අපි සුරතල් සත්තු හදන්නෙ දරුවො වගේ - පූජනී භාග්‍යා



සුරතල් සතුන් කියන්නේ, ඔබ අප හැමදෙනාම ගොඩාක් ආදරය කරන වගේම, අපිට නැතුවම බැරි ළබැදි මිත්‍ර කොට්ඨාසයක්. සඳැල්ලෙන් ගෙන එන "මගේ සුරතලා" විශේෂාංගයට, මෙවර අපි සම්බන්ධ කරගත්තේ, ජනප්‍රිය රංගන ශිල්පිනී පූජනී භාග්‍යා.

  • පූජනී අපි මුලින්ම දැනගන්න කැමතියි සුරතල් සතුන් ගැන ඔබ හිතන විදිහ?

හැමෝටම සත්තුන්ට ආදරය කරන්න බැහැ. ඒ කැමැත්ත හැමෝටම ඇති වෙන්නෙත් නැහැ. මම දන්න අය ඉන්නවා සත්තු ළඟට එනවාටවත් කැමති නැහැ. එහෙම මිනිස්සුත් ඉන්න සමාජෙක සත්තුන්ට ආදරය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන්නේ දෙවියෝ දුන්න තෑග්ගක් විදිහටයි මම දකින්නේ

  • ඒ කියන්නේ පූජනී සත්තුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්?

ඔව් අනිවාර් යෙන්ම. මාව දන්න ගොඩාක් දෙනෙක් දන්නවා මම සත්තුන්ට ආදරය කරන කෙනෙක් කියලා. කාර්යබහුලත්වයත් එක්ක මම දැන් සුරතල් සතුන්ගේ වැඩවලින් ටිකක් ඈත් වෙලා හිටියට ඉස්සර මම ගොඩක් සත්තුන්ව බලා ගත්තු කෙනෙක්. තාමත් එයාලා ගැන උනන්දුයි ඒත් මම කරන දේවල් social mediaවල දාන්නේ  නැහැ.

  • පොඩි කාලේ ඉදලාම සත්තුන්ට ආදරෙයිද?

පුංචි කාලේ ඉදන්ම මට එක එක ජාතියේ සුරතල් සත්තු ඉදලා තියෙනවා. පොඩි කාලේ ඉදලාම සත්තුත් එක්ක තමයි මගේ ජිවිතේ ගෙවුණේ. මට සුරතල් සතෙක් හිටපු නැති කාලයක් නැහැ. එක දිගටම අපේ ගෙදර එක එක විදිහේ සුරතල් සත්තු හිටියා. ගොඩාක් වෙලාවට පාරෙ ඉන්න තුවාල වුණ අසරණ වුණ සත්තු මම අපේ ගෙදර අරන් ඇවිල්ලා බෙහෙත් කරලා බලා ගන්නවා. අපේ ගෙදර අයත් ඒ වගේමයි. එයලාත් සත්තුන්ට ගොඩාක් ආදරය කරන අය. මට හිතෙනවා එයාලාගේ ඒ ගතිගුණ තමයි මටත් ඇවිල්ලා තියෙන්නේ කියලා.

  • පූජනීට දැන් ඉන්න සුරතලුන් කවුද?

මගේ ගෙදර වත්තල. මගේ වැඩවලට ලේසි නිසා කොළඹ ඉන්නේ. අපේ ගෙදර නම් දැන් බල්ලෝ පූසෝ ඔක්කොම 25ක් විතර ඉන්නවා. හැබැයි එයාලා කවුරුවත් හොඳ වර්ගවල බල්ලෝ පූසෝ නෙමෙයි. එයාලාව ගොඩාක්ම ගෙනල්ලා තියෙන්නේ පාරේ ඉදලා. ඒ කියන්නේ පාරේ ඉන්න ලෙඩ හැදුණු, ඇවිදින්න  බැරි අය ගෙදර ගෙනල්ලා බෙහෙත් කරලා එයාලාව බලාගන්නවා. හොඳ වුණාට පස්සේ එයාලා යන්නෙ නැහැ අපේ ගෙදරම ඉන්නවා. එහෙම එකතු වෙලා තමයි දැන් 25ක් වෙනකන් වැඩි වෙලා තියෙන්නේ.

  • ගෙදර ඉන්න සුරතලුන් දඟ වැඩ කරනවාද?

එයාලා කරන ලොකුම දඟ වැඩේ තමයි රණ්ඩු වෙන එක. 25ක් විතර ඉන්න නිසා සමහර වෙලාවට එයාලා එයාලා එක එක විදිහට කල්ලි ගැගිලා ඉන්නේ. ඉතින් ඊර්ෂ්‍යා හිතෙන අවස්ථාත් තියෙනවානෙ. ගොඩක්ම ඒ නිසා එයාලා රණ්ඩු වෙනවා. එහෙම රණ්ඩු කරද්දී ඒවා බේරන එක තමයි අපිට තියෙන අමාරුම වැඩේ. අපි එයාලාට නිදා ගන්න සමහර වෙලාවට කුෂන් දෙනවා නේ ඒවා ඉරලා හැමතැනම දානවා. දඟ වැඩ නම් ඉතින් එකක් කියලා කියන්න අමාරුයි. ඒත් එක දවසක් අපේ ගෙදර හිටපු එක බල්ලෙක් සතියක් තිස්සේ නැහැ. අපි හැමතැනම හොයනවා ඒත් හම්බුණේ නැහැ. සතියකට පස්සේ එනවා තව ගෑනු ළමයෙකුත් එක්කගෙන. අපි මෙයාලාව බලාගන්නෙත් බොහොම අමාරුවෙන්. මෙයා තව යාළුවෙකුත් එක්කන් එනවා. ඔය වගේ දඟ වැඩ තමයි එයාලා කරන්නේ.

  • පූජනීගේ busy life එකත් එක්ක කොහොමද සත්තුන්ව බලාගන්නේ?

ඇත්තටම ඒකේ credit එක නම් දෙන්න ඕන අපේ අම්මාට. අපේ අම්මායි තාත්තායි සත්තුන්ට හරිම ආදරෙයි. ගෙදර ඉන්න කාලේ අපි හැමෝම එකතු වෙලා තමයි මෙයාලාගෙ වැඩ කළේ. ඒත් දැන් මම වෙනම ඉන්නෙ. අම්මායි තාත්තායි නංගිලා දෙන්නයි ඒ වැඩ ටික කරනවා. වෙලාවකට මම සමහර වැඩ ignore කරනකොට එයාලා මැදිහත් වෙලා ඒවාත් කරනවා.  තව ටික දවසකින් නංගිලාත් එයාලගේ career එක හදාගන්න ඒ වැඩවලට යනකොට අම්මා තමයි ඒ දෙවල් ගොඩක් කරන්නේ. නාවන ඒවා කන්න බොන්න දෙන ඒවා නම් ගොඩාක් වෙලාවට අපේ අම්මා කරන්නේ. අම්මා තමයි එයාලා වෙනුවෙන් වැඩිම කාලයක් වැය කරන්නේ.  

  • සුරතල් සතෙකුගේ වෙන්ව යාම කොහොමද දැනුණේ?

මගේ සුරතල් සතුන් හැමෝම එක්ක ගොඩාක් ආදරණීය මතකයක් තියෙනවා. ඒ මතක අතරේ අමතක කරන්න බැරිම මතකයක් තමයි සුරතල් සතුන්ගේ වෙන්ව යාම කියන්නේ. ඒක දරා ගන්න හරිම අමාරු හැඟීමක්. ආදරෙන්ම අපිත් එක්ක ඉදලා, අපිත් එයාලාව ආදරෙන් බලාගෙන එයාල අපිව දාලා යනකොට හරිම දුකයි. ඒ අයව ආයෙ ආයේ මතක් වෙනකොට දැනෙන්නේ හරිම වේදනාවක්.

  • පූජනීට වැඩිපුරම ආදරය කරන සුරතලා ගැන කිවුවොත්,

දැන් නම් මම ගෙදර නෙමෙයි ඉන්නේ ඉතින්, මට ගොඩාක් වෙලාවට මුණ ගැහෙන්නේ ලෝකී. එයා අපේ අයියලාගේ ගෙදර ඉන්නේ. මම ම තමයි ගිහින් එයාව අරන් ආවේ. ගෙදර කට්ටිය නම් මට ඔක්කොමලා එක වගේ එහෙම විශේෂයක් නැහැ. 2007/2008 වගේ කාලේ මට බල්ලෙක් හිටියා ටොමී කියලා. එයා ගෑනු සතෙක්. එයා තමයි මට ගොඩාක් ළඟින්ම හිටපු සුරතලා.  එයා හරිම කීකරුයි වගේම එයා හරිම අහිංසකයි.

  • සුරතල් සතුන්ගේ දෙමාපියෙක් වෙන්න ලැබුණෙ එකේ සතුට වචනවලට පෙරළුවොත්,

අපිට ගොඩාක් අය ඇවිල්ලා කියනවා මෙච්චර සත්තු හදන්න එපා කියලා. ඒත් මගේ අම්මා කියන්නේ මේ සත්තුන්ට දෙන වතුර උගුරක හරි පින අපිට කවදා හරි ලැබෙයි කියලා. අපි මේ සුරතල් සතුන්ව හදන්නේ ගෙදර දරුවෝ වගේ. මට නම් හරි සතුටුයි මගේ සුරතල් සතුන්ගේ භාරකාරයා වෙන්න ලැබුණු එක ගැන.


ලිහිණි ලියනගේ