අරාබි ගිය සිසිලින් අම්මාට දරු සෙනෙහස අහිමි වූ හැටි


මහලු මඩමේ  තනිවුණු ඈ අපේ අම්මාය 

කොච්චර හරිහම්බ කළත්, අනුන්ගෙන් රුපියලක් යැදීමට වන අවස්ථා නැතිව නොවේ. ඇතැම් විට ජීවත් වන කාලයම නැහුණේ සල්ලි මත්තේ ය. එහෙත් බැරි වන කාලයේ හම්බ කළ සල්ලි තබා, තනි නොතනියට අයකුවත් නැති වූ කතා කොයිතරම් ද? සියල්ල සිදුවන්නේ බලාපොරෙත්තු හා සිහින මත ය. ඒ සියලු දේ හිතන පරිදි සපිරෙන්නේ නැත.   


සිහින මත්තේ දුවන සමහර අවස්ථාවල විය යුතු, කළ යුතු සමහර යුතුකම් ද මගහැරේ. එසේ මගහැරෙන යුතුකම්වල දී ගුණධර්ම ගිලිහී යාමක් කොයිම අතින් හෝ සිදුවිය හැකිය. 

 
මවුපියන් ලෙස ඔබ සල්ලි මත්තේ දුවද්දී දරුවන්ගේ යුතුකම් මගහැරුණොත්, ඔවුන්ගේ ගුණගරුකකම් පිරිහී යා හැකිය. ගුණධර්මවලට වඩා මිල මුදල පිළිගන්නා දරුවන් නිර්මාණය වන්නේ මවුපියන්ගේ වරදිනි. එය අනිවාර්යයෙන් මවුපියන් තේරුම් ගත යුතු ය. 

 
දුගී පැලක ඉපදුණත් දරුවන් ගුණ ධර්මවලින් පෝෂණය නොකළොත් ඔවුන් වැරදි පාරට යොමු වීමේ ඉඩක් ඇත. ඇතැම් විට තමා දුප්පත් නිසා දරුවන්ට සුපිරි ජීවිතයක් දෙන්නට වෙහෙසෙන මවුපියන් සිටිති. ඒ සුපිරි ජීවිත තුළ දරුවන්ට තම මවුපියන් ද අමතක වී යයි. තමන් හිටි පැල - පැල්පත ද අමතක වී යයි. මුල අමතක දරුවෝ දහස් ගණනක් හැදුවත් පලක් නැත. මුල මතක එකම එක දරුවා ද ගෙදරට - ගමට - රටට පුර සඳකි.   
මේ යථාර්ථය හැම අම්මා කෙනෙකුම හැම තාත්තා කෙනෙකුම පිළිගත යුතුය. එසේ වූවොත් නුඹට නොවරදිනු ඇත.   


අද අපි ලියන්නේ ‘කොට්ටාව’ වැඩිහිටි නිවාසයෙන් ඇසුණු තවත් දුක්බර අඳෝනාවකි. ඒ අම්මාට දරුවන් ඇත. දරුවන් නැත. එය කෙසේ භාවිතා කළ යුතුදැයි කෙනෙක් අතරමං වන තරමට මේ කතා සංවේදීය. සතුටට - සැනසුමට එතෙර පියඹා ගොස් ආපසු ගෙදරට එන විට කිසිවක් නැතිව පාරට වැටුණු අම්මලා ද සිටිති.   
සිසිලින් අම්මාගේ කතාව බලාපොරොත්තු මැද අතරමං වූ කතාවකි. දැන් ඇයට අවුරුදු 73 ක් පමණ ඇත. බොහෝ වැදගත් පෙනුමක් සිසිලින් අම්මාට ඇත. බැලූ බැල්මට රජයේ කන්තෝරුවක වැඩ කර, විශ්‍රාම ගිය හැඩ හුරුකමක් ඇය සතුය. තමන්ගේ වියපත් භාවය තුළ හිර වූ ඒ කටුක කඨෝර කතාව අපට එළියට පේන තරම් ලස්සනක් නැත. ඇයට වැදගත් පෙනුමක් තිබුණත් නොවැදගත් ලෙස ඇය දරුවන්ගෙන් බැහැර වී ඇත. ඒ ආදරණීය අම්මා අපට ඇගේ කතාව කීවේ මෙපරිදිය.


“මගේ මහත්තයා ජේමිස්. එයා වඩු මඩුවක් කළා. අපි දෙන්නා විවාහ වුණේ ගෙදර අයගේ නොකැමැත්තට. අපේ ගෙදරින් මම ජේමිස් සමග විවාහ වන එකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ගෙදර නොකැමැත්තට ගිය නිසා අපේ තාත්තා මට ඉඩම් ලිව්වේ නෑ. අපට අක්කර ගණන් ඉඩකඩම් තිබුණා. ඒ සේරම මගේ සහෝදර සහෝදරියන්ට බෙදලා දුන්නා. අපේ තාත්තා එපමණටම සැරයි.   


ජේමිස්ටත් ඉඩමක් තිබුණෙ නෑ. පස්සෙ අපි විවාහ වෙලා කුලී ගෙයක නතර වුණා මීරිගම පැත්තේ. ඒ ගෙදර වඩුමඩුවකුත් දැම්මා. මෙහෙම ඉන්න අතරේ අපේ ගෙදරට අලුතින් සාමාජිකයෝ එකතු වෙන්න ගත්තා. පුතාල තුන් දෙනයි. දුවල දෙන්නෙකුයි අපට ලැබුණා.   


ඒ අය ඉස්කෝලෙ යවන්න, කන්න බොන්න දෙන්නවත් ජේමිස්ගේ ආදායම ප්‍රමාණවත් වුණේ නෑ. ඒ කාලෙ ගොඩක් මිනිස්සුන්ට හාල්-පොල් ටික තම තමන්ට කියලා වෙනම තිබුණා. අපට එහෙමවත් තිබුණේ නෑ. අවසානයේ මම ජේමිස්ට කිව්වා,   


“මම රට යනවා. අපි ඉඩමක් අරන් ගෙයක් හදා ගමු. ළමයින්ටත් මම වියදම් කරන්නම්. නැත්නම් අපට ගොඩ ඒමක් නෑ” කියලා. ඒ කාලේ අද වගේ මැදපෙරදිග රටවලට ගොඩක් මිනිස්සු ගියේ නෑ. හරිම අඩුවෙන් යන්නේ.   
“ළමයි පුංචියිනේ. අපි තියෙන විදියට කාලා ඇඳලා ඉමු. ළමයි ලොකු වුණාම ඉඩකඩම් ගන්නෙ නැතැයි. ඔයා ඔය දීපංකරේ යන්න ඕනි නෑ....”   
ජේමිස් කිව්වේ එහෙමයි.   


නමුත් දවසින් දවසම අපේ පවුල ආර්ථික වශයෙන් අසරණ වුණා. සිසිලින් අම්මා ඇගේ අතීතය සිහි නගන්නීය.   


ජේමිස්ගේ විරෝධය තියෙද්දී වුණත් මම මැදපෙරදිග රැකියාවකට යන්න සූදානම් වුණා. මාස කීපයක් යද්දී මට එහෙ රැකියා අවස්ථාව හරි ගියා. ඒ වෙද්දි ලොකු පුතාට අවුරුදු දහයට කිට්ටුයි. බාලම දුවට අවුරුද්දයි. ජේමිස්ට ළමයි දාලා මම මැදපෙරදිග ගියා. ළමයි බලා ගන්න පස්සෙ ජේමිස්ගේ අම්මාත් උදව්වට ආවා.   
මට එහෙ හොඳ ගෙදරක් හමු වුණා. වේලාවට පඩිය දෙනවා. ඉතින් මම ඒ පඩිය ගෙදර වියදමට එවනවා. ළඟ ඉතුරුවක් කළේ නැති තරම්. අද වගේ දුරකථන නෑ. ලියුමක් එන්නෙ මාස ගාණකට පස්සෙ.   
“මම හැම ලියුමකම ලියුවේ, කෑම බීමට වියදම් අරගෙන ඉතිරි වෙන මුදල් ඉතුරු කරන්න කියලා ඉඩමක් ගන්න. කොහොමත් ඉඩමකට සල්ලි ඉතුරු කරන බව ජේමිස් මට ලියලා එව්වා. මම රට අවුරුදු දෙකක් වගේ ඉද්දි ජේමිස්ගෙන් ලියුමක් ආවා.   


“අම්මා නැති වුණා” කියලා. මගෙන් “එනවද” කියලත් අහල තිබුණා.   
“මම හිටියේම ගෙයක් ඉඩමක් ගන්න සල්ලි හොයන අරමුණේ..”   


මෙහෙම ඉද්දි මම ලංකාවට ආවා. ඒ ආවේ නිවාඩුවකට.. “මම ජේමිස්ට කිව්වා, තව සල්ලි ටිකක් හොයාගෙන මම එන්නම්. ඊට පස්සෙ මේ කරදර ඉවරයිනේ කියලා. ඒ වෙද්දි ඉඩමක් ගන්න තව පොඩි ගාණක් මදි වුණේ.’   
කොහොම හරි දරුවන් අඬද්දී, ඉකිගහද්දී මම දෙවැනි වතාවටත් මැදපෙරදිග ගියා. දෙවැනි වර ගිහින් ඉද්දි ලොකු දුව වැඩිවියට පත් වුණු බව ජේමිස් ලියලා එව්වා. මම නැතිව ඒ යුතුකම් සිද්ධ වුණා. මම මුදල් එව්වා. මෙහෙම ඉද්දි ජේමිස් මට ලියුම් එවන එක අඩු වුණා. මම ඒ ගැන අහල ලියුමක් යැව්වා. ඒත් උත්තරයක් ආවේ නෑ. පස්සෙ හොයල හෝදිසි කරල බලද්දි ජේමිස් මීරිගම හිටපු කුලී ගෙදර අත ඇරල පොල්ගහවෙල ගිය බව ආරංචි වුණා.   


ඒ වෙද්දි ජේමිස්ට වෙනත් කාන්තාවක් සම්බන්ධ වෙලා එයා එක්කයි ගිහින් තිබුණේ. එයාගේ ඉඩමකට.   
දරුවන් ජේමිස් එක්ක ගිහින් තිබුණා. මම රට ඉඳලා එව්ව සල්ලිවලින් ජේමිස් ඉඩමක් අරන් ඒක ලොකු පුතාට ලියලා තිබුණා. මේ සිද්ධි ආරංචි වෙද්දි මට හුඟක් කලකිරුණා. ළමයි වුණත් මට ආදරේ දේවිද කියන හැඟීම ඇති වුණා. මොකද අම්මා කෙනෙක් විදියට අවුරුදු හතරක්ම ළමයි ළඟ නෑ. එයාලට මාව ගාණක් නැතිව ගියා.   


පස්සෙ මම තීරණය කළා, දැන් මට යන්න තැනක් නෑ. ලංකාවට ගියොත් අසරණ වෙනවා. තවත් කාලයක් මේ රටේම රස්සාව කරල කීයක් හරි හොයාගෙනම ලංකාවට එනවා කියලා.”   
සිසිලින් අම්මා ඉන්පසු අවුරුදු ගාණක් මැදපෙරදිග එක දිගට රැකියාව කළාය. ඇය නැවත වරක් ලංකාවට පැමිණ ඇගේ ගෙදරට ගියාය. එසේ ගියත් සිසිලින් අම්මාට ලැබුණේ ගෞරවාදරයක් නොව, අවඥාවකි. නින්දා ගොඩකි.   


සිසිලින් අම්මා යළිත් මැදපෙරදිග ගියාය. මේ ලෙස ජීවිත කාලයේ දිගු කාලයක් මැදපෙරදිග උන්නාය.   
අවුරුදු 15 ක් විතර විටින් විට මැදපෙරදිග හිටියා. එහෙම ඉඳලා වයස්ගත වේගෙන එද්දි මම කල්පනා කළා, ලංකාවට ගිහින් ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න ඕනි කියලා. 

 
පස්සෙ මම ලංකාවට ආවා. ඇවිත් ඉතිරි කරගත් සල්ලි කොටසක් වියදම් කරලා ඉඩම් කෑල්ලක් අරන් ඒකෙ ගේකුත් හදා ගත්තා. මේ වැඩවලට අපේ ඥාති පුතෙක් මට උදව් කළා.   
කාලයක් යද්දි මම සෑහෙන අසනීප වුණා. දියවැඩියාව, කොලෙස්ටරෝල් මේ සේරම එක්ක ඇඟ වෙව්ලනවා. තනියම ඇවිදින්න අමාරු වුණා. ඒවාට මම බෙහෙත් ගත්තෙ පුද්ගලික රෝහල්වලින්. රෝහල්වලට ගියේ සල්ලිවලට කුලියට ගත්ත වාහනවල. අවුරුදු කීපයක් යද්දි වෛද්‍ය පරීක්ෂණවලටයි අනිත් වියදමුයි එක්ක ඉතිරි වුණ සල්ලිත් වියදම් වුණා. 

 
පස්සෙ මම දරුවන්ට ලියුම් දැම්මා. ඇවිත් මට උදව් කරන්න කියා. දවසක් එක දුවක් මාව බලන්න ආවා. එයත් විවාහ වෙලා දරුවො එක්ක.   


“එයා කිවුවා.. අම්මා අපට බැලුවේ නෑනේ. තාත්තා තමයි ළඟ ඉඳන් බැලුවේ කියලා. එයා නොහිටින්න අපි පස් දෙනා නන්නත්තාරෙ. අයියලත් අම්මාව අතහැරියෙ ඒක නිසයි” කියලා.   


ඒ දුව ඇරෙන්න කිසිම දරුවෙක් මාව බලන්න ආවේ නෑ. පස්සෙ ගෙවල් ළඟ වයසක ගෑනු මනුස්සයෙක් මගේ තනි නොතනියට සමහර දාට එනවා. ඒ ඇරෙන්න කිසි කෙනෙක් නැතිව හරියට අහසින් ලෝකෙට පාත් වුණා වගේ මම තනි වුණා.   


සිසිලින් අම්මා පසුතැවිලි වන්නීය. දරුවන්ට - සැමියාට ඇගෙන් ආදරයක් - සෙවණක් නොලැබීම මේ ඉරණමට හේතුව බව ඇය පිළිගන්නීය.   


“ගෙදරට වුවමනා කළමනා ගන්න, බේත්ටික ගන්න සල්ලි නැති වුණාම මම පොළ දවසට ගිහින් පුටුවක් තියාගෙන හිඟා කෑවා. උදේ ඉඳන් හවස් වෙනකං හිටියාම එළවළු ටිකකුත් හොයාගෙන අතට කීයක් හරිත් ලැබෙනවා. මේ විදියට කාලයක්ම පොළ දවසට ඇවිත් හිඟා කෑවා. පස්සෙ මගේ විස්තරය ආණ්ඩුවේ කන්තෝරුවට ලිව්වම ඒ අය ඇවිත් මගේ කැමැත්ත පිට වැඩිහිටි නිවාසයට යොමු කළා. ඇත්තම කියනවා නම්, මම සල්ලි හෙවුවේ දරුවන්ට හෙට දවසක් සඳහා මහ පොළොවේ ඉඩමක් අරන් දෙන්න. එතැනදී සල්ලි නිසා කළ යුතු ඇතැම් මානුෂික දේවල් අතපසු වුණා. අවුරුදු ගාණක් පිටරට බැල මෙහෙවර කරලා එව්ව සල්ලිවලින් ඉඩම ගත්ත පුතාවත් මාව බලන්න ආවේ නෑ. ඒ අය විවාහ වෙලා සතුටින් ඉන්නවා.”   
“අපේ ජේමිස් දැන් අවුරුදු හතර පහකට කලියෙන් මිය ගියා කියලා ආරංචි වුණා. දරුවො ළඟ ආදරෙන් - සෙනෙහසින් ඉන්න පුළුවන් එක දවසද, ඒක මග හරින්න එපා. සල්ලි වස්තුව මොනවා තිබුණත් වැඩක් නෑ. දරුවන්ට මවුපියන් දිය යුතු දේ නොදුන්ණොත්..... අපිට ඒවා තේරුම් යන විට කල් ගත වුණා වැඩියි.   
ඒ නිසා කාලයක් තනිකඩව හිටියා. ඊට පස්සෙ පොළවල් ගාණේ හිඟා කෑවා. දැන් වැඩිහිටි නිවාසයක. මේ දේවල් හොඳ පාඩම්...”   


සිසිලින් අම්මා කියන්නීය.   


නම් ගම් මනඃකල්පිතය.   

 

 

සටහන - අසංක ආටිගල