අම්බලමක රැයක් පහන් කළ “සුදු දිසාපති”


ජෝන් ඩොයිලි පිළිබඳ අප්‍රකට කතාවක්   

 

 

ලක්දිව මුහුදුබඩ ඉංග්‍රීසි පාලන ප්‍රදේශයේ වෙසෙමින් 1810 කාලයේ සිට කන්ද උඩරට රාජ්‍යයේ ප්‍රබලම සිංහල නායකයින් හා සම්බන්ධතා පවත්වාගෙන යමින් කන්ද උඩරට රාජ්‍යය පිළිබඳ තොරතුරු සොයා බැලූ පුද්ගලයා වන්නේ ජෝන් ඩොයිලිය.

උඩරට ආක්‍රමණය පිළිබඳ ඉංග්‍රීසි හමුදා සම්බන්ධීකරණ කටයුතු භාර නිලධාරියා ලෙස ඔහු ඉතාමත්ම කාර්යක්ෂම ලෙස ක්‍රියා කළේය. කන්ද උඩරට ආක්‍රමණයේදී අම්බලමක ඔහු රැයක් ගතකර තිබේ. ඉංග්‍රීසීන්ගේ ඉතා උසස් නිලධාරියකු අම්බලමක රැයක් ගත කිරීම පුදුම විය යුතු කාරණයෙකි. 


1815 ජනවාරි 10 දා ඩොයිලි කන්ද උඩරට රාජ්‍යයට ඇතුළ් වීමට ඉංග්‍රීසී හමුදාවනට විධාන කළේය. ඩොයිලිගේ නියෝගයත් සමඟ 1815 ජනවාරි 11 වැනිදා පාන්දර ඉංග්‍රීසීන්ගේ හමුදා කණ්ඩායමක් සීතාවක ගඟ තරණය කරමින් කන්ද උඩරට රාජ්‍යයට ඇතුළු වූවෝය. 


1815 ජනවාරි 21 දිනය වනවිට ඩොයිලිට ඉද්දමල්පානට එන්නට හැකි වී තිබිණ. එදින ශ්‍රී වික්‍රම රජුට අයත්ව පවතින දැදිගම ගම්මානයේ විසූ දැදිගම මොහොට්ටාලගේ පණිවිඩකරුවෝ තිදෙනෙක් ඩොයිලි හමුවීමට පැමිණ සිටියහ. දැදිගම ගම්මානය අල්ලා දීම සඳහා කුඩා ඉංග්‍රීසි හේවා කණ්ඩායමක් එවන ලෙස දැදිගම මොහොට්ටාල දැන්වූ විත්තිය එම පණිවිඩකරුවෝ ඩොයිලිට පවසා සිටියෝය. 

 

 

ඩොයිලි එදිනම සවස එක් ආරක්ෂකයෙක් සමඟ අශ්වයකු පිට නැගී ගමන් ගන්නට වූයේ දැදිගම මොහොට්ටාල හමුවීමේ බලාපොරොත්තුවෙනි. 


ඒ ගමනේදී ඩොයිලිට දැදිගම මොහොට්ටාලගේ පියා වූ ඉලිපැන්ගමුව හමුවිය. ඉලිපැන්ගමුව සමඟ සිංහල ප්‍රධානීන් දෙදෙනෙක් හා ගම්වැසියෝ 50ක පමණ පිරිසක් සිටියහ.

ඩොයිලිගේ මේ ගමනේ තවත් අරමුණක් වී තිබුණේ ධාන්‍ය ලබාගත හැකි ස්ථාන පිළිබඳ සොයා බැලීමය. තමන්ගේ නිලධාරීන්ට හා භටයන්ට ගැටලුවකින් තොරව ආහාරපාන ලබාදීමට හේ ක්‍රියාකරමින් සිටියේය. 
ඩොයිලි සිතූ ලෙසින් ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව උදා වී නැත. නොදැනුවත්වම රැය උදාවෙමින් පැවැතී ඇත. රැයෙහි ගමන් කිරීම භයානක තත්ත්වයකි. ඒ මොහොතේ ඔහු සිටියේ තුන්තොට පෙදෙසේය. එම පෙදෙසේ අම්බලමක් තිබිණ. ඔහු තුන්තොට අම්බලමේ රැය ගත කළේය. එදින ඔහුගේ තනියට සිටියේ ඔහු සමඟ ගිය ආරක්ෂකයා පමණි. ඩොයිලි අශ්වයා අම්බලම අසල ගසක බැඳ දමන්නට ඇත. 


පසුදා පාන්දරම අවදි වී මැණික්කඩවරට ගමන් කර ඇත. අනතුරුව ගමන් කර ඇත්තේ දැදිගමටය. දැදිගමදී දැදිගම මොහොට්ටාල හමු වී තිබේ. එහිදී ඩොයිලි මොහොට්ටාලට පවසා තිබෙන්නේ මෙවර කුඹුරුවල ගොයම් කැපීමෙන් පසුව ලබාගන්නා අස්වැන්න සුරක්ෂිතව තබාගන්නා ලෙසය. 


ඩොයිලි රැයක් ගත කළ තුන්තොට වත්මනෙහි අයත්ව පවතින්නේ සබරගමුව පළාත් සභා බලප්‍රදේශයටය. තුන්තොට උපතැපැල් කාර්යාලයක් තිබේ. තුන්තොටින් තුන් පැත්තකට පාරවල් වැටී තිබීම සුවිශේෂී තත්ත්වයකි. 


(ජෝන් ඩොයිලි 1815 ජනවාරි 21, 22 දිනවල ඉද්දමල්පානේදී ලියා කොළඹ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ට යැවූ ලිපි ඇසුරෙනි.) 

 

 

හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ