බොහෝ විකට නළුවෝ සැබෑ ජීවිතයේදී ද විකටයෝ වෙති. එහෙම නැති අය අතර ඇන්තනී සී. පෙරේරා විශේෂයෙන් සඳහන්කළ හැකිය. එඩී. ජයමාන්න, ෆ්‍රෙඩී සිල්වා, බී.ඇස්. පෙරේරා, විමල් කුමාර ද කොස්තා, නිහාල් සිල්වා වැනි විකට නළුවන් ගතහොත් ඔවුහු දර්ශන තලවලදී විවිධ විකට වදන් දොඩති. ඒ අතරින් ෆ්‍රෙඩීත්, කොස්තාත් අංක එකට ගත හැකිය. ඇතැම් විටෙක ෆ්‍රෙඩී නිකමට කියන වදන්වල අපූරු හාස්‍යයක් ගැබිවී ඇත්තේය. ඒ නිසාම ඒ ඇතැම් දෙබස් චිත්‍රපටවලට එහෙමම යෙදූ අවස්ථා තිබේ.
අද අප කතා කරන්නට යන ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ගත්තත් එසේමය. ඔහු අපූරු විකට වදන් දොඩන්නෙකි. එහෙත් ඔහු බොහෝ විට වැඩ කරන්නේත් කතා කරන්නේත් දැඩි වගකීමකිනි.
මදුරාවෙල ආරච්චිගේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා උපන්නේ කොළඹ කොටහේනේය. කොටහේනේ ශාන්ත ලුසියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහුගේ පියා සේවය කළේ කොළඹ වරායේය. ඒ අතර ඔහුගේ පියා හදිසියේම මිය ගියේය.
තාත්තාගේ හදිසි මරණයත් සමඟ ක්‍රිස්ටිගේ මවට රැකියාවක යෙදෙන්නට සිදුවිය. ඇය සුලෙමාන් රෝහලේ වින්නඹු මාතාවක ලෙස සේවය කරන්නට පටන් ගත්තාය.
මේ අතරතුර ක්‍රිස්ටිගේ සොහොයුරියකද මිය ගියාය. ඒ සමඟම ඒ දුකෙන් අනෙක් සොහොයුරිය ද මිය ගියෙන් ක්‍රිස්ටි හා මව මෙලොව තනිවිය.
එතැන් පටන් ක්‍රිස්ටිගේ ලෝකය වූයේ මවය. මවගේ ලෝකය වූයේ තම පුතු වූ ක්‍රිස්ටිය. ක්‍රිස්ටි මව වෙනුවෙන් තම විවාහය පවා කල් දැමුවේය.
ක්‍රිස්ටිට ඕනෑකම තිබුණේ නළුවකු වීමටය. එහෙත් ඔහු මුල් කල ජනප්‍රිය වූයේ ගුවන්විදුලි ගායකයකු ලෙසය.
තේවිස් ගුරුගේ සම්බන්ධීකරණය කළ ආධුනික වැඩ සටහනකට ක්‍රිස්ටි සම්බන්ධ වූයේ එක්දාස් නවසිය හතළිස් ගණන්වලදීය. ඔහු අනුකරණය කළේ එකල අසීමිත ජනප්‍රියත්වයක් ලබා තිබූ විකට නළුවකු වූ එඩී ජයමාන්නය.
මේ වැඩ සටහනෙන් ජය ලැබූ ක්‍රිස්ටි එකල රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වූයේ විකට ශිල්පියකු ලෙසය.
ඒ ඔස්සේ ‘කුල්ලෙන් පොලා පොලා’ ගීතය වෙළෙඳ තැටියක් සඳහා ගයන්නට අවස්ථාව ලැබූ පසු එම ගීතයත් සමඟ ක්‍රිස්ටි ජනප්‍රියත්වයට පත්වූයේය.
‘‘මගේ යාළුවෙක් හිටියා ඩී.එන්. වීරරක්කොඩි කියල. ඔහු රුක්මණී, එඩී වෙනුවෙන් මීගමුවේ සන්දර්ශනයක් පවත්වනවා කියලා මට ආරාධනා කළා. මට මගේ විකට වැඩ සටහන් සඳහා මුදල් ගෙවන්නත් පොරොන්දු වුණා. මම එනවා, හැබැයි සල්ලි එපැ”යි කීවා.
‘‘‘මට ඕනෑකම තිබුණේ කොහොම හරි මගේ දක්ෂකම එඩී රුක්මණී ඉදිරියේ පෙන්නන්න’’ ඒ ඔහුට එඩී - රුක්මණී හමුවූ හැටිය.
ප්‍රේක්ෂකයන් උන්මාදයට පත්කළ සිංහල තිරයේ ප්‍රථම පෙම්වතා ලෙස හැඳින්වෙන ප්‍රේම් ජයන්ත් හා ක්‍රිස්ටි පාසල් මිතුරෝය.
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ ‘උමතු විශ්වාසය’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමා තිරයට ආ ප්‍රේම් ‘සුජාතා’ චිත්‍රපටයේ දොස්තර නිහාල් ලෙස රඟපාමින් එක රැයකින් සිනමා තිරයේ ආදරවන්තයා බවට පත්වූයේය.
ප්‍රේම්ගේ මිත්‍රත්වය ඔස්සේ ක්‍රිස්ටි චිත්‍රපටයකට එක්වන්නට උත්සාහ කෙළේය.
‘‘සිනමාස් සමාගමේ ‘වරද කාගෙද?’ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයක් තියෙන නිසා ඒකට ඉදිරිපත් වෙන්න කියල ප්‍රේම් මට කීවා. ඒ සඳහා හැම සහයෝගයක්ම දෙන බව ඔහු පොරොන්දු වුණා.
‘‘එදා ඒ ඉන්ටවිව් එකට පිරිස හුඟක් දෙනා ඇවිත් හිටියා. මම හිතුවෙ මට ඉන්ටවිව් එකට පෙනී ඉන්නවත් බැරි වෙයි කියල, ඒ තරම් සෙනඟ.
‘‘මගේ ඉන්ටර්විව් බෝඩ් එකේ හිටියෙ සිනමාස් අධිපති කේ. ගුණරත්නම් ‘වරද කාගෙද?’ අධ්‍යක්‍ෂ ටී.ආර්. සුන්දරම්, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක්. සුන්දරම් තමන්ට කැමැති රඟපෑමක් ඉදිරිපත් කරන ලෙස මට කීවා.
‘‘මගේම රචනයක් වූ ‘වෝන්ටඩ් අප්පු විතවුට් කුලප්පු’ කියන විකට වැඩ සටහන මම එහිදී ඉදිරිපත් කළා. එයින් මම ජයගෙන මම සිනමාවට එක්වුණා’’ ඒ ක්‍රිස්ටි සිනමාවට ආ හැටිය.
ඒ ‘වරද කාගෙද?’ චිත්‍රපටයෙනි.
මුල්වරට ක්‍රිස්ටිට මීගමුවේදී හමුවූ එඩී - රුක්මණී යළිත් හමුවූයේ මදුරාසියේදීය. ඒ ක්‍රිස්ටි ‘සුකුමලී’ චිත්‍රපටයේ රඟපෑමට ඉන්දියාවට ගොස් සිටියදීය. එඩී - රුක්මණී ‘සිරියලතා’ චිත්‍රපටයේ වැඩ පටන් ගැනීමට එහි පැමිණ සිටියහ. “ඔයා එඩී වගේම අනාගතයේ ජනප්‍රියවෙයි.” එදා රුක්මණී ඔහුට කීවේය.
ක්‍රිස්ටි සිනමා තිරයේ සුප්‍රකට විකට නළුවකු බවට පත්විය. චණ්ඩියා, සුර චෞරයා, අදට වැඩිය හෙට හොඳයි, ධීවරයෝ, අල්ලපු ගෙදර ආදී චිත්‍රපට තිස් ගණනක පමණ ඔහු රඟපා ඇත.
‘‘මම කලාවෙන් ජීවිතය ගැටගසා ගන්නා කලාකාරයෙක් නොවෙයි. මට රැකියාවක් තිබෙනවා. ඒ කාලෙ හරි හම්බකරගත් මුදල් සෑහෙන ප්‍රමාණයක් මම අනාගතය වෙනුවෙන් ඉතිරි කරලා තියෙනවා. චිත්‍රපට සීයක රඟපෑවත්, අන්තිමට ඉතුරු වෙන්නෙ තමන් විතරයි’’ ඔහු ඒ බව මා සමඟ පැවසුවේ 1979 වසරේ සැප්තැම්බර් මාසයේදීය.
ඒ වනවිට ඔහු විවාහවී නොසිටියේය. තම මව රැක ගනිමින් තනිකඩ ජීවිතයක් ගත කළ ක්‍රිස්ටිට මව හැම විටම කීවේ ඇගේ මරණයට පෙර විවාහයක් කර ගන්නා ලෙසය.
‘‘රුක්මණී මගේ අම්මාට හරි ආදරෙන් හිටියේ. ‘‘දුවේ දුවවත් කියන්න මගේ ඇස් දෙක පියවෙන්න කලින් පුතාට කසාද බඳින්න කියලා’’ එහෙත් ඒ ඉල්ලීම අම්මා ජීවත්ව සිටියදී ඉටු කරන්නට ඔහුට හැකිවූයේ නැත.
අවුරුදු 43 ක් වනතුරුම අම්මාගේ ඉල්ලීම ඉටු නොකර ක්‍රිස්ටි බලා සිටියේ තමාට ගැළපෙන සහකාරිය හමුවන තුරුය.
ක්‍රිස්ටිගේ අදහස වූයේ කසාදයක් බැන්දොත් තම බිරිඳගෙන් අම්මාට වෙනස්කම් වෙයි කියාය.
එහෙත් අම්මා මිය ගිය පසු ක්‍රිස්ටි මෙලොව තනි විය.
අම්මාගේ මරණයත් සමඟ දැඩි ලෙස ශෝකයට පත්වූ ක්‍රිස්ටි ඒ වෙනුවෙන් ‘අම්ම කියා කියත හැකී එකම ළඳකටයි’ ගීතය ගැයීය.
ඒ සමඟම ඔහු සිනමාවෙන්ද නොපෙනී ගියේය. කොටහේනේ ආයතනයක සේවය කළ ක්‍රිස්ටි නිරතුරුවම එකල අප සේවය කළ කොටහේනේ සිත්සර කාර්යාලයට ආවේය.
ඒ වනවිට ඔහු බොහෝ සේ තැන්පත් වී සිටියේය. ඔහු කලිසම ඇන්ඳේ තරමක් ඉහළට වන්නටය. එන හැම විටෙකම හොඳින් හැඳ පැළඳ සිටියේය.
එකල ගීත රචකයන් අතර වාද විවාද බොහෝ සේ පළවිය. අලුත් ගීත රචකයන් තම ජනප්‍රියත්වයත්, ලියූ ගීත ගණන වැඩිකර ගැනීමටත් අඩු මුදලකට ගීත ලියන බව කියමින් ඔහු ඔවුන්ට දොස් පැවරීය.
‘‘ඔවුන් අඩු මුදලකට ගීත ලියනවා පමණක් නොවෙයි තම ආත්ම ගෞරවය පාවාදෙමින් නිෂ්පාදකවරුන් පසුපස ගොස් බැගෑපත් වෙනවා. මොන කලා ක්ෂේත්‍රයක වුණත් කලාකරුවකුට ජනප්‍රියවී සිටින්නට පුළුවන් ටික කාලයක් පමණයි. ඒ මුදල් අනාගතයට පරිස්සම්කර තබා ගැනීම වැදගත්’’ යයි ඔහු කීවේය.
ඔහු අවසන්වරට රඟපෑ චිත්‍රපටය ‘ඔන්න මාමෙ කෙල්ල පැනපි’ය. ඒ 1979 දීය.
ගාමිණී ෆොන්සේකා රඟපෑ බොහෝ ජනප්‍රිය චිත්‍රපටවල ඔහු රඟපෑවේය. චණ්ඩියා, සුර චෞරයා, ධීවරයෝ’’ ඒ අතර මුල්තැන් ගනී.
‘‘සුර චෞරයා’’ රූපගත කරන්නට එකල ගාමිණී, සන්ධ්‍යා කුමාරි, ක්‍රිස්ටි ඇතුළු පිරිස ගොස් සිටියේ දඹුල්ල ප්‍රදේශයටය.
එකල නවීන පන්නයේ හෝටල් හැටියට තිබුණේ තානායම්ය.
ගාමිණී ක්‍රිස්ටි ලෙනාඩ් සමග
බොහෝ විටෙක එකල නළු නිළියන් හැසිරුණේ සම්ජයේ බොහෝ ප්‍රභූවරුන් හැසිරෙන ආකාරයටය. බොහෝ විට එකල කතා බහ කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. කෑම මේසයේ සිරිත් විරිත් අකුරටම පිළිපැද්දේ නළු නිළියන් යනු සමාජයේ වැදගත් තැනක් ඇති පිරිසක් බව පෙන්වීමටය.
ගාමිණී මේ කරුණ කෙරෙහි බොහෝසේ සැලකිලිමත් වූයේය.
ඔහු වරක් පැවසුවේ ඒ කාලෙ නිෂ්පාදකවරුන් නළු නිළියන්ට කතා කළේ උඹ බං ආදී වශයෙන් බවය. සිගරැට්ටුවක් දල්වා ගෙන සිටී නම් නිෂ්පාදකවරයා එන විට එය නිවාගත යුතු විය.
“නළු නිළියන් ළඟම තිබෙන තෝස කඩයට ගිය විට දැක ගැනීමට හැකි යයි” ඇතැමුන් පැවසීම නිසා ගාමිණී නළු නිළි ගරුත්වය රැක ගැනීම සඳහා රූගත කිරීම්වලට ගිය විට ඒ ප්‍රදේශයේ ඇති ඉහළම හෝටලය ඉල්ලා සිටියේය. නළු නිළියන්ට යෑමට හොඳ වාහනයක් එවිය යුතු බවට ඔහුගේ චිත්‍රපට ගිවිසුම්වල සඳහන් විය.
සූර චෞරයා රූගත කරන කාලයේ රාත්‍රී කෑම මේසයේදී අපූරු සිදුවීමක් විය. ගාමිණී හැඳි, ගෑරුප්පු පාවිච්චි කරමින් කෑම ගනිමින් සිටියේය. කෑම මේසයේ සිටි කාන්තාවක් දඹුල්ලේ සිට ගලේවෙලට දුර සැතපුම් වලින් ඇසුවේ වැරදි ඉංග්‍රීසියෙනි. ක්‍රිස්ටි ඊට දුන් පිළිතුර මෙහි ලියන්න බැරිය. ඒ සිදුවීම කොතරම් බලපෑවේද යත් ගාමිණී කෑම ගැනීම නවතා දමා කෝපයෙන් නැගිට ගියේය.
1982 වර්ෂයේ දිනෙක හදිසියේම පුවත්පත් කාර්යාලයේ අපට දිවා ආහාරයක් සඳහා ඇරයුමක් ලැබිණ. ඒ කොටහේනේ දේශපාලකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ක්‍රිස්ටි පෙරේරාගේ නිවසේදීය. අප කාර්යාලයේ සිට එම නිවසට කෙටි දුරකි.
මේ දිවා ආහාරය සූදානම් කර තිබුණේ ක්‍රිස්ටිගේ මනාලිය අපට හඳුන්වා දෙන්නටය.
එකල සිත්සර කලා පුවත්පතේ කර්තෘ ආතර් යූ. අමරසේන, ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ, චන්ද්‍රසේන කිරිවත්තුඩුව, වටරැක ප්‍රේමදාස ආදී පිරිසක් ඒ සඳහා එක්වූහ. අප ප්‍රථම වරට ඔහුගේ මනාලිය හඳුනා ගත්තේ එදිනය. යෝජනාවකින් දැන හැඳිනගත් ක්‍රිස්ටිගේ බිරිඳ ගුරුවරියක වූවාය. ඇය කෑගල්ලේය. නම මේරි ලොරෙටා රේඩර්ය.
විවාහය පැවැත්වූයේ ශාන්ත ලුසියා දෙව්මැදුරේය.
ආගම දහමට බොහෝ සේ නැඹුරු වූ ක්‍රිස්ටි විවාහයෙන් පසු පදිංචි වූයේ මාලිගාවත්ත මහල් නිවාසයේය. ඔහු රණසිංහ ප්‍රේමදාස මහතාට බොහෝ සේ ගෞරව කෙළේය.
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා වෙනුවෙන් ප්‍රසාද ප්‍රණාම උළෙලක් 2002 දී පැවැත්විණි. රණතිසර කලා භූෂණ, සුමති ආදී සම්මානවලින් ගෞරවයට පත් ක්‍රිස්ටි අප අතරින් වෙන්වූයේ 2015 දෙසැම්බර් 23 වැනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු 83 කි.
අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන් විවාහ වෙද්දී ඔහුගේ දෙවැනි මනාලයා වූයේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාය. ඔහු ජෝති සමඟ ගැයූ අලි නැව් යන සහ මමයි බඩ පිස්සා, සකල සිරින් පිිරි ආදී ගීත තවමත් ජනප්‍රියය.
අල්ලපු ගෙදර, සූර චෞරයා, චණ්ඩියා ආදී පැරැණි චිත්‍රපට සිහිපත් වෙද්දී ක්‍රිස්ටිගේ විකට රඟපෑම් සිතට නැගී දෙතොලට සිනාවක් දැනුදු එක්වෙයි.
රොඩ්නි විදානපතිරණ