අප්‍රිකානු වනපෙතක සොඳුරු චාරිකාවක්


 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගේ සේවා කාලය වසර හතළිහකි (40). ඒ 1968 වසරේ සිටය. එම වකවානුවේ දී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය හොබවනු ලැබුවේ ලීන් ද අල්විස් මැතිතුමන් විසිනි. දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ පදවියට අමතරවය එතුමන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ හැටියට පත්කරනු ලැබුවේ. වනසතුන් පිළිබඳව හසල බුද්ධියක් තිබූ එතුමන් මීට වසර දහහතරකට ඉහත දී අප අතරින් සමුගති.   


වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය හැදෑරීම සඳහා නැගෙනහිර අප්‍රිකාවේ (College Of African Wildlife Management) වනජීවී කළමනාකරණ විද්‍යාලයට වසර දෙකක (02) ශිෂ්‍යත්වයක් ලබාදුන් එතුමන් සිහිපත් කරන්නේ කෘතගුණ පූර්වකවය. එම වසර දෙකක (1982 සිට 1984) කාලය තුළ දී සෑම මාස 1 1/2 (දින 45)ට වරක් දින 14 ක ප්‍රායෝගික පුහුණුවීම් සඳහා අපි ශිෂ්‍ය කණ්ඩායම හැත්තෑවක් (70) දෙනා නැගෙනහිර අප්‍රිකාවේ (East Africa) විවිධ ජාතික උද්‍යාන සහ සංරක්ෂණ ප්‍රදේශවලට යැවුණේ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්ගේ (Instructors) මගපෙන්වීම් යටතේය. ඔවුන්ගෙන් මගේ හද බැඳි උපදේශක වූයේ ගමාසා (Gamaza) ය. ඉලක්කයට නිවැරදිව වෙඩි තැබීම ප්‍රගුණ කරගෙන සිටි මා ඔහුගේ කීකරු ගෝලයෙකු විය.   
දකුණු ටැන්සානියාවේ (Southern Tanzania) කිලෙම්බරෝ ප්‍රදේශයේ අපි සිදුකළ සත්ව සංහාරයේ දී (Animal Culling) වෙඩි තබා මරණ ලද අලි ගණන දහඅටකි (18) හිපපොටේමස් (Hippos) විස්සකි (20) සීබ්‍රා (Zebra) ගණන (22) විසිදෙකකි, ජිරාෆ් Giraffe විසි හතරකි (24) අපගේ ආහාරය සඳහා වෙඩි තබා මරණ ලද ඉම්පාලා මුවන් (Impala) හතරක් (04) සහ ඊලන්ඩ් ගවයින් දෙකක් (02) සහ තොම්සන්ස් ගැසල් (Thompson's Gazelle) හය (06) දෙනෙක් විය. ආහාර ගැනීම සඳහා සිටි ශිෂ්‍යයින් සංඛ්‍යාව හැත්තෑවක් (70).   

 

 


එවැනි සත්ව සංහාරයන් සිදුකිරීමට අප්‍රිකානු රාජ්‍යයන් පෙළඹී ඇත්තේ ඇයි? අප්‍රිකානු රටවල ප්‍රධාන ප්‍රශ්නය දුගී දුප්පත්කමයි. එම වැසියන් වෙහෙස දරා වගා කරනු ලබන බඩඉරිඟු යායවල් මයියොක්කා (Cassava) කෙසෙල් (Maize) වගාවන් එක් රැයින් විනාශ කර කා දමන්නේ අලි (African Elephant) සහ හිපපොටේමස් (Hippopotamus) ය. දිවා කාලයේ ජලාශ සහ ගංගාවල වැතිරී සිටින එම සතුන් අඳුර වැටීමත් සමග ගොඩට වුත් එම විනාශයන් සිදුකරති. රටේ ප්‍රශ්නය ආහාර හිඟයයි. මහ මග යන දුගී දුප්පත් කාන්තාවන් සහ වයස්ගත මිනිසුන් දිස්වෙන්නේ ඇවිදින ඇටසැකිලි මෙනි. 

 
ඇවිද යාමට ශක්තියක් නැති වයස්ගත මිනිසුන් බිම වැතිරී සිටින විට ඉහළ ආකාශයේ පියාඹමින් සිටින වල්චර් පක්ෂීන් (Vultures) පොළවට පහත්වී උන්ගේ වටකුරු පාද නියවලින් ඩැහැගෙන ගස් උඩට පියඹා ගොස් ගිල දමති. වල්චර් පක්ෂීන් වනාහි මියගිය සතුන්ගේ මළ සිරුරු ආහාරයට ගන්නා (Carrion eaters) සත්ව කොට්ඨාසයකි.   


ගොරොංගොරෝ සංරක්ෂණ ප්‍රදේශයේ වපසරිය වර්ග කිලෝමීටර් 8292 ක් වන අතර ප්‍රකාශයට පත්වූයේ 1959 වසරේ දීය. මෙම සුවිසල් ප්‍රදේශයේ විශේෂත්වය වෙන්නේ එය බහුකාර්ය සංරක්ෂණ ප්‍රදේශයක් වීමයි. (Multipleuse Conservation Area) එනම් රටේ නීතිය අනුව ජනතාවට භූමිය පරිහරණයට ඉඩ ලබාදීමත් භූමියේ වෙසෙන ලක්ෂ ගණනාවක් වූ වන සතුන් හට ආරක්ෂාව සපයා දීමත්ය.   


ගොරොංගොරෝව (Ngorongoro) පිහිටා තිබෙන්නේ උතුරු ටැන්සානියාවේ අගනුවර (Capital City) වන අරූෂා (Arusha) නගරයේ සිට කිලෝමීටර් 180 ක් බටහිර දෙසිනි. ‘ගොරොංගොරෝවට’ එම නම තැබුවේ ප්‍රදේශයේ වෙසෙන ප්‍රධාන ගෝත්‍රික ජනතාව විසිනි. එනම් මසායි (Massai) ගෝත්‍රිකයින්ය. මසායිවරුන්ගේ එළ හරකුන්ගේ බෙල්ලේ බැඳ තිබෙන ලීයෙන් නිමවුනු සීනුව ශබ්දවෙන්නේ න්ගොරෝ න්ගොරෝ (ngoro ngoro) ශබ්දය පිට කරමිනි. ඒ එම හරකුන් ඇවිදිනා විටදීය.   


ගොරොංගොරෝව බිහිවූ ආකාරය දැනගැනීම වැදගත්ය. මීට වසර මිලියන තුන (03) කට ඉහතදී පෘථිවි අභ්‍යන්තරයේ පවතින ගිනියම් වූ ලාවා (Larva) පීඩනය හේතුවෙන් පෘථිවි පෘෂ්ඨය බිඳ පුපුරුවාගෙන ඉහළට ගලාගොස් එතැනම බිමට පතිත වීමෙන් බේසමක හැඩයෙන් යුක්ත කල්දේරාව Caldera නිර්මාණය විනි. එහි ගැඹුර අඩි 2000 ක් වෙන අතර පත්ල (Floor) වපසරිය වර්ග කිලෝමීටර් 260 කි. බිමට පතිතවූ මැග්මා (Magma) නිවීගිය පසු ඒවා කළු පැහැති සැහැල්ලු ගල් කැබලි බව මගේ මිත්‍ර චන්ද්‍රා ජයවර්ධනටත් මෙම ලිපිය ලියන මටත් පසක් විය.   


“චන්ද්‍රා ඔය බිම තියෙන ගල් කුට්ටි දෙකක් (02) උඹේ බෑග් එකෙත් දාගෙන මගේ බෑග් එකටත් දෙකක් දාපං” චන්ද්‍රා ඊට අවනත විය.   


අපි දෙදෙනා මව්බිමට 1984 වර්ෂයේ සැපත් වූ පසු ඒවා දැක බලාගැනීමට අපි දෙදෙනාගේ මිත්‍රයින් හට දුනි. “මේවා බලාගනිල්ලා මේ ලාවා (Larva) මහපොළව බිඳගෙන අඩි 19000 ක් ඉහළට ගලාගොහින් තමයි බිමට වැටී ඇත්තේ. ඒ භූගර්භ විද්‍යාඥයින්ගේ මතයකි. මෙම නිර්මාණය හඳුන්වනු ලබන්නේ කල්දේරාවක් (Caldera) හැටියටයි. තවද මෙම විශ්මිත නිර්මාණය, අප්‍රිකානු මහද්වීපයේ පුදුම හතෙන් (07) එකක් බව කියැවෙනවා. කල්දේරාව මහපොළවේ නිර්මාණය වූ විශාල බේසමකි. බේසමේ ඉහළ ගැට්ට කවාකාරය.   


මෙම ප්‍රදේශයේ පදිංචි මසායි ගෝත්‍රික ජනතාව ගොරොංගොරෝව හඳුන්වන්නේ දෙවියන් වහන්සේගේ කන්ද (Mountain Of God) හැටියටය. 

 
ගොරොංගොරෝ සංරක්ෂණ ප්‍රදේශය ඔල්ඩුවායි (Olduvai) දුර්ගයටද ආරක්ෂාව ලබාදෙනු ලබයි. එම දුර්ගය (Ravine) දිග කිලෝමීටර් 6400 ක් වෙන අතර පළල කිලෝමීටර් 48 සිට 64 කි.   


මැදපෙරදිග ජෝර්දානයේ සිට දකුණු අප්‍රිකාවේ (South Africa) මොසැම්බික් රාජ්‍ය දක්වා එම දුර්ගය පැතිර පවතින්නකි. ඇත්තෙන්ම මමත් මගේ මිත්‍ර චන්ද්‍රා ජයවර්ධනත් ලෝක ප්‍රසිද්ධ සෙරෙන්ගෙටි ජාතික උද්‍යානයට (Serengeti වපසරිය වර්ග කි.මීටර් 14763) ගිය ගමනේදී ඔල්ඩුවායි දුර්ගය ළඟටම ගොස් එය දෙඇසින් දැක බලා ගැනීමට ලැබුණු අවස්ථාව මගේ ජීවිතයේ මහඟු අවස්ථාවක් හැටියට මම දකිමි.   


ආචාර්ය ලුවී (Dr Louis and Dr Mary Leakey) 1950 වසරේ සිදුකරන ලද ගවේෂණවල දී සොයාගෙන ඇත්තේ මනුෂ්‍ය සංහතියේ ආරම්භය (Homo habilis) මෙම බිමේ සිදුව ඇති බවයි. මෙම දුර්ගයට එම නම වනාන්තරයේ වැවෙන ශාඛයක් වන සියාල් (Sisal) ගස පදනම් කරගෙන මසායි ගෝත්‍රිකයින් තැබූ නමකි. ගොරොංගොරෝව තුළට ගලායන ගංගා දෙකකි (02) එනම් මුන්ගේ (Munge) සහ ඔල්ජෝරෝ නියුකි (Oljoro Niyuki) ගංගාවන්ය. තවත් උණුවතුර දිය පහරක් ද ගලා යයි. අපි දෙදෙන ඇණ තියාගෙන උණු වතුර දිය පහරට දෙඅත් ඇතුළු කළෙමු.   


එවිට සිහිපත් වූයේ අප මව්බිමේ පදියතලාව මහඔය උණුවතුර ළිංය.   


ගොරොංගොරෝවේ සිදුකරන ලද ගවේෂණයක දී සොයාගෙන ඇත්තේ විවිධ සත්ව විශේෂ 25000 ක් මෙහි වෙසෙන බවයි. අප්‍රිකානු කුළු හරකා හිපපොටේමස් (Hippoptamus) විල්ඩබීස්ට් ගවයින් (Wildebeest) සීබ්‍රා (Zebra) ඊලන්ඩ් (eland) ගවයින්, වෝත්හොග් (Warth Hog) ග්‍රාන්ට් ගැසල් (Grant’s) තොම්සන්ස් ගැසල්, ගෝනුන් (Waterbuck) චීටා (Cheetah) වන බල්ලන් (Wild Dogs), කොටියා, හයිනා (Hyenas) ආදී සතුන් මෙම බිමේ සිත්සේ සැරිසරති. ඊට ඉහළින් ගුවනේ සැරිසරන උකුස්සන් සහ වල්චර් පක්ෂීන්ය. වල්චර් පක්ෂීන් සොයන්නේ සතුන් මිය ගිය මළ සිරුරුය. ස්වභාව ධර්මයේ චමත්කාරය මෙතෙකැයි කියා නිමකළ නොහැකිය.   


මෙහි ජිරාෆ් (Giraffe) සහ ඉම්පාලා (Impala) මුවන් දැකිය නොහැකිය. 

 
අපි සිංහයින් (Lion) දුටුවේ සීමිත සංඛ්‍යාවකි. විෂ සහිත මැස්සන් (tsetse flies) විදීම නිසා සිංහයින්ගේ (Skin) හමේ රෝග උද්ගතවී සිංහයින්ගේ ගහනය බෙහෙවින් පහත බැස තිබේ. රක්ෂිතයේ නිලධාරීන් අපි දෙදෙන සමග පැවසූයේ ඩිස්ටෙම්පර් (Canine Distemper) රෝගයෙන් 2001 වසරේ දී ඔය සිංහයින්ගේ ගහනයෙන් (34%) සීයට තිස්හතරක් විතර මියගියා යන්නය. ගවේෂණයකින් සොයාගෙන තිබෙන්නේ ගොරොංගොරෝව තුළට පිටතින් සිංහයින් සංක්‍රමණය නොවීම හේතුවෙන් උන්ගේ ජාන ශක්තිය (in breeding) හීන වී ඇති බවය.   
ගොරොංගොරෝ වේ ප්‍රධාන පාලක නිලධාරියා වෙන ටැන්සානියා ජාතික මඕබුරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ බැවින් අපි ඔහු සමග කතා කළෙමු. මම්බුරි මහත්මයාණනි සෙරෙන්ගෙට් සහ ගොරොංගොරෝවේ සිදුවන වාර්ෂික මහා සත්ව සංක්‍රමණය (Great Migration) සංක්‍රමණය සිදුවන්නේ කිනම් මාසවලදීද?   
අපි ශ්‍රී ලංකාවෙන්. මම විල්සන්. මේ ඉන්නේ චන්ද්‍රා ජයවර්ධන ඔහුගේ ආරාධනයෙන් අපි වාඩි ගතිමු.   
අපි කෝපි බීලා කතා කරමු.   

 


ඔහු සමග කතා බහේ යෙදෙන අතරේදී සේවකයකු අමතා කෝපි පිළියෙළ කිරීමට උපදෙස් දුනි. හොඳයි චන්ද්‍රා විල්සන් මහා සත්ව සංක්‍රමණය ආරම්භවෙන්නේ වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රදේශයේ දකුණු දිසාවටයි. විල්ඩබීස්ට් ගවයින් මිලියන එකහමාරක් සීබ්‍රාවුන් (Zebra) 260,000 ක් ගැසල් මුවන් 470,000 ක් සංක්‍රමණය වෙනවා. ඒ සංක්‍රමණය වෙන්නේ. ආහාර සොයාගෙනයි. එනම් ලපටි තණකොළ සහිත තණබිම් (Grasslands) සොයාගෙනයි. ගොරොංගොරෝවේ තණබිම් නිරන්තර සශ්‍රීක තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට අපි උද්‍යානයේ තණ බිම්වලට ගිනි තබනවා. ඒ සමගම බිමට පතිත වෙන වර්ෂාවත් සමග තණබිම් සියල්ල නව පණක් ලැබුවාක් සේ දලු දමනවා. ඒ තණකොළ උලා කෑමට ශාක භක්ෂක සතුන් (Herbivores) තණ පිට්ටනිවලට ඇදී එනවා. ඒ සමගම උන් සොයාගෙන මාංශ භක්ෂක සතුන් (Carnivores) එනවා.   
මුලින්ම තණබිම්වලට අවතීර්ණය වෙන්නේ කුඩා සතුන්. උන් ලපටි තණකොළ උලාකනවා. ගෙරොසු තණකොළ කෑමට සීබ්‍රා විල්ඩබීස්ට් ගවයින් කුළු හරකුන් (Buffalo) ඊලන්ඩ් ගවයින් ඉන් අනතුරුව අවතීර්ණය වෙනවා. මෙය හඳුන්වන්නේ තණ බුදීමේ අනුපිළිවෙළ (Grazing Succession) හැටියටයි.   


මම්බුරි තවදුරටත් අපි දෙදෙන අමතමින් මම සිංහයින් චීටා (Cheeta) හයිනා (Hyena) වන බල්ලන් (Wilddog) ගැන විස්තරයක් කියන්නම්. චීටා තමයි මේ වනාන්තරේ වේගයෙන්ම දුවන සතා. ඒ ගොදුරක් පසුපස හඹා එනවිටයි. වේගය පැයට කිලෝමීටර් හැත්තෑවක් (70) පමණ වෙනවා. වේගය දෙවැනි තැන ගන්නේ පැස්බරා.   
ඔස්ට්‍රිච් (Ostrich) පක්ෂියාය. ඒ සතුරකු ඌ පසුපස හඹා යන විටදී පණ බේරාගැනීමටයි.   
සිංහයින් සිටින්නේ හත්අට දෙනාගේ රංචු හැටියට පිරිමි සතුන් එක්කෙනයි. ඉතිරිය ගැහැණු සතුන්. මෙතැනට පිටතින් වෙනත් පිරිමි සතකු කඩා වැදුනොත් නේවාසික සිංහයා හතර පයින් නැගිට සටනට යනවා. නේවාසික සිංහයා සටනින් පරාජිතයා වුණෙත් ඌ පැන දුවනවා. නව සිංහයා ගැහැනු සතුන් භාරගන්නවා පමණක් නොව ගැහැනු සතුන්ගේ රැකවරණයේ සිටින පැටවුන් සියල්ල සපා කා මරා දමනවා.   
ගැහැනු සතුන් එයට හරස්වෙන්නේ නැහැ. හයිනා නිශාචර සත්වයෙක්. සිංහයකු වෙහෙස දරා මරා ගන්නා ඉම්පාලා මුවකු නැතහොත් කුළු මීහරකකු බුදින අවස්ථාවකදී හයිනාවකු (Hyena) ඒ සමීපයට ළංවූ වහාම සිංහයා බියෙන් පැන යනවා. ගොදුර ගිලදමන්නේ හයිනාය. උන්ගේ හකු (Jaws) ඉතා ශක්තිමත්ය. උන් හතර පස්දෙනා සීබ්‍රාවුන් පසුපස හඹා ගොහින් උන් දැඩි ලෙස හතිවැටුනු පසු බිම පෙරළා ගෙන කාදමනු ලබයි. ඒ සඳහා ගතවෙන්නේ විනාඩි දහයක පමණ කාලයකි. වනබල්ලන් (Wilddog) සතුන් මරාගන්නේ උන් පසුපස හඹා යමින් හතිවැට්ට වීමෙනි.   


උන්ගේ දඩයම් ක්‍රියාව මලල ක්‍රීඩාවේ යෙදෙන කඩින්කඩ දුවන (relay race) එකකට සමානය. මුලින්ම එක් බල්ලකු සීබ්‍රාවකු හෝ ඉම්පාලා මුවකු පසුපස හඹා යාම ආරම්භ කරයි. ඌ හතිවැටුනු පසු වෙනත් බල්ලෙකු හඹා යාම ආරම්භ කරයි. ඒ අන්දමින් කඩින් කඩ දිවීමක්ය. සිදුකරන්නේ හතිවැටුණු බල්ලා බිම ලගිනවා. මේ අතරතුරේ හතිදමන සීබ්‍රා හෝ ඉම්පාලා (Impala) බිම ඇද වැටෙනවා. එතැන් සිට බල්ලන් රංචුව ගොදුර වටා රොක් වී මස් ඉරා කෑම ආරම්භ කරනවා. පැටවුන් ද ගොදුර වට කරගන්නවා.   

 


මම්බුරි අපි දෙදෙන ඇමතීය. තව මොනවාද දකින්න කැමති. මම කතා කරමින් අපි කැමතියි ළඟ අහල පහල තියෙන මසායි (Massai) ගෝත්‍රිකයින්ගේ ගම්මානයකට යන්න. 

 
කිලෝමීටර් දහයක් විනාඩි දහයක (10) ධාවනයෙන් පසු අපි මසායි ගෝත්‍රික ගම්මානයකට පැමිණියෙමු. මෙහිදී අපි දුටුවේ සියලුම පිරිමි අඩි හතකට (07) වඩා උස බවය. කාන්තාවන්ගේ උඩු සිරුර නිරුවත්ය. කන් පෙතිවල කරාබු ජෝඩුව විශ්කම්භය අඟල් 4 ට වැඩිය. ඒවා ලීයෙන් නිමවූ ඒවාය. මම්බුරි අපි දෙදෙන අමතමින් චන්ද්‍රා විල්සන් මේ අයගේ වැඩවලට හිනා වෙන්න එපා.   


මම්බුරි අපි මේ අයට මුදල් ටිකක් දෙන්නද   


හා කමක් නෑ. දෙන්න අපි ඔවුනට සිලිං 8000 ක් දුනිමු.   


මම්බුරි අද මේ ඇවිද්දා ඇති පුලුවන් වුනොත් අපි හෙට දිනයේත් එනවා. දැන් අපි අරූෂා (Arusha) වට යනවා.   
රාත්‍රී හතට (7) පමණ අපි දෙදෙන අරූෂා නගරයට ළඟාවීමු.   


කුඩා නවාතැන් පොළකට පැමිණි අපි දෙදෙන කාමරයක නතර වී රාත්‍රී ආහාරයෙන් පසු වීදි සංචාරයකට එළඹුනි. අරූෂා නගරය රතු කහ කොළ පැහැති විදුලි බුබුළු වලින් එකාලෝකමත් වී තිබේ.   


එදින රාත්‍රී නිවහනේ නතරවී මොෂි (Moshi) නගරයට පැමිණ කිලිමන්ජාරෝ (Kilimanjaro) කන්දේ දකුණු බෑවුමේ ඉහළට යමින් වනජීවී විද්‍යාලයට ළඟා වුනෙමු. අපි දෙදෙනගේ කාමරවලට ඇතුල් වූ තැන් සිට කිලිමන්ජාරෝ (Mtkilimanjaro) කඳු මුදුනේ හිමකපොල්ලේ (Snow cap) දිස්වන්නට විය.   
කිලිමන්ජාරෝව සදාකල්හිම නොනැසී පවතීවා මගේ පැතුමයි   

 

 

එඩ්මන්ඩ් විල්සන් මීපගේ   
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව