ශෂිකලා මේ ජයග්‍රහණය ඔබට දැනෙන්නෙ කොහොමද?
ඇත්තම කිව්වොත් මට එය දැනුණේ මාත් එයාලා එක්ක ක්‍රීඩා කළා වගේ හැඟීමක්. මමයි, සැමියයි ටී.වී. එකෙන් මැච් එහි නරඹමින් සිටියෙ. ඒ ජයග්‍රහණය කළ මොහොතේ අපිත් එතැන සිටි අන්දමේ හැඟීමක් ඇති වුණේ. ඒ එක්කම මට එහි දිගම දුරකතන ඇමතුම් ආවා. ඉස්සෙල්ලාම කතා කළේ අනුෂ්කා සංජීවනී. මැච් එක ඉවර වූ විගස එයා ගත්ත වීඩියෝ කෝල් එකට අනෙක් ඔක්කෝමත් එක්වෙලා චියර් කරමින් කෑ ගහන විදිය දුටුවා. මට එය දැනුණෙ මාත් එතැන සිටිනවා වගේ හැඟීමක්. එය හරි හැඟුම්බර මොහොතක්. මොකද කිව්වොත් අවුරුදු ගාණක් අපි උත්සාහ කළ දෙයක් අපේ ළමයි ඉටු කළාම දැනුණු සතුට අපමණයි. ඒ එක්කම සමාජ මාධ්‍ය ඔස්සේ මාවත් අගයලා තිබීම ගැනත් මට හරි සතුටක් ගෙන දුන්නෙ.
කණ්ඩායමෙන් ආ ඒ දුරකථන ඇමතුම මෙතෙක් මගේ ජීවිතයේ මට ලැබුණු හොඳම ඇමතුමයි. ඒ සතුට අපමණයි. එදා මා එක්ක ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් අදටත් ක්‍රීඩා කරනවා. ඒ අය වගේම අලුතින් ආ ක්‍රීඩිකාවන් හැමෝම මම ගොඩක් ආදරෙයි. කොහොමටත් එයාලා එක්ක නිතරම මගේ සම්බන්ධතාවය තිබුණා. විශේෂම දේ ඒ ජයග්‍රාහී මොහොතේ එයාලා මාව අමතක නොකිරීමයි.
ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් හදන්න ඒ දිනවල ඔබ ඇතුළු පිරිස කළ කැපවීම් මොන වගේ ද?
2003 වසරේ සිට මම ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ. 2005 දී ආසියානු කුසලාන තරගාවලියේ නායකත්වය දැරුවෙ. ඊට අමතරව වසර නවයකට ආසන්න කාලයක් වරින්වර නායිකාව ලෙස කටයුතු කළා. 2020 දක්වා එලෙසින් ක්‍රීඩා කළා. ඒ කාලයේ තමයි ලොකුම ජයග්‍රහණය ගන්නෙත් 2013 දී ඉන්දියාවේ පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් වුණා. එතෙක් එංගලන්තය හා ඉන්දියාව එක්ක අපි ජය ලබා තිබුණෙ නැහැ. ඒත් එදා ඒ දේ කරන්න අපට පුළුවන් වුණා. පන්දුවාර 50 තරගවලදී දකුණු අප්‍රිකාව පරාජය කළ පසු ICC දර්ශකයේ 5 වැනි ස්ථානය දක්වා ඉහළට ඒමටත් අපට හැකි වුණා. 2014 දී T – 20 තරගාවලියේ ඉන්දියාවේදී ප්‍රථම වරට ජයග්‍රහණය කළා.
එදා ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් හැමෝම කළ කැපවීම් ඇත්තටම ඉහළයි. ‘2006’ දී තමයි කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට පැවරුණේ. ඊට පෙර ග්වේන් හේරත් මහත්මිය හඳුන්වාදුන් කණ්ඩායම යටතේ තමයි 1997 සිට පැවැතියේ. ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් සංගමයට ඇතුළත් වුණේ එතුමිය නිසයි. ඉතින් ඇත්තටම ලංකාවට කාන්තා ක්‍රිකට් හඳුන්වා දීමට සහ ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ එතුමියට ගෞරවයෙන් සිහිපත් කිරීම අපේ වගකීමක්. 1997 ලෝක කුසලානයට ගියේ වැනේසා සිල්වා මහත්මියගේ නායකත්වය යටතේ. ඇය තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රථම නායිකාව. එතැන් සිට මා නායකත්වයට පැමිණීම දක්වා ක්‍රීඩිකාවන් - පුහුණුකරුවන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වය ලැබුණා. මුල් කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් යටතට ඒමට පෙර අපි ගොඩාක් ආර්ථික සහ භෞතිකමය වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. ඒ සියලු දේ අතරේ ක්‍රීඩිකාවන්ගේ ධෛර්ය එක්ක කාන්තා ක්‍රිකට් ඉදිරියට ආවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ගෞරවය හිමිවිය යුතුයි.
බොහෝ අලුත් ක්‍රීඩිකාවන්, ඔබ ගැන තමයි පැහැදීමෙන් කතා කරන්නෙ ඔබව තමයි අනුගමනය කරන්නෙ මේ තරමට ඒ ක්‍රීඩිකාවන් ඔබට ආදරය කරන හේතුව ලෙස ඔබ දකින්නෙ?
ඇත්තටම මම එහෙම හිතලා කළ දෙයක් නැහැ. කීප තැනකදීම මාත් ඒ අගැයීම දුටුවා. ඒ ගැන මට හරි සතුටුයි. කණ්ඩායමට ක්‍රීඩා කරන්න පැමිණි දා සිට අද දක්වා මම ජීවත්වන විදිය එකම විදියයි. මම වෙනස් වුණේ නැහැ. සීනියර් - ජූනියර් කියලා මට භේදයක් තිබුණෙ නැහැ. ඒ නිසා කණ්ඩායමේ හැමෝම මාව විශ්වාස කළා. නායකත්වය දරද්දි, එයාලගෙ පොඩි වෙනස පවා මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ අනුව එයාලට ධෛර්යයක් ශක්තියක් වෙලා කටයුතු කළ නිසාත් මගේ ගෙදර අය එක්ක සිටින විදියට එයාලා එක්ක සිටි නිසාත්, එයාලට මාව දැනෙනවා ඇති. ඒ වගේම ක්‍රීඩා පිටියේදී වගේම ඉන් පිටතදීත් එයාලට ආදර්ශයක් වන විදිහට මම ජීවත්වීමට උත්සාහ ගන්න කෙනෙක්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඕනෑම කෙනෙකු ආදර්ශවත් විය යුතුමයි. ඉතින් ඒ ස්වභාවය නිසා එයාලා මගේ ජීවිතය වෙතින් දකිනව නම් ඒක මට සතුටක්.
ලංකාවේ කාන්තා ක්‍රිකට් අද මොන වගේ තැනකද තියෙන්නෙ?
එදා සිට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් වගේම පුහුණුකරුවන්, දිරි ගන්වන්නන් ඇතුළු සියලු දෙනාගේ කැපවීම නිසා අද කාන්තා ක්‍රිකට් යහපත් තැනක තිබෙන්නෙ. 2003 මම එන්න කලින් සිටි ක්‍රීඩිකාවන් බොහෝ දුෂ්කරතා - අපහසුතා එක්ක ක්‍රීඩා කළේ. එදා අපට ග්වේන් හේරත් මහත්මියගෙ සංගමය තිබියදී මාසිකව ලැබුණෙ බස් ගාස්තුවක් විතරයි. අපේ එකම චේතනය වුණේ එයයි. පසුව මාස් (Mas) ආයතනය සහ සිංගර් ආයතනය අපට උදවු කළා. ග්වේන් හේරත් මහත්මියට එය ලොකු හයියක් වුණා. එදා ආහාර – පාන ගන්න පවා මුදලක් ලැබුණෙ නැහැ. ටර්ෆ් එකේ පුහුණුවීමට පවා අවස්ථා ලැබුණෙ ඉතාම කලාතුරකින්. එදා අපේ උපනායිකාව ලෙස සිටි හිරෝෂි අබේසිංහගෙ අම්මා තමයි අපට කෑම සපයන්න ක්‍රමයක් හදලා දුන්නෙ. ක්‍රීඩිකාවන්ගෙ මව්වරු එදා කෑම පිළියෙල කරගෙන ආවා. ඒ වගේ ඉතිහාසයක් අපට තිබුණෙ.
සඳුන් ගමගේ