‘උඩු ගුවන යටින් මහදෙරණ පිටින්
හැම මුවකින් පිටවෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ
පෙති ඇරෙන මලෙයි දිය පිරෙන විලෙයි
මුළු දවසෙම පැවසෙන්නේ
අපෙ ආදර කතන්දරේ’
60 දශකයේ තරුණ හදවත් ආදරෙන් කුල්මත් කළ
අදටත් එලෙසම ප්‍රේමණීය හැඟුම් මතුකරන මෙවැනි
රසබර, අරුත්බර ගී දහරක අයිතිකරුවා තමයි
ජේ. ඒ. මිල්ටන් පෙරේරා කියන්නේ.
ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර වැනි ගේය පද රචකයන්ගේ හා මොහොමඩ් සාලි, ක්ලැරන්ස් වැනි ප්‍රවීණ සංගීතවේදීන්ගේ රස භාවයෙන් නිර්මාණය වූ මෙම පදවලට මිල්ටන් පෙරේරා නම් කෝකිලයා පණනල පොවන අයුරු විස්මයජනකයි.
අද තරගකාරී රියැලිටි වැඩසටහන්වල එම ගී පද නොගැයූ තරුණ ගායකයකු සොයා ගන්නත් බැරි තරම්. එම
මධුර ස්වරය ඉදිරියට ගෙන යාමට එම පරපුරේ දරු මුනුපුරන්ද සැදී පැහැදී ඉන්නවා.
අද සඳැල්ලට එක්වන්නේ ඒ තුන්වැනි පරපුරේ නව යොවුන් ශිල්පියෙක්. ඒ තමා මිල්ටන්ගේ පුත් චලක චමුපති පෙරේරාගේ පුතු වන චමත් චමුපති.
නව යොවුන් තරුණයකු වන චමත් දැන් බොහොම කාර්ය බහුලයි. ඔහුගේම සංගීත කණ්ඩායම සමග පුහුණු කටයුතු කිරීමට ඇප කැපවී සිටින නිසයි.
චමත් කොහොමද ජීවිතේ?
සංගීතයත් එක්ක සන්තෝසයෙන් ගලා යනවා.
අලුත් බෑන්ඩ් එකක් හැදුවයි කියල ආරංචියි
ඔව්. මගේම කියල බෑන්ඩ් එකක් හදා ගන්න තරම් වාසනාව ලැබුණා. එහි නම BAND SRI. Music Production Diploma තුළින් බෑන්ඩ් එක loach කරල කරගෙන යනවා.
කවුද ඔයාගෙ ගුරුවරු?
ම් vocal tranning හැදෑරුවේ කසුන් කල්හාරගෙන්. giutar වාදනය හැදෑරුවේ ප්‍රදීප් බෝගහවත්තගෙන්.
පාසලේ ඉගෙන ගත්තෙත් සංගීතයද?
මම ගියේ කොළඹ මහානාම විදුහලට. ක්‍රීඩාවලට තමයි දස්කම් පෑවේ. Athletics සහ බැඩ්මින්ටන්වලට. විෂයක් වශයෙන් නාට්‍ය හා රංග කලාව කළා.
එතකොට සංගීතය?
මං හිතන්නේ ඒක මගේ ජානවල තියෙන්න ඇති. කොහොමත් මම විදේශීය සංගීතඥයන් හා එයාලගෙ නිර්මාණවලට ළැදියාවක් පුංචි කාලෙ ඉඳන්ම තිබුණා. ජාත්‍යන්තර කලාකරුවන්ගේ ගීතවලට නැඹුරුයි. මගේ බෑන්ඩ් එකෙත් එම ගීතවලට හුරුපුරුදු වෙනවා.
ඒ වුණාට ඔබේ සීයගෙ ගීත තමයි අදත් ජනප්‍රිය. ඒ ආභාසය ඔබට තියෙනව නේද?
ඒක තමයි මං කීවේ සීයාගේ ගීත තවමත් අපගේ හදවත් තුළ පිළිරැව් දෙනවා. ඉන් මිදී පලා යන්න බෑ. මගේ සීයාගේ තාත්තා ජේ. ඒ. ඇඩ්වින් පෙරේරා අතිදක්ෂ තාල තරංග වාදකයෙක්. එතුමා හැඳින්වූයේ තබ්ලා පොඩි අප්පුහාමි කියලා. ඒ රිද්මයත් ජීවමානයි.
එතකොට සීයාගෙන් ඔයාට ලැබුණු දායාද?
ඇත්තෙන්ම සියා මගේ ඇසින් දකින්නට වාසනාව මට ලැබුණේ නැහැ. ඒ වුණත් ආච්චි (කල්‍යාණි පෙරේරා) එතුමා ගැන මට මැනවින් කියාදී තියෙනවා. මගේ පියා චලක චමුපති පෙරේරා සීයාගේ අගය ගැනත් එදා පැවති වාතාවරණය ගැනත් මා දැනුවත් කර තියෙනවා. ඇතැම් ගේය පද හා තනු නිර්මාණවල විස්මිත රටාවන් සීයා ඊට දුන් හඬ පෞරුෂයත් හිතා ගන්න බැරි තරම් චමත්කාරයි. සීයාගේ ආශීර්වාදය මටත් හැමදාම ලැබේවි.
ඔබේ උපතත් සිදුවුණේ මවුබිමෙන් බැහැර නේද?
ඔව්. එංගලන්තෙදී. තාත්තයි අම්මයි අක්කයි තමා අපේ පවුල. මගෙ ලොකු තාත්තා ප්‍රියංකර පෙරේරා. එයත් අති දක්ෂ ගායන ශිල්පියෙක්. මගේ අයිය දිල්මිත් පෙරේරා. සහෝදරවරු සහ යහළුවෝ තමයි මගේ කුසලතා ඉහළටට නංවන්න අත දෙන්නේ.
සීයාගෙ ගීත පියාත් ගයනවා. කොහොමද පිළිගැනීම?
සීයාගෙ දිව්‍යමය හඬ සහ එතුමා ගීයේ හැඟීම්වලට කරන සාධාරණය එලෙසින්ම ඉටු කිරීම අපේ වගකීම හා යුතුකම ලෙසයි තාත්තා කියන්නේ. රසික ජනතාව බලාපොරොත්තු වන්නෙත් එයයි. මගේ ආච්චිත් මගේ ගීත අහන්න හරි කැමතියි. එයාට සීයාගේ හඩ මතක් වෙනවා ඇති. විදෙස් ගතව සිටින පැරණි රසිකයෝ අපට දක්වන ප්‍රතිචාර අදහගන්නත් බෑ. දිගු සංගීත සංචාර කිහිපයකට පසුවයි අපි මවුබිමට ආවේ.
මෙම ගීත අතරින් ඔබේ හදවත දිනාගත් ගීත මොනවද?
සීයාගෙ ගීත හැම එකකටම. එයත් ගීත රචකයා සංගීතඥයා ඇතුළු සැම ශිල්පියෙක්ම ඉතා ඇප කැපවී තියෙන බව මම අහල තියෙනවා.
ඇතැම් ගීත ලියැවුණේ ලොකු පරිශ්‍රමයකින් ඊට තනුව හා සංගීත සංකලනය කිරීමේදී දිවා රෑ නොබලා ඊට ඇප කැපවුණාලු. අද වගේ තාක්ෂණික උපක්‍රම හා කාලය ගෙවා දැමීමත් එදා තිබුණේ නෑ. එකම take එකකින් ඒ කියන්නේ එක වරකින්ම තැටි ගත කිරීම හෝ පටිගත කිරීට තරම් ඔවුන් දක්ෂ වූ අව්සතාව ගැන මා අසා තිබෙනවා. ‘සිකුරුලියා’ ගැයුවේ එහෙමලු.
සීයාට පද මාලාව අතට ලැබුණු විගස එහි හරය තේරුම් අරන් සංගීතඥයා එක්ක කතාබහ කළ විගසම එක්වරින්ම ගීතය රසබරව ගයා තිබෙනවා.
කැසට් ලෝකයේත් ග්‍රැමෆෝන් ලෝකයේත් ගුවන් විදුලියේත්, ප්‍රසංග වේදිකාවේත් පමණක් නොව සිංහල සිනමාවේත් මිල්ටන් පෙරේරා සන්නාමය රැඳී පවතින බව මට ආඩම්බරයෙන් කියන්න පුළුවන්.
ඔබ ආසාවෙන් ගයන්න කැමති ගීත?
සීයාගේ ගීත එකකට එකක් වෙනස්. ප්‍රේමය වෑහෙන ගීත වගේම වියෝදුක නිසා. හදවත සසලව කඳුළු කඩා හැලෙන ගීතත් අභියෝගාත්මක ගීතත් ඒ අතර තියෙනවා. මාත් උත්සාහ කරනවා ඒවාට පිවිසෙන්නට.
සීයා ගැයූ ‘උඩු ගුවන යටින්’ ගීතයේ රිද්මයට මම වශී වුණා. මා ගයන්නෙත් ප්‍රේක්ෂකයෝ ඉල්ලන්නෙත් එවැනි ගීතයි. මම නව නිර්මාණ කරනවා නම් එම ගීතය පූර්වා දර්ශකයක් වේ යැයි හිතෙනවා.
සිකුරුලියා, මහ ගන වනන්තරේ, පෙම් අප්සරාවෝ, විමන් ඉඩ ඇතේ, රන් පොකුණින්, පොඩි කාලේ අපි දෙන්නා, වැනි ගීත තවමත් රසිකයෝ බලාපොරොත්තු වෙනවා.
ඒ විතරක් නොවෙයි සීයා ගැයූ විකට ගීත, ශාස්ත්‍රීය ගීත, සරල ගීත, වේග රිද්මයේ ගීත ඉන්දීය අනුකාරක ගීත, සිනමා ගීත හා නව නිර්මාණාත්මක ගීත සහ මෙතෙක් ප්‍රචාරය නොවූ ගීත බැලුවම එම ගීත ජනගත කිරිම අපේ යුතුකමක් බව පෙනී යනවා.
මෙම වසර තුළදී ඒවා ගයනවාද?
පුළුවන් තරම් හඳුන්වාදීමයි මගේ සහ BAND SRI කණ්ඩායම් උත්සාහය.
ස්වතන්ත්‍ර නිර්මාණත් ඒ අතර තියෙනවද?
අනිවාර්යයෙන්ම මෙම වසර තුළදී ස්වතන්ත්‍ර නිර්මාණ දෙකක් හඳුන්වා දෙනවා. ඒ වගේම පුළු පුළුවන් හැටියට අපේ පරපුරේ සැඟවුණු ගීත ප්‍රසංගවලදී ගයන්න උත්සාහ කරනවා.
කවුද අලුත් ගී ලිව්වේ?
එක ගීයක් මමත් දෙරණ සුපර් ස්ටාර් ගායන තේනුක වරාගොඩයි. රචනය කරල අපිම තනුව දැම්මා අනිත් ගීය රන්සල් ගමගේ ලිව්වේ. තනුව දම්මේ කමල් අද්දර ආරච්චිගෙ පුතා වන රසන් අද්දරආරච්චි.
ආදරය ගැනයි පදපේළි ගලාගෙන එන්නේ. ඔයත් එහෙමද?
ඔව්. ඉතින් කවුද ආදරයට කැමති නැත්තේ. කාගෙන් හරි ආදරය ලැබෙනවා නම් ලොකු සතුටක්. ඒත් ගොඩක්ම බරට ඒ ගැන මං හිතන්නේ නෑ.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි