වෙනදා වගේ එයාට දුවලා පැනලා වැඩ කරන්න බැරි වුණත් අම්මා මාස 8 කට පස්සේ වැඩ පටන්ගත්තා.
ජාතික රෝහලට ගෙනිච්චාම වෛද්‍යවරු කිව්වා අම්මාගේ කකුල කපන්න වෙයි කියලා. මිනිස්සු කියපු කතා එක්ක අපි ලංකාවෙන් යමු කියලාත් අම්මාට කතා කළා.
ප්‍රසංග වේදිකාව තුළ නැතුවම බැරි ඉහළ රසික ආදරයක් දිනා සිටි ගායන ශිල්පිනියක වූ කේ සුජීවාට අතුරුගිරිය වෙඩි තැබීමෙන් මුහුණ දීමට සිදුවූයේ සුළුපටු තත්ත්වයක් නොවන බව සියලුදෙනා දන්නා කරුණකි. එම වෙඩි ප්‍රහාරයෙන් ඇයගේ පාදයන්ට සිදු වූ බරපතල තුවාල තත්ත්වයන් නිසා නේවාසිකව මාස ගණනක් ප්‍රතිකාර ලැබූ ඇය දියණියන් දෙදෙනාගේ මහත් රැකවරණය මැද කෙමෙන් කෙමෙන් සුව වී සුපුරුදු කාර්යයන් අරම්භ කිරීමට සූදානම් බව ඇයගේ සමාජ මාධ්‍ය හරහා දැකගන්නට ලැබුණි.
මේ කේ සුජීවාගේ වැඩිමහල් දියණිය වන අංජලී රාජ්කුමාර් ඇයගේ කලා කටයුතු වගේම සිය මවගේ නවතම තත්ත්වය පිළිබඳව කතාබහ කරන්න ඇය සඳැල්ල සමඟ එක් වූ මොහොතකි.
ප්‍ර ඔක්කොම දමලා ගහලා වාහන හෝදන්න පටන් ගත්ත වැඩේ කොහොමද?
වැඩේ හිතුවාට වඩා හොඳට වෙනවා. වාහන එක්ක මට පුංචි කාලේ ඉඳලා තියෙන්නේ අමුතු බැඳීමක්. වාහන හෝදන එක රැකියාව කරගත්තේ මම හරිම සතුටෙන් . හැබැයි මේක පටන් ගන්න හිතුවාට වඩා කාලයක් ගියා.
මම චෙන්නායිවල ජීවත් වෙච්ච කාලෙත් හරියට වැඩ කරපු කෙනෙක්. නමුත් මම කාගෙවත් යටතේ වැඩ කරනවාට අම්මා කැමති වුණේ නැහැ. වෘත්තිය විදිහට ගායන පැත්තෙන් යන්නත් ආසාවක් තිබුණේ නැහැ. ඒ වුණාට නංගි අම්මාගේ සින්දු කියනවා දැක්කාම පස්සේ මට ආස හිතුණා. ඒ විදිහට ගායන පැත්තට ආවා. ඒත් රැකියාවක් කිරීමේ ආසාව මගේ යටිහිතේ තිබුණා. පස්සේ අම්මාගේ අදහසක් අනුව තමයි Angel Motorsports ඇන්ට් Car Wash අපේ අලුත්ම ව්‍යාපාරය පටන් ගත්තේ. ව්‍යපාරය පටන් ගනිද්දි ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් වෙයිද කියන බය මට තිබුණා. හරියන්න හරි වරදින්න හරි වැඩේ පටන් ගන්න කියලා බල කළේ අම්මා. අම්මා ඇවිදගන්න බැරුව ඇඳ උඩ ඉඳගෙන තමයි මට Car Wash එක පටන් ගන්න කියලා කිව්වේ. මේ හැම දේකටම ලොකුම ශක්තිය වුණේ අම්මා.
ප්‍ර අංජලී පසුගිය දවසක අමුතු තාලේ ප්‍රපෝසල් එකකුත් කළා දිනිතට?
මම දිනිතට ප්‍රපොස් කළා එයා හා කිව්වා එච්චරයි වුණේ. ඉක්මනට අපි විවාහය රෙජිස්ටර් වෙන්න හිතන් ඉන්නවා. දිනිතව මට හම්බවෙන්නේ 2021. වාහන ගැන කතා කරන්න ගිහින් තමයි අපේ කතාබහ ප්‍රේමයකට හැරෙන්නේ. එයා ඔටෝමොබයිල් සම්බන්ධයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඇත්තම කියනවනම් අම්මාට මුහුණ දෙන්න වුණ අනතුරත් එක්ක නංගියි මමයි ඊලග මොහොතේ කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. අම්මා මේ අනතුරට මුහුණ දිපු වෙලාවේ මාව අතරමං වුණා. අම්මා නැතුව මං ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා අහන්න අම්මා නෑ. අම්මා ළඟට යන්න බෑ අතින් අල්ලන්න බෑ. දුරින් ඉඳන් තමයි අම්මාව බලන්න වුණේ. ඒ දුරස් වීමට මට හරියට දැනුණා. දිනිත තමයි අපි තුන්දෙනාගෙම හයිය වුණේ.
ප්‍ර 2024 ජූලි 8 වෙනිදා අංජලී නොසිතපු ජීවිතේට මුහුණ දීපු දවස?
7 වෙනිදා රාත්‍රිය අම්මා, නයන, නංගි, මම අපි පවුලක් හැටියට හරි සතුටෙන් හිටියා. ඔය කියන ටැටූ ෂොප් එකේ ඕපනින් එක ගැන අපි රෑ කතා වුණා. අම්මාටයි නංගිටයි මටයි තුන්නොටම තමයි ඒකට ආරධනා කරලා තිබුණේ. 8 වෙනිදා අපි මියුසික් වීඩියෝ ෂුට් එකක් කරන්න දාගෙන හිටිය නිසා මම අම්මාගෙන් රෑ ඇහුව්වා අපි ඒ ටැටු ෂොප් එක ඕපනින් එකට යන්නම ඕනද කියලා. ඒත් ඒකට නොගිහින් ඉන්න අම්මාට හිත දුන්නේ නැහැ. අම්මා කිව්වා මහන්සි වෙලා අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්නෙ. නොගිහින් හරි නැහැ කියලා. අපි කලින් දවසේ රෑ යන්න අදිමඳි කරපු නිසා අම්මා නංගිවයි මාවයි ඇහැරවන්නේ නැතුව එයා නයන එක්ක ගමන ගිහින් තිබුණා.
මේ සිදුවීම වෙලා තිබුණේ උදේ 10.14 ට විතර මම නිදාගෙන හිටියේ අම්මා මට කතා කරලා තිබුණත් ඇමතුම මට මිස් වුණා. නංගි තමයි දුවගෙන ඇවිත් කිව්වේ අක්කා අම්මට වෙඩි තියලා කියනවා කියලා. ඒ වෙලවෙම මටත් අම්මාගෙන් කෝල් එකක් ආවා. කවුද වෙඩි තිබ්බා. නයනගේ පපුවටමයි වැදුනේ එයාට ගොඩාක් අමාරුයි ඉක්මනට අතුරුගිරියට එන්න කියලා.
හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. පොඩි වෙලාවක් ඇතුළත අපි අතුරුගිරියට ගියා. සිද්ධිය වුන තැනට යනකොට මම අම්මාගේ වාහනේ දැක්කාම මට හුස්ම ගන්න බැරි වුණා. අත් කකුල් වෙව්ලන්න ගත්තා. මට එතැනින් එහාට වාහනේ අරන් යන්න බැරි වුණා. කට්ටිය කිව්වා අම්මාව ඔරුවල රෝහලට අරන් ගියා ඉක්මනට යන්න කියලා. ඔරුවල රෝහලට යන කොට අම්මාගේ කකුල බැන්ඩේජ් වලින් වෙළනවා. ඒ වෙලාවේ මට කෙනෙක් ඇවිත් කිව්වා මමයි අම්මාව ත්‍රිවිල් එකක දාගෙන ගෙනාවේ කියලා. මම ඒ වෙලාවේ එයාට වැන්දා. ඔරුවල රෝහලෙන් අම්මාගේ ජුවලරි ගලවලා ෆෝන් හෑන්ඩ් බැග් මට බාරදිලා අම්මාව ජාතික රෝහලට අරන් යන වෙලාවේ මට හයියෙන්ම ඇඬුණා. නංගියි මමයි තනිවුණා වගේ මහ පාළු හැගීමක් දැනුණා.
ප්‍ර මේ සිදුවීමත් එක්ක සියලු බර වැටුණේ අංජලීගේ කර මතට ?
අම්මාගේ ශක්තිය මට දැනුණේ අනතුරට ලක්වෙලා අම්මා එකතැන් වුණාට පස්සේ. අම්ම් නංගිවයි මාවයිත් බලාගෙන මේ බර ඇදන් ආවේ කොහොමද කියලා මට හිතුණේ එදා. ජාතික රෝහලට අම්මාව ගෙනිච්චාම කිව්වා අම්මාගේ ජීවිතේ බේරගන්නනම් අම්මාගේ කකුල කපන්න වෙයි කියලා වෛද්‍යවරු කිව්වාම මගේ මුළු ලෝකෙම කඩා වැටුණා. අම්මාගේ අනන්‍යතාව තමයි ගායනය. මම නංගිව බදාගෙන කල්පනා කරේ දෙයියනේ අම්මා ආයෙම වේදිකාවේ දඟලලා සින්දුවක් කියන්නේ කොහොමද සහ එයාට මේක කියන්නේ කොහොමද කියන එක. ඒත් අම්මාගේ කකුල නැති වුණාට අම්මාගේ හඬ නැති වුණේ නැහැ කියලා හිතලා මම හිත ශක්තිමත් කර ගත්තා. කකුලක් නැතුව හරි අම්මාව ගොඩ ගන්නවා කියන තැන මමයි නංගියි හිටියා. කොහොම හරි දෙවිවරු වගේ වෛද්‍යවරු ටිකක් හමුවුණා. ඒ අය අම්මාව මේ ඉන්න තත්ත්වයට ගේන්න ගොඩාක් මහන්සි වුණා. අම්මාගේ ජීවිතේ විශේෂිතම කෙනා නැති වුන එක අම්මාට කියාගන්න බැරුව තමයි අපි ගොඩාක් අපහසුතාවට පත්වුණේ.
ප්‍ර විශේෂිතම කෙනා කිව්වේ
"නයන වාසුල"
ඔව් අම්මා විවාහ වෙලා හිටියේ ඔහුත් සමඟ. අම්මා නයන එක්ක විවාහ වෙලා අවුරුදු 4 ක්. අම්මා සතුටින් ම හිටියේ නයන ජීවිත් වෙච්ච අවුරුදු 4 කියලා මම හිතනවා. අම්මා රෝහලේ සිටියදීත් නිතරම අපෙන් ඇහුවේ නයන කෝ කියලා විතරයි අම්මාගේ ඔළුවේ වැඩ කළේම නයනට මොකද කියන එක විතරයි. නයන නැති වුණා කියලා අම්මාට කියන්න එපා කියලා වෛද්‍යවරු කිව්වාත් නයනගේ අවමංගල්‍ය කටයුතු කරන්න අම්මාගේ අවසරය සහ විවාහ සහතිකය අවශ්‍ය කර තිබුන නිසා අම්මාට කියන්න වුණා. ඒ වෙනකොටත් අම්මා ශල්‍යකර්ම දෙකක් කරලා හිටියේ. හැබැයි අම්මා ශක්තිවන්තව ඒ අවස්ථාවටත් මුහුණ දෙන්න මට ශක්තිය දුන්නා.
මාස අටක් ජීවිතේ දුෂ්කරතම කාලයක් ගෙවලා දැන් ටික ටික හුස්ම ගන්න කාලේ. ජිවිතේ ගැන ලොකුවට හිතුවේ නැහැ. ඒ මොහොතට මුහුණ දුන්නා. සුපර් මාර්කට් එකට ගියත් මිනිස්සු කුසු කුසු ගාලා එක එක ඒවා කියනවා මට ඇහෙනවා. ඒත් මම හිත දැඩි කරන් හැම දේටම මුහුණ දුන්නා. සිදුවීම වෙච්ච දවස් වල මිනිස්සු කියපු කතා එක්ක මම අම්මාට අපි ලංකාවෙන් යමු කියලාත් කතා කළා.
ප්‍ර මේ වෙනකොට අම්මා ශල්‍යකර්ම කීයකට මුහුණ දීලා තියෙනවද?
ශල්‍යකර්ම 7 කට පමණ අම්මාට වරින්වර මුහුණ දෙන්න වුණා. මේ සිදුවීම නයනගේ වියෝව. මිනිස්සු දේවල් නොදැන කරපු චෝනා කියපු කතාවලට අම්මා මානසිකව වැටෙන්න පුළුවන් බිංදුවටම වැටුණා. මේ සිද්ධියට මුහුණ දීපු වෙලාවේ ඉඳලා අම්මා ඉස්සරහ කෑ ගහලා අඩුවේ මම එක වතාවයි. ඊට පස්සේ අද වෙනකම් අම්මාට පේන්න කිසිම වෙලාවක අඬලා නැහැ. අම්මාව සතුටින් තියන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. අම්මාගේ මානසිකත්වය හදන්න. අම්මා තාමත් මානසිකව සියයට සියක් සාමාන්‍ය අතට හැරිලා නැහැ. අම්මාට හැම දේම එපා වෙලා හිටියේ . සින්දුවක් වත් කියන්න බැහැ කියන තැනක අම්මා හිටියා. එ් තැනින් මුදවාගන්න ලොකු උත්සාහයක් අපි ගත්තා.
ප්‍ර මාස 8 කට පස්සේ අම්මාගේ තත්වය කොෙහාමද?
තාම අම්මාට හොඳට අඩිය තියලා ඇවිදින්න බැහැ. කිලෝ 5 ක පමන බර දරන්න උත්සාහ කරන්න කියලා වෛද්‍යවරු අපදෙස් දීලා තියෙනවා දැනට. ශරීරයේ මුළු බරම ඒ කකුලට දරන්න තව ටික කාලයක් යයි. ගෙදර වෝකර් එකක ආධාරයෙන් ඇවිදිනවා. අම්මාගෙන් ඇරෙන්න වෙන සැලොන් වලට මේ මාස ගණනම නොගිය සේවාදායකයෝ නිසා මාස 8 කට පස්සේ අම්මා සැලොන් එකේ වැඩ පටන් ගත්තා. වෙනදා වගේ එයාට දුවලා පැනලා වැඩ කරන්න බැරි වුනත් අම්මා බොහොම සතුටින් සැලොන් එකේ වැඩ වලට යොමු වෙනවා. අම්මාට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ළඟදීම අපි වේදිකාවට නගිමු කියලාත් අපි අම්මාට කියනවා.
නදිශා අතුකෝරළ