නාරන්වල වලව්වෙහි පවුලේ සුසාන භූමියෙහි දැනට ශේෂව ඇති සොහොන් කොත්
නාරන්වල ජයසුන්දර මුදියන්සේගේ පියා සපරගමුවේ කුරුවිටි කෝරළේ කිරිඇල්ලේ උත්පත්තිය ලැබ හැදී වැඩී කුරුවිට රාළ සමග කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිදුරුවාන බද ගඟ පළාත් කෝරලයෙහි උඩුනුවර නාරන්වල නම් ග්‍රාමයට පැමිණි ජයසුන්දර මුදලියා විය.
ජයසුන්දර මුදලියා වනාහි මාතර, කටුවන සටනට සහභාගි වී කටුවන සටන ජයගත් කිරිඇල්ලේ ජයසුන්දර මුදලියාගේ සොහොයුරෙකි. ඔවුන් වාසගම් වශයෙන් භාවිත කරන ‘ජයසුන්දර මුදියන්සේ’ නාමය එම මාතර, කටුවන ඕලන්ද බළකොටුව බිඳ ජයගත් වීරයන්ගේ පවුල්වලට රජු විසින් ප්‍රදානය කරන ලද නම්බු නාමයකි.
ඉන් අනතුරුව කන්ද උඩරටට සංක්‍රමණය වූ නාරන්වල ජයසුන්දර මුදලියා උඩුනුවර ගඟ පළාත කෝරලයෙහි හන්දෙස්ස ග්‍රාමයෙහි නාරන්වල වලව්වක් තනාගෙන එහි පදිංචි විය.
අතීතයෙහි මාතර කටුවන ඕලන්ද බළකොටුව බිඳහෙළීම සම්බන්ධව සතුටට පත් කීර්ති ශ්‍රී රාජසිංහ කටුවන මහ සටනින් සිංහලේ රජුගේ පාර්ශ්වය ගත් යුධ නායකයින් දොළොස් දෙනෙකු සඳහා සිය නිවෙස්වල උළු සෙවිලි කිරීමට රජුගේ අවසරය වශයෙන් රාජ මුද්‍රාව සහිත තඹ උළු කැටය බැගින් ප්‍රදානය කළ බවත් නාරන්වල ජයසුන්දර මුදලියාට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සන්නස් පත්‍රයකින් නින්දගම් ප්‍රදානය කළ බවත් සඳහන් වේ.
නාරන්වල ජයසුන්දර මුදලියාගේ ඇවෑමෙන් ඔහුගේ පුත් නාරන්වල ජයසුන්දර මුදියන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝලිය වූ මාම්පිටියේ දුක්ගන්නා උන්නාන්සේ සෙවණෙහි පුත් තනතුරේ තබා හදා වඩා ගත්හ.
නාරන්වල මුහන්දිරම් නිලමේ ඉන් අනතුරුව කොට්ටල් බද්ද නිලමේ වශයෙන් වර්ෂ 1815 සිට 1818 දක්වා ද, පසුව වර්ෂ 1819 සිට 1825 තෙක් අලවතුගොඩ සමන් දේවාලයෙහි බස්නායක රාල වශයෙන් ද අවසානයෙහිදී වර්ෂ 1826 සිට 1843 දක්වා ලංකාතිලක හා පැරණි ගඩලාදෙණි දේවාලයන්හි බස්නායක නිලමේ වශයෙන් කටයුතු කර ඇත.
ඉහත නාරන්වල ජයසුන්දර මුහන්දිරම් නිලමේ හට පුතුන් සිව් දෙනෙකු ද එක් දියණියක ද සිටි බව සඳහන් වේ. ඔවුන් තමන්ගේ වාසගම් වශයෙන් ඔවුනගේ මුත්තණුවන්ගේ නාමය වන ජයසුන්දර මුදියන්සේ රාලහාමිල්ලාගේ යන නාමය භාවිත කර ඇත.
මෙම ඉහත නාරන්වල බස්නායක නිලමේ කුරුවිටි මොහොට්ටාල සමග එක්ව ඔවුනගේ ඉඩකඩම් භුක්ති විඳ, පසුව එම දේපොළ ඔවුනගේ මුනුපුරෙකු වන අඟුනාවල කෝරාළට අයිති විය.
අඟුනාවල මැද්දුම බණ්ඩා කෝරාල විවාහ වී සිටියේ වඩුගොඩපිටියේ ටිකිරි මැණිකා කුමාරිහාමි සමගය. මහවාසල කටුපුල්ලේ කාරියකරන යටිනුවර ගඟවට කෝරලයෙහි ආරච්චි නිලය දැරූ තල්වත්තේ ජයසුන්දර මුදියන්සේ වඩුගොඩපිටියේ රන්මැණිකා කුමාරිහාමි සමග ද, සපරගමුවේ ගිලීමලේ සිට කන්දඋඩරටට පැමිණි මාරඹේ මොහොට්ටාල අතීතයෙහිදී වඩුගොඩපිටියේ නම් ග්‍රාම නාමයෙන් හැඳින් වූ වත්මනෙහි කටුකැලේ ප්‍රදේශයෙහි වඩුගොඩපිටියේ පවුලෙන් බින්න විවාහයක් කරගෙන එහි විසීය.
හාරිස්පත්තුවෙන් පැමිණි දොළපිහිල්ලේ මොහොට්ටාල කටුකැලේ වඩුගොඩපිටියේ මුතුමැණිකා කුමාරිහාමි (නාරන්වල මැණිකේ) සමග ද, නාරන්වල රාල ජීවත් වූ නාරන්වල වලව්වෙහි පසුකාලීනව ඔහුගේ මුනුපුරෙකු වූ බෞද්ධ සාමයික සංගමයේ ලේකම් ධුරය දැරූ ලංකාවේ ප්‍රථම ත්‍රිපුද්ගල අධිකරණයෙහි (රජතුන්කට්ටුව) විනිසුරු ධුරය හෙබවූ මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයෙහි වර්ෂ 1915 බස්නායක නිලමේ තනතුර දැරූ කොළුගල දිසානායක ජයසුන්දර විජයසුන්දර වාසල මුදියන්සේ රාලහාමිල්ලාගේ එරමුදුලියැද්දේ පුංචි බණ්ඩා දිසානායක නිලමේ වඩුගොඩපිටියේ ඩිංගිරි අම්මා කුමාරිහාමි (නාරන්වල මැණිකේ) සමඟද විවාහ වී එහි විසීය.
ඉහත අප කථානායකයා වූ නාරන්වල ජයසුන්දර මුදියන්සේ කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැදමහනුවර බෝමුරේ ගුරු ගල්ලෑහෑවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවසෙහි සිටියදී එක්නැළිගොඩ මෙහොට්ටාල ප්‍රමුඛ බ්‍රිතාන්‍යයින් පිරිසක් සමඟ රජු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී නාරන්වල ජයසුන්දර මුදියන්සේද එම කාර්යයට සහභාගි වූ බව සඳහන්ය. නාරන්වල රාල මහනුවර ඇසළ මහා පෙරහර මංගල්ලයෙහි ගමන් කළ බව ද අවසානයෙහිදී වර්ෂ 1846 ඔහු ජීවිතයෙන් සමුගත් බව ද සඳහන් වේ.
මහින්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය
පහළ ඉඹුල්ගොඩ