අම්මා මහලු මඩමට දැමූ රත්තරං පුතා


මහලු මඩමේ තනිවුණු ඈ අපේ අම්මාය

 

බලා හිඳීමත්, අහිමිවීමත්, දරාගැනීම ලෙහෙසි නැත. ඒ දුක තම, නහර විනිවිද මුළු ගතම පැතිර යයි. වැඩිහිටි නිවාස යනු කඳුළු කතාන්දරයක උල්පතක් වන්නේ එබැවිනි. වැඩිහිටි නිවාසවල බොහොමයක් ඇත්තේ අහිමිවීමේ දුකයි, අත්හැරීමේ දුකයි, දරා ගැනීමට සිදු වීමේ දුකයි. ජීවිත කාලයේ දී ඉඩකඩම් රැස්කර, ගේ දොර හදා, ඒවාට බඩුමුට්ටු ගෙන, දරුවන් හදා රැකියා කර අවසානයේ ඒ සියලුදේම අත්හැර මහලු නිවාසයක කොටුවීම ප්‍රකෘති මනසකට දරා ගත හැකිද? මේවායේ සිටින වැඩි දෙනෙක් කෙටි කලෙකින් උම්මත්තකභාවයට පත් වන්නේ එබැවිනි. වැඩිහිටි නිවාසවල කොටු වූ බොහෝ අය තනි වී කෙටි කලෙකින්ම තනිව කියැවීමට පටන් ගනියි. ඉන් පසු මිනිසුන්ට කළ නොහැකි අපිරිසිදු කටයුතු හා අපිරිසිදු කිරීම් කරගෙන ඉන්නට උත්සාහ කරයි. ඒ වන විට ඔවුන් මානසික විකෘතිතාවට පත් ව හමාරය.   


අදත් එවැනි සත්‍ය කතාවක් ලියමි. මෙහි කතානායිකාව මානසිකව විකෘතිය. එබැවින් ඇගේ කතාව ඇයට කීම උගහටය. එබැවින්, ගම්පහ අහස යට ‘ශාන්ති වැඩිහිටි නිවාසයේ’ පාලිකා තුමිය ඇගේ කතාව අද ඔබට කියන්නීය.   


‘ලීලා අම්මා’ යැයි හැමෝම ඇයට කීවත් ඇගේ නම ලීලාවතී ය. ලීලා අම්මා ගම්පහ ශාන්ති නිවහනට පැමිණ වසර පහක් පමණ ඇත. ඇයට දැන් වයස අවුරුදු 76 කි. ලීලා අම්මා මේ ගම්පහ අහස යටට අයිති කෙනෙක් නොවේ. ඇය ගම්පහ වැඩිහිටි නිවසක තනිවෙන්නට ආවේ බොහෝ දුර බැහැර ගෙවා හලාවත ප්‍රදේශයේ සිටය.   


ඉතිරි කතාව ලීලා අම්මා ළඟ සිට, චන්ද්‍රාවතී පාලිකාතුමියගෙන් අහමු.   


“ලීලා අම්මා මේ වැඩිහිටි නිවාසයට එක්ක ආවේ එයාගෙ පුතා. ඒ අයගෙ ගෙවල් තියෙන්නෙ මේ ළඟපාතකවත් නෙවෙයි. බොහෝම ඈත. හලාවතට නුදුරු ගමක් (ගමේ නම ද කියන්නීය.)   


ලීලා අම්මාගේ එකම දරුවා තමයි එයාව මෙහෙට එක්ක ආපු පුතා. පුතා කියපු කතාව අනුව නම්, එයත් බොහෝම අසරණ වෙලා, කර කියා ගන්න දෙයක් නැතිව තමයි අම්මා මෙහෙට එක්ක ආවේ. ඔහුගේ බිරිඳ සහ අම්මා අතර වචන හුවමාරු නිසා.   


අවුරුදු පහකට එහා දී ලීලා අම්මා මේ නිවාසෙට එනකොට බොහෝම හොඳ මානසික පසුබිමක හිටියා. එයා මේ නිවාසය අතුගාන පිරිසිදු කරන වැඩත් කළා. රෙදි සෝදාගෙන බොහෝම පිරිසිදුව හිටියා.   


චන්ද්‍රා මහත්මිය කියන්නීය.   


’‘බලන්න... මේ නිවාසයේ හොඳම බඩුමුට්ටු පාවිච්චි කරපු කෙනා ලීලා අම්මා...”   
ලීලා අම්මා සිටින කාමරයේ වටපිට බැලීමි. ඇගේ කාමරයේ හොඳම ලී අල්මාරියක් ඇත. ඇය ඉන්නේ අන් අය සිටිනවාට වඩා හොඳම ඇඳක ය. ඇගේ ඇඳේ මෙට්ටය සුව පහසුය. ඇයට වෙනම ශීතකරණයක්, හොඳ රේඩියෝවක් තිබේ.   


මේ සියලු දේවල් ලීලා අම්මාට ලැබුණු දේවල්. එයා මේ වැඩිහිටි නිවාසයට එද්දි එයාගෙ පුතා තමයි ගෙනැත් දුන්නේ.   
“නෝනා... අම්මාට මේ බඩු ටික අරන් ආවේ. මේවා එයාට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න දෙන්න. පුළුවන් නම් එයාට වෙනම කාමරයකුත් දෙන්න. මේවා තියා ගන්න.”   
පුතා වැඩිහිටි නිවාසයෙන් කළ ඉල්ලීමයි. ඒ අනුව ලීලා අම්මාට නිවාසයේ වෙනම කාමරයක් ද ලැබිණි.   
“මහත්තයෝ.. ලීලා අම්මාගේ කතාව හරිම පුදුමයි. එයා හොඳට දේපළ තිබුණු පවුලක කෙනෙක්. වතුපිටි, ඉඩකඩම් තිබිල තියෙනවා. හලාවත පැත්තෙ ගරු ගාම්භීර විදිහට ජීවත් වුණු පවුලක්. පොල්වතු තිබිලා තියෙනවා.   


ලීලා අම්මා ගෙදර ඉන්නා ගමන් පුළුවන් කාලේ පෙර පාසලකුත් කරලා තියෙනවා. හොඳට ළමයි ආපු පෙර පාසලක්. අර අසවල් ඇමතිතුමාත් ලීලා අම්මාගේ පෙර පාසලට ආවා කියලා එයා ඒ දවස්වල කියනවා. (චන්ද්‍රාවතී මහත්මිය ඇමතිවරයාගේ නමද කියයි.) ඒ කාලේ හුරුබුහුටු පුංචි එකා. දැන් ඇමති. ලීලා අම්මා කියන්නෙ ඒ ඇමතිතුමා පුංචි කාලේ කරපු දඟ වැඩ එහෙමත් මතක් කරලා.   


ලීලා අම්මා තරුණ කාලේ රටවල් කීපයක සංචාරය කළා කියලත් කිවුවා. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් ගැන එයා කිවුවා, මෙහෙට ආපු කාලෙදි. ලීලා අම්මා පෙර පාසල් සම්බන්ධව හොඳ පුහුණුවක් සිංගප්පූරුවේදි ලබා තියෙනවා. ඒ රටේ පෙර පාසල් කරන හැටි, කාලයක් අධ්‍යයනය කර ඒ සඳහා සහතික පවා ලැබූ කෙනෙක්. ඒ නිසා ඇය පෙර පාසල් විෂය ජාත්‍යන්තර තලය තුළ කෙරෙන ආකාරය හොඳින් ගලපාගෙන ඒ කටයුතු කළ කෙනෙක්.... මේ තියෙන්නේ ලීලා අම්මා තරුණ කාලෙ... පාලිකා තුමිය රාමු කළ ඡායාරූපයක් පෙන්නුවාය.   


ඒ දෙස මම මෙහොතක් බලා සිටියෙමි. ලීලා අම්මාගේ රූපය, රූප රැජිණක් මෙනි. එහෙත් දැන් ඇඳ මත වැතිර සිටින වයස අවුරුදු 76 ක් වන ලීලා අම්මා, සම රැළි වැටී, ශරීරයේ කෝටු පෙළක් ඉතිරි වූ දිරාගිය කරත්තයක් මෙනි. ඔළුවේ කෙස් රොද සුදු වී ගුලි ගැසී ඇත. අපේ කතාබහේ කිසිවක් ඇයට තේරුමක් නැත. ලීලා අම්මා අපි දෙස බලා මොනවාදෝ හෙමි හෙමිහිට මුහුණනවා පමණි. එය හරියට තමන්ට මුහුණ දුන් කරදරය කියන්නට උත්සාහ කරනවා වැනි දෙයක් මට හැඟේ. එහෙත් මනස අවුල් වූ ඇය, වේලාවකට රෞද්‍ර පෙනුමකි. ඇඟට කඩා පනින්නට හදනවාක් මෙනි. එහෙත් මේ හැම කතාවකම ඇත්ත. හැමදේම තිබුණත්, රට රටවල ගියත් අද ලීලා අම්මාගේ ඉරණම ජීවිතේ හොඳින් තේරුම් ගන්නට කාටත් ප්‍රමාණවත් වේ.   


ලීලා අම්මා වේලාවකට අප දෙස බලා මහ හයියෙන් සිනාසේ. තවත් වේලාවකට මොනවාදෝ කියවමින් තනිවම කොණ්ඩය ගොතන්නට උත්සාහ කරන හැඩකි. දරුවන් විසින් තනි කිරීම, දරුවන් විසින් අතහැර දැමීම මොහොතකට ඛේදනීය ද එය මේ තරම් විඳදරා ගැනීම දුෂ්කර වන්නක් ද ?   
මා නැවත නැවතත් ඒ දිරාගිය, මනසින් විකෘති වූ රූපය දෙස බලා සිහි නැගීමි.   
“එතකොට ලීලා අම්මාගේ එකම පුතා.... එයා මොකද කරන්නේ ...?”   
මම චන්ද්‍රාවතී මහත්මියගෙන් විමසීමි.   


“මේ කතාවේ ඊළඟ කොටස තමයි ඒ... ලීලාවතී අම්මාගේ එකම පුතා තමයි මෙහෙට එක්ක ආවේ. එයා සංගීතය සම්බන්ධ ක්ෂේත්‍රයක කෙනෙක්. ඒ ක්ෂේත්‍රයෙන් ඉහළටම ගිය කෙනෙක්. මාධ්‍යවල පවා ඉන්නවා කියලත් අපට දැනගන්නට ලැබුණා. කොහොම හරි මේ පුතා විවාහ වෙන්න කලින් මේ අය බොහෝම සතුටින්, සමාදානයෙන් ඉඳලා තියෙනවා. ඒ කාලෙදි තාත්තා නැති වෙලා. ඊට පස්සෙ තමයි පුතා විවාහ වෙලා තියෙන්නෙ. කියන විදිහට ඒ බිරිඳ බොහොම නපුරුයි කියලා තමයි අපට ආරංචි වුණේ.   
ගැටුම්වලට එක හේතුවක් වූ නිසා ලීලා අම්මා හිත නිදහස් කර ගන්න කියලා එයාට තිබුණු සියලු ම දේපළ ඉඩකඩම් පුතාගේ නමට ලියා දීලා.. එහෙම වුණත් ලේලි තව තවත් ගැටුම ඇති කරද්දී තමයි, ලීලා අම්මාගේ පුතා ආවේ. එයා ඇවිත් අඬ අඬා බොහොම දුකින් ඒ විස්තරය මා එක්ක කිවුවේ.   
“නෝනා මගේ අම්මාට හිතේ නිදහසින් ගෙදර ඉන්න බෑ. එයා සේරම දේපළ ලියලා දුන්නා. අම්මාට කිසි නිදහසක් නෑ. මං අම්මා මෙහෙට එක්ක එන්නම්, එයාට කාමරයක් දෙන්න. එයාට වුවමනා සේරම බඩුමුට්ටුත් මම ගෙනැත් දෙන්නම්. හැම මාසෙම අම්මාට වියදමට මම රුපියල් දහදාහක් ගෙනත් දෙන්නම්.”   
පුතා කියාගෙන ගියේය. ඒ අනුව ලීලා අම්මා අකමැත්තෙන් නමුත් පුතා සමගින් ශාන්ති වැඩිහිටි නිවාසෙට ආවාය. ඇය බලන්නට පුතා ඉඳහිට නමුත් එන්නේ ය. ඒ එන විට දී ලීලා අම්මාට ගෙනැත් දුන් ශීතකරණය ඇයට වුවමනා දෙයින් පුරවා යන්නේ ය. මුදල් ද ලබා දී යන්නේය.   
ලීලා අම්මාගේ පුතා නිතර ආවා. සල්ලිත් දීලා ගියා. නමුත් ඒ කිසිවක් ලීලා අම්මාට සතුටක් වුණේ නෑ. එයා නිතරම කළේ පුතා ඒවි කියලා පාර දිහා බලාගෙන ඉන්නවා. දවසට වැඩිම වේලාවක් කළේ පුටුවක වාඩි වෙලා පාර දිහාම බලා ඉන්න එකයි.   

 


’‘ලීලා අම්මේ. එන්න බණක් අහන්න. අන්න රේඩියෝව දැම්මා..” විටෙක නිවාසයේ කෙනෙක් ඇයට ආරාධනා කරන්නේය.   
“මම එන්නම්.. මේ අපේ පුතා එයි කියලා බලා උන්නේ..”   


ඇය හැන්දෑ වෙන තුරුම ගේට්ටුව දෙස බලා සිට, රෑ බෝවන විට කාමරයට වැදෙන්නී ය. ඒ හැමදාකම වගේ තිබුණේ බලාපොරොත්තු බිඳී ගිය වේදනාවකි.   
මේ විදියට කාලය ගෙවී යද්දී ලීලා අම්මාගේ ප්‍රකෘති සිහිය නැතිවෙලා ගියා. එයා ටික ටික මානසික විකෘති තත්ත්වයට පත් වුණා. දවසක් එයාගේ කාමරයට උදේ යද්දි මුළු කාමරය පුරාම අසූචි දුගඳක් හමනවා. ඇඳෙත් නෑ. ඇඳයට හෝ කාමරයේ වෙනත් තැනෙක පේන්නට තිබු​ෙණ්ත් නෑ. දුගඳ වැඩි නිසා අපි කාමරය හැම තැනම බැලුවා. ඊට පස්සෙ අල්මාරිය පවා ඇරලා බැලුවා. එහෙම එකින් එක බලද්දි උණුවතුර බෝතලයට ඇය මළපහ කරලා වහලා දාලා තිබුණා. මේ විදියට ලීලා අම්මා අසිහියෙන් වැඩ ගොඩක් කළා.   
ටික දවසක් යද්දි එයා මළපහ කරලා එයාම කන්න පුරුදු වුණා. මළපහ කරලා ඒ වෙලාවේම යම් හෙයකින් අපට ඉවත් කරන්න බැරි වුණොත් එයා මළපහ කනවා.’   
මේ තමයි.. මිහිපිට අපාය..සසරේ කොහේ හෝ තැනක ලීලා අම්මාට වරදින්න ඇති. ඇය මනුෂ්‍ය ජීවිතයක් ලදත්, දැන් ඇය මිහිපිටම දැකිය හැකි ප්‍රේත අපාය මෙනි.   
ප්‍රේත ලෝකයේ ජීවීන් සෙම, සොටු, අශූචි මළ මුත්‍රවලට පොරකන බව බණ කතාවල තිබේ. ප්‍රේත ආත්මයක් ලැබීම සසර කළ අකුසලයක් නිසා හිමි වන්නකි. එහෙත් මනුෂ්‍ය භවයක් තුළ එවැන්නක් හිමි වීම....?   


තවත් දවසක් ලීලා අම්මා පුදුම වැඩක් කරලා තිබුණා. ඒ කාමරයේ ලොකු ෂොපින් උරයක් තිබිල තියෙනවා. එයා මේ ෂොපින් උරය කෑලි කෑලි ඉරලා කාලා. බත්, වෑංජන, බොන දේවල් එයා ඒවා ප්‍රතික්ෂේපත් කරනවා. බත් විසි කරනවා. කන්නේ නෑ. කවන්න දෙන්නෙත් නෑ. මේ ෂොපින් උරය කාලා පසුව එයම මළපහ කරලා ආයෙමත් ඒ ටික කාලා.”   
අපි එහා මෙහා වන ටිකට තමයි මේක වෙලා තිබුණේ...   


මේ ලීලා අම්මාගේ සැබෑ කතාවයි. ජීවිතය බොහෝ දිගු නැත. එය දැන් අවුරුදු 80 ක පමණ උපරිමයට යටත් වේ. ඒ උපරිමය තුළ ළමා කල, තරුණ විය, වැඩි විය ගෙවා මහලු වීම දක්වා වන කාල පරිවර්තනය තුළ අපේ ජීවිත කතාව විටෙක අරුමයකි, පුදුමයකි. නොසිතූ විරූ පරිදි වෙනස් වෙන්නකි. ඒ යටත් දහම ඔබට මට කිසිවකුට කල් වේලා ඇතිව තීරණය කළ නොහැක.   


සිහි එළැඹ මරණය දැකීම සුවදායකය. මරණය ජීවිතයේ කවර කාල පරාසයක දී වුණත් එතෙක් දුකින් තොරව ගත කරන්නට ලැබේවි නම් මහා පිනකි. ඒ උරුමය උදෙසා පින් කුසල් වගා කර ගැනීම කාලය ඔබට, මට ඉතිරි වී ඇත.   


(නම් ගම් මනඃකල්පිතයි.)   

 

සටහන - අසංක ආටිගල