ගවේශන
විශ්වවිද්‍යාල සිසුවෙකුගෙන් පොලිසියට අමුතු තාලේ පැමිණිල්ලක් ලැබිණ. බැලූ බැල්මට එහි ඇති පැමිණිල්ල කුමක්දැයි සිතාගත නොහැකි වනු ඇත. ඔහු පැමිණිලි කර තිබුණේ ‘තමන්ට අන්තර්ජාලය ඔස්සේ රස්සාවක් ලැබුණා. රස්සාව දුන්නේ කවුද කියලා හරියට දන්නේ නැහැ. සතිපතා රුපියල් පන්දාහක ගෙවීමක් ලැබුණා. ඒත් පත්වීම් ලිපියක් ලැබුණේ නැහැ. පත්වීම් ලිපිය ඉල්ලුවාම මගහරිනවා’ යන්නය.
ඉතිං පත්වීම් ලිපිය දෙන්නේ නැත්නම් අයින්වෙන එකනේ ඇත්තේ වගේ දෙයක් ඕන කෙනෙකුගේ කටින් පිටවිය හැකිය. සතියකට රුපියල් පන්දාහක් කියන්නෙත් මහාලොකු පඩියකුත් නෙවෙන නිසා එසේ අයින්වීම ගැටලුවක් නොවනු ඇතැයි තර්ක කළ හැකිය. අනෙක් කාරණාව නම් ඔහුට කරන්නට වැඩක්ද නැත. ඇත්තේ තමන්ගේ නමින් වන ගිණුමකට ආයතනයේ මගින් බැරකරන මුදල් වැටුප් ලෙස සේවකයින් පස්දෙනෙකුට ඊෂි කෑෂ් මගින් බෙදාදීමය. ‘මේ වැඩේ කරන ගමන් තවත් රස්සාවක් කරන්නත් පුළුවන්නේ. මේක හරියට නිකම් වැටුපක් ගෙවනවා වගේ වැඩක්නේ. පත්වීම් ලිපියක් නැතත් මොකද අනේ සතියකට වතාවක් පන්දාහක් ලැබෙනවා නම්’ කියලත් කෙනෙකුට තර්ක කළ හැකිය. බොහෝ දෙනෙක් කටයුතු කරන්නේද එසේය. නිකම් දෙන අස්සයාගේ දත් ගණින්නේ කුමකටදැයි කල්පනා කරන්නන් මෙහි හතර දිග්භාගය නොසොයනු ඇත.
එහෙත් ඔහු කල්පනාවෙන් වැඩකරන විශ්වවිද්‍යාල සිසුවෙකි. අපි ඔහුට සුමල් යැයි පවසමු. සුමල් තමන්ට රස්සාව දුන් කෙනා දැන හඳුනාගන්නේ අන්තර්ජාලය ඔස්සේය. කිසිදාක ඔහුගේ රූපය දැක නැත. අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ සුදුසුකම් සඳහන් කර රස්සාවක් ඉල්ලා දැන්වීමක් පළ කළේය. එම දැන්වීමට ප්‍රතිචාරයක් ලැබිණ. ඔහුට ලන්ඩනයෙන් ඇමතුමක් ලැබිණ.
“මිස්ටර් සුමල් අපේ කාගෝ කම්පැනි එකක් තියෙනවා ලංකාවේ. කැමති නම් එ්කේ වැඩ කරන්න පුළුවන්.”
“මොනවද කරන්න තියෙන්නේ?”
“එකේ වැඩ කරන අයට පඩි ගෙවන්නයි ඔයාට තියෙන්නේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක අපට එවන්නකෝ.”
“කොහෙද ආයතනය තියෙන්නේ?”
“ඔයා එතනට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් තාක්ෂණය දියුණුයිනේ. ඔයාගේ ගිණුමක් ඇරලා අපට අංකය එවන්න. ඒකට අපි විටින් විට මුදල් දානවා. ඒ මුදල් එකතු වුණාම සතියකට වතාවක් අපි දෙන අංකවලට අපි කියන මුදල් ප්‍රමාණයන් ඒ ඒ ගිණුම්වලට ඊෂි කෑෂ් කරන්නයි තියෙන්නේ. හරි ලේසියි. ඒකට අපි ඔයාට සතියකට රුපියල් පන්දාහක් ගෙවනවා. ”
“හොඳයි මම කරන්නම්. කවදා ඉඳලද මගේ පත්වීම ලැබෙන්නේ?”
“අද සිටම ඔයා අපි බඳවා ගන්නවා. පත්වීම් ලිපිය ටික දිනකින් ලැබේවි. මුලින්ම වැඩ කරමුකෝ. ”
සුමල් බැංකු ගිණුමක් විවෘත කර එහි අංකය අදාළ ආයතනයට අයදුම්පතත් සමගම ලබාදුන්නේය. ඉන්පසු සතියකට ලක්ෂ තුන හතක් ඒ ගිණුමට බැරවිය. එම මුදල ලන්ඩනයේ සිට කතා කළ පුද්ගලයා පැවසූ පරිදි ලබාදුන් දුරකථන අංක පහකට ඊෂිකෑෂ් මගින් ගෙව්වේය.
සති දෙක තුනක් මේ විදිහට වැඩ කරගෙන යනකොට සුමල්ට පොඩි සැකයක් ඇති විය. මොන වගේ ආයතනයටකද මම මේ සම්බන්ධ වෙලා තියෙන්නේ? මෙහෙමත් ක්‍රියාත්මක වෙන ආයතන තිබෙනවාද? ඇයි බැංකු ගිණුම්වලට මුදල් නොදා ඊෂි කෑෂ් කරන්න කියන්නේ? මොකක් හරි මෙතන වරදක් සිදුවෙනවාද? මේ වගේ ප්‍රශ්න ගොන්නක් සුමල්ගේ මනසේ නැගෙන්නට විය. ඒ නිසා ඔහු තමන්ට ලන්ඩනයෙන් කතා කළ පුද්ගලයාට අමතා තමන්ට පත්වීම් ලිපියක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් එම ලිපිය ලබාදීම මගහැරි එම පුද්ගලයා පසුව සුමල්ගේ ගිණුමට මුදල් බැර කිරීම නැවැත්වූයේය.
මේ සිදුවීමෙන් තමන් තුළ ඇති වූ සැකය තවත් වැඩිවූයෙන් සුමල් පොලිසියට පැමිණිලි කළේය. එහෙත් නිසි ප්‍රතිචාරයක් නොවූයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් නැවත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පැමිණිලි කළේය. ඒ අනුව මෙහි විමර්ශන කටයුතු බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එන්.එස්.සී. ප්‍රියදර්ශන මහතාට භාර විය.
සිසුවා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගත් අය කතා කළ දුරකථන අංකය පොලිසිය ලබාගත්තේය. එසේම ඊෂි කෑෂ් කිරීමට ලබාදුන් දුරකථන අංක පහද ලබාගත්තේය. ඒවා ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ටික දිනක් ගතවන තුරු විමර්ශනය ගෙන යා යුතු මාර්ගයක් සොයා ගැනීමට නොහැකි විය. ඒ දුරකථන අංක සියල්ල ව්‍යාජ නම් හා ලිපින ඔස්සේ ලබාගත් ඒවා වූ නිසාය.
මේ දුරකථන අංක ලබාගෙන තිබෙන්නේ ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත් අංක පහකට සකස් කළ රියැදුරු බලපත්‍ර පහකට අනුවය. එම රියැදුරු බලපත්‍ර සකස් කර තිබෙන්නේ සැබෑ ලෙස රියැදුරු බලපත්‍ර ලබාගත් අයෙකුගේ අංකයක් භාවිත කරමිනි. ඒ සඳහා ලිපින ලෙස භාවිතා කර තිබෙන්නේ මහ මග ඇවිද සොයාගත් ලිපිනයන්ය. ඒ නිසා හැඳුනුම්පත් අංකය සොයාගෙන යද්දී එවැනි අංකයකට හැඳුනුම්පතක් නිකුත් කර නැති බව තහවුරු විය. රියැදුරු බලපත්‍රයේ අංකයට අනුව සොයාබැලීමේදි ඒවායේ අයිතිකරුවන් කිසිවෙකු මෙම සිදුවීමට සම්බන්ධ අය නොවන බව තහවුරු විය. රියැදුරු බලපත්‍රයේ ලිපින ගැන සොයා බලන විට ඒවාද මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ගේ බව තහවුරු විය. එම ලිපිනවලට ගොස් සොයාබලන විට එම ලිපිනවලට තමන්ගේ පවුලේ අයෙකුගේ නොවන අයෙකුගේ නමට දුරකථන බිල්පත් හා ලියුම් ලැබුණ බවද ඒවා තමන් කුණු කූඩයට දැමූ බවද ඇතැමෙන් ඒවා ආපසු ලබාදුන් බවද දැනගන්නට ලැබිණ.
එහෙත් මෙම දුරකථන අංක හා සම්බන්ධ වූ විවිධ අංක සමග කළ දීර්ඝ සොයා බැලීමක දී එක් සැකකටයුතු පුද්ගලයෙක් හමුවිය. ඒ එක් දුරකථන සිම්පතක් ලබාගත් හැඳුනුම්පත් අංකයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමෙනි. එය සත්‍ය හැඳුනුම්පතකි. එහි හිමිකරු යාපනය ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා ජීවරාජා නමැති අයෙකි. ඔහු දෙමළ තරුණියක සමග විවාහ වී ඇත. එහෙත් පසුව ඔහු රස්සාවක් සොයාගෙන කොළඹට පැමිණ තිබේ.
ඔහු ගැන තාක්ෂණික ක්‍රම ඔස්සේ කරන ලද විමර්ශනවලට අනුව පසුගියදා රාගම මහබාගේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද විමර්ශනවලදි තවත් තොරතුරු රැසක් අනාවරණය විය.
ඔහු මොහොමඩ් ලෆ්කාස් මොහොමඩ් ෆාරිස් යන නමින් ජාතික හැඳුනුම්පතක්ද කූට ලෙස සකස් කළ උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික ඇතුළු ලේඛන භාවිත කර සකස් කරගෙන තිබේ. එය භාවිතා කරමින් ඔහු මුස්ලිම් කාන්තාවක්ද විවාහ කරගෙන ඇති බව අනාවරණය වී තිබේ. එපමණක් නොව මේ ආකාරයට ඔහු රට පුරා විවිධ ප්‍රදේශවලින් කාන්තාවන් හතර දෙනෙක් විවාහ කරගෙන ඇත.
දෙමළ හැඳුනුම්පතත් ව්‍යාජ ලෙස සකස් කළ මුස්ලිම් හැඳුනුම්පතත්, කූට ලේඛන භාවිත කර සත්‍ය ලෙස සකස් කරගත් ආගමන විගමන බලපත්‍ර දෙකක්ද ඔහු සතු විය. එසේම ව්‍යාජ ලිපින 21ක් භාවිත කරමින් සකස් කරගත් රියදුරු බලපත්‍ර යොදාගෙන සිම්පත් පනස් අටක් ලබාගෙන තිබේ. කූඨ ලේඛන ඉදිරිපත් කර විවෘත කළ බැංකු ගිණුම් විසිපහකට අදාළව බැංකු කාඩ් පහළොවක් ලබාගෙන තිබෙන බවද හෙළිදරව් වී තිබේ. ඊමේල් ලිපින 21ක්ද ඔහු නඩත්තු කර ඇත.
විශ්වවිද්‍යාල සිසුවාට ලබාදී ඇති දුරකථන අංක පහම භාවිතා කර තිබෙන්නේ මෙම සැකකරු විසින්මය. එසේම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීම දැක විශ්ව විද්‍යාල සිසුවාට කතා කර තිබෙන්නේද ඔහුමය. සේවකයින් පස්දෙනෙකුට වැටුප් ගෙවන බව අඟවමින් ඔහු තමන්ටම එම මුදල් ලබාගෙන තිබේ.
මොහු මේ ආකාරයට සම්බන්ධ කරගෙන තිබෙන්නේ පැමිණලිකාර විශ්ව විද්‍යාල සිසුවා පමණක් නොවේ. තවත් පස් දෙනෙක් මේ ආකාරයට සම්බන්ධ කරගෙන ඇති බව දැනට හෙළිදරව් වී ඇත. තවත් එසේ භාවිත කළ අය සිටිය හැකිය. මෙසේ සම්බන්ධ කරගත් අයගෙන් බහුතර දෙනා විශ්ව විද්‍යාල සිසුන් වීම විශේෂයකි. ඔවුන් අධ්‍යාපන කටයුතු කරන අතර පහසුවෙන් කළ හැකි අමතර රස්සාවක් සොයා යාම මෙවැනි දේකට ඔවුන්ව පහසුවෙන් පටලවා ගැනීමට හැකිවීමට හේතුවක් සේ දැකිය හැකිය. කෙසේ වුවද ඔහු එක් පුද්ගලයෙකු සම්බන්ධ කරගන්නේ ඉතාම කෙටි කලකට වීම ද විශේෂයකි. දිගට එකම අංකයකට මුදල් ගෙන්වා ගැනීමේදී තමන් හෙළිදරව්වීම වළක්වා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ඔහු වරින්වර මුදල් ගෙන්වා ගැනීමට භාවිත කරන පුද්ගලයා වෙනස් කරනු ලැබේ. එසේම ඔහු එක් එක් සිසුන්ට කතා කර තිබෙන්නේ විවිධ රටවල සිටය. ඇතැමෙකුට ලන්ඩනයේ සිටය. ඇතැමෙකුට කැනඩාවේ සිටය. තවත් කෙනෙකුට යුරෝපයේ තවත් රටක සිටය. මෙසේ ඔහු විවිධ රටවල සිට කතා කළද ඔහු ජීවත්ව තිබෙන්නේ ලංකාවේ ම ය.
එසේ නම් ඔහු වෙනත් රටවල දුරකථන අංකවලින් කතා කළේ කෙසේද? එය සිදුකර තිබෙන්නේ සියුම්ව, තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමිනි. අන්තර්ජාලය භාවිත කර ඇප් එකක් මගින් වෙනත් රටවල කේත අංකයන් ඔහු ලබාගනී. ඉන්පසු ඒවා භාවිත කර ලංකාවේ සිටම වෙනත් රටක සිටින බවක් අඟවමින් කතා කිරීම ඔහුගේ ක්‍රමය වේ.
මේ ආකාරයට වංචාවෙන් අල්ලා ගන්නා සිසුන්ගේ ගිණුම් හරහා ඔහු ගෙන්වාගෙන තිබෙන්නේ කාගේ මුදල්ද?
එයද වෙනම කතාවකි. මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළ කර තිබේ. ඒ විදේශගතවන්නන්ට පහසුවෙන් හා ඉක්මනින් වෛද්‍ය වාර්තා හා වීසා ලබාදීමට තමන්ට අමතන ලෙස දක්වමිනි. එසේ පළ කරන දැන්වීමට බොහෝ ප්‍රතිචාර නිතිපතා ලැබේ. ඔහුට අමතන අයගෙන් වෛද්‍ය වාර්තා සඳහා අවශ්‍ය සියලුම විස්තරත් වීසා බලපත් සඳහා අවශ්‍ය සියලුම තොරතුරුත් ලබාගන්නා සැකකරු ඒවා සියල්ල ව්‍යාජ ලෙස එහෙත් කිසිවෙකුටත් ව්‍යාජ යැයි නොසිතෙන ආකාරයට සකස් කරනු ලැබේ. ඒ වාර්තා වෙනුවෙන් ඔහු අයකරනු ලබන මුදල ගෙන්වා ගනු ලබන්නේ පෙර කී සිසුන්ගේ ගිණුම්වලටය.
එසේ කූට ලෙස සකස් කර සපයනු ලබන වෛද්‍ය වාර්තා හා වීසා ලබාගත් වැඩි දෙනෙක් විදෙස්ගතව ඇති බවද සැකකරු පොලිසියට කර ඇති ප්‍රකාශ අනුව කියවේ. එසේ සත්‍ය ලෙසම ඔවුන් විදේශගතව ඇත්නම් සැකකරු කෙතරම් ප්‍රබල ලෙස නවීන තාක්ෂණය ව්‍යාජ ලෙස මුදල් ඉපයීම සඳහා භාවිත කර ඇත්ද? ඔහු මෙරට පමණක් නොව විදේශ රටවල් පවා නොමග යවා ඇති බව පිළිගැනීමට සිදුවේ. ඔහු වීසා හා වෛද්‍ය වාර්තා එක්දහස් පන්සීයක් පමණ සකස් කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වි තිබේ. මෙසේ වාර්තා සකස් කර තිබෙන්නේ යුරෝපා හා ආසියානු කලාපයේ රටවල් දාහතරකට බවද අනාවරණය වී ඇත.
සැකකරු පොලිසියට කර ඇති ප්‍රකාශ අනුව ඔහු මෙම ජාවාරම වසර පහළොවක පමණ කාලයක සිට කරගෙන ගොස් තිබේ. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල්වල ජීවත් වන අය බවද සඳහන් කර ඇත. ඔහු පාසල් අධ්‍යාපනය ලබා තිබෙන්නේ තුන වසර දක්වා පමණක් වන අතර මැලේසියාවේ කලක් ජීවත් වූ බවද එකල තාක්ෂණය පිළිබඳ දැනුමක් ලැබූ බවද ඔහු පවසා ඇත. එහෙත් ඒවායේ සත්‍ය අසත්‍යතාව තවමත් තහවුරු වී නැත.
කිසියම් අයුරකින් කිසියම් පුද්ගලයෙකුට තමන් ගැන සැකයක් ඇති වී පොලිසියට පැමිණල්ලක් කළහොත් කරන ලද විමර්ශනවලදී තමන් භාවිතා කරන දුරකථන ඔස්සේ පැමිණ අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති හෙයින් එය වළක්වා ගනු පිණිස සැකකරු තමන්ගේ පදිංචිය මාස හතරකට පහකට වතාවක් වෙනස් කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු තනිවම කරගෙන ගිය මෙම ජාවාරමට විවිධ කූට ලේඛන සකස් කිරීමේ දී සහය දුන් රාජ්‍ය නිලධාරීන්ද සිටිය හැකිය. විශේෂයෙන්ම වීසා බලපත්‍රයක් සකස් කිරීම වැනි දෙයකදී එය තනිව කළ හැක්කක් නොවේ. ඇතැම් විට ඔහුට තාක්ෂණික සහය දුන් තවත් පුද්ගලයෙකු හෝ කීප දෙනෙක් සිටිනු ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකෙරේ.
වඩාත් ලේසියෙන් පහසුවෙන් තමන්ගේ කාර්යයන් කරගැනීම බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා ඔවුන් පහසු ක්‍රම සොයා යනු ඇත. වඩාත් ලේසියෙන් පහසුවෙන් වෛද්‍ය වාර්තා හා වීසා බලපත්‍ර සකස් කර දෙන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළ කළ පසු වෛද්‍යවරයෙකු හමු නොවී ඒවා සකස් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න නොකරම ඔවුහු මුදල් ලබාදී සිය කාර්යය කරගනිති. එසේ වාර්තා ලබාගන්නා අයද එය ව්‍යාජයක් බව නොදන්නේ යැයි සිතිය හැකිද යන ප්‍රශ්නයක් මතුවේ.
තමන්ගේ නිවසට නම නොදන්නා පුද්ගලයෙකුගේ නමින් බැංකුවලින් හෝ දුරකථන සමාගම්වලින් දිගින් දිගටම ලියුම් ලැබෙන්නේ නම් ඒ ගැන විමසිලිමත් වීය යුතු බව මේ කතාව අනුව තහවුරු වේ. පොලිසිය ඉල්ලා සිටින්නේ එවැන්නක් සිදුවන්නේ නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසය.
මෙම සිදුවීමේදි එක් විශ්වවිද්‍යාල සිසුවෙක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළ නිසා මේ ජාවාරම හෙළිදරව් කරගත හැකි වූ අතර අනෙක් සිසුන්ද එසේ කළේ නම් මෙය මීටත් වඩා වේලාසන සොයා ගැනීමට හැකිවනු ඇති බවද පොලිසිය පවසයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පොලිස් පරීක්ෂක එන්. එස්. සී. ප්‍රියදර්ශන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්.. ඒ. රංජිත්, කේ. ජී.ටී. බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 31514 මලවිආරච්චි, 37025 ජයසිංහ, 54070 නිමල් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සිදුවීමට සම්බන්ධ විමර්ශන සිදුකළහ.
මුදිතා දයානන්ද