අන්සතුදේ සුරකින බහිරවයා කියන්නේ කාටද?


බහිරවයා අනුන්ගේ වස්තුව ආරක්ෂා කරදෙන අයෙකු ලෙස භූතවිද්‍යා ශාස්ත්‍රයේ සඳහන් වේ. ඔවුන් පිළිබඳව වැඩිපුර කතාබහ ඇතිවන්නේ ධන නිධානයන් හා සම්බන්ධවයි. නිදන් රකින බහිරවයන් ඉතා සැර පරුෂ බව යන්ත්‍ර මන්ත්‍ර ගුප්තවිද්‍යා ඇදුරෝ පවසති. ඔවුන් පවසන පරිදි මොවුන් විවිධ වෙස් ගනිමින් සොරුන් මුළාකොට පලවාහැරීමට පවා සමත්වූ අවස්ථා ගැන අසන්නට ලැබේ.   


අපට සිංහල රජවරුන්ගේ පාලන කාලයේ විවිධ අවස්ථා වලදී බහිරවයන් වෙනුවෙන් යම් යම් පූජාවන් පවත්වා ඔවුන් වෙතින් ඉල්ලීම් කර තිබේ. මෙයට තිබෙන හොඳම නිදසුන වන්නේ අභයගිරි දාගැබ ආසන්නයේ දක්නට ලැබෙන සංඛබහිරව හා පද්මබහිරව රූප දෙකයි. අද මෙය මහජනයාට දර්ශනය කළ නොහැකි ආකාරයට කොන්ක්‍රීට්කර වසා දමා ඇත.   


ලෝකපූජිත මෙම නිර්මාණයන් ජනතාවට දැකගැනීමට සැලැස්වීම ජාතික වටිනාකමකි. බහිරව හැටහත්කට්ටුවක් පිළිබඳව භූතවිද්‍යාවේ සඳහන් වෙතත් ඊට වැඩි පිරිසක් සිටිනා බව යම් යම් යාදිනි ආදියේදී වෙදදුරන් විසින් කියනු අසන්නට ලැබේ.   


බහිරව කොට්ඨාස දෙකක් පිළිබඳව අදහස් දක්වන භූතවිද්‍යා විශාරදයෙක් පවසන්නේ. දේවත්වයට ළංවූ බහිරව කොට්ඨාසයක් හා ප්‍රේතපිශාච තත්ත්වයට ළංවූ තවත් බහිරව කොට්ඨාසයක් සිටින බවයි. මේ දේව තත්ත්වයට ළංවූ බහිරවයන් පූජාභූමි ආගමිකස්ථාන ආදී ගෞරවනීය තැන් ආරක්ෂා කිරීමේ යෙදී සිටින අතර ප්‍රේත බහිරව කොටස් නිධාන් හා පුද්ගල දේපළ ආදී භූමි වස්තු ආරක්ෂා කිරීමේ යෙදී සිටිති.   
බහිරවයන් නමැති මෙම භූත කොට්ඨාස ඉතා මිටි ශරීරවලින් හා කුරු මිනිසුන්ගේ මෙන් අත් පා ආදියෙන් යුත් පිරිසක් වන අතර බොහෝවිට නිට්ටාවන් ලෙස හඳුන්වන මිටි සිරුරින් යුත් මිනිසුන්ට සමානවේ.   
බහිරවයා කේන්ති යන්නකු නොවේ. භූත විද්‍යාවේ හැටියට බාහිරව කීකරු භූතයෙකි. යම් කටයුත්තක් භාර කළහොත් එය ඉතා හොඳින් කර දෙන අයෙකි. එහෙත් කේන්ති ගියහොත් බහිරවයන් තරම් දරුණු වෙනත් භූත කොට්ඨාසයක් නොමැත. ඔවුන්ට විවිධ වෙස් ගෙන විවිධ ලෙසින් ප්‍රහාර එල්ල කළ හැකිය. ඒ බහිරවයාගේ ඇති විශේෂ හැකිකමයි. සුප්‍රසිද්ධ කොණ්ඩදෙණියේ නාහිමියන් බහිරවයන් යොදාගනිමින් විවිධ කාර්යයන් කරගත්බව පාරම්පරික කතාවලින් හෙළිවේ. පන්සල් මුර කිරීම, වැඩපළ කරදීම, තනි නොතනියට සිටීම ආදී බොහෝ කටයුතු ඔවුන් ඉටුකර දී ඇත.   


බහිරවයන් දස දිසාවට යවා ඔවුන් විවිධවූ කටයුතු සඳහා යොදවන ලද්දේ ‘මහදෙවියා’ විසින් බව වේද ශාස්ත්‍රයේ දැක්වේ. මේ මහදෙවියා නම් ඊශ්වර දෙවියන්ය. ඊශ්වර දෙවියන්ගේ අණ පරිදි ඔවුන් විවිධ වූ සේවා සඳහා යෙදී ඇත. ඊශ්වර දෙවියන්ගේ පූර්ව අවසරයක් නොලබා කිසිම බහිරවයකුට තම සේවා ස්ථානයෙන් පිටත ගිය නොහැකිය. විශේෂයෙන් නිදන් රකින බහිරවයන්ට කිසිම අයුරකින් සේවා ස්ථානයෙන් බැහැරවිය නොහැකිය. මෙම කටයුතු බලා කියා වාර්තා කිරීම සඳහා සංනිවේදන භාර තවත් බහිරව කොට්ඨාසයක් ඇත. ඔවුන් කරන්නේ මෙම සේවා භාර බහිරවයන් හරියාකාරව තම සේවා කටයුතු කරනවාද? යන්න විමසා බලා ඊශ්වර දෙවිඳුට වාර්තා කිරීමයි. එසේ නොකළහොත් ඔවුන්ට දඬුවම් ලැබේ.   
අප මුලින් සඳහන් කළ ප්‍රේත හා පිශාච බහිරවයන්ට දොළ පිදේනි දීමේදී ඇටෑටි පහ හා ගොඩමස් දියමස් සුරා ආදියද දොළට තබන අතර පූජා භූමිවලට අරක්ගත් බහිරවයන් සඳහා පුදදෙන්නේ පළතුරු පමණි. ඊට එළඟි තෙල්, මීපැණි, මධුර රස එකතු කරනු ලබයි. මේ සියලුම බහිරවයන් සඳහා කියනු ලබන යාදිනි එක විලාසයක් ගන්නා අතර උඩින් බිමින්, මුහුදු කරදිය වළල්ලෙන් හා ගංගා ඇළ දොළ ආදියෙන්ද නොසිට එන ලෙස අඬගසන විට ඒ හැමදෙනාම තමා ආරක්ෂා කරන වස්තුව පිළිබඳව සැලකිල්ල යොමුකරමින්ම බහිරව සමයම්වලට සහභාගීවීම සිදුවේ.   


බහිරවයන් අතර පොළොවටම අරක්ගත් බහිරවයන් ‘පාතාල බහිරව’ ලෙසින් භූත විද්‍යාවේදී හඳුන්වනු ලබයි. නමුත් පොළොවට දෙරියනක් පමණ වූ උසකින් තම වාසය පවත්වන ආකාශ බහිරව ඊශ්වර දෙවියන්​ගේ නියෝග ක්‍රියාත්මක කරමින් විමසිල්ලෙන් බලා සිටින බව කියැවේ.   


බහිරව පූජා කැප කිරීමේදී ඉතා කෙටි මන්ත්‍රයකින් කැප කිරීම සිදුකරනු ලබයි.   


‘බිම්බේ හිටිං රකිං කැපගං බලාගං   
හිටු බිම්බේ අංගුපුල්ලේ තෝස්වාඃ’   


මෙම යාදින්නෙන් මෙවැනි ඉල්ලා සිටීමක් කරනු ලබයි.   


‘ඊශ්වර දෙවියන්ගේ අණ ලෙසින් දසදිසාවේ සරන බහිරවයන් ඉමක් නැත. ඉසබඳින ජටාවයි ගිනිපුළිඟු විහිදෙනා, බමව බමවා, බලන තඹ පැහැති ඇස් දෙකයි මුවින් පිටතට නික්මි තීක්ෂණ දළ යුත්ත, කටින් එළියට ඇදුණ දිගටි දිවකින් යුක්ත එක් අතක කඩුවකුත් අනික් අත සංඛයක් දරා​ෙගන බිහිසුණුව අහස ගුගුරා හැලෙන ලෙස මහරාවයක් කරන මේ බලවතුන් පසු පසෙහි සිය පිරිස් ඇවිත් උන් සිය පිරිස පිරිවරා නොයෙක් දෑ ඉල්ලමින් කරන මහ කරදර ඔවුන්ගෙන් බේරෙන්නට නොයෙක් පිදවිලි ඇතුව මෙතැන විමනක් සදා’   
මෙම යාදින්න මගින් ඔවුන් දිෂ්ටිකර සමාග්‍රහනය කර අවශ්‍ය කටයුත්ත ඉටුකර ගැනීම සිදුවේ. නිධානයක් සතු කර ගැනීමට අවශ්‍යනම් ඊට අදාළ පුදපූජා පවත්වා බහිරවයන් සතුටුකොට එය ගතයුතුය. ඒ අනුව ඇතැම්විට බලි බිලි ආදිය කැප කිරීමටද සිදුවේ. මේ බිලි අතරට මිනිස් බිලි, සත්ත්ව බිලි, තුන්කුලුඳුල් කන්‍යා බිලි ආදී විවිධ බිලි වර්ග දෙනු ලබන අතර මේ සියල්ල සිදුකරන්නේ බහිරවයන් සතුටු කිරීම සඳහාය. මෙසේ නිධන් ගන්නාවිට බහිරවයන් එකතුව බොරු කරන අවස්ථාද වේ. ඒ අනුව විවිධ රැවටිලි කර නිධාන් ගන්වුන් වල්මත් කරන අවස්ථාවේ. මෙසේ විවිධ ප්‍රෝඩා කටයුතු සිදුකරන්නේ පාතාල බහිරවයන් බව වෙදදුරුවරයන් ප්‍රකාශ කරන අතර ඔවුන් සතුටු කිරීම අපහසු කාරියක් බවද පවසයි.   


භූතවිද්‍යා වෙදදුරන් පවසන පරිදි බහිරවයාගේ රූමත් බිරිඳ ‘පූරා’ යනුවෙන් හඳුන්වනු ලබයි. නිධාන් ගොඩ ගන්නා විට වෙදදුරන් කැවිලි තටු තබා ‘අාංපුරා’ යනුවෙන් ශබ්ද නගා ප්‍රකාශ කරනු ලබයි. ඒ ‘ආං පුරා’ යන ආරම්භක කියමන අද ටිකෙන් ටික වෙනස්වී අවුත් ‘හාපුරා’ යන්නට පරිවර්තනයවී ඇත.   
බහිරව පූජාවකදී මේවා නිධන් ගැනීමකදී වේවා භූමි ආරක්ෂාවකදී වේවා භූතවිද්‍යා වෙදදුරන් එය ආරම්භ කරනු ලබන්නේ ‘හාපුරා’ නමෝතස්ස භගවතෝ අරහතෝ යනුවෙන් ආරම්භ කිරීමෙන්ය. බහිරවයන් සතුටු කිරීම ඉතා අමාරු කටයුත්තක් බව මෙහි අපි සඳහන් කළෙමු.   


එයට ප්‍රධාන හේතුව නම්. ඔවුන් ඊශ්වර දෙවියන්ට එකලා වගකිවයුතු වීමයි. සුර අසුර යන දෙකොට්ඨාශයක එකතුව මීට බලපා තිබේ. එනිසා බහිරවයන්ගෙන් යම් කිසිවක් ඉල්ලා සිටින විට ඊශ්වර දෙවියන්ටද කන්නලව්වෙන් කියා ඉල්ලා සිටීම කළ යුතුය.   


එදිනෙදා ජීවිතයේදී අපේ විශේෂ අවධානය යොමු කරගන්නා බහිරවයන් අටදෙනෙක් සිටින බව පවසන අතර ඔවුන් අෂ්ටබහිරව ලෙසින් හඳුන්වනු ලැබේ. මේ බහිරවයන් අතරට ‘ආතාල බහිරව’ හා ‘පාතාල බහිරව’ යන දෙදෙනා එකතුකරගැනීම මගින් එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු උදෙසා බහිරව උපකාර ලබාගැනීමේදී මෙම දසවිධ බහිරවයන්ගේ උදව් පැතීම සිරිතවී තිබේ. බහිරව පූජාවිධි විමසා බැලීමේදී විවිධ ප්‍රදේශවලින් විවිධාකාරයේ කතා අසන්නට ලැබේ.   


මීරිගමට ආසන්න එරබද්ද නමැති ප්‍රදේශයේ විහාරභූමියක තිබූ ඉතා වටිනා නිධානයක් හොර රහසේ ගැනීමට පිරිසක් සූදානම්වී මූලික කටයුත්ත ලෙස එම භූමිය ආරක්ෂා කිරීමේ කටයුතු එක්තරා යකැදුරකු විසින් සිදුකර ඇත. එදිනම රාත්‍රියේ මැදියම පසුවී ටිකවේලාවක් ගියපසු මිණිගෙඩියක් සොලවමින් මහලු මිනිසෙක් සුදුඇඳුම් හැඳ පැළඳ ගමවටේ යමින් ‘‘අද එරබද්දේ නිධානය හොරු ගන්නවා. උඹලා හුළුඅතු දල්වා එළියකරන් බලාහිටපල්ලා’’ යනුවෙන් කෑගසා කියා ඇත.   


මෙය ගමේ මිනිසුන් හොඳින් හිත්හි තබා සියල්ලෝම අවධානයෙන් පසුවී ඇත. නමුත් මිනිසා කී දිනයේ නොව ඊට පසු එම නිධානය හොරුන් විසින් කඩා බිඳ දමා වස්තුව පැහැරගෙන ගිය අතර ගලිමුරේ ගම්වාසී හැමට උණසන්නිය හා බඩඑළිය යාමේ රෝගයක් වැළඳී එකා දෙන්නා මියගොස් ඇත. පසුව මුළු ගමම ජනශූන්‍යවී ඇත. මේ පාරම්පරික කතාව බහිරවයන් පිළිබඳව සත්‍ය ගෙන හැර දක්වන්නාවූ කතාවකි. අදත් මෙම සොරු වස්තුව රැගෙන ගිය හිස් නිදන්වල දක්නට තිබේ.   


මේ අයුරු තවත් රසකතාවක් අසාගන්නට ලැබුනේ ප්‍රසිද්ධ යකැදුරුවරයකුගෙන්ය. එය ඉතාමත් විමසා බැලියයුතු සිද්ධියක් හා සම්බන්ධ වූවකි. මාඔය අසබඩ පිහිටි සුවිසල් වත්තක නිධානයක් ඇතිබවට කසුකුසු පැතිර ගියේ නිකමටම නොවේ. මේ නිධානය පිහිටා ඇති තැනිතලාගලේ සමහර දිනවල මහරෑ පහනක් දැල්වෙන අයුරු දැකගත හැකිවිය.   


එය බැලීම සඳහා අහල පහල උදවියද විටින් විට එහි ගිය අතර, එක්තරා ග්‍රාමසේවා නිලධාරිවරයෙක් මෙම නිධානය ගැනීම සඳහා කළයුතු කටයුතු ඉතාමත් හොර රහසේ සංවිධානය කළේ ගමේ කීපදනෙක්ද හවුල්කරගනිමින්ය. දිනක් සියළුමදෙනා හොඳින් නිදාගන්නා මහරෑ ජාමයේ මේ පිරිස නිධානය ගැනීම සඳහා පහන් ආදිය පත්තු කර ලක ලැහැස්ති වූ අතර එතැන සිටි මන්ත්‍රකරුවා බිළිපුද දීමට මල්පැල් ඉදිරියේ යාතිකාව පටන් ගති. නමුත් ඔහුට එය නිසිලෙස කිරීමට නොහැකි විය. පොලිස් ජීප්රථයක් වේගයෙන් තමන් සිටි දෙසට එනු ඔහු දුටුවේය. පොලිස් පොලිස් කියමින් ඔහු පූජා භාණ්ඩතැබූ මැස්සද පෙරළාගෙන දුවන්නට විය එතැනසිටි අනෙක් අයද සීසීකඩ දිවුවෝය. ජීප්රථය එතැනට විත් පහන්දල්වා නතරවුණි. නිධාන් හොරු නැවත වරක් එතැනට ආවේ නැත. නමුත් පොලිසියද එතැනට ඇවිත් නොතිබුණි. ජිප්රථයේ රෝද පාරක්ද එහි නොවීය මෙය නිධානය බලාකියාගන්නා බහිරවයාගේ උපක්‍රමයක් බව පසුව දැනගන්නට හැකිවිය. එම නිධානය අදත් ඉතා සුරැකිව එහිම ඇත. ඊට මිනිසුන්ගේ ආරක්ෂාව හා විමසුම දැඩිලෙස යොමුව ඇත.   

 

 

ධර්මරත්න තෙන්නකෝන්