ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද වැලකට, විශාරද නන්දා මාලනිය ස්වර මුදාහළ, ගීයකින් ආචාර්ය රෝහණ වීරසිංහයන් ගැන මේ සටහන ලිවීමට අපි මූලාරම්භය ගනිමු. ඔහුගේම රස ගී තනුවකින්......
අහස සේ ඔබ අනන්තයි...
සයුර සේ ඔබ අනන්තයි...
සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මේ දක්වා ඔහු විසින් උපද්දවා ඇති රස මිහිර වෑහෙන තනු සාගරය බලද්දී, මෙරට සංගීත ක්ෂේත්‍රයේ අප සතු අහස තරමට, සයුර තරමට අනන්ත වූ සංගීතවේදියාණන් ඔහුම වේ. එනයින් මෙරට සංගීතයේදී අහස සේ ඔබ අනන්තයි. සයුර සේ ඔබ අනන්තයි.... එය එසේමයි.
රෝහණ වීරසිංහයනි.... අපට ඔබ දැනෙන්නේ එහෙමයි....ඔබට....?
‘බොහෝ දෙනාගේ ප්‍රතිචාර නිසා මට දැනෙන්නේ අපරිමිත වූ සතුටක්. මගේ ප්‍රේක්ෂකයින්ට, මේ රටට. සංගීත ක්ෂේත්‍රයට මතක තබා ගන්නට පුළුවන් යමක් කළාය කියන සතුට තියෙන්නෙ. රටකට, ලෝකයට බොහෝ සංගීතඥයින් බිහිවෙනවා. ඉදිරියටත් එහෙම පිරිස් බිහිවේවි. මේ දක්වා මා ගෙවූ ගමන දශක පහක් පමණ වෙනවා. ඒ කියන්නේ වසර පනහකට වැඩියි. මේ ක්ෂේත්‍රයට මම පිවිසුණේ 1973 දී.’
රෝහණයන්, සංගීතයට එහා රසයක් ලබා දුන් ඔහුගේ හඬ අවදි කළේ එලෙසින්ය. අපි ඒ හඬ ඔහුගේ සංගීත දිවියේ අතීත මතක අතරට යොමු කළෙමු.
‘මුලින්ම මම තනුවක් නිර්මාණය කළේ 1972 දී විතර මාලිනි බුලත්සිංහල සමග මා ගායනා කළ ‘රන්තරු - මිණිමුතු’ ගීතයට. එය ආධුනික ගී වැඩ සටහනකට කළ නිර්මාණයක්. සරල ගීයක් වෙනුවෙන් මුලින්ම තනුවක් නිර්මාණය කළේ ‘නීලා වික්‍රමසිංහ ගැයූ සබඳකමක් නැති දෙදෙනෙකු වෙමු අපි... ගීතයට.’
ඔහුගේ සමකාලීන මියැසියක වූ නීලාගේ ඇරියුමින් එදා රෝහණයන්ගේ රස තනු උල්පත ගලා යන්නට පටන් ගත්තේ එලෙසිනි. කවුද මේ රෝහණ වීරසිංහ? යනුවෙන් එදා බොහෝ දෙනෙකු සෙවුම් බැලුම් කරන්නට ඒ ගීතය හේතුවක් සැපයුවේය. ඉනික්බිතිව විවිධ ගායක ගායිකාවන්ගේ සරල ගී වෙනුවෙන් නිබඳවම තනු නිර්මාණය කරමින් සිටියදී රෝහණයන් හට සුනිල් මුණ ගැසුණි. එනම් සුනිල් එදිරිසිංහයන් හමුවුණි. රෝහණ – සුනිල් සුසංයෝගය ඇරඹියේ
● ‘‘කළේ පැන් ඇත නැවුම් රහ නැත.
● ‘‘චන්ද්‍ර මඬල බැද්ද වටින්
මෝදු වෙලා....’’
● ‘‘කවුරුන්ද ඔබ මගේ...’’
ගීත එකිනෙක දිග හැරෙද්දීය.
එදා ගුවන් විදුලි සංස්ථාව මග බලා සිටියේද, අලුතින් සංගීත ක්ෂේත්‍රයට පැමිණෙන නවක අපූරු නිර්මාණකරුවන්ට ලොබ නැතුව අවස්ථා ලබා දීම වෙනුවෙනි. ඒ අනුව ඔහුගේ රෝහණගේ සංගීතය රැගත් ගීත මුදා හැරි විගසින් ඒවා ජනගත කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කර තිබුණි. එවකට සිටි වැඩසටහන් සම්පාදකවරුන් සහ නිවේදක – නිවේදිකාවන් මග බලා සිටියේ හොඳ දෙයක් ආ විගස ඒවා ජනගත කිරීමේ අභිලාෂයෙන් යැයි රෝහණයන් ආදරයෙන් සිහිපත් කරයි.
‘පණ්ඩිත් අමරදේව සර්ගෙ, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ, සංගීත් නිපුන් සනත් නන්දසිරි වැනි ජ්‍යෙෂ්ඨතමයින්ගේ ගුරුහරුකම් නිසා අපි යා යුතු මාර්ගය ගැන අපට තිබුණෙ හොඳ අවබෝධයක් සහ අවකාශයක්. එයාලා නිසා තමයි අපට පන්නරය ලැබුණෙ.’
රෝහණයන් ඒ සොඳුරු අතීතය ගැන එලෙසින් සිහිපත් කරයි.
එදා රෝහණ වීරසිංහයන් ගැන වැඩි දෙනා කතා කළේ සුනිල් එදිරිසිංහ සමග එක්ව කළ නිර්මාණ නිසාවෙනි. ඊට හේතුව කුමක්ද? එනම් රෝහණ–සුනිල් සුසංයෝගයට හේතුව ගැනත් අපි දැනගත යුතු වෙමු.
ඔහු දක්ෂ ගායන ශිල්පියෙක්. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ අත්වැලින් සුනිල් එළියට ආවට, වැඩිපුරම ගීත නිර්මාණය සඳහා ඇරයුම් කළේ මට. ඔහුගෙ හඬට අවශ්‍ය රස තනු මගෙන් නිර්මාණය කරගත හැකිය යන්න ඔහු විශ්වාස කරන්නට ඇති. ඒ විශ්වාසය සියයට සීයක්ම ඉටුකළාම, තවත් ශිල්පීන් මා වටා පෙළ ගැසෙන්න පටන් ගත්තා. ඒ අයුරින් තනු නිර්මාණය වෙද්දි, එක් රැයකින් ‘හිට්’ එකක් වෙච්ච නිර්මාණයක් ලෙස රෝහණ සිරිවර්ධනයන් ගැයූ ‘ඔබේ අතගෙන පෙර සැඳෑවක ගීතය’ නම් කරන්න පුළුවනි. එදා ඒ ගීතය දවසට හත් අට වතාවක් වාදනය කරන තරමට ගුවන් විදුලියේ ජනප්‍රිය වුණා. ඒත් එක්කම විශාරද එඩ්වඩ් ජයකොඩි සහ නිරංජලා සරෝජිනී එක්ව ගැයූ
සීතල පිනි මත මල්පෙති විසිරෙන
දවස උදාවක සතුට උදාවේ...
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවන්නේ පෙරුම් පුරා...
ඒ විදිහට එක් රැයකින් අතිශය ජනප්‍රිය ගීයක් වුණා.’
රෝහණයන් ඔහුගේ රස තනු නිර්මාණ ගීතාවලිය ගැන මතක එලෙසින් ආවර්ජනය කරයි. ඒ රස තනු රැගත් සංගීත උල්පත අද වන විට මහා සාගරයක් තරමට සුවිශාල වී සොඳුරු මිහිරි රළ නංවයි. එනම්. අදද ඔහු ලවා ගී තනු නිර්මාණය කර ගැනීමට ඔහු හමුවට එන තරුණ පිරිස් බොහෝය. ලාංකීය ගීතයේ වැඩිම තනු උපද්ද වූ මහා සංගීතඥයා ලෙස රෝහණයන්ගේ නාමය සනිටුහන් වන්නේ ඒ නිසාය. එය නම් ආශ්චර්යක්ම වේ. දශක පහකට එහා ගිය ඔහුගේ සංගීත දිවියේදී ගායක ගායිකාවන් දහසකට වඩා වැඩි පිරිසකට ගී තනු නිර්මාණය කර ඇත. 2009 දී කළ සමීක්ෂණයකට අනුව ඔහු විසින් නිර්මාණය කර තිබූ තනු ප්‍රමාණය හාරදහස ඉක්මවා තිබිණි. අද වන විට ඒ ප්‍රමාණය කෙතරම්ද යැයි අපට මැනගත හැකිය. මේ මහා ගාන්ධර්වයාගේ ඒ සංගීත ගමන ඇරඹුමට පෙර, ඔහුගේ
ජීවිතය ගෙවෙන්නට ඇත්තේ කෙසේ විය හැකි ද?
‘මම උපන්නෙ නුවරඑළියේදි. අපේ පවුල ලොකු පවුලක්. අක්කලා දෙන්නයි, අයියලා හය දෙනයි. මමයි, අම්මයි, තාත්තයි. පවුලේ නම වැනියා මම. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ නුවරඑළිය ශාන්ත එඬේරාගේ කන්‍යාරාමයෙන්. ඉන්පසුව ගියේ විද්‍යාචන්ද්‍ර විද්‍යාලයට. එතැනින් ශිෂ්‍යත්වය සමත් වී වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. පවුලේ විස්තර කිව්වොත් සංගීතයට ළැදි පවුලක්. තාත්තයි අම්මයි කලාවට ළැදියි. ගෙදර අය බොහෝ වෙලාවට ගීත එහෙම ගායනා කළා. එදා අපේ ගමේ රේඩියෝ එකක්, ඉස්සෙල්ලාම ගෙනාවේ අපේ තාත්තා. ඒ වගේ පුංචි පුංචි මතකයන් මට තියෙනවා. කොහොමටත් පොඩි කාලයේ ඉඳලම ගීත ගායනයට මම ළැදියි. කුඩා කාලයේදී නුවරඑළියෙ ගත කළේ බොහෝම සුන්දරවයි. ගේ ඉස්සරහා දොළ පාරක් තිබුණා. ඊට එහා වගුරු බිමක් සහ පිටුපස තිබුණේ වනාන්තරයක්. අද ඒවා තිබුණද කියා සොයාගත නොහැකි තරමට වෙනස් වෙලා.’
ඒ සොඳුරු මතකයෙන් ඔබ්බට ගොස් ඔබගේ සංගීත ගමන පටන් ගැනීමට හේතු වූ මූලාරම්භය ගැන විස්තර කළොත්?
වැලිමඩ සෙන්ට්‍රල් එකට ගිය සය වසරක කාලයේදී සංගීතය මගේ මනසට හරියටම කා වැදුණා. ඊට හේතු වුණේ කේ.වී.එස්. පෙරේරා ගුරුතුමා නිසයි. ඩැනිස්ටර් පෙරේරා තරුණ සංගීත අධ්‍යක්ෂවරයාගේ තාත්තා. කේ.වී.එස්. පෙරේරා මහතා ශාන්ති නිකේතනයෙන් සංගීතය හදාරා තිබූ කෙනෙක්. එතුමාට තිබූ දක්ෂතාව නිසාම සංගීතය කෙරෙහි පුදුමාකාර බැඳීමක් මට ඇතිවුණේ. සංගීතය හැර වෙන ලෝකයක් ගැන හිතුවෙ නැහැ. ඉගෙනීම් කටයුතු එහෙමත් හොඳින් කළ නිසා පන්තියේ පළවැනියා, දෙවැනියා වීමට හැකි වුණා. නේවාසිකාගාරයේදී සියල්ල සිදුවුණේ කාල සටහනකට නිසා හැම දෙයක්ම සමබරව කරන්න පුළුවන් වුණා. පාසලේදී අපි මුසු වුණේ විවිධ ආගම්වලට, විවිධ ජාතීන්ට අයත් අය එක්කයි. ඒ නිසා ජීවිතයට ඒ සය වසරේදී මට ලැබුණේ පූර්ණ මිනිසකු වීමට ලැබූ අත්තිවාරමයි. ඒ වෙනුවෙන් අපට නායකත්වය සැපයුවේ එදා සිටි අපේ ගුරුමෑණිවරු සහ ගුරු පියවරුන්.
රෝහණ වීරසිංහයන් පාසල් ජීවිතයට සමු දී සමාජ ගතවන විට සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කිරීමේ හැකියාව ඇති අයෙකු විය. ගායනා තරගවලට ඉදිරිපත් වී ඒවායින් ජය ලබා, එදා පාසලේ දීප්තිමත් මෙන්ම කාගේත් ආදරය දිනූ චරිතයක්ම විය. එහෙත් පාසල් ජීවිතයේදී විටෙක ඔහුගේ ජීවිතයට කුණාටුවකට අසුවූවාක් මෙන් වූ හැඟීමක් ඇතිවුණේ සංගීත ගුරුතුමා ස්ථාන මාරුවක් ලැබ පිටව යාම නිසාය.
එතැනින් පස්සේ මට දැනුණේ මගේ ලෝකයම කඩා වැටුණාක් මෙන් හැඟීමක්. උසස් පෙළ කරන්න පවා පටන් ගත්තේ කනස්සල්ලෙන්. අධ්‍යාපනය වගේම පාසලත් එපා වුණා. මේ මානසිකත්වය තේරුම්ගත් ගෙදර අය මාව කොළඹ එව්වා. මගේ වැඩිමහල් සහෝදරයකු වන මර්වින්ගේ නිවසේ නතර වී එතැන් සිට අධ්‍යාපනය හැදෑරීමට ගියේ පන්නිපිටියෙ ධර්මපාල විද්‍යාලයට. මර්වින් අයියා පදිංචිව සිටියෙ පන්නිපිටියෙ. ධර්මපාලයට ගියේ සංගීතයට තිබූ ආසාව නිසාමයි. ඒත් එතැන එදා හරි ගුරුවරයකු නොසිටීම නිසා උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු හොඳින් සිදුවුණේ නැහැ. ඒ ලෙවල් වැඩ දෙකයි සමත් වුණේ. මා ගැන ගෙදර අය තබා සිටියෙ අහස උසට බලාපොරොත්තු. විභාගය අසමත් වීමත් එක්ක හැමෝම වගේ මා දිහා බැලුවෙ තරහින්. ඒ නිසා නැවත නුවරඑළියට ගෙන්වා ගෙන මට උපදෙස් දෙමින් ගෙදර නතර කර ගත්තා. ගමේදි මම කළේ අනෙකුත් තරුණයින් එක්ක එකතු වී සමාජසේවා කටයුතුවල යෙදීමයි. ගමේ අය එක්ක එකතු වී සංගීත කටයුතු, නාට්‍ය ඇතුළු බොහෝ දේ කළත්, ගෙදර අය ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ කාලයේදී තමයි මට නුවරඑළිය ගාමිණී මහා විද්‍යාලයේ සිටි කිත්සිරි අලුත්ගේ සර්ගෙ හමුව ඇතිවුණේ.
එලෙසින් එදා ගමේ සිටි තරුව ගැන කිත්සිරි අලුත්ගේ ගුරුතුමා හැඳින ගැනීමත් සමග යළිත් සංගීතය හැදෑරීමට රෝහණ වීරසිංහයන් හට අවස්ථාවක් ලැබිණි. යළි උසස්පෙළ කරන අතරේ, එතුමාගේ නාට්‍යවල පවා රඟපාමින් රෝහණයන්, සංගීත කටයුතු දිගටම කරගෙන ගියේය. පසුව රජයේ සංගීත විද්‍යාලයට අලුතින් සිසුන් බඳවා ගැනීමේ ඉල්ලුම්පත්‍රය යොමු කළේද අලුත්ගේ ගුරුතුමාගේ මග පෙන්වීම් යටතේය. වත්මනෙහි සෞන්දර්යය සරසවිය බවට පරිවර්තනය වී ඇත්තේ එවකට තිබූ රජයේ සංගීත විද්‍යාලයයි. වසර හතරක් එහි සිට සංගීතය හැදෑරි රෝහණයන් ගුරු පත්වීමක් ලැබ වෘත්තීය ජීවිතයට එළැඹිණි. ඊට පෙර සංගීත විද්‍යාලයේ සිටියදී වෙනත් ආයතනයක අතිරේක ගුරුවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථා ලබා දී තිබුණේ අලුත්ගේ සර්ය. ගුරු වෘත්තියේද වසර දෙකක් පමණ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ කටයුතු කරන අතරේදී ගුවන් විදුලිය අලුත් තැනක් නොවූයේ ඒ වන විටත් සරල ගී ඇතුළු විවිධ වැඩසටහන්වලට දායකත්වය ලබා දෙමින් සිටි නිසාය.
ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන්වීමටත් පෙර සිට මම ගුවන් විදුලි සංස්ථාවේ ආධුනික ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටියෙ. ඒ අතරේ තනු නිර්මාණය කිරීමත් පටන් ගෙන තිබුණෙ. සිතාර් සහ සාන්තුර් වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කරමින්, සියලුම සංගීත අධ්‍යක්ෂවරු යටතේ කටයුතු කළා. කේමදාස මාස්ටර්, වික්ටර් රත්නායකයන්, සනත් නන්දසිරි සර්, අමරදේව සර්, ඇතුළු තවත් සංගීත අධ්‍යක්ෂවරු සමග එයාලගෙ සංගීත කටයුතු සහ ප්‍රසංගවල වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කළා. ඒ අතරේදී ඒක පුද්ගල ප්‍රසංගවලටත් ශිල්පීය දායකත්වය ලබා දුන්නා.
සංගීතයෙහි විවිධ අංශ වෙත රෝහණයන් එදා එලෙසින් දායකත්වය ලබා දෙමින් සිටි අතරේ ඔහුට ඔහුගේ ප්‍රේමය ද හමුවී තිබිණි. ඇය ‘බියට්‍රිස්’ ය. රෝහණයන් රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේදී ඇය එම විද්‍යාලයේ නර්තන අංශයේ සිසුවියක ලෙස කටයුතු කළාය. ‘ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ’ යැයි සොඳුරු රෝහණ ගීතයෙන් ප්‍රශ්න කළත්, ඔහුගේ ප්‍රේම චාරිකාව නම් ගිමන් හලක්ම විය.
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ, පෙම්බස් දොඩමින් දෙදෙනා ගිය ප්‍රේමණීය ගමනේ ‘විවාහය’ සිදුවූයේ 1977 දීය.
සුදු මුතු රළ පෙළ
කිඳුරු කොදෙව්වෙන්
පාවඩ පලස එලා...
බියට්‍රිස් නම් වූ ඇය ඔහුගේ ලෝකයට අවතීර්ණ වූයේ එසේය.
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
ඔබ මට තිළිණ වෙලා....
යැයි සපඵ කරමින් රෝහණයන් ඇය. පිළිගත්තේ ආදරයෙන්මය. ඇයගේ අගය, හැඩය ගැන රෝහණයන් මුමුනන්නේ මෙසේය.
‘ඇයගේ අගය මට හරියටම දැනෙන්න පටන් ගත්තෙ විවාහයෙන් පසුවයි. සංගීතය එක්ක එන්න එන්නම මම කාර්ය බහුල වෙන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් පූර්ණ නිදහස් පරිසරය මට සදා දී ඇය දරු දෙදෙනාගේ කටයුතු මෙන්ම ගෙදර වැඩ කටයුතු සියල්ල කරමින් සහ ඇයගේ මව රැක බලා ගනිමින් කළේ ලොකු කැප කිරීමක්. ඒ ලැබුණු ශක්තිය එදා සිට අද දක්වා එලෙසින්ම ලැබෙනවා.
මේ මහා ගාන්ධර්වයාගේ හරවත්, රසවත්, වින්දනීය සංගීත ගමන මේ තරම් අරුත්බර කර ගැනීමට අවකාශය ලැබුණේ තම කුටුම්බයෙන් ලැබුණු ඒ වටහාගැනීම සහ ශක්තිය මෙන්ම නිදහස නිසාම යැයි අපට සිතාගත හැකිය. මේ යුවල හට පුතුන් දෙදෙනෙකි. කළිඳු වැඩිමලාය. බාලයා චිරාත්ය. ඒ දෙදෙනාම විවාහකය. කළිඳු වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේය.
නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරි තමට
බිරිඳට ආදරේ කරන රෝහණයන් ඇය වෙනුවෙන්ම කළ ගී තනු ද තිබේ.
සංගීත විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලයේදීම ඇය වෙනුවෙන් ගීතයක් ලියුවා. ඒත් මම ලියුවේ කියලා කියන්න ලැජ්ජාවට වෙන නමක් යෙදුවෙ. ඒ තැටිය ගුවන් විදුලි සංස්ථාවේ තියෙනවා.
දහස් වරක් ඔබ...
දුටුවත් පෙර දින
තවත් වරක් දැකගනු
රිසි අද දින...
ඒ හැර මමම නොලිව්වත්. ගී තනු නිර්මාණය කළ ගීත අතරින්
කළේ පැන් ඇත
නැවුම් රහ නැත
වගේ ගීත කීපයකට තනු නිර්මාණය කළා.
රස මධූර්යය වෑහෙන තනු සාගරයක් මැවූ රෝහණයන් සමග කතා කිරීමට ඇති දේ නම් බොහෝය. විවිධ විෂයන් ගැන. කතා කිරීමට තරම් පූර්ණ දැනුමක් ඇති මහාර්ඝ මිනිසෙකි. අද වයසින්, මනසින්, සිරුරෙන් වියපත් වී ඇති වග සැබෑය. එහෙත් රෝහණයන් වෙතින් දෘශ්‍යමාන වන්නේ තාරුණ්‍යයේ සොඳුරු පිරුණු පෙනුමකි. එයින් කියැවෙන්නේ ඔහුගේ හිතේ ඇති සුන්දරත්වයයි. ඇතුළාන්තයෙන් ගලා එන සිතිවිලිවල ඇති අව්‍යාජත්වයයි. ආදරණීය රෝහණ වීරසිංහයනි, කවිය ගීතයක් කළ, ගීතය මියැසි කවියක් කළ, අප රටේ සාඩම්බර සංගීත සලකුණ ඔබමය....
නිම්හිම් නොපෙනෙන තරමටම...
ඉණි මං බඳිනු බැරි තරමටම...
ශ්‍රී ලාංකීය අපි සැවොම
ඔබට ආදරේය...
සඳුන් ගමගේ