩිපුර ක්‍රීඩා කරන්න ලැබුණේ එයා යටතේ. අනුර තෙන්නකෝන් කැප්ටන් කරද්දිත් මම හිටියා. අජිත් ද සිල්වා, කළුපෙරුම ඒ වගේ බොහෝ දෙනෙක් හිටියා. ඒ කාලයේ අද වගේ නෙවෙයි. කණ්ඩායම නිතරම එකට හිටියෙ. තරගයක් නිම වුණාම අපි එකට එක් වී සිංදුවක් එහෙම කියලා සතුටු වුණා. ඒ කාලයේදි වැඩිපුර ශාරිරික ව්‍යායාම් තිබුණෙ නැහැ. හැබැයි අද තමයි තේරෙන්නේ ශාරීරික ව්‍යායාම් සහ යෝග්‍යතා කටයුතු කොච්චර හොඳද කියලා. අද ෆිසිකල් ට්‍රේනින් එක බොහෝ ක්‍රීඩකයන්ට උදවු වී ඇති බව පෙනෙනවා. අපේ කාලයේදී කළේ ඔය එහෙට මෙහෙට රවුමක් දිවීම වගේ දෙයක් විතරයි.
• එහෙම වුණාට, එදා ඔබගෙ පිති හරඹයේ නම් කිසිදු අඩුවක් තිබුණෙ නැහැ. ඩයිනමයිට් දුලිප් කියලා තමයි සමහරු කිව්වෙ. කොහොමද එච්චර හොඳට පිතිහරඹයෙන් පිටිය දෙවනත් කළේ? ඇඟට නොදැනී දැවැන්ත හයේ - හතර එල්ල කළේ කොහොමද?
එදා බොහෝ දෙනෙක් කිව්වෙ මට හොඳ ඇහැක් තියෙනවා කියලයි. ක්‍රිකට් ක්‍රීඩකයකුට ‘‘ඇස’’ හරිම වැදගත්. ඉක්මනින් පහරවලට අනුගත වීමේ හැකියාව සහ පන්දුව වැටෙන තැන ගැනත් හොඳ අවබෝධයක් තිබුණා. මම හිතන්නෙ ඒ වගේ දේ නිසා වෙන්න ඇති එදා චෙපොක්වලින් පසුව ලෝඩ්ස් ගිහින් තරග කරද්දිත් ශතකයක් ලබා ගත්තෙ. එදත් දෙවැනි ඉනිමේදී ශතකය අහිමි වුණේ නැත්නම්, තවත් ශතක වාර්තාවක් තබන්න ඉඩ තිබුණා.
• එදා ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ සිටි ඔබගේ මිතුරන් කවුද?
සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ජාවඩ් මියැන්ඩාඩ්, බෝතම් වගේ කිහිප දෙනෙක්ම හිටියා. ඉස්සර ඉතින් අද වගේ නිතරම තරගාවලි තිබුණෙ නැහැනෙ. කොහොම වුණත් ක්‍රිකට්වලින් පසුවත් දිගටම මිත්‍රත්වය පැවතියා. ගවස්කාර් ඇතුළු බොහෝ දෙනා අදටත් හමුවෙනවා. විවියන් රිචඩ්වත් සඳහන් කරන්නම ඕනෑ. එදා හිටපු ඉන්දීය ක්‍රීඩකයන් බොහොමයක්ම අදටත් හොඳ යාළුවෝ.
• ඔබගෙ හොඳම ඉනිම ලෙස සඳහන් කළ හැකි ඉනිම ගැනත් කියමු?
එදා එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හි දී ලබා ගත්ත ශතකය මට අමරණීයයි. ක්‍රිකට් ක්‍රීඩා කරන ඔනෑම ක්‍රීඩකයකුගේ අරමුණ ලෝඩ්ස් හි ක්‍රීඩා කිරීමටයි. එහිදීත් ශතකයක් ලබා ගැනීම ඉතා අමරණීය මොහොතක්. ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය ලෝඩ්ස්නෙ.
• එදා ලෝඩ්ස්හි ශතකය ලබාගත් තරගයේදී ඔබ එල්ල කළ පහරක් නිසා පන්දුව නැතිවුණා නේද? ග්‍රවුන්ඩ් එකෙන් පිටට එල්ල කළ පහරක් නේද?
බෝතම්ට එරෙහිව තමයි එ් හයේ පහර එල්ල කළේ. අදටත් බොහෝ දෙනා ඒ ගැන කතා කරනවා.
• ඒ මතකයන් අතරින්, ඔබගේ ‘‘ප්‍රේම’’ කතාවේ මතකයට යමු? කොහොමද ඔබට දිල්හාරා හමුවුණේ? ක්‍රිකට් නිසාද?
ක්‍රිකට් එක් හේතුවක්. එයාගෙ මල්ලිලත් ශාන්ත තෝමස් එකට ක්‍රිකට් ක්‍රීඩා කළා. කොහොමහරි මගේ යාළුවෝ නිසා තමයි ඇයවත් මුලින්ම හඳුනා ගන්න ලැබුණෙ.
• ඇයි දිල්හාරාට හිත ගියේ?
මුලින්ම අපි හොඳ යාළුවෝ. කාලයක් අපි දැන හඳුනාගෙන හිටියෙ. ඇසුරු කරද්දි මගේ විදිය තේරුම් ගත්ත බව මට වැටහුණා. එහෙම නොවුවා නම්, සාර්ථක විවාහයක් සිදු වෙන්නෙ නැහැ. මම කළ කී දේ ගැන ඇයට තිබුණෙ හොඳ අවබෝධයක්. ඉස්සර අද වගේ තාක්ෂණය දියුණු නැහැනෙ. ඉද හිටලා දුරකථන ඇමතුමක් ගත්තා.
• විවාහ උත්සවයේ මතකය මොන වගේද?
පාසල් දෙකකටම ගිහින් සිටි නිසා යාළුවෝ බොහෝමයකට ආරාධනා කරන්න සිද්ධ වුණා. SSC එකේ යාළුවොත් හිටියා. මහරාජා කම්පැනි එකේ මාත් එක්ක සේවය කළ යාළුවෙක් මගේ මිතුරාට හිටියා. එදා ක්‍රිකට් තරු බොහෝමයක්ම සහභාගි වුණා.
• එදා ක්‍රිකට් හැර දක්ෂ වුණේ තව වෙන මොනවට ද?
පිහිනුම් සහ බැඩ්මින්ටන්වලට ආසා කළා. අදටත් ඒ දෙකම කරනවා. හැබැයි ඉතින් ක්‍රිකට් හැර වෙන දෙයක් ගැන එදා හිතුවෙ නැහැ.
• ශ්‍රී ලංකා ටීම් එකේ එදා ඔබ එක්ක ළඟින් හිටපු යාළුවෝ එක්ක කළ කී දේ ගැන මතකය කොහොමද?
එදා බොහෝ දෙනා මගේ යාළුවෝ වුණා. ඒ අතරින් රෝයි ඩයස් වඩාත් කිට්ටු මිත්‍රයෙක් වුණා. අපි පවුල් දෙක හරි හිතවත්. නිවාඩුවක් ලැබුණාම අපි ට්‍රිප් එහෙම ගියා. සිගිරිය පැත්තට, නැත්නම් ගාල්ල, යාල, බෙන්තොට වගේ පළාත්වලට සංචාරය කළා.
• 'SSC' ක්‍රීඩා සමාජයේ මිත්‍ර සන්ධානය ගැනත් කියමු?
‘SSC' කණ්ඩායමේ සිටියදී සුනිල්, මිත්‍ර, සිදත්, වෙත්තමුණි සහෝදරයන් තිදෙනා එක්කම ක්‍රීඩා කළා. ශාන්ත තෝමස් ක්‍රීඩා කළ නිසා තමයි මට SSC එකට එන්න ලැබුණෙ. නීල් චන්මුගම් සහ පී.අයි. පීරිස් මහත්වරු මාව SSC එකට ගත්තා කිව්වොත් හරි. මම යනකොට අනුර තෙන්නකෝන් කැප්ටන් කළේ. ඒ ප්‍රවීණයන් යටතේ බොහෝ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා.
• අතීතයේ වතාවක, බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඔබ හොඳ ඉනිමක් ක්‍රීඩා කළා නේද ?
එතකොට අපට ටෙස්ට් තත්ත්වය ලැබිලා තිබුණෙ නැහැ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට යන අතර වාරයේදී ලංකාවට ආවා. තරගය පැවැත් වුණේ 'SSC' එකේදියි. ක්ලයිව් ලොයිඩ්, රිචඩ්, ඇන්ඩ් රොබට්ස් එහෙම හිටියා. එදා ලකුණු 75 ක් ලබා ගන්න මට පුළුවන් වුණා.
• එතකොට ඔබගෙ හිසෙහි බෝලයක් වැදිලා තුවාල වුණේ මොන තරගයේදී ද?
ඔස්ට්‍රේලියාව සමග තරගයේදියි. මටයි - සුනිල් වෙත්තමුණිටයි දෙන්නටම තුවාල වුණා. ජෙෆ් තොම්සන්ගෙ පන්දු හමුවේ එදා අපි දෙන්නම නතර වුණේ රෝහලේ. ඒ කාලයේදී හෙල්මට් තිබුණෙ නැහැනෙ.
• ‘ක්‍රිකට්’ වගේම ඔබගේ එදා වෘත්තිය ජීවිතයත් හරිම රසවත් වුණා නේද? ‘තේ රස’’ පරීක්ෂකවරයකු ලෙස නේද මුලින්ම කටයුතු කළේ?
ඒ අවස්ථාව මට ලැබුණේ මහරාජා ආයතනයේ ‘රාජා මහේන්ද්‍රන්’ මහතා නිසයි. පාසල් ක්‍රිකට් පිටියෙන් පසුව මහරාජා එකේ රැකියාවට මාව ගත්තෙ එතුමා. වසර විසි ගණනක් එහි සේවය කළා. පසුව වෘත්තියෙන් ඉහළට යන්න එතුමාගෙන් ලැබුණෙ ලොකු අත්වැලක්. එහි රැකියාවෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට ආවා. එතැනින් පසුව ආවෙ මෙතැනට (ඕමානයට)
• ‘තේ’ ගැන රස කතා එහෙම ඇති?
මුලින්ම ‘තේ’ රස බැලීමේ රස්සාව කළේ ක්‍රිකට් ගහන කාලයේදීමයි. ඒ නිසා කාර්ය බහුල වුණා. ‘තේ’ ගැන හොඳ දැනුමක් ලැබුවා. 1985 දී මහරාජා සමුහයේ ‘වසරේ විධායක’ සම්මානය පවා ලැබුවා.
• ගෙදරදී නෝනා හදන ‘තේ’ එකද රස? නැත්නම් ඔබගෙ ‘තේ’ එක ද?
දෙකම හොඳයි. ඒත් මම වඩා ආසා එදා මහරාජා එකෙන් ලැබුණ ‘තේ’’ එකටයි.
• මොරටුවෙන් එන බොහෝ දෙනාට සිංදු කියන්න පුළුවන් කියලා මතයක් තියෙනවනෙ. ඔබට ඒ හැකියාව නැද්ද?
ඒ කතාව ඇත්ත වුණත්, මට නැත්තෙමත් ඒ හැකියාවයි. මොරටුවෙන් ආව සිංදු කියන්න බැරි වූ කෙනෙක් වෙන්නැති මම.
• හැබැයි ගායක යාළුවෝ එහෙම හිටියා නේද?
අපොයි ඔව්. ජෝති, මිල්ටන් මල්ලවාරච්චි වගේ කිහිප දෙනෙක්ම හිටියා. ‘ජෝති’ එදා නිතරම මැච් බලන්නත් ආවා.
• කාගේ ගීතවලට ද එදා ඔබ වඩා ප්‍රිය කළේ?
ක්ලැරන්ස්ගේ ගීතවලට බෙහෙවින් ආසා කළා. තවමත් මගේ ළඟ ජෝතිගෙ සහ ක්ලැරන්ස්ගෙ ටේප් සහ සී.ඩී. තැටි තියෙනවා.
• අපි කැමතියි, ඕමානයේ විස්තර දැනගන්න. විවේකය කොහොමද ගෙවන්නෙ?
විවේකය නම් හරිම අඩුයි. ලැබුණොත් ලංකාවට ඇවිත් ගෙදර එහෙම බළලා, යාළුවෝ හමුවෙලා යනවා. දෙසැම්බර් නිවාඩුවට ඕස්ට්‍රේලියාවට යාමට පෙර ලංකාවට ඇවිල්ලා තමයි යළි ඕස්ට්‍රේලියාවට යන්නෙ. මෙහෙත් ලස්සන තැන් තියෙනවා. හරියට නුවරඑළිය වගේ ලස්සන තැන් තියෙනවා. ඒ වගේ තැන්වලට ගිහින් දින දෙක තුනක් ගත කරලා එනවා. මේක හරි ලස්සන රටක්. නෝනා ලංකාවේ උයන විදියට කෑම උයන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ.
• එදා ලංකාව දාලා ඕමානයට යද්දී දුකක් ඇති වුණේ නැද්ද?
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා ක්‍රිකට් එක්කම ක්‍රිකට් ආයතනයේ හිටපු මට එ් ඔක්කෝම දාලා එන්න වුණාම දුකක් ඇතිවුණා. ඕමානයට ගියාම අවුරුදු ගණනකට ලංකාවට එන්න ලැබෙන්නෙ නැහැ කියන දුක තිබුණා. ඕමානයට ආවාම කොහොම වේවිද දන්නෙ නැහැ කියල මුලදී මට තිබුණේ චකිතයක්. හැබැයි අවුරුද්දක් විතර යද්දි. මෙහේ සිටින ඔක්කෝමලා හොඳ බව තේරුම් ගියා. බෝඩ් එකේ අධ්‍යක්ෂවරු ඇතුළු ඔක්කෝම හරි හොඳයි. වැඩ කරන්න හරි ලෙහෙසියි. මෙයාලට ඕනෑ මේ රටේ ක්‍රිකට් දියුණු කරන්නයි. මටත් අවශ්‍ය ඒකමයි. මේ නිසා මටත් හොඳට අල්ලලා ගියා. දැන් හරියට මට ඕමානය දැනෙන්නෙ මහ ගෙදර වගෙයි. එච්චරටම දැන් මට ඕමානය සමීපයි.
පිළිසදර
සඳුන් ගමගේ